දෙවියො විත­රක් නෙමෙයි පෙරේ­ත­යොත් ඉන්නව

ආචාර්ය වික්‍ර­ම­බාහු කරු­ණා­රත්න
තාරක වික්‍ර­ම­සේ­කර

පසුගිය දිනවල දේශපාලන කරළියේ මාතෘකාවක් බවට පත් වූයේ නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතායි. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේදී ඇති වූ විවිධ ගැටලු සහ ව්‍යවස්ථාවෙන් නව සමසමාජ පක්ෂය බලාපොරොත්තු වන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් මෙවර සිළුමිණ

විමසුම ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සමඟිනි. 

2015 වසරේදී ආණ්ඩු පෙරළියක් කරන්න විශාල දායකත්වයක් සැපයූ ඔබගේ පක්ෂය තනිව ගමනක් යන බවක් පෙනෙනවා...?

අපේ පක්ෂයේ ගමන එකක්. වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීමෙන් බලාපොරොත්තු වූයේ තව එකක්.

මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීමෙන් බලාපොරොත්තු වූ ප්‍රධාන වෙනස ගැන පැහැදිලි කළොත්...?

සැමට සමඟිව දිවි ගෙවිය හැකි සම්මුතිවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරලීමයි අපේ අපේක්ෂාව වුණේ. අපේ පමණක් නොවෙයි; ආණ්ඩුවට සහාය දුන් සියලු පාර්ශ්වවල බලාපොරොත්තුව වුණේ ඒකයි.

එය ඉටු නොවන බවක් පෙනෙනවාද? නැත් නම් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති වීම මන්දගාමීද?

මේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන තුරු අපි දිගින් දිගටම රජයට කරුණු පහදා දෙනවා; අවශ්‍ය නම් බල කරනවා.

ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනයට බාලගිරි දෝෂයද?

නැහැ. පැහැදිලිවම මේ ක්‍රියාදාමය සිදු වෙමින් තිබෙන්නේ.

එහෙනම් ඇයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබේ පක්ෂය මේ තරම් එළවඑළවා කතා කරන්නේ?

අපි කතා කරනවා නොවෙයි, ජනතාව දැනුවත් කරනවා. ඒක නොකර මේ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම මඟින් ජනතාව වෙත වැරැදි මතයක් යන්න පුළුවන්.

දැන් සැලකිය යුතු කාලයක් මේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරගෙන යනවා. ආණ්ඩුවේ කාලය ඉවර වෙන කල් මේ ව්‍යවස්ථාව හදයි වගේ?

මේ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එක්වර සකස් කරන්න බැහැ. ඒක සියලු ජාතීන්ට එක්ව අනුමත කළ හැකි ව්‍යවස්ථාවක් වීමයි අවශ්‍ය වන්නේ.

ව්‍යවස්ථාවට සියලු ජාතීන්ගේ අනුමැතිය ලැබෙයිද?

ව්‍යවස්ථා සංශෝධනයට අප ඉදිරිපත් කළේ පොලිස් බලතල, ඉඩම් බලතල ඇතුළු බලය බෙදාහැරීමක් ගැනයි. පළාත් සභාවලට බලය බෙදා හැරීමක් නොකර ජාතික ප්‍රශ්නයකට විසඳුමක් සොයන්න බැහැ. සියලු ජාතීන්ට සමඟිව ඉන්න පුළුවන් ව්‍යවස්ථාවකට සියලු ජාතීන් එකඟ වනවා.

ඒත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත් ඔබ පක්ෂයේ ඉල්ලීමක් වුණා...?

ඔව්, විධායක ජනාධිපති ධුරය අහෝසි කර, පාර්ලිමේන්තුවට බලය පවරා දීමටයි අප යෝජනා කළේ. කොහොම වුණත් මේ වන විට ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස පාර්ලිමේන්තුව ක්‍රියා කරගෙන යනවා. අනු කමිටු 6ක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා ලබා දී තිබෙනවා.

ඒ යෝජනාවලට සියලු පක්ෂ එකඟ වෙයි කියා ඔබ හිතනවද?

ඒ යෝජනා අතර ඉතා වැදගත් මෙන්ම රටට හිතකර යෝජනා රැසක් තිබෙනවා. අනිවාර්යෙන්ම බොහෝ පක්ෂ, බොහෝ දෙනෙක් ඒ සඳහා අනුමැතිය පළ කරනවා.

ඇයි ඔබ ‘බොහෝ දෙනෙක්‘ කියන්නේ? සියලු පක්ෂවලට එකඟ වන්න බැරිද?

මහින්ද රාජපක්ෂ වගේ ඒකාධිපති වියරුවෙන් ඉන්න අය මේ වගේ ව්‍යවස්ථාවකට එකඟ වන්නේ නැහැ. ඒක නිසා ‘සියලු දෙනා‘ කියල කියන්න බැහැ.

