නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

රතු මල්

මිදුල කොනේ ඇති මල් ගසේ රතු පාට මල් පොකුරු පිපී සුළ‍ඟේ නැළවෙයි. මම ඒ දෙස බලා සිටියෙමි.

මගේ මතකය අවදි වෙයි.

ඒ අප පාසලේ තෙවන වාරයේ අවසාන දිනයයි.

පාසල නිම වීමට තිබුණේ කෙටි කාලයකි.

වසරක් මගේ පන්තියේ අකුරු කළ දියණිවරු මගෙන් සමුගෙන යෑමට පෙළ ගැසී සිටිය හ. පුංචි තෑග්ගක් ද අතැතිව ඔවුන් හෙමිහිට කතා කරමින් සිටියේ මා හිස ඔසවා බලනතුරු ය. ඔවුන් ගේ හුරතල් හිනා හඬත් කතා බහත් තවදුරටත් අසා සිටින්නට ආසා සිතුණු’මුත් මගේ හිස එසැවුණේ ඉබේම ය. එසැණ ඔවුහු ඉදිරියට ඇදී ආහ.

සැබැවින් ම පුංචි උන්ගෙන් තෑගි ගන්නට මා කැමති නැත. එහෙත් ඒ හුරතල් මූණු දෙස බලා ඒවා එපා යැයි කිව හැක්කේ කාටද? දැරියන් සිය ත්‍යාගය දෝතින් ම දී මට දණ නමා වැඳ වැටෙද්දී මම ඔවුනගේ හිස පිරිමැද ආසිරි පැතුවෙමි.

දනුෂි සිටියේ පෝලිමේ අවසානයේ ය. ඈ අත රතු මල් පොකුරු කිහිපයක් සහ මල් පැළයක් විය.

ඈ දෙනුවනින් මුතු කැට වන් කඳුළු වැටෙමින් තිබිණ.

‘මිස්, මේ මල් පැළේ හැදිල මල් පිපෙනකොට මිස්ට මාව මතක්වෙයි නේද?’ ඇය හීන් හඬින් ඇසුවා ය.

‘හැමදාම මට ඔයාව මතකයි දුවේ. මේසෙ උඩ තියන මල් පෝච්චිය හැඩ කළෙත් ඔයානෙ’

‘අනේ මිස් මාත් හැමදාම හිතුවෙ පන්තියෙ අනිත් අය වාගෙ තෑග්ගක් දෙන්ඩ. ඒත් මට...’

ඇය මට තිළිණය පිරිනමා හඬන්නට වූවා ය.

‘මට ‍මොකවත් ඕන්නෑ දනුෂි. ඔයා හොඳට ඉගෙනගන්ඩ! අදින් පස්සෙ අලුත් පන්තියට ගියාට මොනව හරි අහගන්ඩ ඕනැ නං ඕනැ වෙලාවක මං ගාවට එන්ඩ! කොහොමත් ඔයා ඉගෙන ගන්ඩ ආස ළමේක්නෙ’ මම ඇගේ හිස අතගෑවෙමි.

‘හොඳයි මිස්’ ඇය මට වැඳ සමුගෙන ගියා ය.

ඒ අතීත සිතුව ම එතැනින් නිමා වන විට තවත් එබඳුම සිතුවමක් හිතේ ඇඳී ගියේ ය.

එදින ද මා පන්තියට ගිය විට දැරියෝ සියලු දෙන එකවර නැගිට ආයුබෝවන් කී හ. දනුෂි වහා හිඳ ඩෙස්එකෙහි හිස ඔබා ගත්තා ය. ඇය හඬන බව මට වැටහිණ.

මම පන්ති නායිකාව කැඳවා දනුෂිගේ හැඬීමට හේතුව විමසීමි.

‘මිස් එයාට ගණන් මිස් ගැහුවා. පව්’

‘ඒ ඇයි?’

