පිළිකාව ගැන ජනතාව දැනුවත් කරන්න “පිළිකා දිනුවන්ගේ සහයෝගිතා ජාලය“ ඇරැඹේ

ශ්‍රී ලංකාව මේ වනවිට පිළිකා ‍රෝගයෙන් පෙළෙන රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත්වන රටක් බවට පත්වී තිබේ. මේ අන්දමට පිළිකා රෝගයෙන් පෙළෙන පිරිස් ඉහළයෑමට ප්‍රධානම හේතුව මේ රෝගයේ ආරම්භක අවස්ථාව පිළිබඳව රටවැසි ජනතාවගේ දැනුම, අවබෝධය අල්පවීමය.

බෝ නොවන රෝග ගණයට ගැනෙන පිළිකා රෝගය වැළැඳුණු විට එය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට අප සමත් වුවහොත් බෙහෙත් කර රෝගියාගේ ජීවිතයත්, රටේ අතිවිශාල ධනස්කන්ධයකුත් ඉතිරි කරගත හැකිය.

වත්මන් රජය පිළිකා රෝගය මෙරටින් තුරන් කිරීමට පිළිකා රෝගීන්ට අවශ්‍ය මිල අධික ප්‍රතිකාර බෙහෙත් හේත් ලබාදීමට විශාල මුදලක් වැය කරයි. මේසා විශාල මුදලක් වැය කිරීමට සිදුවනුයේ රෝගය උත්සන්න වූ විට ප්‍රතිකාර ලබාගැනීමට බොහෝ රෝගීන් ක්‍රියාකරන බැවිනි. කරුණු එසේ හෙයින් පිළිකා කාරක හටගත් වහාම ඒ පිළිබඳව විමසිලිමත්ව සිට නිසි වෛද්‍ය උපදෙස් ලබාදී මුලින්ම රෝගය මැඬලීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට ජනතාව බලගැන්වීම සිදුකළ යුතුය.

මේ සත් අරමුණින් ‘පිළිකා’ කලින් හැඳිනගෙන ඒවාට නිසි හා ක්‍රමවත් ලෙස බෙහෙත් කිරීමට ජනතාව දැනුවත්කොට, යොමු කිරීමේ අරමුණින් පිළිකා දිනුවන්ගේ සහයෝගිතා ජාලය ජාතික වැඩපිළිවෙළ ආරම්භ කැරිණි.

එම ජාතික වැඩපිළිවෙළ යටතේ පිළිකා රෝගීන් කලින් හඳුනා ගැනීමේ වෛද්‍ය සායන පැවැත්වීම, මුල සිට ක්‍රමවත්ව රෝගය සුවකිරීමට වෛද්‍ය උපදෙස් මත බෙහෙත් ලබාදීම, රටපුරා සෑම ගමක් ගමක් පාසා ගොස් මේ රෝගය වැළැක්වීමට ක්‍රියා කළ යුතු ආකාරය පහදාදීම සිදුකෙරෙනු ඇත.

පිළිකා රෝගය වැළඳුණු බොහෝ දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර කරනු ලබන මහරගම “අපේක්ෂා” රෝහලේ විශේෂඥ වෛද්‍ය කෝසල මුතුකුමාරණ මහතා අප සමඟ සඳහන් කළේ, පිළිකාව ගැන දැනුමක් නොමැතිකම නිසා රටේ ජනතාවගෙන් විශාල පිරිසක් පිළිකා රෝගයට ගොදුරු වන බව සිදුකළ සමීක්ෂණ තොරතුරුවලින් හෙළිවී ඇති බවය. එබැවින් පිළිකාව පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීම වෛද්‍යවරුන්ගේ කාර්යභාරයක් බවද මුතුකුමාරණ මහතා පෙන්වා දුන්නේය.

