සතියේ ගීතය | සිළුමිණ

සතියේ ගීතය

මල් පිපී නුඹේ ළමැදේ සිහින විලේ

වැව් දියත් නැගේ ඒ වෙත තුරුලු වෙතේ

හිත දරා ගන්න බෑ ඉවුරට සුවඳ ගෙනේ

මල් නෙළා ගන්න තව පුර හඳ ගණිනු නොහේ

පුර පෝය හඳට රන් තරු ඇමුණුවා වගේ

සුදු සේල ගෙලට මුතු පළඳන දිනක නුඹේ

මුදු සීත සුළං අප තනියට හිඳින වෙලේ

වැව් ඉවුරු කොනේ ඒ මල් පෙති සිඹිනු සිතේ

සිත නුරා හැඟුම් මුල් දියවර ගලන දිනේ

නෙත වසා ගනිමි ඒ දිය මැද කිමිද ඔහේ

කිරි සිනා හඳක් පෑයූ දා නිමා නොවේ

මුව කෝල බැලුම් ඉන් මතු දවසටත් අගේ

හඬ - හර්ෂ සමීර සේනානායක
පද - රොෂාන් රුබේරු
ස්වර - රෝහණ ධර්මකීර්ති

මල් පිපී නුඹේ ළමැදේ සිහින විලේ ප්‍රේමය පිළිබඳව නවකයින්ගේ අත්දැකීමක්

ඈත් බව දුරස් බව ප්‍රේමයට විටෙක ලබා දෙන්නේ නොමද සුන්දරත්වයකි. දැකීමෙන් ම පමණක් සියලු සංවේදනාවන් සංතර්පනය කළ යුතු යැයි සදාචාරය විසින් තහංචි පනවා ඇති ගැමි පරිසරයක ප්‍රේමය කෙතරම් සොඳුරු ද?

නොඉවසිලිමත්භාවය, කවි සිතිවිලි බවට පත් වූ විටෙක එක තවත් සොඳුරු සිත්තමකි.

මල් පිපී නුඹේ ළමැදේ සිහින විලේ

නවක පද රචකයකු අතින් ලියැවී නවක හඬකින් ඇසෙන මේ පද පෙළ සංගීතවත් වූයේ ප්‍රවීණයකු අතිනි. ප්‍රවීණ සංගීතවේදී රෝහණ ධර්මකීර්ති මෙහි සංගීත අධ්‍යක්ෂවරයා ය. නිර්මාණකරුවන්ගේ නවක, ආධුනික බව ගැන ඔහු කීවේ මේ ආකාරයටයි.

මම විශ්වාස කරන විදියට කටහඬකට හෝ හොඳ වචනවලට ආධුනික හෝ නවක කියල බේදයක් නෑ. ඇතැම් නිර්මාණකරුවන් කරල තියෙන්නෙ එක ම නිර්මාණයයි. මහාචාර්ය සනත් නන්දසිරි ගායනා කරන එදා මෙදාතුර ගීත ලියූ විමල් ජයශාන්ත, විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන මලක් මලෙක ගෑවුණාට ලියූ සිරිතිලක මානවිල, කැරකෙන රෝදේ ලියූ සිරිල් සමරකෝන් වගේ අය හොඳ ම උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ඒ කිසි ම නිර්මාණයක ආධුනික හෝ නවක බවක් නෑ. මේ නිර්මාණයත් එහෙම තමයි.

ඇත්තට ම මේ පද මාලාව දැකපු ගමන් මගේ හිතට ආපු සංගීත රාවය තමයි මම ඊට එකතු කළේ. ගැමි පරිසරයක දිවෙන ප්‍රේමනීය හැගීම් සඟවාගත්ත, දුර සිට කරන ප්‍රේමයක කතාවක් මේකෙ තියෙන්නෙ. විශේෂයෙන් ම මේ සඳහා මම වයලීනය යොදා ගත්තා.

යටකී සදාචාරය විසින් මවන දුරස් ප්රේ මයේ සුන්දරත්වය ගැමි තරුණයා තුළ සිහිනවලට පාර කියයි. දිය දහර සිය පෙම්වතියගේ ශරීරය ස්පර්ශ වීම දෙස ඊර්ශියාවෙන් බලන තරුණයා සිහින සාගරය ඔස්සේ කිමිදෙන්නේ ද ඒ ඔස්සේ ය.

මම ලියපු ගීත කිහිපයක් අතරෙ නිර්මාණයක් විදියට මුලින් ම එළියට ආවෙ මේ මල් පිපී ගීතයයි. ගීතය ලිවීම සඳහා ඍජු අත්දැකීමක් පාදක වුණේ නැතත්, තවමත් අපේ ගැමි පරිසරයේ තියෙන දහසක් බලාපොරොත්තු හිත්වල පොදි බැඳගෙන ඉන් අංශු මාත්‍රයක්වත් ස්පර්ශ කර ගන්න බැරි සුන්දර වයලීනයක් ගැන තමයි ගීතයට ඇතුළත් වුණේ. පෙම්වතකු සිය සිත තුළ ප්‍රේමයේ දී මෝදුවන නොඉවසුම් හැඟීම් තුළ කිමිදෙමින් ඒවා මනසින් ස්පර්ශ කරන ආකාරය තමයි ගීතයේ තිබෙන්නෙ. විශේෂයෙන් ම මේ දුරස් බව නිසා ම හටගන්නා සුන්දරත්වය ප්‍රේමය ජීවමාන කරවනවා. ගීතයේ රචක රොෂාන් රුබේරු සිය සම්බන්ධයෙන් දැක්වූයේ එවැනි අදහසකි.

මේ අපූර්ව ප්‍රේම කතාවේ නිමාවක් දකිනු නොරිසි තරුණයා, අනාගත ලෝකය ද මනසින් චිත්‍රණය කරයි. කිරි සුවඳ උතුර දවසක ද ඒ කිරි සුවඳ මැද ඔහු මේ දුරස් බවින් සුන්දර වූ ප්‍රේමය ම අපේක්ෂා කරයි.

සිය දෙවැනි ගීත නිර්මාණය ලෙස මෙම ගීතය ගැයූ හර්ෂ සමීර සේනානායක ඒ සම්බන්ධයෙන් සිය මතකය මෙසේ අවදි කළේ ය.

මේ මගේ දෙවැනි ගීතය. අපි වගේ ආධුනික මට්ටමේ ගායකයන් වෙනුවෙන් නොපැකිළ සිය සංගීත ඥානය වචන හා මුසු කරන්නට ප්‍රවීණ සංගීතවේදී රෝහණ ධර්මකීර්ති දැක් වූ නිහතමානී දායකත්වය ගැන සඳහන් කළ යුතුමයි. ඒ වගේ ම පද රචනය කර දුන් රොෂාන් රුබේරු සහෝදරයාටත් ස්තුතියි. ගීතය තුළින් කියැවෙන්නෙ අද අපට නිර්මාණ තුළින් අසන්නට දකින්නට අඩු, ප්‍රේමය පිළිබඳ වෙනස් කතාවක්. ඒ නිසා ගීතය ඉතා කැමැත්තෙන් ගායනා කළා

අවර ගණයේ නිර්මාණ බිහිවන සහ ඒවාට අසාමාන්‍ය ප්‍රතිචාරයන් ලැබෙන අද වන් යුගයක, මෙවැනි නිර්මාණ බිහි කිරීමට උත්තේජනය සැපයීම සේ ම ඒවා ජනතාව අතරට රැගෙන යාමට අවශ්‍ය පාලම සකස් කිරීම අප සතු කාර්ය භාරයකි. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.