හැම­දා­මත් පව­ත්වා­ගත යුතු අවු­රුදු මිහිර

අලුත් සහල් මංගල්‍යයේ අවස්ථාවක්

අරුණි මුතුමලී

සැබැවින්ම අවරුදු සැමරීමේ අරමුණ කුමක්ද?

අවරුදු සිරිය අපට ගෙනෙන මිහිර විඳගැනීම එක් අරමුණකි. කැවුම් කිරිබත් සුවඳ, අලුත් ඇඳුම්වල සුවඳ, ගෙදරදොරේ අලුතින් සුනුපිරියම් කළ සුවඳ මෙන්ම කෙළි සෙල්ලම් නිසා ඇති වන සතුට ඒ මිහිර අපට ලබා දෙයි. අනෙක් අතින් අපේ සංස්කෘතිය පිළිබඳ හැඟීම අපට ගෙනෙන්නේ අවරුදු උලෙළයි. සිංහල බෞද්ධයන් ප්‍රධාන වූ රටක ජාතික ආගමික සංහිඳියාව මතු කරන්නට හොඳම ප්‍රතිමාන සපයන්නේද අවුරුද්දය.

"අවුරුදු ජයද?" අප මේ දිනවල හමු වන සියලු දෙනාගෙන් විමසන්නේ ලැබූ නව වසර ගැනය. සමහරුන්ට අවුරුදු ඇත්තටම ජයය. තවත් සමහරුන්ට 'හැමදාමත් අවුරුදු'ය. පිරිසක් කියන්නේ 'අනේ මොන අවුරුදුද?' කියාය. මේ කුමන පිළිතුර දුන්නත් පොදුවේ අපි සැම දෙනාම පාහේ කුමන ආකාරයකින් හෝ අවුරුදු සැමරුවෙමු.

'අවුරුද්ද' යන වචනය තැනුණේ කෙසේදැයි වරක් අරීසෙන් අහුබුදු සූරීන් විග්‍රහ කළේ මේ ආකාරයෙනි:

"'වරු' කියන්නේ දවස. එය වහරෙන් 'වරුතු' බවට පත් වී පසුව 'වුරුදු' වුණා. එයට විශේෂය දනවන 'අ' උපසර්ගය එක් වී 'අවුරුදු' වුණා. ඒ නිසා 'අවුරුදු' කියන්නේ 'විශේෂ දවස' යන්නයි."

ඒ විශේෂ දවස එළැඹෙන්නේ බක් මාසයේය. 'බක්' යනු 'භාග්‍යයෙන් අග්‍ර වූ' යන අරුත දෙන බවද පැවැසුවේ අහුබුදු සූරීන්මය. අටු-කොටු පිරෙන සමය භාග්‍යයෙන් අග්‍ර බක් මාසයයි. එහෙත් ඇතැමුන් පවසන්නේ 'අවුව රුදු වන්නේ' අවුරුදු කාලයට කියාය. මේ කුමන අරුතින් ගත්තද අප වැනි ඝර්ම කලාපීය රටවල ඍතු භේදයක් විශේෂයෙන් නැතත්, වසන්ත සමය ලෙස අපි මේ උත්සව සමය පිළිගන්නෙමු.

සිංහල අවුරුද්ද පරම්පරාගත වන උත්සවයකි. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අවුරුදු ගැන සඳහන් කිරීමකදී පැවැසුවේ සිංහල ජාතිය පවතින තුරු අවුරුද්දද පවතින බවයි. එයට ඔහු සාධක ගෙන හැර පෑවේ ආසියාතික ඝර්මකලාපීය රටවල් වන පංජාබයේ සිට ලාඕසය දක්වා රටවල රාශි චක්‍රය පිළිබඳ විශ්වාසයක් පැවතීම මෙයට මූලික හේතුවක් බව පෙන්වමිනි.