පොදුවේ සෑම පුරවැසියෙක්ම තමන්ට පිළිකාවක් සෑදීමට ඉඩ තිබේද? වැළඳී තිබේද? යන්න වෛද්‍යවරයකු මාර්ගයෙන් දැනගත යුතුය. ඒ වාගේම එසේ රෝගය වැළඳී ඇත්නම් වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිපැදිය යුතුය. බෙහෙත් ලබාගත යුතුයි. සෑම අයෙක්ම තමන්ට ලැබුණු ජීවිතය පිළිබඳව එහි වටිනාකම පිළිබඳව ඉහළ තක්සේරුවක් ඇති කොටගෙන යහපත් කල්ක්‍රියාවෙන් ජීවත්විය යුතුය. පිළිකාවක් සෑදීමට ලකුණු තිබේදැයි දැන ගැනීමට ලැබුණහොත් වෛද්‍යවරුන් දෙන උපදෙස් අනුව ජීවිතය ගත කළ යුතුය. අද රටේ බොහෝ දෙනෙක් අනවශ්‍ය ආහාරපාන, නිතර දෙවෙලේ ලබාගැනීම නිසා ළෙඩ රෝග හදාගන්නා බව අපට පෙනී යන කරුණකැයිද විශේෂඥ වෛද්‍ය කෝසල මුතුකුමාරණ මහතා සඳහන් කළේය.

පිළිකා දිනූවන්ගේ සහයෝගිතා ජාලයේ සභාපතිනිය මානෙල් අයිලප්පෙරුම මහත්මිය -

“මම මහරගම අපේක්ෂා රෝහලේ සංවර්ධන කමිටුවේ සභාපතිනිය ලෙස අවුරුදු විස්සකට වඩා සේවය කරන කෙනෙක්. මම මේ දිගු සේවා කාලයේදී ලද අත්දැකීමක් තමයි පිළිකා රෝගකාරක ශරීරයේ ඇති වූ අය මුලින්ම හඳුනාගෙන, ඔවුන්ට නිසි ලෙස බෙහෙත් හේත් කළොත් අවසානයේදී ඔවුන්ට විඳින්නට වෙන ඉතා දුක්බර තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්කම තිබෙනවා කියන කරුණ.”

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අරමුදලේ මම කාලයක් සේවය කළා. එහිදී පොදුවේ මහජනතාවගේ සුබසාධනය, සංවර්ධනය ඇතිකිරීමට ක්‍රියා කළ යුත්තේ කෙසේද කියා බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ අත්දැකීම්, පළපුරුද්ද මත එක් කරුණක් තේරුම් ගියා. ඒ තමයි මේ පිළිකා ‍මාරයාගෙන් රටේ ජනතාව බේරා ගැනීමටත්, ඒ සඳහා රජයට සෑම වසරක් වසරක් පාසා වැය කරන්නට වෙන අතිවිශාල ධනස්කන්ධය අඩු කිරීමටත්, එක් දෙයක් කළ යුතු බව. ඒ තමයි, අපි මුලින්ම මේ පිළිකා රෝගය වැළඳුණු විටදීම රෝගීන් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සිදුකළ යුතු බව.

ඒ අනුව රටේ ජනතාවගේ ජීවිත සුවපත් කිරීමටත්, රටේ මුදල් ඉතිරිකිරීමටත් තමයි මේ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළේ.

පිළිකා රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනා රෝගය හට ගැනුණු අවස්ථාවේදීම ඒ පිළිබඳව කරුණු දැන වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර බෙහෙත් ලබාදීමට උනන්දු කරවීම අප ජාලය බිහිකිරීමේ අරමුණයි.

රෝගය උත්සන්න වී අන්තිමට මරණය අභියස ඉතා අසරණව දුක්පීඩා විඳින රෝගීන් සිය ගනණක් අප දැකලා තිබෙනවා. මේ අය තමන්ගේ මුළු වත්කමම රෝගය නිසා නැති කරගෙන සිටිනවා. අන්තිමට මරණ මංචකයේදී දුක් විඳිනවා. පවුලේ ඥාතීන්ට දේහය රැගෙන ගොස් අවමඟුල් කටයුතු සිදුකරන්නටත් ආර්ථික හැකියාවක් නැති තැන් අප දැකලා තිබෙනවා. ඉතාම අසරණ වූ වේලාවක් කාටවත් උදාවෙන්න හොඳ නැහැ. එසේ අවාසනාවන්ත අවස්ථා උදාවූ පිරිස්වලට අපි රෝහල් සංවර්ධන කමිටුවෙන් උදව් කරලා තිබෙනවා.

