HOLLYWOOD

 ළාබාල කෝටිපතිනිය සෙන්ද්‍රයා

‘ස්පයිඩර් මෑන්: හෝම් කමින්’ චිත්‍රපටය දැන් ලොව පුරා තිරගත වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන සුරූපී යොවුන් නිළියක් සිටිනවා. ඇය තමයි, සෙන්ද්‍රයා. එය තරමක නුහුරු නමක්.

ඇය තවමත් 20 වැනි වියෙහි පසුවන යුවතියක්. වයසින් ළාබාල වුණත් මේ වනවිට ඇය, තම ජීවිතයේ ඉහළ මට්ටමකට පැමිණ සිටිනවා. වෘත්තීය නිළියක ලෙස ප්‍රවීණත්වයට පත්වෙන්නටත් කලින් මේ හුරුබුහුටි දැරිය සුඛෝපභෝගී නිවෙසක හිමිකාරියක් වෙලා. වර්ග අඩි 4,155ක වපසරියක විහිදී ඇති මේ දෙමහල් නිවසෙහි නිදන කාමර 5ක් සහ නාන කාමර 5ක් තිබෙනවා. කුඩා කාලයේදී සුව පහසු ජීවිතයක් ගත නොකළ තමන්, මෙවැනි සුඛෝපභෝගී නිවහනක් පිළිබඳව සිහින මැවූ බවයි, සෙන්ද්‍රයා කියා සිටියේ.

“මම පුංචි කාලෙ ජීවත් වුණේ තට්ටු ගේක නෙමෙයි. ඒ ගෙදර ඒ.සී. තිබුණෙ නැහැ. ස්විමින් පූල් එකක් තිබුණෙත් නැහැ.” සෙන්ද්‍රයා එලෙස කීවේ අතීතය සිහිපත් කරමින්. ඇගේ මේ අලුත් නිවසෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක්. පිහිටා ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවරයි.

මේ සුපිරි නිවසෙහි කිරි ගරු‍ඬෙන් තැනූ නාන කාමර මෙන් ම සුපිරි නාන තටාක ඇතුළු තවත් අංග රැසක් තිබෙන බවයි හොලිවුඩ් මාධ්‍ය ප්‍රකාශ කරන‍්නේ.


 

කැතරින්ගේ වගකීම් රහිත සෙනෙහසක්

වයස අවුරුදු 8ක්වූ නැන්සි දියණියත්, වයස 4ක්වූ ඇඩලේඩ් දියණියත් එක රැයකට ගෙදර නවතා පිට පළාතකට යෑම, ජනප්‍රිය නිළි කැතරින් හීග්ල්ට තරමක අපහසු කටයුත්තක් වුණා. ඊටත් වඩා අමාරු කාරණයක් වුණේ මාස තුනක් වයසැති බිලිඳු පුතුද ගෙදර නවතා යාමට සිදුවීමයි. කැතරින්ට තම නිවසින් බැහැර වන්නට සිදුවුණේ ලාස් වේගාස් නුවර පැවැත්වුණු ‘සිනමා කොන්’ සම්මාන උලෙළට සහභාගිවිය යුතුවූ නිසයි. ඉතා අපහසුවෙන් එම උත්සවයට සහභාගිවීමට තීරණය කළ කැතරින්, ඊට තම සැමියා ජෝශ් කෙළී ද එක්කර ගත්තා.

“පුංචි පුතාට තාම මාස 3යි. පුතාව දාලා ගෙදරින් පිට ගිය මුල්ම වතාවයි මේ. ඒක මට දැනුණෙ වගකීම් රහිත දෙයක් කියලයි. මම නැතුව එක දවසක් කියල කියන්නෙ පුතාගෙ වැඩ කටයුතු හැම එකක් ම අවුල් වුණා ය කියලයි.” කැතරින්, ලාස් වේගාස් සංචාරයට කලින් මාධ්‍යයට එලෙස ප්‍රකාශ කළා.


විරූපී සුරූපී වෙලා

මෙලානි ග්‍රිෆිත්, ජනප්‍රිය හොලිවුඩ් නිළියක්. ඇය විවාහ වී සිටියේ ජනප්‍රිය නළු ඇන්ටෝනියෝ බැන්ඩරාස් සමඟයි. වසර 18ක් ඔහු සමඟ යුග දිවිය ගත කළ මෙලානි, 2015 දී ඔහුගෙන් වෙන්වූවා.