‘එයා ගෙදර වැඩ කරල තිබුණේ නෑ’

‘දැන් සිංහල පාඩමට ලෑස්ති වෙමු යි’

කියමින් මම පන්තිය දෙස බැලීමි.

‘ඉස්සෙල්ල ම කවි පාඩම් ගම්මු මිස්’ යැයි පන්ති නායිකාව කියද්දී මම “හැමෝටම පාඩම් පොතේ කවි දෙක පාඩම් දැ’යි ඇසීමි.

‘ඔව් මිස්’ ළමයි කියන්නට වූහ.

‘මටත් පාඩම්’ දනුෂි ළඟ සිටි මිතුරියට හෙමිහිට එසේ කියනු ද මට ඇසිණ.

‘ගෙදර වැඩ අභ්‍යාසයක් ලියන්න දීල තියනව නේද? පේළියෙන් පේළිය පොත් එකතු කරල මේසෙ උඩින් තියන්න’ මම පන්ති නායිකාවට කීමි.

හැම සිසු දියණියක ම කවි පාඩම් කර තිබීම මගේ සතුටට හේතු විය. මම ඒ ගැන හැමෝට ම ප්‍රශංසා කළෙමි.

ගෙදර වැඩ පොත් මා අසල තබමින් පන්ති නායිකාව මට රහසක් කීවා ය.

‘පව් මිස් දනුෂි ගෙදර වැඩ කරල නෑ’

‘ඒ මොකද?’

‘දන්නෙ නෑ’

මේ කතාව ඇසී දනුෂි ද මා අසලට ළං වූවා ය.

‘ඇයි ළමයො අභ්‍යාස කළේ නැත්තෙ?’

‘අනේ මිස්, මං හැමදාම ගෙදර වැඩ කරන්ඩ ගන්න කොට වෙන වැඩක් කරන්ඩ කියල අම්ම බණිනවා. ඊයෙත් මං ගණං හදනකොට අම්ම මල්ලිවත් වඩාගෙන මං ගාවට ඇවිත් ‘ඔය කුරුටුගෑම නවත්තල මේ දරුව බලාගනිං’ කිව්ව. මං ටිකක් පරක්කු කරනකොට ‘නැගිටපං මේ දරුව ගනිං’ කියල මට හයියෙ’ පාරකුත් ගැහුව... මං මල්ලිව වඩාගෙන ඉන්න ගමන් සැරිස් සැරේ පොත බලල කවි පාඩම් කර ගත්ත. ඒත් ලියන වැඩ එකක්වත් කරගන්ඩ බැරි වුණා. ගණං හදන්ඩ බැරි වුණ හින්ද ගණිත මිස්ගෙනුත් ගුටි කෑව.’

මම ඇයට ‍පිළියමක් යෝජනා කළෙමි.

‘දනුෂි, මීට පස්සෙ ඉස්කෝලෙ ඇරුණම පන්තියෙ ම නැවතිල ඉඳල ගෙදර වැඩ ටික ඉවර කර ගන්ඩ. ළමයි ගියාට කමක් නෑ. ඔයා වැඩ කරන කල් මං ඉන්නම්.’

‘හොඳයි මිස් මං එහෙම කරන්නං’

එතැන් සිට දෙසතියක පමණ කාලයක් ඇය ඒ අනුව ම වැඩ කළා ය. කඩිනමින් වැඩ ටික කරගත් ඇය ඒ වෙනුවෙන් ගත කළේ පැයකටත් අඩු කාලයකි. එහෙත් ඊට පසු සතියේ පාසල් ඇරුණ විට ඇය ගෙදර යෑමට සූදානම් වූවා ය.

‘ඇයි දනුෂි අද ගෙදර වැඩ කරන්නැද්ද?’

‘මිස් මං ඒව ඉන්ටර්වල් එකෙදි කරගත්ත’

‘ඔක්කොම?’

