මවු කුසයේ ඉඳන් ම මම වැඩි­පුර හිටියේ ගුවන් විදු­ලියේ | Page 2 | සිළුමිණ

මවු කුසයේ ඉඳන් ම මම වැඩි­පුර හිටියේ ගුවන් විදු­ලියේ

ශ්‍රී FM නාළිකාවේ කළමනාකාරිනී භාෂිණී සමරසිංහ

එදා වයස අවුරුදු 03 දී පමණ ගුවන් විදුලියෙන් තම මාධ්‍ය ගමනට අත්පොත් තැබූ පුංචි දියණිය අද සම්මානනීය ගුවන්විදුලි නිවේදිකාවකි. ප්‍රතිභාපූර්ණ කලා පවුලකින් පැවත එන භාෂිණී සමරසිංහ නම් වූ ඇය ප්‍රවීණ ගුවන්විදුලි අධ්‍යක්ෂිකා රත්නා සමරසිංහ සහ ගුවන් විදුලියේ නි‍ෙව්දක, අධ්‍යක්ෂක පාලිත සමරසිංහ යුවළගේ එකම දියණියයි.

ඔබත් ශ්‍රී FM ගුවන්විදුලිය අසන ශ්‍රාවකයෙක් නම් මේ හඬ මේ නම ඔබට ළෙන්ගතුය. වසර 20කට අධික කාලයක් මාධ්‍ය තුළ ඉතා දිගු ගමනක් පැමිණි ඇය අද ශ්‍රී FM මාධ්‍ය ජාලයේ කළමනාකාරිණිය ලෙස කටයුතු කරයි.

 

• ඔබේ වර්තමාන තොරතුරුවලින් කතාබහ අරඹමු.

ඇත්තටම මේ ආර්ථික රටාව වගේම විවිධ පැතිවලින් බැලුවත් විවිධ වූ හැලහැප්පීම් එක්ක අපේ ජීවිත ගතකරන කාලසීමාවක්නෙ. ඒ නිසා අපි හැම වෙලාවෙම රේඩියෝ එකකින් වෙනස් වෙන්නෙ මිනිසුන්ගෙ සිතුවිලි පරාසය සහ එදිනෙදා ජීවත්වීමේ රටාවත් එක්කලා. ඉතිං ඒ රේඩියෝ චැනල් එකක ජීවත්වන, එහි වැඩකරන කෙනෙක් විදිහට මටත් ඒ හා සම්බන්ධව එකම විදිහකට ගෙවෙන වෙනස් නොවුණු කාලසීමාවක් ගත කරන්නට සිදුවෙනවා... හැබැයි මාත් එහි වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

 

• ඔබ ක්ෂේත්‍රයට එන්නෙ බොහොම පුංචි අවදියේදී...

ඔව්... මගේ අම්මයි තාත්තයි දෙන්නම වැඩ කළේ ගුවන් විදුලියේ. මම අම්මාගේ කුසේ ඉන්න කාලේ එයා news කියනවලු. ඉතිං පවුලේ එකම දරුවා විදිහට ඉපදෙන්නත් පෙර ඉඳල ම මම වැඩිපුර හිටි‍‍යේ ගුවන්විදුලියේ.

හරියට ම මට අවුරුදු 03 දී විතර අම්මා මාව ගුවන්විදුලි ළමා පරීක්ෂණයකට සහභාගි කරවනවා. එයින් සමත්වෙලා ළමා ශිල්පිනියක් බවට පත්වුණා. ස්මැක්, මැලිබන් වගේ වෙළෙඳ දැන්වීම්වල ළමා හඬින් හඬකැවීම් කිරීමට මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් කියන්නට ඕන හඳමාමා, ළමාපිටියට, තැටිවල ගීත ප්‍රචාරය වගේ ම ආනන්ද සමරකෝන් මහතාගේ පරණ ජනප්‍රිය ළමාගීත පටිගත කිරීම් වලදී ඒ ගීත ගායනා කළේ මමයි. තාමත් ඒවා ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා.