මොහෙන්දොජාරෝ හරප්පා ශිෂ්ටාචාරවල අටකට සීමා වී පැවැති රාශි චක්‍රය සුමේරියන්වරුන් විසින් රාශි දොළහක් දක්වා වර්ධනය කරගනු ලැබ තිබේ. කෘෂිකර්මය මූලික වන රටවල හිරු-සඳුගේ බලපෑම වැඩි වීම නිසා ඒ සමඟ ගනුදෙනුව වැඩි වන තරමට මේ විශ්වාසයන්ද ජන සිත් තුළ මුල් බැසගෙන ඇත. අලුත් අවරුද්දට හිරු මුල් කරගන්නේද මේ විශ්වාසයන් අනුවය.

එමෙන්ම මිනිසා යනු කුමන රටක කුමන ජාතියකට අයත් වුවද උත්සව පැවැත්වීමට රුචියක් දක්වන සත්ත්ව කොට්ඨාසයක් බව සමාජ විද්‍යාත්මක කරුණකි. බෞද්ධාගමික ශික්ෂණය මත ජාතියක් වශයෙන් අප 'සෝබන' ජාතියක් නොවුණද පැරැණි පොතපතේ සඳහන් ආකාරයට පණ්ඩුකාභය රජු දවස පවා අප නැකැත් කෙළිවල යෙදුණු බව නම් ඉතිහාසගත සත්‍යයකි.

අදත් අප අවුරුද්ද සමරන්නේ කිසිවකුගේ කීමකින් හෝ නීතියේ බල කිරීමකින් තොරව සමස්ත ජාතියම සිය කැමැත්තෙන් යෙදෙන සුබ කටයුත්තක් යන හැඟීමෙනි. එය පරම්පරාගත වන සිරිතක් ලෙස අපේ සංස්කෘතිය අපට දායාද කර තිබෙන්නකි.

සැබැවින්ම අවරුදු සැමරීමේ අරමුණ කුමක්ද? අවරුදු සිරිය අපට ගෙනෙන මිහිර විඳගැනීම එක් අරමුණකි. කැවුම් කිරිබත් සුවඳ, අලුත් ඇඳුම්වල සුවඳ, ගෙදරදොරේ අලුතින් සුනුපිරියම් කළ සුවඳ මෙන්ම කෙළි සෙල්ලම් නිසා ඇති වන සතුට ඒ මිහිර අපට ලබා දෙයි. අනෙක් අතින් අපේ සංස්කෘතිය පිළිබඳ හැඟීම අපට ගෙනෙන්නේ අවරුදු උලෙළයි. සිංහල බෞද්ධයන් ප්‍රධාන වූ රටක ජාතික ආගමික සංහිඳියාව මතු කරන්නට හොඳම ප්‍රතිමාන සපයන්නේද අවුරුද්දය. අපේ සමාජ වටිනාකම්, සිරිත් විරිත් නව පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නේ අවුරුදු සිරිත් ඇසුරෙනි.

සිගාලෝවාද සූත්‍රයේ එන පරිදි තම-තමන්ගෙන් විය යුතු යුතුකම් වර්තමානයේ අප නොපිරිහෙළා ඉටු කරන්නේද අවුරුද්දටයැයි කීවත් වැරැද්දක් නැති තරම්ය. බොදු ඉගැන්වීම් අනුව සප්ත අපරිහානී ධර්මානුකූලව රටක් ලෙස හැසිරෙන මොහොත උදා කරන්නේ අවුරුදු චාරිත්‍රයැයි කීමද සාධාරණය. නොනගතයට එක මොහොතේ වැඩ නතර කරන අපි නැකැතට වැඩ අල්ලා, ගනුදෙනු කර අාහාර අනුභවය එක වර කරමු. මෙය අපරිහානී ධර්මවලින් එකකි. එකට රැස් වීම, එකට සාකච්ඡා කිරීම, එකට විසිර යෑම, වැඩිහිටියන්ට ගරු කිරීම, සම්ප්‍රදාය රකිමින් තීරණ ගැනීම, රිසි සේ නීති වෙනස් නොකිරීම වැනි ඒ ධර්ම රටක දියුණුවට මෙන්ම සංහිඳියාවටද හොඳම මඟ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එහෙත් අපි අලුත් අවරුද්දේ උණුසුම රැඳුණු අද වැනි දිනක ආපසු හැරී බැලුව හොත් මේ අරමුණු කොතෙක් දුරට සඵල කරගත හැකි අයුරින් මේ මිහිරියාව විඳගත්තෙමුද? අපේ සමහර හිතවතුන්ට ලැබුණු වැටුපේත් ඇතැම් විට 'බෝනස්' මුදලේත් වලිගය වත් සොයා ගන්නට නැත. තවත් සමහරු ක්‍රෙඩිට් කාඩ්වල ණයට යට වෙලාය. යුතුකම් ඉටු කරන්නටයැයි කියමින් අවශ්‍ය අනවශ්‍ය දේ පොදි ගහගෙනය.

