ගමේ රස කතා

රත්තරංට වැරදුණු දා...

 

1952 වර්ෂයේ ඌව පළාතේ බදුල්ල නගරයට ආසන්න එක්තරා රජයේ කාර්යාලයක සුළු සේවකයකු ලෙස ඔහු සේවය කළේය. කාර්යාලයේ සියලු දෙනා මෙන්ම රාජකාරි කටයුතු සඳහා එහි පැමිණෙන අය ද ඔහු අමතන්නේ “රත්තරං” යන නමිනි. ඉතා සංවේදී පුද්ගලයකු වූ ඔහු තම කාරුණික බව හා ළෙන්ගතුකම කියාපෑමට ඇසුරු කරන සැමට රත්තරං යැයි ඇමතීමට පුරුදුව සිටියේය. ඒ නිසා ඔහු ගැන දන්නා කොයි කවුරුන් ඔහු හැඳින්වූයේ රත්තරං කියාය. කාර්යාලයේ ප්‍රධානියාත් පරිපාලන අංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් හැර ආයතනයේ සෙසු සේවකයෝ මෙම පුද්ගලයාගේ සැබෑ නම නොදනිති. ඔහු කාටත් රත්තරං කියා අමතන බැවින් කවුරුත් ඔහුට රත්තරං කියන්නට හුරු වී සිටියහ. එම ආයතනයේ සේවය ලබා ගැනීමට පැමිණෙන දන්න අඳුනන අයට මෙන්ම නාඳුනන අයට ද ඔහු කතා කළේ ළෙන්ගතුකමින්මය.

“අපේ රත්තරන් සෑර් මොනවද රත්තරන් මගෙන් කෙරෙන්න ඕනෑ?” යැයි ඉතා ගරුසරු ලෙස කතා කරන මෙම සුළු සේවකයා නිසා ඔහු සේවය කළ ආයතනය ද දිනෙන් දිනම මහජනතාව අතර ජනප්‍රිය වන්නට විය.

දිනක් එම ආයතනයට අනුබද්ධ අංශයක සේවය කළ වලව් පෙළැන්තියක උසස් ඉංජිනේරු මහතෙකු හදිසියේම රත්තරංගේ සේවා ස්ථානයට පැමිණියේ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා එහි ප්‍රධානියකු හමුවීමටය. වෙනදා නොදැකපු අමුත්තකු තම ආයතනයේ සිටිනු දුටු රත්තරන් ඉතා ගරුසරු ලෙස ඔහු ළඟට ගොස් “අපේ රත්තරන් සෑර්! අපෙන් සෑර්ට මොනවද කෙරෙන්න ඕනි. කියන්න රත්තරන්” යැයි විමසීය.

රත්තරන්ගේ මෙම සහජ පුරුද්ද ගැන කිසිත් නොදන්නා ඉංජිනේරු මහතාට හොඳටම කේන්ති ගියේය. මේ සුළු සේවකයා තමාට අපහාස කළේ යැයි ඔහු සිතුවේය. ඔහු කොතරම් කෝපාවිෂ්ට වී ද යත් වහා රත්තරන් සේවය කළ ආයතනයේ අංශ ප්‍රධානියාට මේ ගැන පැමිණිලි කළේය. අංශ ප්‍රධානියා මේ අසරණ සේවකයා කාටත් ළෙන්ගතු ලෙස මෙසේ අමතන බව කියා පැහැදිලි කළ ද ඉංජිනේරුවා ඒ බව කිසිසේත් පිළිගන්නේ නැත.

ධනයෙන්, බලයෙන් හා මාන්නයෙන් හිස උදුම්මාගත් මෙම උද්දච්ච ඉංජිනේරුවා එතකින් නොනැවතී පොලීසියට ද ගොස් සුළු සේවකයකු තමාට අපහාස කළේ යැයි පැමිණිල්ලක් කළේය. ඔහුගේ පැමිණිල්ල සටහන් කළ පොලිස් නිලධාරියා පවා රත්තරන්ගේ අවංකකමත් ළෙන්ගතුකමත් හොඳහැටි දැන සිටිය ද ඒ බව පිළිගන්නට පැමිණිලිකරු අකමැති වූයෙන් සියල්ල මේ අසරණ සේවකයාගේ අවාසියට ගොනු වෙමින් නඩුවක් ද පැවැරිණි. දින කිහිපයකට පසු රත්තරන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ලිපියක් ලැබිණි. ඉතා දිළිඳු අයෙකු වූ රත්තරන් තම නි‍ෙවස අසල පදිංචි නීතිඥ මහතෙකු හමුවී තමන්ට සිදුවූ ඇබැද්දිය ගැන පැවැසීය. නීතිඥ මහතා ද මේ රත්තරන් ගැන හොඳටම දනී. කම්පා වී සිටින මේ අසරණ සේවකයා අස්වැසූූ නීතිඥයා නඩුව විභාග කෙරෙන දින උදෑසන තමා හමුවන්නට එන ලෙස දැන්වීය. රත්තරන් ද හරියට නඩුව විමසන දිනයේ උදෙන්ම නීතිඥයා හමුවට ගියේය.

