මං ලාබ ප්‍රසි­ද්ධි­යට කැමැති නැති කෙනෙක්

මාලක සමඟ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව මෙතරම් ආන්දෝලනාත්මක වූයේ කුමක් නිසාදැයි නරේන්ද්‍ර සිතුවේ ඥාති මිත්‍රාදීන්ගෙන් එල්ලවන චෝදනා, යෝජනා, උසුළු විසුළු, විමසීම් අනවශ්‍ය පීඩනයක්ව සිත සසල කරවන්නක් වෙන විටය.

විශේෂයෙන් රාජනී මාධවී සොහොයුරියන් දෙදෙනාත් රවිහාරි දියණියත් කෝපව සිටීම මාලක කෙරෙහි ඔහු සිතද කෝපයක් ඇති කිරීමට සමත් විය.

කෝපය සඟවා ගත් ඔහු මිත්‍ර ලීලාවෙන් මාලක නිවෙසට කැඳවා ගත්තේය.

“මන්ත්‍රිතුමා මං පැය බාගෙකට ඇවිත් යන්න එන්නම්.” කී මාලක ඔහු සොයා එන විට ඔහු එදින සැන්දෑවේ කළ යුතුව තිබූ සියලු ගමන් බිමන්වලින් බැහැරව ඔහු එනතුරු පුස්තකාල කාමරයට වී පොතක් පෙරළමින් සිටියේය.

මන්ත්‍රිවරයා තමා සමඟ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් සතුටට පත්ව ඇතැයි සිතමින් පැමිණි මාලක බන්දුල පෙරටු කොටගෙන පුස්තකාල කාමරයට ගියේය.

පළමුව ඔහුට ආගන්තුක සත්කාර ලැබිණි.

“මන්ත්‍රීතුමා මට එන්න කිව්වෙ?” මාලක ඇසුවේ බලාපොරොත්තු සහගතවය.

“එන්න කිව්වෙද... මොනවද මාලක මේ ලියලා තියෙන්නෙ? මට මිනිස්සුන්ට මුහුණ දෙන්න බැහැ. අක්කලා ළමයි ඔක්කොම එකතු වෙලා මට බණිනවා.”

“මොනවා ලිව්වටද මේ චෝදනාව?”

“මං කිව්වද ‘වියපත් පිරිමි සිතක් වුණත් ප්‍රේමය නිසා තුවාල වෙයි’ කියලා?”

“අයියෝ මන්ත්‍රිතුමා ඕක මාධ්‍ය සංදර්ශනයක් නෙ. බලන්න තව සතියකින් දෙකකින් ඔය කතාවට ප්‍රතිචාර ලැබෙන හැටි. තව ජාතික පුවත්පත් දෙකකින් මට කතා කරලා ඇහුවා මේ අදහස ඇතුව ම මන්ත්‍රිතුමාගෙන් සම්මුඛ සාකච්ඡා ගන්න පුළුවන්ද කියලා...”

“මාලක දොඩවන්න එපා. මං නළුවෙක් ද මනුස්සයො මේ වගෙ බහු බූත කතා කරන්න? මං දේශපාලනඥයෙක්.”

“ඉතින් මිනිස්සු දන්නවනෙ මන්ත්‍රිතුමා ඔය දෙගොල්ලො ම එකවගෙයි වෙනසක් නැහැ කියලා. ඔබතුමා ඒක පිළිගන්නවා කියලා රූපවාහිනී සාකච්ඡාවකදි කියලා තියෙනවා.”

“කොල්ලො මේ අහපන්. මං ලාබ ප්‍රසිද්ධියට කැමැති නැති කෙනෙක්.”