‘ටිකක් ඉතුරු වුණා. ඒක පස්සෙ කරගන්නව’

‘ඒ ටික දැන් ම කර ගන්ඩ! මං ඉන්නවනෙ’

‘අනේ බෑ මිස් හැමදාම මිස්ට කරදර කරන්ඩ!’

‘මට කිසි කරදරයක් නෑ. ඔයා වැඩ ටික කර ගන්ඩ! ගෙදරදි ඔයාට හිරිහැරයිනෙ.’

මගේ කීමට එදින ඇය නැවතී වැඩ කළේ අවසන් වතාවට ය. ඊළඟ දිනයේ ඇය නොසැලෙන තීරණයක් ගත්තා ය.

‘මට බෑ හැමදාම මිස්ට කරදර කරන්ඩ!’

ඇය ගියා ය. එහෙත් එතැන් පටන් ගෙදර වැඩ නොකර දඬුවම් ලැබුවේ නම් නැත.

ඒ සිතුවිල්ල එතැනින් නිමා වන විට තවත් සිතුවිල්ලක් ආයේ ය.

දෙවන වාරයේ දින කිහිපයක් ම දනුෂි පාසල් නොආවා ය.

‘අනේ මිස් දනුෂිට අම්ම ගිනි පෙණෙල්ලකින් ගහල! අතයි කකුලයි පිච්චිලා!’ පන්ති නායිකාව ආරංචියක් රැගෙන ආවා ය.

‘හුඟක් පිච්චිල ද?’

‘නෑ. මං ඊයෙ එයාව බලන්ඩ ගියා. අපේ ගෙවල් කිට්ටුවනෙ ඉන්නෙ. තාම අතේ තුවාල හොඳ වෙලා නෑ. කකුල නම් ටිකක් හොඳයි”

‘ඇයි එයාට එහෙම ගහල තියෙන්නෙ?’

‘එයා මල්ලි වඩාගෙන තේ බොනකොට මල්ලි තේ කෝප්පෙට ගැහුව ම ඒක බිම වැටිල බිඳිල. මල්ලිත් බයවෙලා හයියෙන් අඬනකොට අම්ම කුස්සියෙ ඉඳං ඇවිත් එතන සුද්ද කරන්ඩ කියල තමයි ගිනි පෙණෙල්ලෙං ගහල ත‍ියෙන්නෙ. ඊට පස්සෙ එයාගෙ නැන්ද ඇවිත් අතටයි, කකුලටයි බේත් දැම්මලු. අල්ලපු ගෙදරනෙ නැන්ද ඉන්නෙ’

‘නැන්දවත් ළඟ ඉන්න එක දනුෂිට කොච්චර දෙයක්ද!’

දනුෂිගේ අම්මා සම්බන්ධයෙන් මගේ හිතේ පැළපදියම් වූ ප්‍රශ්නය පන්තියේ ළමයින් අතරට නොයැවීමට මම පරිස්සම් වීමි. පන්ති රැස්වීම්වලට ද ඇගේ මාපියෝ නොආහ.

දනුෂිට සතුට දනවන එකම දෙය පාසල් පැමිණීම හා පන්තියේ වැඩ කිරීම බව වෙනත් ගුරුවරු ද දැන සිටිය හ.

ඔවුන්ගේ ඇතැම් කතා මට ද ඇසී ඇත.

‘අර බලන්ඩකො දනුෂිගෙ සන්තෝසෙ. තරග දුවන්නෙ ගානක් නැතුව හිනාවෙවී.’

‘ඒ ළමය ඉස්කෝලෙ වැඩට උනන්දුයි. හැම වැඩේ ම හොඳට කරනව.’

‘ඒ වුණාට ගෙදරදි නං කතා කරන්නෙත් නෑ. මං නැවතිලා ඉන්න ගෙදරට එහා ගෙදරනෙ ඉන්නෙ. නිතර ම බයෙන් බයෙන් වැඩ කරනව වගෙයි පේන්නෙ. ගුටිකාල අඬනවත් ඇහෙනව. පව් අහිංසක ළමයෙක්!’

