මිහි­ත­ලය සුරැ­කී­මට දායක නොවු­ණොත් ඉන්න හිටින්න තැනක් නැති­වේවි

(අප්‍රේල් 22 ජගත් මිහිතල දිනය වෙනුවෙනි)

සිංහල අලුත් අවුරුද්ද අවසන් වන මේ වකවානුවේ අවුරුද්දෙන් පසු මේ පොළොවේ පය ගසා ජීවත්වෙන්නේ කෙසේද කියා අපි අවධානය යොමු කළ යුතු වෙමු.

මෙය තවත් සරලව කීවොත් තර්ජන රැසක් ඇති අපේ මිහිතලය සුරැකීමට අප අපට කළ හැකි දේ ගත හැකි පියවර ගත යුතු කාලය එළඹ තිබේ. ඒ ඒ සඳහා ලොවට අවධානය යොමු කරන ජගත් මිහිතල දිනය ද 22 වැනිදාට යෙදී තිබේ.

1970 සිටම මුළු ලොවට මේ ජගත් මිහිතල දිනය සමරනු ලැබේ. මුළු මිහිතලය සුරැකීම ලෝකයට පොදුවේත් අප රටට විශේෂයෙනුත් අතිශය වැදගත් කරුණකි. දේශගුණ විපර්යාස හා ලොව උණුසුම්වීම හමුවේ දූපත් රාජ්‍යයක් වන අපට අපේ රට සුරැකීමට රට වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග රැසකි.

අපේ රටේ වර්ග ඵලය සුරැකීමට මුලින් ම පියවර ගත යුතු ය. ඒ සඳහා කළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ මුහුදු ඛාදනය වැළැක්වීම හා සුනාමි වැනි අනතුරුවලින් රටේ වෙරළ විනාශවීම වැළැක්වීමයි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. මෙම දෙපාර්තමේන්තුව මඟින් රුපියල් කෝටි 10ක වියදමින් නැඟෙනහිර පළාතේ ක්‍රියාත්මක සහභාගිත්ව වෙරළ කලාප ප්‍රතිෂ්ඨාපන හා තිරසර කළමනාකරණ ව්‍යාපෘති මඟින් නැගෙනහිර වෙරළ සුරැකීමට විධිමත් කටයුතු රැසක් සිදුකර ඇත.‍

මේ පිළිබඳව අපට අදහස් දැක්වූ වෙරළ සම්පත් හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන්නේ මේ ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන ලෙස වෙරළ හා වෙරළ සම්පත් විනාශ කරන මානව හා ස්වාභාවික ක්‍රියාකාරකම් අවම කිරීමට පියවර ගෙන ඇති බවයි. හරිත වැටි ඉදිකිරීම, කළපු හා සමුද්‍ර ධීවරයන්ට නව රැකියා අවස්ථා ලබාදීම ඒ අතර ප්‍රමුඛ වේ.

මීට අමතරව රට පත්ව ඇති වෙරළ සුරැකීමට විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. මාරවිල හා උණවටුන ප්‍රදේශයේ කෘත්‍රිම වෙරළ සකස් කර ඇති බව ද වෙරළ ඛාදනය වැඩි ප්‍රදේශවල කළුගල් ඇතිරීම ආදිය සිදුකර ඇති බව වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණි හේවගේ මහතා පවසයි. මාරවිල, කෘත්‍රිම වෙරළ කිලෝමීටර් 2 ක් දුරට ඉදිකර ඇති අතර ඒ සඳහා වියදම් කළ මුදල රුපියල් දස ලක්ෂ 850 කි. උණවටුන කෘතිම වෙරළටද රුපියල් කෝටි 80 කි.

අපේ මිහිතලය සුරැකීමට රටේ අභ්‍යන්තර ප්‍රදේශවල ගහකොළ සතා සීපාවා සුරැකීමට ද පියවර ගැනීමට කාලය එළැඹ ඇත. ඒ ඒ තරම් රටේ පරිසර අපරාධ වැඩි බැවිනි.