මාලකගේ මුවින් උපහාස සිනාවක් මතු විය. දේශපාලනඥයාට චතුර කථිකත්වයක් හෝ වාචාල කතා කීමේ හැකියාවක් තිබිය යුතුය. සත්‍යය බොරු කිරීමට හෝ බොරුව සත්‍යය කිරීමට ඇති හැකියාව ද බොහෝ ප්‍රයෝජන ගෙන දීමට සමත් වෙයි. තීරණ තීන්දු අනුන්ට හෝ තමන්ට වාසිදායක විය යුත්තේ ක්ෂණිකවය. කුප්‍රසිද්ධිය වේවා සුප්‍රසිද්ධිය වේවා දෙයාකාරයම ජනතාවට තමා හඳුනා ගැනීමට ඉඩ අවසර දෙන්නකි. එය පරමාදර්ශී යයි පෙන්වීමට ප්‍රතිරූප ගොඩනගා ගැනී‍මේ එක් ශූර උපාය මාර්ගයකි. දේශපාලනඥයෙකුට වඩාත් ලාබ ගෙන දෙන්නේ බොරුවේ බර විසිනි. මේ සියල්ලෙන් බැහැර වීම දේශපාලනඥයෙකු නොවි සිටීමේ සුදුසුකම්ය. මාලක සිතුවේ නරේන්ද්‍ර දෙස කල්පනා දෙනෙතින් බලමිනි.

“මාලක මාව නැති කරලා තියෙන්නෙ මේ පොල් ගෙඩි අකුරුවලින් දාලා තියෙන මුස්පේන්තු කතාවනෙ?”

“ගණන් ගන්න එපා. අපේ ලොක්කා මන්ත්‍රිතුමාගෙ යාළුවෙක්නෙ... එයා තමා හෙඩිං එක දාන්නෙ.”

“මොකක්? අමරරත්නගෙ වැඩක් ද මේ?”

“නැතුව. ඒත් මන්ත්‍රිතුමා මේ ගැන කලබල වෙන්න එපා. මොන දේශපාලනඥයද තමන්ගෙ හෘදය සාක්ෂියට එකඟව මේ වගෙ කතා කරන්නෙ... ඔබතුමා ඇරෙන්න.”

“මනුස්සයො, මේ අහගන්නවා. අපි පාර්ලිමේන්තුවට ඇතුළු වෙන්නෙ වෙන මිනිස්සු වගේ අත්බෑග් ලට්ට ලොට්ට ජංගමයා ආරක්ෂක අංශෙට බාර දීලා නෙමේ. හෘද සාක්ෂිය අපි ම ගලවලා රාක්කෙකට දාලා. දැන් ගිහින් මේකත් ලියාපන්. පිස්සා.... උඹලට මං හින්ද ම හොඳයි.”

“මන්ත්‍රිතුමා හොඳ හින්දා තමා පත්තර වුණත් ඔබතුමාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්නෙ.”

“ඇති ඇති. ඔය දීලා තියෙන සහයෝගෙ හොඳට ම ඇති. රවිහාරි අන්න උඹට බණිනවා. අහුවුණොත් පතුරු ගහනවලු.”

මාලක ආපසු ගියේ නරේන්ද්‍ර කෙරෙහි නොසතුටු සිතකින් නොවේ. පුවත්වලටත් විද්යුත් මාධ්‍යවටලත් අනුව මේ මන්ත්‍රිවරයාගේ මුවින් පිටවන වදන් තුළ සැඟවුණ අර්ථය කටුක සත්‍යයක් මතු කර දෙන්නකි. සත්‍යය හැම විටම අමිහිරිය, කටුකය.

ඔහු තේරුම් ගත් පරිදි ප්‍රධාන කතුවරයා මෙවන් මාතෘකාවක් පුවත්පත් සාකච්ඡාවේ ඉහළින් ම තැබුවේ වැඩි පාඨක අවධානයට යොමු කරවීමටය.

ප්‍රේමය ආදරය ආලය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමේ පරම හිමිකම ඇත්තේ තරුණ පරපුරට පමණක් නොවේ යයි පවසන ප්‍රධාන කතුවරයා ද මනුෂ්‍ය නිදහස පිළිබඳ ගැඹුරු අර්ථ කථන දෙන්නෙකැයි මාලකගේ පිළිගැනීමක් ඇත. ප්‍රේමයේ ක්‍රෑරභාවය වියපත් සිතකට වුණත් දුක වේදනාව ශෝකය ගෙන දීම පුදුමයක් වන්නේ කෙසේද?

*************

පුවත්පතක ප්‍රධාන කතුවරයා වූ මිත්‍ර අමරරත්න ගේ ශීර්ෂ පාඨය තම කැලඹීමකට පත් කර ඇත්තේ ඉන් නැගෙන ඥාති විරෝධය නිසා නොව තමා පිළිබඳව තමා තුළ ම උපන් සියුම් ලජ්ජාවක් සහ වේදනාවක් නිසා යැයි නොසිතා සිටීමට නරේන්ද්‍ර සමත් වූයේ නැත.

