අලුත් සහල් මංග­ල්්ලය හෙවත් හෙළ­දිව මහා සංස්කෘ­තික සිරිත

හෙළයේ මහා ගොවි පිළි­වෙත ජාතික අලුත් සහල් මංගල්‍යය ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඉකුත් 08 වැනිදා  පෙර­ව­රුවේ  අනු­රා­ධ­පුර ශ්‍රී මහා බෝ සමි­ඳුන් අබි­ය­සදී පැවැති අයුරු...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉකුත් 08 වැනිදා ඓතිහාසික ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියස පැවැති අලුත් සහල් මංගල්ලයට එක් වෙමින් සංකේතවත් කරන ලද්දේ රටේ ජනනායකයා ලෙස රටට සෞභාග්‍යය රැගෙන එමින් ජාතියේ කුසගින්න නිවා ලන ගොවි ජනතාවට හා කෘෂිකර්මයට සිය ප්‍රණාමය දැක්වීමයි.

මේ ජාතික සංස්කෘතික පිළිවෙතෙහි ඉතිහාසය සිංහල රජකාලය තෙක් දිව යන්නකි. මෙරටේ සිංහල බෞද්ධ ජනතාව මෙන්ම ලෝක බෞද්ධ ජනතාවද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා කරන්නේත්, ගෞරව භක්තිය දක්වන්නේත් ජීවමාන බුදුන් වහන්සේට කරනු ලබන උත්තම පූජාවක් ලෙස සලකමිනි. මේ උතුම් බෝධිය අනාධිමත් කාලයක් මුළුල්ලේ මේ රටේ ජනයාට පිහිට වන, හාස්කම්වලින් පිරුණු උතුම් පූජනීය වස්තුවක් ලෙස විශ්වාසයක් පවතී. මහපොළොව සරු කිරීමටත් ගොවිතැන් බත්වලින් නිසි ඵල ලැබීමටත් අවශ්‍යම සම්පත වර්ෂාව හෙවත් වැස්ස බව ගොවියෝ දනිති.

මේ වැස්ස ලබාදීමේ මහපින්බලයක් හාස්කමක් කිරීමේ ශක්තියක් බුදුන් වහන්සේගේ ආනුභාවයෙන් මේ උතුම් බෝධීන් වහන්සේට හිමි වී ඇතැයි ද ගැමියෝ විශ්වාස කරති. රජරට ගොවියන් නියං කාලයේ දී වැසි ලබාදෙන ලෙස කන්නලව් කරමින් පැන් පෙරහර නමින් චාරිත්‍රයක් ඉටු කරන බව ද කියති.

 

සංස්කෘතික උරුමය

 

ගොවියන් සිය අස්වැන්නේ අග්‍රඵලය පූජා කරන්නේ අලුත් අවුරුද්දට පෙර අස්වනු නෙළාගෙන එහි නොඉඳුල් සහලින් තමන්ට රැකවරණය සලසන මේ උතුම් බෝධීන් වහන්සේට පූජා කිරීම සංස්කෘතික උලෙළක් ලෙස සිදු වූවකි. රජරට සංස්කෘතික උරුමයේ සාඩම්බර හිමිකරුවතු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ හෙළ සිරිත සපුරාලීමෙන් කෘෂි කර්මාන්තයට දක්වන ගෞරවය ද පිළිබිඹු වේ.

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන පරිදි සිංහල අලුත් අවුරුද්ද උදා වීමට පෙර - එනම්: අ‍ෙප්‍ර්ල් මාසය ආරම්භයේ දී - බෝධීන් වහන්සේ අබියස ගිලන්පස බුද්ධපූජාවක් පවත්වා, ඉන් පසු රන් පත්‍රයෙහි කිරිආහාර පූජාවක් පවත්වා මේ පූජාව සිදු කරනු ලැබේ.

'සිංහල මාලා කවි සංදේශය' කෘතියේ 'මා වී උත්පත්තිය' සහ ඟොයම් මාලය' නමැති පද්‍ය පන්තියේ 'අලුත් සහල් මංගල්ලේ' යනුවෙන් සඳහන් කර ඇත්තේ මේ පූජා සිරිත බව පෙනේ.

 

ගෞතම මුනිඳුගෙ සස්න මුළුල්ලේ

සිව් වර දෙවියන් සහ මෙසියල්ලේ

ලෙව් සත රකිනා උපතකි ලොල්ලේ

සව් සිරි වෙයි අලුත් සහල් මංගල්ලේ

 

ලෝක සත්ත්වයන් රැකීම සඳහාත් සියලු යස ඉසුරු උදා වීම සඳහාත් මේ සිරිත පැවැත්වූ බව නිසැකය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පමණක් නොව ගොවි නායකයකුගේ පුතකු ලෙස හා ගොවි ජනහද හඳුනන, ගොවි සිතුම් පැතුම් අගයන ගොවියකු ලෙසත් මේ සිරිත ඉටු කළ බව නිසැකය. මේ ජනාධිපතිතුමාගේ වචනයි:

"අලුත් සහල් මංගල්ලය වගේම අලුත් අස්වනු බුදුන් වහන්සේට පූජා කිරීම දෙවියන්ට පූජා කිරීම අපේ රටේ පමණක් නෙවෙයි, විශේෂයෙන්ම ආසියාතික සංස්කෘතීන් තුළ දිගු ඉතිහාසයක් තිබෙන කීර්තිමත් කතාන්තරයක්.