නීති තර්ක මැද රත්තරන්ගේ අපහාස නඩුව පැය ගණනක් තිස්සේ විභාග කෙරිණි.

විවාද උණුසුම් ලෙස පවතිද්දී රත්තරන් විත්ති කූඩුවේ සිටගෙන අන්දමන්ද වූ ලෙස බලා සිටියේ හිස් බැල්මකිනි. හදිසියේම පැමිණිල්ලේ නීතිඥයා විත්තිකරු දෙස බලා “තමා ඒ අවස්ථාවේ මත්පැන් බී සිටියා නේද?” යනුවෙන් අහඹු ලෙස විමසීය. මින් කලබලයට පත් රත්තරන්ට තමා සිටින්නේ අධිකරණයේ බව අමතක වී තිබිණි.

“අනේ නෑ රත්තරන් සෑර් මම ඒ වෙලාවේ බීලා හිටියේ නෑ” යැයි හඬ නඟා කීවේය. යළිත් නීති තර්ක මතු වන්නට විය.

ඒ අතර විනිසුරුතුමා හදිසියේම මෙම විත්තිකරුගෙන් පැනයක් විමසීය. ඔහු ඒ සඳහා උත්තර දුන්නේ කිහිප විටක්ම රත්තරන් යන වචන එකතු කරමිනි. විත්තිකරුගේ සැබෑ තත්ත්වය හඳුනාගත් උගත් විනිසුරුවරයා විත්තිකරුට නඟා තිබූ සියලු චෝදනාවලින් විත්තිකරු නිදහස් කර ඒ බැව් ප්‍රකාශයට පත් කළේය. තමා නිදහස් බව තෝල්ක මුදලි තැන චූදිතයාට පැවැසීය. ඉන් සතුටට පත් විත්තිකරු, “එහෙමයි එහෙමයි මගේ රත්තරන් සෑර් අනේ මට මගෙන් වරදක් වුණානම් සමාවෙන්න රත්තරන්” යැයි කියමින් අධිකරණයේ විනිශ්චය ආසනය දෙසට දෑත් එකතු කර වැන්දේ අධිකරණයේ සිටි කාගේත් මුවඟට සිනා නංවමිනි.

ජයසේන විජේනායක

 

බදුල්ල දිස්ත්‍රික් සමූහ

 

මම වඩිනවා

තිඹිරියාව නමැති පිටිසර ගමේ අප්පුහාමි නමින් සැදැහැවත් උපාසක මහතෙක් සිටියේය. ඔහු ගමේ පන්සලට සතර පෝයටම සිල් සමාදම් වීමට ගියේය. විහාරාධිපති හිමියන් සමීපව ඇසුරු කළේය. පන්සලේ අභිවෘද්ධිය ගැන නිතරම කතාබහ කෙළේය. ඒ අනුව ධර්ම දේශනා පැවැත්වීම, බෝධි පූජා පැවැත්වීම, කඨින පින්කම් පැවැත්වීම, ශීල භාවනා වැඩ සටහන් පැවැත්වීම, ශ්‍රමදාන පැවැත්වීම ආදි කරුණු ක්‍රියාවට නැංවීමට විහාරාධිපති හිමියන් සමඟ සැලසුම් සකස් කළේය.

පන්සල සමඟ පැවැති සමීප ආශ්‍රය නිසා අප්පුහාමි උපාසක මහතාගේ මුවින් නිතරම පිටවුණේ අවසරයි, හාමුදුරුවනේ, එහෙමයි, ස්වාමින් වහන්ස, සැතපෙනවා, අමදිනවා, වඩිනවා යන වචනය.

පන්සලට ගිය දිනයක සවස විහාරාධිපති හිමියන් සමඟ ආගමික වැඩ සටහන් සාකච්ඡා කර අප්පුහාමි උපාසක මහතා නි‍ෙවස කරා ඒමට සූදානම් වී හිමියන් නමැද මඳක් කලබලයෙන් මෙසේ පැවැසීය. “අපේ හාමුදුරුවනේ හෙටත් පන්සලට වඩින්නන්, තව දේවල් සාකච්ඡා කරන්න තියනවා. මට අවසරයි. දැන් මම වඩිනවා” අපේ උපාසක අම්මා මඟ බලාගෙන ඇති. පරක්කු වුණා.

එන්නම් කීම වෙනුවට වඩින්නන් කීමත්, යනවා කීම වෙනුවට වඩිනවා කීමත් අසා විහාරාධිපති හිමියන්ට සිනා ගියත් කිසිවක් කීවේ නැත.

ඒ. ඇම්. නවරත්න බණ්ඩා
නිකවැරටිය

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.