ඔහු වඩාත් විපිළිසර වූයේ නේෂන් වෛද්‍යවරයා ද මේ පිළිබඳ ඔහුගෙන් අසා සිටීමෙන් අනතුරුවය.

“රෝජා තමා මටත් පත්තරේ පෙන්නුවෙ.” නේෂන් කීවේ මඳ සිනාවක් පාමිනි.

“ඒ ළමයත් මට බණිනවද?”

“නෑ. එයාට ඕනලු න‍ෙර්න් මාමා මුණගැහිලා කතා කරන්න. එයාට දුකයි. මගේ දරුවා හින්දා කියනවා නෙමේ. එයා හරියට උත්සාහ කරනවා මිනිස්සුන්ගෙ හිත් තේරුම් ගන්න. ටිකක් ආඩම්බර වුණාට හුඟක් සංවේදියි. කාගෙ හරි දුකක් එයාට එයාගෙ දුකක්. එහෙම හිතන එක එච්චර හොඳ නැහැ. ඒත් ඉතින් මං මොනවා කරන්නද? එයාගෙ හැටි.”

“මං එන්නම් දෝණි මුණ ගැහෙන්න. මටත් සැහැල්ලුවක් ද‍ැනේවි නිදහසේ ටිකක් කතා කළොත්.”

ඉන් අනතුරුව දෙසතියක් ගෙවී ගියේ නරේන්ද්‍රට බෙහෙවින් කාර්ය බහුලවය. විවිධාකාර ලෙසින් පහළ වන පක්ෂ අතර ගැටුම් වාද විවාද, විවේචන දෝෂාරෝපණ මෙන් ම පක්ෂ තුළ හට ගන්නා කෝන්තර අවලාද ඔහු වෙහෙසට පත් කරවන සිදුවීම් සහ කතා විය. අවසානයේ ඔහුගේ සිත නොඉවසිල්ලෙන් බලාපොරොත්තු වූ මොහොත පැමිණියේය.

එදින නේෂන් වෛද්‍යවරයාට ශල්‍යකර්ම දෙකක නිරත වීමට සිදු විය. ඔහු රෝහලට ගියේ දියණිය නරේන්ද්‍රගේ නිවෙසට කැඳවා ගෙන ගොස් අනතුරුවය.

ස්වකීය මවුපියන්ගේ මාතෘ භූමියේ පරිසරය දියණියට ද සොඳුරු යහපතක් වී ඇතැයි ඇය දුටු සැණින් නරේන්ද්‍රට සිතිණි.

නේෂන් වෛද්‍යවරයා පැවසූ පරිදි ම ඇගේ නිල් පැහැති දෙනෙත් කරුණාවේ උල්පතක් සේද අනුකම්පාව උතුරුවන අයුරින් ද නිර්මාණය වී ඇතැයි ඔහු සිත උපන්නේ මහත් සතුටකි.

“දෝණි තාම රක්ෂාවකට යන්න හිතුවෙ නැද්ද?”

උදෑසන තේ පානය කරමින් සිටියදී නරේන්ද්‍ර ඇසුවේය.

“රුක්නාද් මන්ත්‍රිතුමා තාත්තට කියලා තියෙනවා එයාට පුළුවන් කියලා ප්‍රංස තානාපති කාර්යාලෙ හරි, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලෙ හරි හොඳ රක්ෂාවකට දාන්න. තාත්තා ඒකට කැමතිය. මං තාම මොකුත් කිව්වෙ නැහැ.”

“ඇයි ඒ?”

“මං උපාධිය කළේ ජාත්‍යන්තර සම්බන්ධතා ගැන. හොඳ තනතුරකට යන්න පුළුවන්. ඒත් මට හිතෙනවා ජීවත් වෙන්න තරම් සල්ලි තිබුණ ම ඇති කියලා...”

නරේන්ද්‍ර තිගැස්සුණේය. මුදල් අවශ්‍ය ජීවත් වීමට මිස ජීවිතය අවශ්‍ය මුදලට නොවේ යයි ගැහැනියකගේ හඬ ගෑමක් තම හදවත පත්ලෙන් මතුවන්නට වැර දරන බවක් ඔහුට දැනෙන්නට විය.