මේ සේවාවන් සිදුකරන අතරේ තමයි අපට වැටහුණේ පිළිකා රෝගය මේ රටේ අවම කරන්නට යම් තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනෑ කියලා. ඒ අනුව මේ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළේ. අපි ‍ෙම් පුණ්‍ය කටයුත්ත ආරම්භ කළේ මාදිවෙල කෝට්ටේ ඓතිහාසික ඊයම්පෝරුව ගංගාතිලක පුරාණ විහාරස්ථානයේ ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසින්. අමෙරිකාවේ වොෂින්ටන් නුවර ලංකාරාමාධිපති අලුත්නුවර සුමනතිස්ස මහා නාහිමියන්ගේ ආශිර්වාදය මැද විහාරාධිකාරී අලුත්නුවර චන්දිම නාහිමි, එළමල්දෙණියේ ඛේමානන්ද නාහිමි, හම්බගොමුව ධම්මි නාහිමි ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ කටයුත්ත ආරම්භ කළා.

පසුගිය දවසක අපට දැනගන්නට ලැබුණා කොළඹ ප්‍රධාන පාසල් ශිෂ්‍යාවන් 30 අධික පිරිසකට මේ අවාසනාවන්ත පිළිකා වැළඳී තිබෙන බව. අපි වහාම ඔවුන්ව මේ රෝගය පිළිබඳව දැනුවත්කොට ඉතා ඉක්මනින් සුවය ලබාගන්න වැඩපිළිවෙළ සකස් කරමින් පවතිනවා.

අද වනවිට අපේ ආහාර රටාවේ ඇතිවී තිබෙන කෘත්‍රිම රසකාරක යොදා, ඉයුම් පිහුම්කිරීම නිසාත්, වස විස සහිත ආහාර ද්‍රව්‍ය කෑමට ගැනීම නිසාත් පිළිකා රෝගය වැළඳීමට ඇති ඉඩකඩ ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා අපි මුලින්ම නිරෝගී ජනතාවක් බිහිකිරීමට මඟපාදන ආහාර රටා ගැන ජනතාව දැනුවත් කරනවා. ඒ වාගේම වස විස නැති ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට ජනතාවට හැකි වැඩපිළිවෙළක් බිහි කරනවා.

පිළිකා රෝගය වැළඳී සිටින ඉතා අසරණ දුප්පත් පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ජීවන තත්ත්වය නැංවීමට, බෙහෙත් හේත් ගැනීමට අප ඉදිරියේදී උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. පිළිකා රෝගයෙන් වැළැකීම පිළිබඳව පාසල්, මට්ටමට රජ‍ෙය් හා පෞද්ගලික ආයතන මට්ටමට ගොස් ජනතාව දැනුවත් කරන්න අප සූදානම්.

මේ සඳහා මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය, හෙද හෙදියන් ඇතුළු විශාල පිරිසක් අපට උදව් කිරීමට සූදානම්. ඔවුන්ගේ සේවය රටපුරාම ව්‍යාප්ත කිරීමටයි අපේ වෑයම.

උතුරු - නැගෙනහිර දකුණු බටහිර කියා හෝ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියා හෝ කිසිදු බේදයකින් තොරව පොදුවේ මුළු රටේම ජනතාවට සේවය සැපයීම අප ජාලයේ අරමුණයි. පිළිකා රෝගය පිළිබඳව මහජනතාව දැනුවත් කරන වැඩමුළු, වෛද්‍ය සායන, පිළිකා දිනූවන්ගේ කථාවන් ඔබට අප ඉදිරියේදී ලබාදෙන්න සූදානම්. ඒ සේවාවන් අවශ්‍ය ඕනෑම කෙනෙක් සිටීනම් 077-1657376 අමතා විස්තර ලබාගන්න පුළුවන් බව ද සභාපතිනිය කීවාය.

විශේෂඥ වෛද්‍ය චින්තන හපුආරච්චි මහත්මිය, ශල්‍ය වෛද්‍ය මහානාග උඩගල, වෛද්‍ය ඩබ්ලිව්. මීගොඩ, හිටපු විනිසුරු පර්ල් කරල්ලියද්ද, සතොස සභාපති ටී. එම්. කේ. බී. තෙන්නකෝන්, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසන්ත ජයවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය ප්‍රභූන් විශාල පිරිසක් මේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටි බවද මානෙල් අයිලප්පෙරුම මහත්මිය කීවාය.

පිළිකාවෙන් තොර රටක් ගොඩනැඟීමට අපත් දායක වෙමු යන්න අපේ අධිෂ්ඨානය බවට පත්විය යුතු කාලය එළැඹ තිබේ.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.