එන්න, රිදියගම සෆාරි උද්‍යානයේදී අප්‍රිකානු කේසර සිංහයන් බලන්න

සීබ්‍රා, හිපපොටේමස්, මොල්ලි තුනේ ඔටුවන්, ඔරික්ස් ගවයන් රංචු පිටින්

සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුණු බස්රථයේ රියැදුරා එක්වරම තිරිංග තද කළේය.පාර මැද කේසර සිංහයකු වැතිර සිටියි. අප සැම දෙනාගේම නෙත් ඌ වෙත යොමුවී තිබෙන්නේ බියත් කුතුහලයත් සමඟිනි.

අපේ රටේ වාහන යන එන පාරක් මැද සිංහයකු වැතිර සිටින බව අදහන්නට නොහැකිය. එහෙත් අප මේ දකින්නේ සිහිනයක් නොවේ.

‘‘ ඔබ මේ දකින්නේ වයස අවුරුදු 3 ක් පමණ වන ‘චණ්ඩි‘ නමින් හඳුන්වන පැන්තරා ලියෝ විශේෂයට අයත් අප්‍රිකානු සිංහයෙක්. මෙවැනි සිංහයෙක් දිනකට මස් කිලෝ 7 ක් පමණ අාහාරයට ගන්නවා. වසර 15 ක් පමණ ජීවත් වන මෙම සිංහයන් ගේ ගැහැනු සතකු වසර තුනෙන් තුනට පැටව් බිහිකරන අතර වරකට පැටවුන් 3 ත් 4 ත් අතර ගණනක් බිහිකරනවා.‘‘

සංචාරක මඟ පෙන්වන්නා බස්රථයේ ඇතුළත ඇති මයික්‍ර ෆෝනයෙන් සිංහයා පිළිබඳව විස්තර කරමින් අප දැනුම්වත් කරයි.

අප මෙතෙක් මෙවැනි සතුන් අපේ රටේදී නරඹා ඇත්තේ දෙහිවල සතුන් වත්තේ කූඩුවක දමා සිටියදිය.

එහෙත් මෙලෙස සතුන් නිදැල්ලේ හැසිරෙද්දී උන්ව නරඹන්නට හැකි සෆාරි සවාරියක අත්දැකීමක් විඳගන්නේ ජීවිතයේ පළමු වරට වීම මෙහි විශේෂත්වයයි.

ඒ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම සෆාරි උද්‍යානය වන රිදියගම සෆාරි උද්‍යානයේදීය.අප මෙම සංචාරක සටහන තබන්නේ සිංහල අලුත් අවුරුදු නිවාඩු සමයේ පුංචි දරුවන් සමඟ විනෝද සවාරියක ‍යෙදෙන්නට සූදානම් වන ඔබට ඒ සඳහා අදහසක් ලබා දෙන්නටය.

ආහාර ලබා ගැනීමෙන් පසු නිදහසේ වැතිර සිටින සිංහයාට බාධා නොවන ලෙස බස්රථය හරවා ගත් රියැදුරා එය වෙනත් මාවතකින් ධාවනය කරයි. බසය සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙද්දී අපේ නෙත් කුතුහලයෙන් අවට සිසාරා යොමුවන්නේ සංචාරක මඟ පෙන්වන්නා සඳහන් කළ අන්දමට මෙහි සිටින අනෙක් සිංහයන් දෙදෙනා දැක ගන්නටය.

මෙම උද්‍යානයේ පළමුවෙන්ම ඇතුළු වන කලාපය වන අක්කර 35 ක වපසරියක් ඇති අප්‍රිකානු සිංහ කලාපයේදී තවත් සිංහයන් දෙදෙනකුම දැකගැනීමටත්, උන්ගේ හැසිරීම් ඉතාමත් ආසන්නයේ සිට නිරීක්ෂණය කිරීමටත් හැකිය.

අප්‍රිකානු සිංහ කලාපයෙන් පසු අප ඇතුළු වූයේ අක්කර 80 ක පමණ විශාලත්වයකින් යුතු ශාඛ භක්ෂක සතුන් කලාපයටයි. සිංහ කලාපයේදී අපට විමසිල්ලෙන් සිංහයන් නිරීක්ෂණය කිරීමට සිදුවූවත් මෙම කලාපයේදි නෙත්වලට ඉස්පාසුවක් නැති තරමට සතුන් දැකගත හැකිය.වාහනය ආසන්නයේ සිටි පැස්බර රංචුවක් ඈතට දුව යද්දී ඒ හඬට බියවූ මුව රංචුවක් අප අසලින් ම දිවගියෙන් උන්ව අපට හොඳින් දැකගත හැකි විය.