 

• ගුවන් විදුලියෙන් හැදුණු ඔබ ‘ශ්‍රී FM’ එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද?

ඒක බොහොම අපූරු කතාවක්. එක දවසක් මම පාසල් ඇරිලා තාත්තත් එක්ක කොණ්ඩෙ කපන්න ‘ලිබර්ටිප්ලාසා’ ගියා. එදා පළමුවැනි පෞද්ගලික ගුවන්විදුලිය ‘සවන’ අලුතින් නිවේදක නිවේදිකාවන් ගන්න දවසක්. සවන FM කළමනාකරු විදිහට හිටපු ස්ටැන්ලි අංකල් එදා අපේ තාත්තව දැකලා කීවා ඒකට මාවත් සහභාගි කරවන්න කියලා. මට මතකයි එදා ඉන්ටවීව් එකට ගොඩක් දෙනෙක් ඇවිදින් හිටියා. එයින් මාව තේරුණා. ඒ අනුව තමයි ‘සවන FM’ හි සැඳැල්ල / පිපෙන කුසුම් වැනි වැඩසටහන් කිරීමට අවස්ථාව ලැබුණේ.

 

• ගුවන් විදුලිය හා ‘සවන’ නාළිකා අතරෙන් අවසානයේ ඔබ සවන තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවාද?

එහෙම විශේෂ හේතුවක් නම් නැහැ. මම දැකපු දෙයක් තමයි ගුවන් විදුලියේ මෑන් පවර් එක වැඩියි. අපේ අම්මගේ එක වැඩසටහනකට 10 දෙනෙකු විතර කණ්ඩායමක් හිටියා.

නමුත් මම සවනට ගියාට පස්සේ අම්මා අර දස දෙනෙක් එක්ක කරන දේ මට තනිවම කරගන්න සිදුවුණා. ‘සිංදු තෝරා ගත්තේ, play කළේ, Edit කළේ මම ම යි. මට කරන්නට දේවල් ගොඩක් තිබුණා. ගොඩක් ආශාවෙන් මගේ ඒ වෘත්තිය අකුරටම කළා. ඒ ආසාව නිසා ස්ථිරව ‘සවනෙහි’ ඉන්නට තීරණය කළා.

 

• ඒ කියන්නෙ ඔබ එදා සිට සවනට පමණක් සීමා වුණාද?

නැහැ.... ගුවන්විදුලියේ වැඩසටහන් වලට මට ඇරයුම් ලැබුණා. තාත්තගේ සමහර වැඩසටහන්වලට සහභාගී වුණා. මේ කාලය අතරතුර තමයි 2000 වසරේදී ‘සවන’ ‘ශ්‍රී FM’ බවට පත්වුණේ. ඉතින් එදා සිට අද දක්වා ම මම ‘ශ්‍රී’ ත් එක්ක වැඩ කරනවා.

• මේ කාලය ‘V’ FM නාළිකා ප්‍රධානි තනතුරත් දැරුවා නේද?

ඔව්. ඒ මගේ මතකයේ හැටියට 2006 වස‍ෙර්දී V FM නාළිකා ප්‍රධානී බවට පත්වුණා. නමුත් වැඩි කලක් එහි හිටියේ නැහැ. ‘2007’ වසරේදි ‘ශ්‍රී රි’ කණ්ඩායමේ ඉල්ලීමෙන් නැවත ‘ශ්‍රී’ ත් එක්ක සම්බන්ධ වුණා.

 

• ඔබ මෙහෙයවූ වැඩසටහන් ගැනත් කෙටියෙන් සඳහන් කරමු.