අප අපේ ර‍ෙට් මිහිතලයට හානි කිරීම අතිවිශාල ලෙස වැඩිවෙමින් පවතී. පස් කැපීම ඉවක් බවක් නැතිව නීතිරීති නොතකා සිදුවේ.‍

වගුරු බිම් ගොඩකිරීම, මැණික් හෑරීම, ජල දූෂණය, වායු දූෂණය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය දැමීම, වේරහැර සහ කරදියාන හා කොළොන්නාවේ කුණු කසළ දැමීම නිසාද මිහිතලය ක්‍රමයෙන් විනාශයට පත්වෙයි. මෙරට පරිසර විද්‍යාඥයන් පවසන පරිදි අද අපේ රටට ඇති ලොකුම පරිසර ප්‍රශ්න වන්නේ අවිධිමත් ඉඩම පරිහරණය හා වනාන්තර විනාශයයි. අපේ රටට ක්‍රියාත්මක ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් ඉඩම් පරිහරණ නීතියක් නොමැත. පුංචි වැස්සකටත් රටේ සමහර ස්ථාන නාය යෑමට ලක් වන්නේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් අනුව මෙරට ඉදිකිරීම්, වගාවන් ආදිය සිදු නොකරන බැවිනි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පිළිබඳ පර්යේෂණ අංශ ප්‍රධාන ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසන්නේ පසුගිය කාලයේ සිදුවූ සියලු විශාල නායයෑම් වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම නායයෑම්වලට ලක්වූ ඉහළ ප්‍රදේශවල ඉඩම් අවිධිමත් ලෙස පරිහරණය කිරීම හා පස් සංරක්ෂණයට තිබීම ක්‍රමයක් ක්‍රියාත්මක නොකිරීම බවයි.

2016 මැයි මාසයේ දරුණු නාය ය‍ෑමකට ලක් වූ අරණායක සාමසර කන්දේ ඉහළ මෑතකදී තේ වගා කර ඇත. බෑවුම් ප්‍රදේශය ඉස්සර වනාන්තරයකි. රබර් ඉඩමකි. පසුව ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ බලය මත ඉඩම කට්ටි කර පිරිස පදිංචි කර ඇත. ජනතාව සිටියේ ඒ ඉඩම්වලය. බුලත්කොහුපිටියේ හා පේරාදෙණිය ප්‍රදේශවල ද 2016 මැයි මාස‍යේ දරුණු නායයෑම් ඇති විය. ඒවාට ද හේතු වූයේ අවිධිමත් ඉඩම් පරිහරණයයි. මේ අනුව මිහිතලය විනාශයට මානව ක්‍රියාකාරකම් ඉහළින් ම බලපායි.

මීට අමතරව පොදුවේ බලන විට මාර්ග හා මහ ගොඩනැඟිලි කටයුතුවලදී භූ විද්‍යාඥයන් උපදෙස් නොපිළිපැදීම නිසි ගවේෂණවලින් තොරව ගල්වළවල් මැණික් පතල් හෑරීම වනාන්තර ගිනි තැබීම නිසා මිහිතලයට ප්‍රබල තර්ජන වී තිබේ.

මිහිතලය සුරැකීමට නම් ඒ මිහිතලයේ වවන වැවෙන ගහ කොළ මෙන් ම ජීවත්වන සතා සීපාවා ද මිහිතලයේ වායුගෝලය සුරැකිය යුතුව ඇත. අපේ රටේ ‍ෛජව විවිධත්වය අතින් ලොව ඉහළම ස්ථානයක සිටින රටකි. අපේ ර‍ෙට් ඇති ශාක විශේෂ ගණන 7828කි. ඉන් විශේෂ 1691ක් අපේ රටට ආවේණික වේ. අපේ රටේ ඇති ශාක විශේෂවලින් විශේෂ 1919 ක් ඖෂධීය ශාක වේ. ඉන් 80ක් පමණ වදවී යාමේ තර්ජනයට පත්ව තිබේ. ඊට අමතරව කළුවර, කළු මැදිරිය, නැදුන්, ඇතුළු ශාක රැසක් වදවීයාමේ තර්ජනයට පත්වී ති‍බේ.

ඊට අමතරව අපේ රටේ සිටින සත්ව විශේෂ ගණන 1744කි. ඉන් සතුන් විශේෂ 625ක් අප රටට ආවේණිකය. එසේ වුවත් අපේ රටේ තිබෙන පරිසර ප්‍රශ්න අනුව අපේ රටේ රත්නපුර, ගාල්ල, මහනුවර දිස්ත්‍රික්කවල සත්ත්ව විශේෂ රැසක් වදවී යාමේ තර්ජනයට පත්වී සිටින බව රතු දත්ත ලැයිස්තුව පෙන්වා දෙයි. ඒ අලුත් පර්යේෂණ දත්ත අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින සත්ත්ව විශේෂ 1537 ද සත්ව විශේෂ 739 ක්ම වදවී යාමේ තර්ජනයට පත්වි සිටිති. වදවී යාමේ තර්ජනයට පත්වූ රත්නපුර සිටින සත්ව විශේෂ අතර ආවේණික සත්ත්ව විශේෂ 397ක් බව ද එම වාර්තාව අනුව පැහැදිලි වී ඇත. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පීවත්වන සත්ත්ව විශේෂ 1952න් විශේෂ 808ක් ම අද වඳ වී යෑමේ තර්ජනයට පත්ව සිටිති.

