සහෘදය මනස සන­සන නිර්මාණ භූමි­කාව බොඳ වෙලා ද?

හෘදයන් රසාත්මක භාවයෙන් උපයුක්ත නිර්මාණ සොයා යෑමේදී ඒ අපේක්ෂාව සපුරා ගැනීමට තරම් සාහිත්‍ය නිර්මාණ බිහිවී තිබෙන්නේද. සිත - මනස - ගත සනසන්නට නිර්මාණ භූමිකාව පෝෂණය වී ඇද්ද?

අද්‍යතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ නවකතාව - කෙටිකතාව - කවිය යන ත්‍රිකය දෙසට නෙත් යොමු කරන විට එම නිර්මාණ ත්‍රිකය සහෘදයන්ට කෙතරම් සමීප වත් ද? මේ ත්‍රිකය ම අද අවරට ගොස් ඇත. වඩාත් අවරට ගොස් ඇත්තේ කවියයි.

සසල මනස නිසල කළ කාව්‍ය ක්ෂේත්‍රය මුළුමනින් ම බොඳවී, දියවී ගොස් ඇත. චිරන්තන අවදියේ පටන් කාව්‍ය ක්ෂේත්‍රය අභිමානවත් කළ නිදහස් - නිසඳැස් කාව්‍ය සම්ප්‍රදායෙන් සිංහල කව්කෙත පුරන් විය.

චිරන්තන කාව්‍ය ක්ෂේත්‍රය උත්තලයකට ගෙනගිය සිංහල කව්කෙත සරුසාර වී, සහෘදය මනස සනසන්නට අතිශය අනුබලයක් විය. තවමත් එම කාව්‍ය සම්ප්‍රදාය සහෘදයන් සමඟය.

ඒ සම්ප්‍රදායේ පිහිටා සන්දේශ කාව්‍ය - චම්පු කාව්‍ය - උපදේශ කාව්‍ය - උපහාස කාව්‍ය - භක්ති කාව්‍ය - හටන් කාව්‍ය ආදි කාව්‍ය විවිධාංගවලින් සහෘදයන්ගේ මනස සනසා ජීවන ගමන්මඟ පෝෂිත තලයකට ගෙන ගියේය.

‘සකස්කඩ නොකිව් කට උගේ කට හුඹස්කට’ යනුවෙන් කියුමක් ද ඇත. එතරමටම සඳැස් කාව්‍ය සම්ප්‍රදාය ජන හද දිනූ මඟකට ගෙන ආවේ ය. මෙවන් තත්ත්වයක් මතුකළ සිංහල කවියට අත්වූ ඉරණම අතිශය ඛේදයකි.

සිංහල කව් කෙත තවදුරටත් අවරට ගියේ ‘හයිකු කවි’ හේතුකොට ගෙනය. ‘හයිකු’ කවි බිහි වූයේ ජපානයේ සමාජ ව්‍යුහයට, සංස්කෘතියට අදාළවයි. ඒ කවි මඟ සිංහල සමාජයට යොදා ගැනීම කොතරම් ප්‍රඥා ගෝරද.

දෙතුන් දෙනෙක් ඒ කව් මඟ සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට යොදා ගැනීම හේතුවෙන් සිංහල කවිය සහෘදයන්ගෙන් තවදුරටත් දුරස්ත විය.

නිද්‍රාශීලි සමාජයක් අවදි කිරීම නවකතාකාරයාගේ කාරියයි. නවකතාවේ අන්තර්ගත භාෂාව - තේමාව - දෘෂ්ටිය - සංකේත භාවිතය - විඥානය - ආදියෙන් සමලංකෘත විය යුතුය. අද්‍යතන අවදියේ මේ ලක්ෂණයන්ගෙන් සමන්විතද.

තවමත් සහෘදයන් සමඟ පවතින්නේ මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය - යුගාන්තය - කලියුගය නමැති තුන්ඈඳුතු (Triology) නවකතාවත් විරාගය, කරුවල ගෙදර හා බවතරණයයි.

බවතරණය මඟින් කෙළේ නිද්‍රාශීලි සමාජයක් අවදි කිරීම ය. ගතානුගතික ලක්ෂණයන්ගෙන් උපයුක්ත හා ආකල්ප බැහැරකොට යථාර්ථය (Reality) හෙළි කිරීම බවතරණය මඟින් සිදු කෙරිණි.

උගතුන්ගේ - වියතුන්ගේ විචාරයට බවතරණය ගොදුරු වීමෙන් සිංහල නවකතාව නව මං සොයාගිය බවට හොඳම සාධකයකි.

මාර්ටින් වික්‍රමසිංහගේ ‘විරාගය’ට සමකළ හැකි නවකතාවක් තවම පහළ වී නොමැත. ශිල්පීය ධර්මතා අතින් උත්ප්‍රේරණීය තලයකට ප්‍රවේශවූ විරාගය සිංහල නවකතා ක්ෂේත්‍රය නව මඟකට යොමු විය.