@ ඒත් මේ ව්‍යවස්ථාව රටට ඉතා අහිතකර බව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිසක් විසින් පෙන්වා දී තිබුණා...?

ඒක තමයි මා කියන්නේ ඔවුන් ජාතිවාදී, අන්තවාදී ක්‍රමයක් තුළ ජීවත් වන අය කියා. මහින්ද රාජපක්ෂට ඕනෑ කරන්නේ ඒකාධිපතිවරයකු විදිහට ජීවත් වෙන්නයි. එයාට රජෙක් වගේ ජීවත් වෙන්න ඕන. මේ විදිහේ සැම දෙනාගේම සහායෙන් හදන ව්‍යවස්ථාවක් එයාට වැඩක් නැහැ. ඒ නිසා මේ ව්‍යවස්ථාව මර උගුලක් කියා කියනවා.

කොහොම වුණත් ඉඩම් බලතල, පොලිස් බලතල දීම මගින් මධ්‍යම ආණ්ඩුව යම් අසීරුතාවකට මුහුණ පානවා නේද?

ඉන්දියාවේ තිබෙන ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමය බලන්න. ඒ විදිහට පොලිස් බලතල ලබා දීම රටකට අහිතකර නැහැ. අහිතකර වන්නේ ප්‍රභාකරන් වගේ ප්‍රාදේශීය මට්ටමෙන් නිල නොවන රජවරුන් බිහි වීමයි. මේ ව්‍යවස්ථාව මඟින් ජාතිවාදී බව නැති වෙලා සියලු දෙනාට එකට එකතු වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙම නොවුණොත් පළාත් තුළ විවිධාකාර සිදුවීම් වන්න පුළුවන්.

ඒත් පොලීසිය වැනි ආරක්ෂක අංශයක බලපෑම ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්...

පොලීසිය කියන්නේ හමුදාවක් නෙමෙයිනේ. හමුදාවේ වුණත් දෙමළ රෙජිමේන්තුවක් ආරම්භ කළාට වරදක් නැහැ.

ඉඩම් බලතල ලබා දීම සුදුසුයි කියා ඔබ හිතනවාද?

රජයේ අවශ්‍යතා අනුව අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ පදනම යටතේ පළාත් සභාවලට ඉඩම් ලබා දීම අනුමත කළ යුතු වෙනවා.

ඒ කියන්නේ වෙනත් පළාතක අවශ්‍යතාවකට ඉඩම් ලබා ගැනීමට බලයක් නැහැ...?

පළාත් සභාවේ අවසරය පරිදි කළ හැකියි.

ඔබ වැඩිපුරම පෙනී සිටින්නේ අනෙකුත් ජාතීන් වෙනුවෙන් බවයි පෙනෙන්නේ...?

මා පෙනී සිටින්නේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්.

ඒත් ඔබට ‘කොටියා‘ කියලාත් සමහරු පවසා තිබෙනවා...?

ඒක මේ මහින්ද රාජපක්ෂගේ ‘පක්කලි හමුදාවේ‘ වැඩක්.

ඔබ එසේ කිව්වත්, පසුගියදා ගාල්ලේ තිබුණු ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමකදීත් ඔබට විරෝධය එල්ල වුණා...?

ඒකත් මහින්ද රාජපක්ෂගේ ‘පක්කලි හමුදාවේ‘ වැඩක්, එදා අපට තිබුණේ දකුණේ ජනතාව මේ නව ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුවත් කරන්න, ඒ අවස්ථාවේ එම ශාලාව පිරෙන්න සෙනඟ පිරී සිටියා. ඒ රැස්වීමේදී මමත් තවත් කථිකයන් කිහිප දෙනකුත් කථා කළා. රැස්වීම හොඳින් පැවැත්වුණා. ඒත් මහින්ද රාජපක්ෂට හිතවාදි තිදෙනෙක් එය මැද්දට පැන රැස්වීම කඩාකප්පල් කරන්න හැදුවා. ඒ අයට පහර දී පොලිසියට බාර දී අපි රැස්වීම කරගෙන ගියා. ඒ අය නීතිඥයො බවත් ආරංචියි. කොහොම වුණත් ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙයි.

මොකද මේ විදිහට ඔබට අරියාදු කරන්නේ?

ප්‍රතිගාමී බලවේග සැමතැනම තියෙනවා. දෙවියො විතරක් නොවෙයි; ඕනෑම තැනක පෙරේතයොත් ඉන්නවනේ...

ජනතා විරෝධයක් එල්ල වුණේම නැද්ද?