මීට අමතරව ගාල්ලේ සිටින ආවේණික සත්ත්ව විශේෂ 285න් 252ක් ද නුවරඑළියේ සිටින ආවේණික සතුන් විශේෂ 400න් 200ක් පමණ වඳවී යෑමට පවතින බව රතු දත්ත අලුත් වාර්තාවේ දැක්වේ.

මේ රතු දත්ත ලයිස්තු ගවේෂණ අනුව මෙරට සිටින කොඳු ඇට පෙළක් ඇති සත්ත්ව විශේෂ 760 න් සත්ත්ව විශේෂ 329ක් ම වදවීයාමේ තර්ජනයට පත්ව සිටිති. තර්ජනයට පත්වූ කොඳු ඇට පෙළක් සහිත සත්ත්ව විශේෂ අතර ආවේණික විශේෂ 325 ක් ඇතැයි මෙම පර්යේෂණයට අනාවරණය වී ඇත. ලෝක සංරක්ෂණ සංගමය හා පරිසර හා මහවැලි අමාත්‍යාංශ‍ය මඟින් මහාචාර්ය දේවික වීරකෝන්, ආචාර්ය චන්න බඹරදෙණිය සහ විද්‍යාඥයන් මෙහෙයවීම මත එම පර්යේෂණ සිදු කර තිබේ.

මීට අමතරව අප රටේ වායු දූෂණයන් එන්න එන්නම වැඩිවෙමින් තිබේ. විශේෂයෙන් මහනුවර හා කොළඹ නගරයේ වායු දූෂණය අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපරිම වායු දූෂණ මට්ටම ඉහළ බව වායු දූෂණය පිළිබඳව පර්යේෂණ කරන විද්‍යාඥයෝ පවසති.

කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ් සමඟ කුඩා අවලම්බිත කාබන් අංශු මේ වායු දූෂණය නිසා අප ජීවත්වන ‍වායු ගෝලයට ලැබේ. ඒ වායු දූෂක නිසා මරණය, හුස්ම ගැනීම ආශ්‍රිත ‍රෝග, හිසරදය, බර අඩු දරු උපත්, දියවැඩියාව, ඇදුම, පෙණහලු පිළිකා, ආඝ­ාතය, හෘදයාබාධ වැනි ආබාධ ඇති විය හැකි බව මේ පිළිබඳ පරීක්ෂණ රැසක් කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ උපදේශක විශේෂඥ වෛද්‍ය ඉනෝකා ජයවීර මහත්මිය පවසන්නීය.

ගෙදර කුස්සියේ දුමත් අවට පොලිතින් ප්ලාස්ටික් පුළුස්සන දුමත් තරුණ පරපුරට ඉතා අහිතකර බව ද ඇය අවධාරණය කරයි.

ඉහත කරුණු අනුව එ‍ෙතරත් මෙතෙරත් අපේ මිහිතල විනාශයට වැඩිපුර දායක වී ඇත්තේ අපේ මානව පරපුරයි. විශේෂයෙන් මිහිතලය උණුසුම් වීම වැළැක්වීමට පැරිස් සම්මුතිය සකස් කළත් ඒ සඳහා සාගර ලොව බලවත් රටවල් තවම අත්සන් කර නොමැත.

මේ අනුව අපේ මිහිතලය සුරැකීමට අපට හැකි අයුරු දායක වීම කාලීන අවශ්‍යතාවකි. ශ්‍රී ලංකාව වශයෙන් අපි පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතු වෙමු.

මේ විනාශය වැළැක්වීමට ලොව සියලු රටවල් එක්වී සියලු නීති රිති සම්මුති සන්ධාන සියලු ‍රටවලට එකම විධියට ක්‍රියාවට නංවා සුදුසු පියවර ගත යුතු කාලය දැන් එළඹ තිබේ.

එමෙන් ම දැන් අපේ රටේත් නිලධාරීන් බලධාරීන් මිහිතලය සුරැකීමට මීට වඩා අවධානය යොමු කළ යුතුය. තිබෙන නීති රීති හරියාකාරව ක්‍රියාවට නැංවීමට වන ජීවී, වන සංරක්ෂණ වෙරළ සම්පත් ධීවර හා පළාත් පාලන අමාත්‍යාංශ පියවර ගත යුතුය. එසේ නොවුණහොත් දිගටම මෙලෙස මිහිතලය විනාශ වුවහොත් අපේ දරු පරපුරට ජීවත් වෙන්නට සුදුසු තැනක් මිහිතලයේ නොතිබීමට ඉඩ තිබේ.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.