නවකතාකරුවා නව මාන ඔස්සේ ස්වකීය විඥානය විහිද විය යුතුය. විශ්ව සාහිත්‍යයට එබී බලා ඒ නවකතා ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමුකොට අපට අනුගත ආකාරයෙන් නවකතා නිර්මාණය කළ යුතුය.

අද්‍යතන අවදියේ නවකතා අප්‍රමාණ වශයෙන් බිහි වුවද ඒ නවකතා නිද්‍රාශීලි සමාජයක් අවදි කරන්නට සමත් වූයේද. විවිධ පැතිකඩාශ්‍රිතව නවකතාකාරයා ස්වකීය විඥානය විහිදුවා යථාර්ථය හෙළි කිරීමට වග බලා ගත යුතුය.

යන යන තැන සාක්කුවේ රුවාගෙන යන තත්ත්වයක් නවකතාවේ තිබිය යුතුය. යථාර්ථය හෙළි කිරීම මත සහෘදයන් නවකතාකාරයාගේ නිවෙසට පැමිණ බැණ වැදුණු ආකාරයක් ඇතිවිය යුතුය.

රුසියාවේ ෆියදෝර් දොස්තව්ස්කිගේ නිවෙස අසලට ඇවිත් බැන වැදුණේ ඔබ අපගේ චරිතය නවකතාවෙන් හෙළිකොට ඇති නිසාය. බැන වැදුම් සියල්ලම නිහඬව සිනාසෙමින් සිටියේය. නවකතාවෙන් ධ්වනිත විය යුත්තේ මෙයයි.

සමාජ සත්තා යථාර්ථය (Social Reality) නවකතාවෙන් හෙළි විය යුතුය. නවකතාකාරයාට අප්‍රමාණ අත්දැකීම් සමුදායයක් හමුවන්නේය. සූර නවකතාකාරයකුට අත්දැකීම් හෙවත් අනුභූති හෙවත් ධාරණා අවශ්‍ය වන්නේ නැත.

අනුභූති පද්ධතියක් නිර්මාණය කළ හැකිය. සූර නවකතාකාරයාගේ හෝ නවකතාකාරියගේ කාර්යභාරය එයයි.

කෙටිකතාකාරයාගේ කාරිය නවකතාකාරයාගේ කාරියට වඩා ඉතා දුෂ්කර ය. එක්තරා සිද්ධියක් මත කෙටිකතාව නිර්මාණය වන්නේය. සුළු සිද්ධියක් ආශ්‍රයෙන් මුළුමහත් සමාජය අවදි කරන්නට, කම්පාවට පත්කරන්නට සූර කෙටිකතාකාරයාට ශක්තියක්, හැකියාවක් තිබිය යුතුය.

දොස්තව්ස්කිගේ ‘යොත්කෑල්ල’ නමැති කෙටිකතාව සමාජය පුරා මහත් ආන්දෝලනයට කම්පාවට පාත්‍ර වූ කෙටිකතාවකි.

එක්තරා පුද්ගලයෙක් පාරේ යන ගමන් ‘යොත්කෑල්ලක්’ අහුලාගන්නා ලදී. ඔහු පසුපසින් ආ පුද්ගලයකු කියා සිටියේ යොත්කෑල්ලක් නොව මුදල් පසුම්බියක් අහුලාගත් බවයි. මේ සිදුවීම නගරාධිපති දක්වා ගියේය. සත්‍ය වශයෙන්ම ඒ පුද්ගලයා අහුලාගත්තේ මුදල් පසුම්බියක් නොව යොත්කෑල්ලකි. මේ අභූත චෝදනාවෙන් මහත්සේ කම්පාවට පත්වූ පුද්ගලයා දිවියෙන් සමුගත්තේය. සුළු සිද්ධියක් කොරතම් දුරදිග ගියේද. මෙය සූර කෙටිකතාකාරයාගේ කාරියයි.

ලොව දිගම කෙටිකතාව වන්නේ ඇන්ටන් චෙකොෆ්ගේ ‘මහල්ලා සහ මුහුදයි’ (The old man and the Sea) කෙටිකතාකාරයා සහෘදයන් සමඟ ගමන් කරන බවට මෙය කදිම නිදසුනකි.

සාහිත්‍ය කෘති පරිශීලනයෙන්ද, ජනතාව සමඟ එකට එක්වීමෙන් ලබන අත්දැකීම් ආශ්‍රයෙන්ද කාලත්‍රයටම ගැළපෙන කෙටිකතාවක් නිර්මාණය කළ හැකිය.

මාර්ටින් වික්‍රමසිංහගේ ‘උපාසකම්මා’, ‘නියඟයට කිපීම’ නමැති කෙටිකතා සහෘදයන් සමඟය. සහෘදයන් කෙරෙහි වෛචිත්‍රයක් නිර්මාණය කිරීම සූර කෙටිකතාකාරයාගේ හෝ කෙටිකතාකාරියගේ කාර්යයයි.

