වැඩිම වායු දූෂිත නගරය මහනුවර බවට පත් වෙද්දී හන්තාන කැලේ කැපීම

 මෙරට විද්‍යාත්මක පර්යේෂණ ආයතන, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය කළ පර්යේෂණ අනුව අද අපේ රටේ වායු දූෂණය වැඩිම නගරය මහනුවර නගරයයි. එහෙත් ඒ වායු දූෂණයෙන් පිට වන විට වායු උරා ගැනීමට මහනුවර නගරයේ ඉහළ ප්‍රදේශයේ ඇති හත්නාන කැලේ කැපීම ද දැන් ජයටම කරගෙන යයි. ඒ සමඟ එම හන්තාන ආරක්ෂණ පරිසර කලාපයේ හෝටල් විවෘත කිරීම ද බහුලව සිදු කෙරෙමින් පවතී.

හන්තානේ පාරිසරික ආරක්ෂක කළමනාකරණ කලාපය ඇතුළත සිදු වූ අක්කර ගණනක මහා වන විනාශයක් පිළිබඳව අපි පසුගිය දිනක ‘සිළුමිණ’ පුවත්පතෙන් හෙළි ‍කළෙමු.

ඒ පිළිබඳව වගකිවයුතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාගෙන් අප විමසූවිට ඒ මහතා පැවසුවේ ඒ ගස් කපා ඇත්තේ විදුලි බල මණ්ඩලයෙන් අධිවේගී විදුලි මාර්ගයක් ගමන් කරවීමට බවයි.

කෙසේ නමුත් විදුලි බල මණ්ඩලය මේ පිළිබඳ වගකීම බාර ගත්තේ නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරික්ෂණයක් කර ඇතත් ‍ තවම වාර්තාව සකස් කර නැත. මේ අනුව මේ කැලෑව කැපුවේ කවුද? මේක පුදුම වැඩකි. මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හි‍ටිසේකර මහතා පැවසුවේ මෙය විදුලි බල කම්බි ඇදීමට කපන බවයි.

හන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම් අමිත් සේනානායක මහතා මේ සිද්ධිය මහනුවර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් මේ තොරතුරු ඉල්ලුවත් ඊට පිළිතුරු දී නැත. මේ වන විනාශය පිළිබඳව අමිත් සේනානායක මහතා පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද දන්වා යවා ඇත.

මීට අමතරව හන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම් අමිත් සේනානායක මහතා පවසන පරිදි හන්තාන පාරිසරික ආරක්ෂණ බල ප්‍රදේශයේ සීමාවන් 2010 පෙබවාරි 17 වැනිදා අංක 1641/28 දරන ගැසට් පත්‍රයේ පැහැදිලිව පෙන්නුම් කර ඇත. ඒ අනුව උතුරට පේරාදෙණිය ගලහ හන්දියේ සිට මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ එම ප්‍රධාන මාර්ගයේ ඌරාගල හන්තාන හරහා ඇති මාර්ගය හමු වන මංසන්ධිය දක්වා මායිම් ප්‍රදේශයත්, නැගෙනහිර හන්තාන උඩවල හරහා ඇති මාර්ගයේ ඌරාගල දක්වා ප්‍රදේශයත්, දකුණට හන්තාන උඩුවල ඌරාගල මාර්ගය ඔස්සේ ගලහ හන්දිය දක්වා ප්‍රදේශයත් මායිම් වේ. මීට අමතරව හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ බස්නාහිර මායිම වන්නේ හිඳගල හරහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල ගලහ හන්දිය දක්වා ප්‍රදේශයයි‍.

ඒ අනුව මේ ප්‍රදේශයේ අඩි 3000ට වැඩි සමෝච්ච රේඛා දක්වා ප්‍රදේශයේ වන වගාවන් දැනට පවතින ගම්මිරිස් හා තේ සහිත බහු වාර්ෂික බෝග වගාවන් පමණක් සිදු කළ හැකි බව ද එම ගැසට් පත්‍රයේ සඳහන්ව තිබේ.

අඩි 2500 සමෝච්ච රේඛාවේ සිට අඩි 3000 දක්වා සමෝච්ච රේඛාව දක්වා වූ ප්‍රදේශය ඇතුළත වන වගාවන් සත්ත්ව පාලන කටයුතු බහු වාර්ෂික බෝග අර්ධ බහු වාර්ෂික බෝග හා දැනට පවතින පාරම්පරික ගම්මානවල වාණිජ මට්ටමින් නොවන සංවර්ධන කටයුතු හා යටිතල පහසුකම් දියුණු කිරීම කළ යුතු බව ද එම ගැසට් පත්‍රයේ දැක්වෙයි.