ජනතාව ඇහුවා “ඇයි ප්‍රධාන පක්ෂ දෙකේ නියෝජිතයො මේ දැනුවත් කිරීම්වලට එන්නේ නැත්තේ?“ කියලා. එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් නියෝජිතයො රැසක් ඉන්න දකුණු පළාතේ දැනුවත් කිරීම්වලට ප්‍රධාන පක්ෂ දෙකේ නියෝජිතයො සහභාගි වෙලා දැනුවත් කිරීම් කරනවා නම් ඒක වටිනවා.

මේ ව්‍යවස්ථාව අනුව මානව හිමිකම් ආරක්ෂා කිරීමට මුල් තැනක් ලබා දෙන බව ජයම්පති වික්‍රමරත්න මහතා පෙන්වා දී තිබුණා...?

ඔව්. අපි එදා සිටම හඬ නැඟූ දෙයක් තමයි මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාව කටයුතු කළ යුතු බවට. අලුත් ව්‍යවස්ථාවෙන් එය වඩාත් සුරක්ෂිත කරමින් තිබෙනවා. අප හැම විටම සියලු ජාතීන් වෙනුවෙන් පෙනී සිටිනවා නම් සියලු ජාතීන් එක්ව සමඟිව කටයුතු කරන්න පුළුවන්. එසේ නොවූ විටයි මේ සියලු ගැටලු මතු වන්නේ. අප කටයුතු කළ යුත්තේ මහින්ද රාජපක්ෂ වගේ ජාතිවාදීව නොවෙයි; සියලු දෙනා එක්ව යන සමඟි සම්පන්න ගමනකටයි.

ඔබ බවසන පරිදි යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳ වුණත් ජාතීන් අතර එකමුතුකම රැකෙන බව කිව්වත් තවමත් විශාල සිංහල ජාතිකයන් පිරිසකට ත්‍රස්තවාදී හානි වන්දි ගෙවා නැහැ. විශේෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ...?

ඒ කාර්යය කළ යුත්තේ පළාත් සභාව විසින් නොවෙයි; මධ්‍යම ආණ්ඩුව විසින්. ඒ කාර්යය නිසි පරිදි ඉටු කරන්න නිලධාරීන් පියවර ගත යුතුයි. යුද්ධයට මැදි වූ සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනාටම වන්දි ගෙවිය යුතුයි. මියගිය, ආබාධිත හා තුවාල වූ අයටත්, ඒ වගේම දේපළ හාකි වූ අයටත් සොයා බලා වන්දි ගෙවීමට කටයුතු කළ යුතුයි. ඒ සියල්ල ගැන සොයා බලා කටයුතු කරන්න නිලධාරීන් කටයුතු කරන්න ඕනෑ. ඔවුන් රාජකාරිය නිසි ලෙස කරන්නේ නැත් නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්න ඕනෑ.

පැමිණිලි කළ යුතු නිලධාරීන් පවා යම් යම් අකටයුතුකම් කරන බවයි පෙනෙන්නේ...?

ඒ සම්බන්ධව මහ ඇමැතිවරයා දක්වා පැමිණිලි කරන්න පුළුවන්කම තිබෙනවා.

අප යම් විදිහකට හිතමු ඉහළම අයත් මේ අසාධාරණ ක්‍රියාවන්ට සම්බන්ධයි කියා. එවිට නීතිය සාධාරණ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ කෙසේද?

ඔයිට වැඩිය නැටුම් නටපු අය තමයි අද හිර ගෙවල්වල ඉඳගෙන උපවාස කළේ. මහින්ද රාජපක්ෂට වුණත් හෙට-අනිද්දට උසාවි යන්න වෙන කොට බලන්න පුළුවන්. මඩකළපුවේම ඉන්න පිල්ලෙයාන්ටත් උසාවි යන්න වුණා; හිරගෙදර ලැග්ගා. අමතක කරන්න එපා වැරැද්දට දඬුවම කොයි වෙලාවක හරි ලැබෙයි. යම් නිලධාරියෙක් හෝ දේශපාලනඥයෙක් වැරැදි කරනවා නම් පොලීසිය හරහා අධිකරණයට යා හැකියි; ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම යන්න පුළුවන්.

වන්දිත් නැතිව ඉන්න මේ මිනිස්සු කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ?

ඒ සඳහා අවශ්‍ය තරම් පහසුකම් තියෙනවා. ඕනෑම තැනක අවනීතිය රජ කරන්න පුළුවන්; ඒත් හැමදාම බැහැ. හොඳම උදාහරණය තමයි: මහින්ද රාජපක්ෂ සහ විමල් වීරවංශ දෙන්නා. රජවරු වගේ හිටපු අයට අද වෙලා තියෙන දේ හැමෝටම පේනවනේ! 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.