මේ කෘති පරිශීලනයෙන් අප කෙරෙහි වෛචිත්‍රයක් මැවෙයි. මේ තත්ත්වයට නූතන යුගයේ කෙටිකතා බිහිවී තිබෙන්නේද.

එක පැයකින්, දෙකකින් සාහිත්‍ය නිර්මාණයක් බිහිකළ නොහැකිය. ‘තෝමස් ගාඩිට’ Far from the madding crow නමැති නවකතාව ලියන්නට වසර 14ක් පමණ කාලයක් ගතවී ඇතැයි අනාවරණය වෙයි.

එක රැයකින් නවකතාවක්, කෙටිකතාවක් ලියන්නට බැරිය. ඒ සඳහා දිගු කාලයක් කල්පනාව යෙදවිය යුතුය. විශ්ව සාහිත්‍යයේ සම්භාවනාවට පාත්‍ර වූ නවකතා - කෙටිකතා ලියන්නට බොහෝ කාලයක් ගත වී ඇත.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ මෙවන් තත්ත්වයක් මතුවන්නට නිර්මාණකරුවන් ස්වකීය දිවිය කැප කළ යුතුය. විෂය ඥානය, පරිචය, ප්‍රාගුන්‍ය, භාෂා ඥානය, අනුභූති සමුදාය නිර්මාණකරුවාට අනවරතයෙන්ම, නිරන්තරයෙන්ම අවශ්‍ය වෙයි. සහෘදයන් සමඟ සමාජ ගමන් මඟ පෙරට ගෙන යන්නට නිර්මාණ ක්ෂේත්‍රය අතිශයින්ම බලපාන්නේ ය.

හද බැඳි නවකතාවක්, කෙටිකතාවක්, කවියක් අපට පරිශීලනය කරන්නට අපහසු තත්ත්වයක් උදා වී ඇත. නිර්මාණකරුවා යා යුතු නිම්නයාර්ථ භූමිකාව කෙරෙහි අවධානය යොමුකළ යුතුය.

ජනකවිය කොතරම් රස පූර්ණ, අර්ථ පූර්ණ, භාව පූර්ණ ද. අද්‍යතන අවදියේ එවන් කව් කෝ.

 

බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට

මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට

ගන්දෝ - නොගන්දෝ තියලා සිතුණි මට

මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

 

මේ ජනකවිය කොතරම් භාව පූර්ණද. නිදහස් - නිසඳැස් - හයිකු කවිවල මේ ස්වරූපය ගැබ්වී තිබේ ද? නැත යන්නයි එක හෙළාම කිව යුත්තේ. රසෝද්ගත භාවයෙන් උපලක්ෂිත නිර්මාණය තුන් කල්හිම සහෘදයන් සමඟය.

යහපත් සමාජයක් නිර්මාණය කරන්නට සාහිත්‍ය නිර්මාණය ප්‍රබල කඩඉමකි. මේ ස්වරූපය නිර්මාණකරුවා තරයේ අවබෝධ කොට ගත යුතුය. මිනිසා කෙරෙහි සංවේදි මනසක් ජනිත කරන්නට නිර්මාණය අතිශයින්ම අනුබලයකි. කෘතිය සමාරම්භයේ පටන් සමාප්තිය තෙක් අඛණ්ඩවම පරිශීලනය කරන්නට නිර්මාණය සමත් විය යුතුය.

නූතනයේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය කෙරෙහි පුළුල් වූ දෘෂ්ටියක පිහිටා සමාජාභිවර්ධනයට බලපාන සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමට වගබලා ගත යුතුය.

හැඩි දැඩි මනස සමනය කරන්නට බලපාන්නේ සාහිත්‍ය නිර්මාණයයි. විෂයාත්මක භාවයෙන් උපයුක්ත නිර්මාණ පරිශ්‍රය මත රැ‍ඳෙන සහෘදයන්ගේ දිවිමඟ සරු මඟකට ද පිවිසෙන්නේය.

මේ යථාර්ථයද නිර්මාණකරුවා තේරුම්ගත යුතුය. රසඥතාවෙන් නිර්මිත නිර්මාණ අහේනියක් අද්‍යතන අවදියේ පවතින්නේය. විචාරාක්ෂිය මේ කෙරෙහි අවධානය යොමුකරන බවක් නොපෙනේ. තුලනාත්මක විචාර භූමිකාවක් නොමැති වීම මත ගත - සිත - මනස සනසන නිර්මාණවල ඌනතාවක් දක්නට ලැබේ.

කොතරම් සාහිත්‍ය නිර්මාණ බිහිවූවක් ඒ ආශ්‍රයෙන් රසෝද්ගතභාවයක් ධ්වනිත නොවන්නේනම් එම නිර්මාණවලින් ඵලක් නොමැත. සහෘදයාත් නිර්මාණකරුවාත් අතර ඇත්තේ සමගාමී තත්ත්වයකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.