‘මට නං හිතෙන්නෙ ඒ ළමයගෙ අම්ම ගැන ප්‍රශ්නයක් තියනව කියල’

‘වෙන්ඩ ඇති. මං නැවතිලා ඉන්න ගෙදර අයත් එහෙම කියනව මට ඇහිල තියනව’

දනුෂි පාසල් නොපැමිණි තවත් දිනෙක ඈ ගැන විමසූ විට පන්ති නායිකාව මට මෙසේ කීවාය.

‘.... මොනව හරි වැඩකට අම්ම එයාව ගෙදර නවත්ත ගන්ඩ ඇති මිස්. එයාගෙ තාත්ත වැඩිය කරන්නෙ රෑ වැඩනෙ. තාම ඇවිත් නැතුව ඇති.’

‘එහෙමද?’

‘අපේ අම්මල නං කියන්නෙ මිස් ගෙදර ඉන්නෙ එයාගෙ ඇත්ත අම්ම නෙමෙයි කියල.’

‘ඇත්තද?’

කාලය ගෙවී ගියේ ය.

දනුෂි සා පෙළට පෙනී සිටිය දී මම ගුරු සේවාවෙන් සමුගතිමි.

ප්‍රතිඵල ආ කල සිසු දරුවන්ගේ සමත්කම් දැන ගනු පිණිස මම පාසලට ගියෙමි.

දනුෂි මා ළඟට ආවේ සිනාසෙමිනි.

‘මිස් මං පාස්! ගණංවලට A. අනික් වැඩවලට B’

‘මට හරි සන්තෝසයි දරුවො. උසස් පෙළත් අමාරුවෙන් හරි ඇවිල්ලා කර ගන්ඩ බලන්ඩ. ඔයාට පුළුවං උසස් පෙළත් පාස් වෙන්ඩ’

‘මං කොහොම හරි විභාගෙට ලෑස්ති වෙනව මිස්’

ඉන් පසු ඇය මට හමු වූයේ කලාතුරකිනි.

දිනක් නගරයේදී අපි අහම්බෙන් හමු වීමු.

‘මිස් මං දැන් ඉන්නෙ ආච්චි ළඟ. මොන්ටිසෝරියකත් වැඩ කරනවා’

‘ඇයි ආච්චි ළඟට ආවෙ?’

‘ආච්චි අසනීප නිසයි ආවෙ. ඒ ආපුහම තමයි මොන්ටිසෝරියට කතා කෙරුවෙ’

‘කොහොමද දුවේ උසස් පෙළ ප්‍රතිඵල?’

‘B දෙකයි C දෙකයි!’

‘හොඳයිනෙ. ඔයා පන්ති ගියෙත් නෑනෙ’

‘නෑ මිස්’

‘ඔය හොඳට ම ඇති’

‘කොහොමත් මං විද්‍යාපීඨවලට දාන්ඩයි හිතාගෙන ඉන්නෙ. ආච්චියි මායි අම්ම බලන්ඩත් යන්ඩ ඕනැ. එයාට අසනීපයි කියල තාත්ත ඇවිත් කිව්වා. ඒ ගමන් ම මං මිස්වත් බලන්ඩ එනවා!

‘හොඳයි දුවේ එන්ඩ. අම්මට හුඟක් අසනීපද?’

සමුගැන්මට පෙර ඇය මට දණ නැමුවා ය.

මම ආශිර්වාද කළෙමි.

‘මිස් ඒ මගෙ ඇත්ත අම්ම නෙමෙයි කියල ආච්චි කිව්වා’ ඇය මට හෙමිහිට කීවා ය.

‘ඒකට කමක් නෑ. ඔයා අම්මට සලකන එක පිනක්’

එසේ කියමින් මම ඇගෙන් සමුගතිමි.

විශ්‍රාමලත් ආචාරිනී, කොළොන්නාවේ මාලිනී වීරසේකර මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.