‘‘ දැන් අප ඉදිරියෙන් දිවගියේ තිත් මුවන් රංචුවක්.තරමක් ඈතින් සිටින්නේ මුව පවුලේ විශාලතම සතා වන ගෝනා. අර ඈතින් අපට ඉදිරියෙන් පෙනෙන්නේ අප්‍රිකානු කුළුමීහරක් රංචුවක්.‘‘ මාර්ගෝපදේශකයා සතුන් පිළිබඳව, උන්ගේ හැසිරීම් ආහාර රටා පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් කරයි.

මෙම ශාඛ භක්ෂක කලාපයේදී සත්ව වර්ග 22 කට වැඩි ප්‍රමාණයක සතුන් විශාල සංඛ්‍යාවක් දැකගන්නට හැකිය. ඒ අතරින් කැපී පෙනෙන සතුන් ලෙස සීබ්‍රා, පැස්බරා, හිපපොටේමස්, මොල්ලි තුනේ ඔටුවා, අප්‍රිකානු ඇන්ටිලෝප් මුවෝ වර්ග කීපයක්, දැනට විශේෂයෙන් වඳවීයාමේ තර්ජනයට ලක්වී සිටින ඇරැබියන් ඔරික්ස් ගවයා, ශ්‍රී ලංකාවේ තිත් මුවා, ගෝනා, වල් ඌරා වැනි සතුන් හැඳින්විය හැකිය.

මී ළඟට අප ඇතුළු වූයේ ආසියානු අලින්ගේ කලාපයටයි.අක්කර 54 ක භූමි ප්‍රමාණයකින් යුතු මෙහි අලි අතුන් නිදැල්ලේ හැසිරෙනු දැකගත හැකිය. අපේ රටේ යාල, උඩවලව, මින්නේරිය, කුමන වැනි වනෝද්‍යාන වලදී අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් දැක ගත හැකිවුවත් මෙහිදී උන් වඩාත් ළඟට ගොස් ආරක්ෂිතව නැරඹීමට හැකිවීම විශේෂත්වයකි. ඒ මෙම බස්රථ මගීන්ට  සතුන්ගෙන් කිසිදු හානියක් සිදු නොවන ලෙස විශේෂ ආරක්ෂාවක් ලැබෙන ලෙස තනා තිබීමයි. සතුන්ගේ ස්වාභාවික හැසිරීම් දැක ගන්නට ලැබුණු අපූරු සවාරිය පැයකට වැඩි කාලයකින් නිමා වුවත් ඉදිරියේදී තවත් සත්ව කලාප ගණනාවක් ඉදිවෙමින් පවතී.

ජාතික සත්වෝද්‍යන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු මෙන්ම මෙම උද්‍යානයේ භාරකරු වන හේමන්ත සමරසේකර මහතා ඒ පිළිබඳව විස්තර කළේ මෙසේයි.

‘‘සාමාන්‍ය යෙන් අපට හුරු පුරුදු සතුන් කූඩුකර සිටියදී නැරඹීමට උවත් මෙම උද්‍යනයේදි සතුන් නිදහසේ හැසිරෙද්දි උන්ව නරඹන්නට පුළුවන්. ලෝකයේ වෙනත් රටවල මෙම සෆාරි වනෝද්‍යාන තිබුණත් අපේ රටේ පළමුවරට තමයි මේ අත්දැකීම විඳගන්නට ලැබෙන්නෙ. මෙය විවෘත කෙරුණේ 2016 වසරේ මාර්තු 28 වැනිදා.2014 වසරේ සිට තමයි සත්තු ගෙනැවිත් මෙය සංවර්ධනය කිරීම ආරම්භ කළේ.