නරේන්ද්‍රගේ මුහුණින් මතු වී තිගැස්මත් අඳුරත් රෝජා සඳපාණි දුටුවාය. ඇය ඔහු දෙස බලා සිටි‍යේ ඇස පිය නොහෙළන දෙනෙතිනි.

“ඇයි දෝණී?”

“නරේන් මාමා එකපාරට ම වෙනස් වුණා. හැම වෙලේ ම ගැස්සෙනවා.. මූණ කළු වෙනවා. ඇයි ඒ?”

“මං පුංචි කාලෙ මාව බලාගත්ත කිරිමැණිකෙ නැන්දට හරි ම බයයිලු. එයා නිතර ම මට සැර කරනවලු. දැනුත් කවුරු හරි ටිකක් හයියෙන් කතා කළත් මාව ගැස්සෙනවා.”

රෝජා සඳපාණිගේ සිහින් උපහාස සිනාව සෙමෙන් මුව පුරා පැතිරී ගියේය.

“ඇයි දෝණි ඔය විදිහට හිනාවෙන්නෙ?”

“නරේන් මාමා හරියට බොරු කියනවා. මං කොහොමටවත් හයියෙන් කතා කරන්නෙ නැහැ. දැන් කතා කළෙත් නැහැ.”

“මං බොරු කියනවා?”

“ඔව්. මට එතකොට ලජ්ජා හිතෙනවා. නරේන් මාමා ගැන අනුකම්පාවක් වගේ ම දුකත් හිතෙනවා.”

නරේන්ද්‍ර සුසුමක් හෙළුවේය. ඔහු දෙවැනි තේ කෝප්පයට තේ බිඳක් දමා මුවට ළං කර ගත්තේ රෝජා සඳපාණිගේ චෝදනාව මඟ හැරීමටය. එය මඟ හැරීම අපහසුය. අතීත ගැහැනියක තමා පවසන සියලු බොරු මුසාවාද කෙරෙහි අනුකම්පාව දැක්වූ සැටි එයින් ශෝකයට පත්ව නොහෙළෙන කඳුළු දෙනෙතේ සිර කර ගත් සැටි අමතක කළ නොහැකි දඬුවමකි. බොරු ඉවසා සිටීමට ඇය හුරු පුරුදු වූයේ කෙසේද?

“දෝණි අපි යමු මිදුලෙ ගස් හෙවණට. තව ටිකකින් රවිහාරි එයි. අපි එයා එනකං කතා කරමු. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. හැබැයි මේ අපි දෙන්නගෙ රහසක්.”

“නරේන් මාමා ඕන දෙයක් කියන්න. මං ඒවා කාටවත් කියන්නෙ නැහැ. තාත්තා ඇහුවොත් පුතා නරේන් මාමා එක්ක මොනවද කතා කළේ කියලා.”

“ගහ කොළ තුරුලතා ගැන, ගංගා ඇළ දොළ ගැන, සතා සිව්පාවා ගැන කතා කළා කියන්නකො.”

රෝජා සඳපාණි මුවින් සොඳුරු ළමා සිනාවක් මතු විය.

“මගේ තාත්තත් නරේන් මාමා කියන ඔය දේවල් ගැන කතා කරන්න හරි කැමතියිනෙ.”

තරුණිය මිදුල කෙළවර ලිය ගොමුවක් වන් තුරු සෙවණ යටට නරේන්ද්‍ර පසු පසින් පියවර තැබුවේ මිදුල සිසාරා බැල්මක් හෙළමිනි. නිලන්ත රෝස යායට වතුර දමමින් සිටිනු දුටු ඇය ඔහු අසල මඳක් නැවතුණාය.

“නිලන්ත නේද නම?”

ඇය ඇසුවේ මුදු කාරුණික හඬකිනි. නිලන්ත වතුර විදුම මොහොතකට නවතා ඇය වෙතට හැරුණේය.

“රාජඍෂි සර් කිව්වා මැඩම්ට මේ රෝස අතු ටිකක් හදලා දෙන්න. මල් පෝච්චිත් ගෙනාවා. අපේ ලොකු සර් පිටරට ගිහින් ඉගෙනගෙන තියෙන්නෙත් මල් වවන්නනෙ.”

නිලන්ත කීවේ නම ගැන නොව මල් ගැනය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.