මේ වන විට 59 වැනි වියෙහි පසුවන මෙලානි, අතීතයේ සිදු කළ වරදක් ගැන අද පසුත‍ැවෙමින් කතා කරනවා. “මීට වසර ගණනකට කලින් මම ප්ලාස්ටික් සැත්කමක් කර ගත්තා. මාව දැකපු හැමෝම කියන්න ගත්තා, ‘දෙවියනේ, මොකක්ද මෙයා කරගෙන තියෙන වින්නැහිය කියලා. ඒ කතා මගේ හිතට තදින් ම වැදුණා. ඉතින් මම ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහින් මගේ මූණෙ ස්වරූපය වෙනස් කර ගත්තා. ඊට පස්සෙ තමයි, මගේ නියම ස්වරූපය මතු වුණේ.” මෙලානි එලෙස අතීතය සිහිපත් කරන්නේ අනාගතයේදී දැනට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න හිතා ගෙනයි.

මේ වන විට ඇය තරුණ දරුවන් තිදෙනකුගේ මවක්. වැඩිමලා ඇලෙක්සැන්ඩර් බයර් (31) දෙවැන්නිය ඩැකෝටා ජොන්සන් (27) බාලයා විසි වියැති ස්ටෙලා බැන්ඩරාස්.


 

‘ඔස්කා’ ගේ මීළඟ හතර

ආයෙමත් වැරැද්දක් සිදුනොවන්නටදෝ මීළඟ වසර 4 තුළදී පැවැත්වෙන ඔස්කා සම්මාන උලෙළ 4 පිළිබඳව වූ පූර්ව නිවේදනයක් දැනටමත් නිකුත් කර තිබෙනවා.

මේ පූර්ව දැනුම් දීම අනුව ලබන වසරේදී ඔස්කා සම්මාන උලෙළ පැවැත්වෙන්නේ මාර්තු 4 දායි. ලබන වසර ඔස්කා සම්මාන උලෙළට විශේෂයි. ඒ, මෙම සිනමා උලෙළ 90 වැනි වතාවට පැවැත්වෙන නිසයි. 2019 වසරේදී 91 වැනි සම්මාන උලෙළ පැවැත්වෙන්නේ පෙබරවාරි 24 දායි. 2020 පෙබරවාරි 23 දා තමයි 92 වැනි ඔස්කා සම්මාන උලෙළ පැවැත්වෙන්නේ. 2021 වසරේ ඔස්කා සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ එම වසරේ පෙබරවාරි 28 දායි. ලබන වසරේ පැවැත්වෙන 90 වැනි සම්මාන රාත්‍රියේ පූරක හැටියට ජනප්‍රිය රූපවාහිනී ශිල්පියකු වන ජිම් කිමෙල් ව ‍‍තෝරාගෙන ඇති බවයි පැවසෙන්නේ.


 

කම්පියුටරය කුලියට ගත් වින් ඩීසල්

වින් ඩීසල් හොලිවුඩ් සිනමාවට පිවිසුණේ දහසක් බාධක මැද්දේ. අද ඔහු හොලිවුඩයේ ජනප්‍රිය නළු ලැයිස්තුවේ කැපී පෙනෙන තරුවක් බවට පත්වෙලා. මෑතකදී පැවැති සම්මුඛ සාකච්ඡාවකදී තමන් අත්විඳි කටුක අත්දැකීම් ඔහු හෙළිකළා. එයින් එක් අවස්ථාවක් වන්නේ ඔහු මුල්වරට තිර නාටකයක් රචනා කළ ආකාරයයි.

“මම මුලින් ම තිර රචනයක් කරද්දී සල්ලි ටිකක් ඕනැ වුණා. ඒ, පොඩි කම්පියුටර් එකක් ගන්න. හැබැයි සල්ලිවලට නෙමෙයි. කුලියට ගන්න. නිව්යෝක් වල 14 වැනි වීදියේ තිබුණා, ‘විස්’ (Wiz) කියල සාප්පුවක්. ඒක ‍ඉලෙක්ට්‍රොනික් බඩු කුලියට දෙන තැනක්. මම ගිහිල්ල ඇහුවා, කම්පියුටර් එකක් කුලියට ගන්න පුළුවන්ද කියලා. පුළුවන් කිව්වා. දවස් 30ක කුලිය ඩොලර් 600යි. ඉතින්, මගේ ස්ටුඩන්ට් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඒ මුදල දීල කම්පියුටරය ගත්තා. දවස් 30න් ආපහු දෙන්න ඕනෙ නිසා, මම රෑ නිදි නැතුව කොහොම හරි තිර රචනය ලියලා ඉවර කරගත්තා.” වින් ඩීසල් ජයග්‍රාහී ලීලාවෙන් කියා සිටියා. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.