සිහිනය සැබෑ කරගත් කෙට්ලෙන් | සිළුමිණ

සිහිනය සැබෑ කරගත් කෙට්ලෙන්

ප්‍රශාන්ත ඇල්පිටිය

U.F.C. හෙවත් ULTIMATE FIGHTING CHAMPIONSHIP  යනු මේ වන විට ලොව බොහෝ රටවල අතිශය ජනප්‍රිය ශූරතාවලියකි. එය අමෙරිකානු මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කලාව උදෙසා පැවැත්වෙයි. ඊට අයත් වන මුළු බර පන්ති ගණන 10 කි. එහිදි කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම තරග පැවැත්වේ.

ඉකුත් අප්‍රේල් මස 15 වැනිදා මෙම යූ. එෆ්. සී. ශූරතාවලියේ කාන්තා බැන්ටම්වේට් (බර පන්තිය) සඳහා තරගයක් පැවැත්වීය. ඒ අමෙරිකාවේ මිසුරි ප්‍රාන්තයේ කැන්සාස් සිටි නගරයේදීය. එහිදී තරග කළේ අත්දැකීම් බහුල අමෙරිකාවේ ඈෂ්ලි එවන්ස් ස්මිත් සහ බ්‍රසීලයේ නවක ක්‍රීඩිකාවක් වන කෙට්ලෙන් වියිරාය.

ඉතා තියුණු තරග වට තුනකට පසුව එහි ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් වූයේ 25 හැවිරිදි කෙට්ලෙන්ය. ඒ ලකුණු 29 - 28, 29 - 28, 30 - 27 ක් වශයෙනි. ඒ අනුව සිය අපරාජිතභාවය තවදුරටත් රැක ගැනීමට ඇය සමත් වූවාය. මේ වන විට සමස්ත මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කලාවේ ඇය සහභාගි වූ මුළු තරග අටම ජය ගැනීමට ඇය සමත් වී සිටින්නීය. ඊට යූ. එෆ්. සී. තරග දෙකකුත් අයත්ය.

29 හැවිරිදි ඈෂ්ලි එවන්ස් ස්මිත් යූ. එෆ්. සී. තරගවලදී පරාජය වූ දෙවන තරගය ද මෙය විය. ඇය දැනට සමස්ත මුළු තරග පහක් ජය ගෙන තිබේ. වත්මන් බැන්ටම්වේට් කාන්තා අංශයේ ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් අතර 15 වැනි තැන ඈෂ්ලිට හිමිවී තිබේ.

එවැනි ක්‍රීඩිකාවක් ඉදිරියේ කෙට්ලෙන් ලැබූ මෙම ජයග්‍රහණය ඇයට ඉතාමත්ම වැදගත්ය.

"මට හරිම සතුටුයි. මම මෙම තරගයට හොඳින් සූදානම් වූවා. ඒ දැඩි පුහුණුවක් ලබමින්. එහි ප්‍රතිඵලය මට ලැබුණා." ජයග්‍රහණයෙන් අනතුරුව කෙට්ලෙන් පැවසුවාය.

ඇය මෙම තරගයට සහභාගි වූයේ අතේ ආබාධයකුත් තිබියදී වීම විශේෂත්වයකි.

"මම දැන් මාසයක පමණ කාලයක් විවේක ගන්නවා. එම කාලය මගේ පවුලේ අයත් සමඟ ගත කරනවා. ඉදිරියේදි ශ්‍රේණිගත කිරීම්වලදී හොඳම දස දෙනාට අයත්ව සිටින ක්‍රීඩිකාවන් සමඟ තරග කරන්න මම බලාපොරොත්තු වෙනවා." කෙට්ලෙන් වැඩිදුරටත් පැවසුවාය.

1991 වසරේ අගෝස්තු මස 26 වැනිදා උපත ලැබූ කෙට්ලෙන් අඩි 5 අඟල් 9 ක් උසැතිය. ඇය මුලින්ම නිරත වූයේ ජූඩෝ සහ මල්ලවපොර යන ක්‍රීඩාවන්වලය. 2009 වසරේ බ්‍රසීල මල්ලවපොර ශූරිය වූයේත් ඇයයි. පසුව කෙටි කලක් ඇය නීතියත් හැදෑරුවාය. සිය දිවියේ වීරයන් ලෙසට සලකන්නේ ඇගේ මවුපියන්වය.

"කුඩා කල සිටම මගේ සිහිනය වූයේ සටන්කාරියක් වීමයි. එය මේ වන විට ඉටු වී තිබෙනවා. බැන්ටම්වේට් අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවක් වෙන්න මම දැන් සූදානම්. ඒ නිසාම ටොප් ටෙන් ක්‍රීඩිකාවන් සමඟ වැඩි තරග (සටන්) ගණනක් මට අවශ්‍ය වෙනවා." කෙට්ලෙන් තවදුරටත් පැවසුවාය.

'ෆෙනොමිනෝ' යන නම පටබැඳී තිබෙන කෙට්ලෙන් යූ. එෆ්. සී. තරගවලට ප්‍රථම වරට සහභාගි වූයේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

වත්මන් මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කලාවේ කාන්තා බැන්ටම්වේට් අංශයේ ශ්‍රේණිගත අංක 01 ක්‍රීඩිකාව වන්නේ බ්‍රසීලයේ අමන්ඩා නුනෙස්ය. 28 හැවිරිදි අමන්ඩා තරග 14 ක් ජය ගෙන තිබේ. පරාජයන් සතරකි. එහි දෙවන තැන කිර්ගිස්තානයේ වැලෙන්ටිනා ෂෙව්චෙන්කෝටය.

මෙම ශ්‍රේණිගත ක්‍රීඩිකාවෝ අතරින් බහුතරයක්ම අමෙරිකානුවෝය. මීට අමතරව කැනඩාව සහ නෙදර්ලන්තය වැනි රටවල ක්‍රීඩිකාවන් ද ඊට අයත්ය. අමන්ඩා නුනෙස්ට අමතරව තවත් බ්‍රසීල ක්‍රීඩිකාවක් වන බෙති කොර්රියා ද ටොප් 15 අතර සිටින්නීය. ඒ අතරට හැකි තරම් ඉක්මනින්ම එක් වීම කෙට්ලෙන් වියිරාගේ ඉදිරි බලාපොරොත්තුව වේ.

 

Comments