මෙම උද්‍යානයේ ප්‍රමාණය අක්කර 500 ක්. මේ වන විට මෙයින් අක්කර 210 ක ප්‍රමාණයක් සංවර්ධනය කර සත්ව කලාප 3 ක් නිර්මාණය කර අවසන්. මෙහි ඇතුළු වන පිවිසුම සමඟ ඇත්තේ කාර්යාලය, සත්ව රෝහල් කාර්යාල සහ නරඹන්නන්ට පහසුකම් සහිත ප්‍රදේශයයි.දැනට නැරඹිය හැකි සත්ව කලාප වන්නේ අක්කර 35 ක විශාලත්වයකින් යුතු අප්‍රිකානු සිංහ කලාපය,අක්කර 80 ක ප්‍රමාණයකින් යුතු ශාඛ භක්ෂක සතුන් කලාපය සහ අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපයයි. මීට අමතරව මේ වන විට තව කලාප 4 ක් සංවර්ධනය කරමින් පවතිනවා. මෙයින් එක් කලාපයක් බෙංගාලි ව්‍යාග්‍රයන් සඳහාත් තවත් කලාපයක් ශ්‍රී ලංකා දිවියන් සඳහාත්, තවත් කලාපයක් වලසුන් සඳහාත් අනෙක් කලාපය ඕස්ට්‍රේලියානු ශාඛ භක්ෂක සතුන් සඳහාත් වෙන්වනවා.

මෙයින් ඕස්ට්‍රේලියානු සහ බෙංගාලි ව්‍යාග්‍ර කලාප මෙම වසරේ මැද වන විට සංචාරකයනට විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර small animal kingdom නමින් අක්කර 35 ක ප්‍රදේශයක් 2018 වසරේ විවෘත කිිරීමට නියමිතයි.ඒ වගේම උරග උයන අක්කර 10 ක ප්‍ර දේශයක් සංවර්ධනය කරනවා.

මෙහි විශේෂයෙන් සඳහන් කළ යුත්තේඉදිරියේදී නිමකිිරීමට සැලසුම් කර ඇති සංචාරක බංගලා පද්ධතියයි. දෙස් විදෙස් සංචාරකයන්ට මෙහි නැවතී රාත්‍රී සෆාරි (night safari) අත්දැකීම් විඳගැනීමට හැකිවන අතර විශේෂයෙන් රාත්‍රී කඳවුරු පද්ධතියක්ද ( night camping site) ඇති කිරීම මගින් සංචාරකයන්ට වෙනස්ම සංචාරක අත්දැකීම් විඳගැනීමට අවස්ථාව සැලසෙනවා.විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ සියල්ල 2018 දෙසැම්බර් 31 වන විට අවසන් කරලා මෙහි එන සංචාරකයන්ට සුවිශේෂී සෆාරි අත්දැකීමක් විඳගන්නට අවස්ථාව උදා කර දෙන්නට අපි සූදානම්‘‘

උදේ 8.30 ට උද්‍යානය විවෘත කරන අතර සවස 4.30 වන තෙක් සංචාරය කළ හැකියි.මේ සඳහා විශේෂයෙන් සකස් කළ බස් රථ තිබෙන අතර එක් බස් රථයක 20 ක පිරිසක් ගමන් කළ හැකියි. සෑම විනාඩි 20 කට වරක් මෙම බස්රථයක් පිටත් වනවා.ඊටත් අමතරව කුඩා කණ්ඩායමකට අවශ්‍යනම් ගමන් කිරීමට ජීප්රථ සේවාවක් තිබෙනවා. 7 දෙනකුට මෙම ජීප් රථයක ගමන් කළහැකියි .ඒ සඳහා අමතර ගෙවිමක් කළ යුතුයි.

වයස 12 න් ඉහළ දේශීය වැඩිහිටියකු සඳහා රුපියල් 300 ක්,12 න් පහළ ළමයින් සඳහා රුපියල් 100 ක් උද්‍යානය නැරඹීමේ ප්‍ර වේශ පත්‍ර ගාස්තුව ලෙස අය කරනවා. පාසල් නිල ඇඳමින් එන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල වල ඉගෙන ගන්නා අයට ( හැඳුනුම් පත ඉදිරිපත් කළවිට) අයකරන්නේ රුපියල් 50 ක ගාස්තුවක් පමණයි.

ඒ වගේම තවත් විශේෂ ඉල්ලීමක් තිබෙනවා. ඒ විශාල කණ්ඩායම් ලෙස පැමිණෙන අය ඒ සඳහා සතියේ මැද දිනයක් තෝරා ගන්න එවිට නිදහසේ උද්‍යානය නැරඹිය හැකියි.‘‘

විස්තර 0473620410, 0473220042 අංක වලින් දැනගත හැකියි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.