දිගන්තයෙන් මධුර ගී, සන්නාලියනේ, නෙළුම් පොහොට්ටු, ගී මංසල, සිහින මන්දිරය. මේක මම ගොඩක් ආශාවෙන් කරපු වැඩසටහනක්. ඇන්ටන් ටොප් චාට්, ඉතා දිගු කළක් කළ ‘ශ්‍රී රශ්මි’, තරුවක් සමඟ වරුවක්... මේ සියල්ල මගේ ශ්‍රාවකයින් බහුතරයක් බොහොම ආදරයෙන් වැලඳ ගත්තු වැඩසටහන්.

 

• භාෂිණි කියන්නෙ සම්මානනීය නිවේදිකාවක්?

ඇත්තට ම මට මුලින් ම සම්මානයක් හිමිවුණේ සුගතපාල සිල්වා මහත්මයාගේ ‘නෑදෑයෝ’ නාට්‍යයට. ඒ හොඳම නිළියට හිමි සම්මානයයි. අනාථ දරුවකුගේ චරිතයට තමයි මම පණ පෙව්වේ. ඒ වනවිට මට අවුරුදු 4යි.

ඒ වගේ ම 2006 - 2007 - 2008 වසරවල පිටපිටම රාජ්‍ය මාධ්‍ය සම්මාන ‍උලෙළේ හොඳම නිවේදිකාවට හිමි සම්මානය දිනාගත්තා. 2009 වසරේ විශිෂ්ටතම නිවේදිකාවට හිමි සම්මානයට පාත්‍ර වුණා. ඒ විතරක් නෙමෙයි මා කළ ‘සිහින මන්දිරය’ වැඩසටහන ද සුමති සම්මානය හිමිවුණා.

 

• අලුත් ගුවන් විදුලි නිවේදක පරම්පරාව ගැන මොකද හිතෙන්නෙ?

මම හිතන විදිහට නිවේදක නිවේදිකාවන් සතුව නිවැරැදි වචන උච්චාරණයක් තියෙන්නට ඕනි. එහෙත් අද ඉන්න ‍ගොඩක් අයට තියෙන්නේ මුඛරිකම විතරයි. හැබැයි කියවන්නෙ මොනවද? කියලා දන්නෙ නෑ. කියවන විදිහ දන්නෙත් නෑ. ඒ වගේ ම වැඩි පිරිසකට වෘත්තීමය ගරුත්වයක් නෑ වගේ ම වෘත්තීමය වශයෙන් නොදැනුවත්වීම හා වෘත්තීය හඳුනා නොගැනීම ඔවුන්ට තියෙන අ‍ඩුවක් ලෙසයි මා දකින්නෙ.

නව පරපුරේ ඉතා දක්ෂ නිවේදක ශිල්පීන් ඉන්නවා. නමුත් අල්පයි.

 

• ඔබ මුල්ම සම්මානයෙන් පිදුම් ලබන්නේ ඔබේ රංගන ප්‍රතිභාව වෙනුවෙන්. ඇයි රංගනයෙන් ඉදිරියට යන්නට සිතුවේ නැත්තේ?

මෙහෙමයි. මම ගුවන් විදුලියේ වැඩ කළාට රංගනය පැත්තෙන් කිසිම දෙයකට සම්බන්ධ වෙනවාට අම්මගෙයි, තාත්තගෙයි මට අවසරය ලැබුණේ නෑ. ඒ නිසා වෙන්නැති අද භාෂිණී කියන නිවේදිකාවට මෙතෙක් දුර එන්නට හැකියාව ලැබෙන්නටත් ඇත්තෙ...

 

• සමස්ථ ගුවන්විදුලි නාළිකා ගැන භාෂිණිට මොකද හිතෙන්නෙ?

අද වනවිට ගුවන්විදුලි නාළිකා ගොඩක් තියෙනවා. ඒ අතර ලොකු තරගයක් තියෙනවා. නමුත් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් එහි ගුණාත්මක බව වියැකී යනදේට මම පෞද්ගලිකවම එකඟ ‍වන්නෙ නෑ. මම හිතන්නෙ ගුණාත්මක රේඩියෝවලට තාමත් අවස්ථාව තියෙනවා කියලයි.

Comments