බෞද්ධ හින්දු සමාජය‍ මේ කටයුත්තට ප්‍රමුඛත්වය දී තිබෙනවා. මේ සියල්ලෙන්ම අප බලාපොරොත්තු වන්නේ අපේ රට ආහාරවලින් ස්වයංපෝෂිත වීම, සහලින් ස්වයංපෝෂිත වීම, අස්වනු සරු වීම, කලට වැසි වැසීම, යහපත් සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති වීම යන කරුණුයි."

ශ්‍රී ලාංකික ආර්ථිකය හා සංවර්ධනය පිළිබඳව අද කෙරෙන සංවාදවල දී වුවද බොහෝ විද්වතුන් විසින් පිළිගන්නා ලද එක් කරුණක් නම් මේ රටේ ජනතා‍වගේ ප්‍රධාන ජීවන උපායක් ලෙස කෘෂිකර්මාන්තය පැවැති බවයි. ජලය රැස් කරගැනීම ගැන යොමු වූ අවධානය නිසාම රටේ වාරි සංස්කෘතිය ඉතා දියුණු ව පැවැති බව ද පිළිගනු ලැබේ.‍ නිදහසින් පසු බිහි වූ ආණ්ඩුවලටද මේ රටේ ගොවි ජනතාව අමතක කිරීමට නොහැකි වූයේ මේ පසුබිමෙහිය.

 

මොරගහකන්ද ව්‍යාපෘතිය

 

රජරටින් බිහි වූ නායකයකු ලෙස වත්මන් ජනාධිපතිවරයා සිය දේශපාලන චර්යාව තුළ ගොවියා හා ගොවියාගේ ගැටලුව පිළිබඳ දක්වන අවධානය ඉමහත්ය. උතුරු මැද රජරට ගොවි ජනතාවගේ දුක් කඳුළු ඇසින් දුටු කනින් ඇසූ දේශපාලනඥයකුට කිසි‍ විටෙක ඒ ගොවිජන දුක මඟහැර යා නොහැකි බව ජනාධිපතිවරයා නිබඳව කරන අවධාරණයකි.

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියේ යථාර්ථයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය සුළුපටු නොවේ. එහි ප්‍රතිඵලය ලෙස මේ වන විට අනුරාධපුර, පොලොන්නරුව, කුරුණැගල දිස්ත්‍රික්කවලට මෙන්ම උතුරු පළාතට යාබද ප්‍රදේශ කිහිපයකටද මොරගහකන්දේ ජලය ලබා ගැනීමට හැකි වී තිබේ.

සිංහල රජ දවසින් පසු මෙබඳු විශාල ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක පළමු අවස්ථාවද මෙයය. මොරගහකන්ද ජලාශය මේ වන විට පරාක්‍රම සමුද්‍රය ජලාශයට වඩා ධාරිතාවකින් යුක්ත බව ද සඳහන් කළ යුතුය. අද ලෝකයේ රටවල් ගණනාවක්ම මේ ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීමද ගොවි ජනතාව ලද ජයග්‍රහණයක් වැන්න.

උතුරුමැද පළාතේ පළමුවන සියවසේ සිට තුන්වන සියවස දක්වා වු කාලය තුළ පමණක් වැව් හා ඇළ මාර්ග දෙසීයකට වඩා ඉදි වූ බව ඉතිහාසය පෙන්වා දෙයි. මේ වැව් පද්ධතිය නිසා රටක් ලෙස අප ලද සමෘද්ධිය කෙබඳුද යන්න වටහා ගත් රාජ්‍ය නායකයකු ලෙසද වත්මන් ජනපතිවරයා ඉදිරියෙන් සිටියි. අපගේ වාරි සංස්කෘතිය පිළිබඳ සඳහන් කළ ආර්.එල්. බ්‍රෝහියර් කියා සිටියේ පුරාණ සිංහලයන් විසින් කරන ලද විස්මයජනක වැව් කර්මාන්තය මඟින් ඔවුන්ගේ ඉතිහාසයේ සාඩම්බරය මෙන්ම ඥ‍ාන සම්භාරයද පිළිබිඹු වන බවයි.

