නෙතට, හදවතට රස කැන්දන ‘මහවැලි ප්‍රතිභා’ | සිළුමිණ

නෙතට, හදවතට රස කැන්දන ‘මහවැලි ප්‍රතිභා’

 මහවැලි ප්‍රදේශවල දූ පුතුන්ගේ කලා හා සංස්කෘතික නිර්මාණ පෙළ ගැසුණු “මහවැලි ප්‍රතිභා“ අන්තර් කලාපීය සංස්කෘතික මංගල්‍යය මේ මස 27 වැනි දා සවස 6.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. මේ විශේෂ ලිපිය ඒ නිමිත්තෙනි.

 

“මහවැලි ව්‍යාපාරය ‘එතෙක් මෙතෙක් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වී ඇති අතිදැවැන්තම සංවර්ධන වැඩසටහන ලෙස පිළිගැනේ. කලාප 10ක් පුරා පැතුරුණු මහවැලිය දිවයිනේ සියයට 40ක් පමණ ප්‍රදේශයක් ආවරණය කරයි.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ රජය මගින් තිස් අවුරුදු සැලැස්මක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ මහවැලි ව්‍යාපාරය 1977 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය මෙය කඩිනම් සංවර්ධන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කළේය. මෙම යෝධ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වූයේ මෙරට කෘෂි කර්මාන්තය කලාපයේ ඉහළම ස්ථානයක් වෙත ඔසවා තැබීමයි. ඒ අනුව මහවැලි ගම්මානවල පදිංචි කරවනු ලැබූ ජනතාව කෘෂි කර්මාන්තය මූලික කරගත් ජීවනෝපායන්හි නිරත වූ අතර එකී ජීවනෝපාය සාර්ථක කර ගැනීම සඳහා අවැසි වූ සියලුම පහසුකම් රජය මගින් නොඅඩුව හා අප්‍රමාදව සම්පාදනය කෙරුණි. මෙම කටයුත්ත සදහා එවකට මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව කටයුතු කල ගාමිණී දිසානායක මහතා සුවිශේෂ නායකත්වයක් ලබා දීමද කැපී පෙනේ.

මහවැලි ගොවි රජකුගේ පුතකු ලෙස හැදින්වෙන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ව්‍යාපෘතියේ අරමුණු හොඳින්ම හඳුනා ගත් අයකු ලෙස ප්‍රකටය. වර්තමානයේ මහවැලි ව්‍යාපාරය මෙහෙයවීමේ සුක්කානමද ජනාධිපති තුමා සතුය. මහවැලියේ ස්වර්ණමය දශකය වූ ගාමිණි දිසානායක කාලය තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාව නොලැබුණු “ මොරගහකන්ද“ වැනි අතිදැවැන්ත වාරි ව්‍යාපෘති පවා අරඹන්නට වත්මන් ජනාධිපතිවරයාට හැකියාව ලැබුණු අතර මහවැලි ගොවි ජනපදවල පදිංචි ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා වන ව්‍යාපෘති රැසක්ද දැන් ආරම්භ වී තිබේ.

මහවැලි ජනතාවගේ හා මහවැලි ගම්මාන වල පිහිටි පාසල්වල අධ්‍යාපනය හදාරන දරුදැරියන්ගේ කලා හා සංස්කෘතික හැකියාවන් ඔප මට්ටම් කිරීම අරමුණු කර ගනිමින් “මහවැලි සංස්කෘතික බළකායක්’’ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ස්ථාපිත කර තිබේ. ඒ අනුව එම බලකාය හා මහවැලි කේන්ද්‍රය එකතුව තම කලා හා සංස්කෘතික හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් “මහවැලි ප්‍රතිභා’’ නමින් අන්තර් කලාපීය සංස්කෘතික මංගල්‍යයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති අතර එම මංගල්‍යය අති උත්කර්ෂයෙන් මේ මස 27 වැනි දින සවස 6.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවත්වේ.

මහවැලි ගම්මානවල වෙසෙන දරු දැරියන්ගේ කලා කුසලතා හඳුනා ගැනීම, කලා කුසලතා වැඩි දියුණු කර ගැනීමට මඟ පෙන්වීම, ශ්‍රී ලාංකික අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සංස්කෘතිකාංග ප්‍රචලිත කිරීමට කටයුතු යෙදීම, මහවැලි කලාපීය දරු දැරියන් සඳහා දේශීයව මෙන්ම අන්තර්ජාතිකව ද තම දක්ෂතා ඉදිරිපත් කිරීමට හැකි වේදිකාවක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ දීර්ඝ කාලීන අරමුණු අතර වේ.

පසුගිය වසරේදී ආරම්භ වුණු “මහවැලි ප්‍රතිභා‘‘ සංස්කෘතික මංගල්‍යය සැම වසරකදීම පැවැත්වීමට එහි සංවිධායකයන් තීරණය කරන්නේ එකී අරමුණු ද පෙරදැරිවයි.

මෙම “මහවැලි ප්‍රතිභා“ අන්තර් කලාපීය සංස්කෘතික මංගල්‍යය වඩාත් විචිත්‍රවත් කරමින් ගායන, වාදන, නර්තන, නිවේදන, තරග පමණක් නොව කථික, රචනා, චිත්‍ර, ගීත රචනා, කෙටි නාට්‍ය වැනි තරග ඉසව් රැසක්ද පැවැත්වේ. මීට මහවැලි දරුදැරියන් 850ක් පමණ සහභාගී වන අතර එම දරු දැරියන් තම හැකියාවන්හි උපරිමය 27 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී විදහා දැක්වීමට දැන් සිටම සුදාන්ම් වෙති. එහිදී ඔවුහු මෑතකදී ආරම්භ වුණු මොරගහකන්ද ව්‍යාපෘතිය හා අනාගත මහවැලිය යන තේමාව ඔස්සේ ස්වකීය කලා හා සංස්කෘතික නිර්මාණ පෙළ ගස්සවා ඇති අතර විවිධ ප්‍රශ්න හා ගැටලු හමුවේ පීඩාවට පත් මහවැලි කලාපවල පදිංචි ගොවි ජනතාවගේ නෙතට මෙන්ම හදවතට ද නව නිර්මාණ ඔස්සේ අස්වැසිල්ලක් දීමට බලාපොරොත්තු වෙති.

මහවැලි සංස්කෘතික බළකාය මෙසේ පණ ගැන්වීම, එදිනෙදා ජීවිතයේ වෙහෙස මේ ගොවිජනතාව වෙතින් ඈත්ව යෑමට බලපාන මඟක් වනවාට අමතරව පොදු සමාජයේ හිත් සන්සුන් වීමට ද හේතු වන්නකි. කලා සංස්කෘතික ක්‍රියාකාරීත්වයේ දිගින් දිගට ම මහවැලි දරු දැරියන් රඳවා ගැනීම ද මෙම ව්‍යාපෘතියේ ඉලක්කයකි.

චන්දිමා එදිරිමාන්න

Comments