අවරුදු ලබන්නට සතියකට කලින් සිට අප කළේ කඩවල් 'හින්දීම' මිස වෙන කුමක්ද? හරියට අවුරුද්ද එන බව කලින් නොදැන සිටියා මෙනි. මෙයට හේතුව ආයතනවලින් මුදල් ලැබෙන්නේ අන්තිම මොහොතේ යැයි යමකුට තර්ක කළ හැකිය.

එහෙත් ඒසේ මුදල් නොලැබෙන අයත් අවුරුදු සමරන ක්‍රමයක් තිබෙනවා නොවේද යන්න ප්‍රතිතර්කයයි. විශේෂයෙන් වෙළෙඳුන් රජ කරන 'සේල්' උපායට අසු වන්නේත්, පොරකන්නට වන්නේත් කල් ඇතිව සැලසුම් නොකිරීමේ හේතුව නිසා නොවේදැයි මඳක් සිතා බැලුවොත් වැටහෙනු ඇත.

අප කාලය මෙන්ම මුදල්ද නිසි අයුරින් කළමනාකරණය කරන්නේ නම් මේ පොරයට නොවැටී තමන්ගේ කටයුතු කරගැනීමට හැකි නොවන්නේද? අපට ලැබෙන ආදායම වියදම් කළ යුතු, ඉතිරි කළ යුතු ආකාරය ගැන මනාව දේශනා කර ඇති ධර්මයක් පවතින රටක අප අවුරුදු කන්නේ 'ණයට' නම් එහි තේරුම් කීපයක් තිබිය හැකිය. එක්කෝ අප ධර්මය හරි හැටි අවබෝධ කරගෙන නැත. නැත් නම් අප ධර්මය පිළිපැදීමට පසුබට වී තිබේ. එසේත් නැත් නම් ධර්මය අබිබවා යන තරමේ හේතු සමාජයෙන් මතු වී තිබිය යුතුය. ඒ කුමක් හෝ වේවා අපට වැරැදුණු තැනක් ඇති බව නම් පැහැදිලිය. ඒ අලුත් අවුරුද්ද නිසා නොව අප සිතන, ක්‍රියා කරන විදිහේ වැරැද්ද නිසාය.

යටත්විජිතවාදී ආක්‍රමණිකයන් අපට එරෙහිව අප මර්දනය කිරීමට දායාද කළ හොඳම අවිය අපි අදත් අවරුදු මෙන්ම අන් සෑම උත්සවයක්ම සැමරීමට සතුටින් යොදාගනිමු. කිරිබත් කැවුම් වැනි නිර්මාංස ආහාරවලින් සුපිරිසුදුව අරඹන අවුරුදු අප නිමා කරන්නේ මස් මාළු 'බයිට්' සමඟ මඳ පමණට වඩා බමන පදමට 'සූර්' වෙලාය. එය ඇතැම් විට රණ්ඩු-සරුවල් දක්වාම දිග්ගැස්සී අවරුදු මිහිර අමිහිරක් බවට පරිවර්තනය කරන්න හේතු වේ. බක්මහ උලෙළක සහභාගිත්වයේ සතුටට වඩා බලාපොරොත්තු වන්නේ එකිනෙකා පරයමින් තමන්ට වැඩි තෑගි ප්‍රමාණයක් ලබාගැනීමය‍. ඇඳුම පැලඳුම ගන්නේ අසල්වැසියාට වඩා ජයට අවරුදු කන බව පෙන්වීමටය. තරගකාරි බවට අවුරුදු මිහිරියාව ගිලගන්නට හැර අපි ඒ මඟ හැල්මේ දුවනවා විනා අවබෝධයෙන් අවරුදු සැමරුෙවමුද? යන්න අපටම සිතන්නට සිදු වී තිබේ. අපරිහානී ධර්ම ගැන කතා කරනවා සේම පරාභවයට හේතු වන කරුණු ගැනද අප කතා කළ යුතුව අැත්තේ මේ නිසාය. එක්ව රැස් වීමට හෝ නිවැරැදි තීරණ ගැනීමට, වැඩිහිටියන්ට ගරු කිරීමට රහමෙර පානයෙන්, අනවශ්‍ය තරගයෙන් හෝ කැපී පෙනීමට දැඟලීමෙන් ලැබෙන සහාය කෙබඳුදැයි අමුතුවෙන් කිව යුතු නොවේ.