වත්මන් ජනාධිපතිවරයා සංස්කෘතික ඉතිහාසය මත පරිස්සමින් පියවර තබමින්, ජාතික හා සංස්කෘතික විවිධත්වය ගරු කරමින් යහ දේශපාලන ගමනක නිරතව සිටියි. ඇමෙරිකාව, රුසියාව මෙන්ම චීනය හා ඉන්දියාවද අද ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත්ව සිටිති. මෛත්‍රී දේශපාලන දැක්ම තුළ අතින් බත් කන මිනිසා සහ ගෑරුප්පුවෙන් බත් කන මිනිසා යන භේදය ගෑවිලාවත් නැත. එය මේ රටේ භාග්‍යයකි. බලයට පත් වන බොහෝ නායකන්ට ගම පමණක් නොව තමන්ගේ ඉතිහාසයද අමතක වීමේ රෝගය අද අපේ දේශපාලනයේ නරකම ලකුණක් වී තිබේ. එහෙත් වත්මන් ජනාධිපතිවරයා සරල, සැහැල්ලු පිළිවෙත් අගයන නායකයෙකි.

 

අලුත් අස්වැන්න

 

ජනාධිපතිවරයා මෙවර පොලොන්නරුවේ තමා හැදුණු වැඩුණු ලක්ෂ උයන ගමේ පැරණි නිවෙසට යන්නේද නිහතමානී ගුණය නිසාමය. සිය උරුමයෙන් ලද කුඹුරෙහි අලුත් අස්වැන්නද රැගෙන තම අතීත මතකයන් ආවර්ජනය කරමින් පොලොන්නරුව ගල් විහාරයට පැමිණ රජරට නියඟය දුරලීමට පිහිටාධාර ඉල්ලා වූ භාරයද ඉටු කිරීමට ඔහු අමතක නොකළේය. වසර පනහක් ජීවත් වූ නිවෙසේ සහෝදර සහෝදරියන් සමඟ සතුටු සිනා පමණක් නොව දුක් කඳුළද බෙදාහදාගත් නිවෙස දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටින්නටද ජනපතිවරයා අමතක නොකළේය. තම අතීතය හා බැඳුණු අප්‍රමාණ සැමරුම් ඒ පරිසරය තුළ මොන තරම් තිබෙන්නට ඇත්ද?

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස හැඳින්වීම ‍‍නොඉවසන සංවර්ධන විශේෂඥයෝද හිඟ නොවෙති. එහෙත් මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයා අතැඹූලක් සේ දන්නේ ලංකාවේ ඉතිහාසය කෘෂිකර්මාන්තය පිළිබඳ ඉතිහාසයක් බවයි. එසේ නම් අන් සියල්ල මෙන්ම ඒ ගොවිතැන සඳහාද ප්‍රමාණවත් පහසුකම් සැපයීමත් ගොවිතැනට වියදම් සෙවීමත් ගොවියකු ලෙස තම වගකීමක් බව ද ජනපතිවරයා දනී.

 

ගොවිදුක හඳ­ුනන නායකයා

 

ශ්‍රීලනිප නිර්මාතෘ ඇස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක අගමැතිවරයාගේ දේශපාලන දර්ශනයේ පංච මහා බලවේගයේ එක් කුලුනක් ‍වන්නේද ගෙ‍ාවිතැනයි. අදටත් ගැමි ජනතාවගේ ගෞරවය ඒ පක්ෂයට හිමි වී තිබේ. පරිසර හිතකාමි සමාජයක්, වසවිස නැති ‍කෘෂි සංස්කෘතියක් ගොඩනැඟීම සඳහාත්, දුගී බවින් තෙ‍‍ාර නීරෝගි ජනතාවක් බිහිකිරීමටත් මෛත්‍රී දේශපාලනයේ සම්පූර්ණ ශක්තිය යොමු වන්නේ මේ පසුබිම තුළය.

විශේෂයෙන් නියගය නිසා පීඩාවට පත් ගොවි ජනතාව සඳහා රුපියල් මිලියන 7000කට වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමට පියවර ගත්තේද ගොවිදුක හඳුනන නායකයකු ලෙසය. සැබවින්ම ජනපතිවරයාගේ අරමුණ උතුරු මැද රජරට ගොවි ආර්ථිකයද ඔසවා තබන සංවර්ධනයකි.

වෙනස් වන ‍ලෝකය විසින් මානව වර්ගයාට අත්පත් කරන ලද නවීන විද්‍යාත්මක හා තාක්ෂණික ජයග්‍රහණයන්ද ලෝක ඥාන විභාගය පිළිබඳ අවබෝධයද ඇතිව පුළුල් ජාතික සමඟිය හා සංහිඳියාව තහවුරු වූ ශ්‍රී ලංකාවක් ‍ගොඩනැංවීමටද ජනපතිවරයා කැපවී සිටී. සත්තකින්ම අපට නැඟී සිටිය හැක්කේද සියලු ජනවර්ග එක්ව සංහිඳියාවෙන් ක්‍රියා කරන සමාජ සංකෘතික පසුබිමක පමණි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.