අඩි 2500 සමෝච්ච රේඛාවට අදාළ පහළ ප්‍රදේශයේ වුව ද සිදු විය යුත්තේ හන්තාන පාරිසරික ආරක්ෂක බල ප්‍රදේශ කළමනාකරණ කමිටුව විසින් අනුමත කරනු ලබන ඕනෑම සංවර්ධන කාර්යයට හා ව්‍යාපෘති පමණි.

එහෙත් හන්තාන සුරැකීමේ සංවිධානය පවසන්නේ මේ සියලු නීති රීති උල්ලංඝනය කරමින් හන්තානේ වන වගාවන් එළි කිරීම අක්කර දහස් ගණනින් දැන් සිදු කරන බවයි. ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියා ගන්නා පුද්ගලයකු හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශ කළමනාකරණ කමිටුවෙන් හන්තාන මහකන්ද ප්‍රදේශයෙන් ජනතාවට බෙදා දීමට යයි අක්කර 8 ක ෆයිනස් වගා ප්‍රදේශයක් ඉල්ලා ඇත. ඊට හන්තාන සුරැකීමේ සංවිධානය විරුද්ධ වුවත්, අදාළ දේශපාලනඥයාගේ උදව් ඇතිව එම ව්‍යාපෘතියට ඉඩම් නිදහස් කිරීම කළමනාකරණ කමිටුව සිදු කර ඇතැයි හන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම් අමිත් සේනානායක තොරතුරු සහිතව පෙන්වා දෙයි. පසුගියදා එළි කරන ලද්දේ ඒ අක්කර 8 ට අදාළ ෆයිනස් ගස් 10000 ක් තිබූ ප්‍රදේශය බව ද අමිත් සේනානායක පවසයි. මේ කටයුත්ත 2010 පෙබරවාරි 17 අතිවිශේෂ ගැසට් පත්‍රයේ නීති රීති උල්ලංඝනය කිරීමක් බව ද ඔහු පෙන්වා දෙයි.

මේ අතර මීට අමතරව හන්තාන අඩි 2500 – 3000 අතර ප්‍රදේශ‍යේ ඇති පාරම්පරික ගම්මානවල නිවාස නවීකරණය කර සංචාරක හෝටල් ඉදි කර ඇති බව ද ඒ අනුව හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ඇතුළත නිවාස නවීකරණය ඉදි කළ සංචාරක හෝටල් ගණන 50 කට ආසන්න බව ද අමිත් සේනානායක අවධාරණය කරයි.

‍මේ පිළිබඳව අප කළ විමසීමකදී පේරාදෙණිය සරසවියේ භූ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය කපිල දහනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා සම්මානිත මහාචාර්ය සී.බී. දිසානායක හා පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු විද්‍යා සම්මානිත මහාචාර්ය ඕ.ඒ. ඉලේපෙරුම යන මහත්වරුන් පවසන්නේ තමන් ජීවත් වන මහනුවර ප්‍රදේශයේ වායු දූෂණය එන්න එන්නම වැඩිවන වකවානුවක ඒ විෂ වායු උරාගැනීමට ඇති හන්තාන කැලය විනාශ කිරීම විශාල පාරිසරික ගැටලුවක් වන බවයි.

මේ අතර පේරාදෙණිය මහනුවර ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය නිසා නිකුත් වන කාබන් ‍ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැනි වායු උරා ගැනීමට ඇති හන්තාන කැලේ විනාශය වැළැක්වීමට මහනුවර දිසාපති තමා හා හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශ කළමනාකරණ කමිටුව අවධානය යොමු කළ යුතු බව ද මහාචාර්යවරු තිදෙන අවධාරණය කරති.

මේ අනුව මහනුවර නගරයේ වැඩි වෙමින් පවතින වායු දූෂණය අවම කිරීමට මහනුවර හා ඒ අවට හන්තාන කැලය හා උඩවත්ත කැලය ආදි වනාන්තර හා අවට ගස් සුරැකීම අත්‍යවශ්‍යය. ඒ සමඟම ශාක හා වනාන්තර තව තවත් වැවීම සිදු කළ යුතුමය. එසේ නොකළ හොත් අපේ ගීත සාහිත්‍යයේ මෙන් ම පාරිසරික සෞන්දර්යයේ සුවිශේෂ අංගයක් වන හන්තානේ කැලේ විනාශයකට පත් වීම වැළැක්වීමට අපහසු වනු ඇත.

නිහාල් පී. අබේසිංහ

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.