අප උත්සාහ කරන්නේ අපේ සංස්කෘතික වටිනාකම් ඊළඟ පරපුරට දීමට නම් ඒ අපූරු ආදර්ශය ණය, සුරාව ආදිය බවට පත් කිරීම රටේ අනාගතයට කොතරම් යෝග්‍ය වන්නේෙදැයි මවුපිය වැඩිහිටියන් සැලකිලිමත් විය යුතු කාලයකට අපි එළැඹ සිටින්නෙමු. කාලය, ශ්‍රමය, ධනය නිසි කළමනාකාරිත්වයකින් යුතුව යොදාගැනීමට කියා දෙන අවුරුදු චාරිත්‍ර වෙනුවට ඒවා අපතේ යවන ආකාරය දරුවන්ට කියා දීම නව වසරකට පය තබන්නට සුබ අරමුණක් වූයේදැයි අපම සිතා බැලිය යුතුය.

මෙහි අරුත විනෝද නොවී ගල් බිල්ලන් සේ මුල්ලකට වී සිටිය යුතුය යන්න නොවේ. අප සිත් සේ විනෝද විය යුතුය. අවුරුදු අසිරිය මැනැවින් විඳිය යුතුය. එසේම අවුරුද්දෙන් පසුවද හිතේ සහනයෙන් ජීවත් විය යුතුය. ආදර්ශයන් නැති වී ගිය රටක යන්තමින් හෝ පවතින අපේම වූ සංස්කෘතික අංගයන්, සිරිත් විරිත්, යුතුකම්, වගකීම් ඉටු කරන අතරම අපේ ජීවිත නිසි අයුරින් කළමනාකරණය කරගන්නට හැකි ආකාරය නව වසරේ අපේ අරමුණ විය යුතු නොවේද? ඉර-හඳ පවතින තුරු අපේ රට ජාතිය ආගම පවතින්නට නම් අපේ සංස්කෘතිය විකෘත නොවී පරිණාමය විය යුතුය.

කලට වැසි වසින්නේත්, අස්වනු සාර වන්නේත්, මිනිසුන් සුවෙන් සිටින්නේත් ගුණදම් රැකුණු රටකය. කෑම පිඟන් බෙදා-හදාගෙන, පරණ තරහා-මරහා සමා කරගෙන අප ඉඟි කරන්නේ සංහිඳියාවේ නිහඬ අරුතයි. එය අවුරුදු දාට පමණක් සීමා නොකිරීම අපේ වගකීමයි. ලැබූ අවුරුද්ද සරු වන්නේ අප ඒ ගැන සතුටින් කතා කරන, සිතන තුරා පමණි. ''අවුරුදු කාලා අවුරුද්දම කැවුණා!'' යැයි කියන්නට ඉඩක් නැති වන්නේ නිසි ලෙස අවුරුද්ද කළමනාකරණය කළ විටය. අලුත් අවුරුද්දක් යනු එක් දිනයක් නොවේ. වසරේ දින තුන්සිය හැටපහම අලුත් මිහිරියාවකින් ගත කිරීමට නම් අප කළ යුත්තේ සමබරව අපේ කටයුතු සැලැසුම් කරගැනීමය; අසිරිය සිහියෙන් විඳීමය; නිවැරැදි ආදර්ශය දරුවන්ට දීමය; අවුරුදු 'ජය' වන්නේ එවිට නොවේද? 

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.