කොටි සාමාජිකයෝත් මගෙන් බණ ඇසුවා

 සිංහල සහ දෙමළ ද්වි භාෂාවන්ගෙන්ම විශිෂ්ට ධර්ම කථිකයකු වන ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලි අනුනාහිමියන් එදා අදහස් දක්වමින් කියා සිටියේ ජාතීන් අතර දුරස්ථභාවය තුරන් කිරීම සඳහා භික්ෂුවට සුවිශාල කාර්යභාරයක් තිබෙන බවයි. ඒ පිළිබඳ උන්වහන්සේගේ ජීවත්ව සිටියදී කළ සාකච්ඡාවකි මේ.

• ඔබ වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වූ හැටි සිහිපත් කළ හැකි ද?

මගේ උපන් ගම බළපිටිය. යාපනය නාගදීප විහාරස්ථානාධිපතිව වැඩ විසූ බ්‍රාහ්මණවත්තෙ ධම්මකිත්ති හාමුදුරුවො ඥාතිත්වය අනුව මගේ අම්මගෙ අක්කගේ පුතා. උන්වහන්සේ තමයි වයස අවුරුදු 12 දී මාව එක්කගෙන ගිහින් මහණ කළේ.

• දෙමළ භාෂාව චතුර ලෙස හැසිරවීමට බලපෑවේ නාගදීපයේදී ලද ආභාසය ද හාමුදුරුවනේ...?

අපේ ගුරු හාමුදුරුවෝ මාව එක්කගෙන ගිහින් එහෙ දෙමළ මහා විද්‍යාලයට ඇතුළත් කළා. මං ඒ කවුරුවත් හඳුනන්නෙ නෑ. මට දෙමළ අකුරක්වත් බෑ. නමුත් මේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඉතාමත් කාරුණික දෙමළ මහත්මයෙක්. අවුරුදු 12 මම පාසලේ 1 ශ්‍රේණියට තමයි ඇතුළත් කළේ. මම තමයි පන්තියේ හිටපු එකම සිංහල ළමයා. අනික් ළමයින්ට වඩා මං වෙනස් වුණේ සිවුරක් දරාගෙන සිටි නිසා. ඒත් ඒ ළමයි මාව සෙල්ලම් කරන්නත් අතින් ඇදගෙන ගියා. ඒ අයට විශේෂයක් තිබුණේ නෑ. මාස 2ක් විතර යද්දී මට දෙමළ කතා කරන්නත් තවත් ටික කාලයකින් ලියන්නත් පුළුවන් වුණා. මාස 6ක් විතර ගියාම මම තුනේ පන්තියටත් අවුරුද්දක් විතර යද්දී පහේ පන්තියටත් දැම්මා.

• උසස් අධ්‍යාපනයට යොමු වුණේ මොන විදිහට ද?

“දැන් ඉතින් දෙමළ ඉගෙන ගත්තා ඇති බණ දහම් ආදි පොත-පත ඉගෙන ගන්න කියලා” අපේ ලොකු හාමුදුරුවෝ මට කිව්වා. පස්සේ කැලණියේ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වුණා. ඊළඟට කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා පිටවුණා. 1963 දී මට ගුරු පත්වීමක් ලැබුණා.

• ඔබ වහන්සේ නාගදීපයේ සිට කොළඹට පැමිණීම සිදුවුණේ කොහොම ද?

මගේ ඇවිටිලි කිරීම මත අද දෙමටගොඩ නාග විහාරය තියෙන තැන මුලින්ම පර්චස් 15ක් ලොකු හාමුදුරුවො මට අරන් දුන්නා. ඒ ඉඩමේ ලෑලි මඩුවක් හදාගෙන තමයි අපි මෙතැනට ඉස්සෙල්ලාම ආවේ. ඒ ලෑලි මඩුව මතක සටහනක් හැටියට අදත් තියෙනවා. මං ඒ කාලෙ කැලණිය වෙදමුල්ල විද්‍යාලයේ උගන්වනවා. එවකට කොළඹ නගරාධිපති හිටියෙ ෆවුසි මහත්මයා. මං එතුමා හමුවෙලා දෙමළෙන් ම කතා කරලා කිව්වා මේ ඉඩම නගර සභාවෙන් අයින් කරන පස් කුණුරොඩු දාලා ගොඩකර දෙන්න කියලා. එතුමා ඉතාමත් කැමැත්තෙන් අපට ඒ උපකාරය කළා. මං ඉස්කෝලෙ ඇරිලා ඇවිත් හැන්දෑ වෙන්න ඇරලා ඒ ගෙනත් දාන පස්, කුණුරොඩු තනියම තුනී කළා. මුලදී අවට මිනිස්සු මං දිහා වපරැහින් වගේ බැලුවා. නමුත් ක්‍රමයෙන් ඒ තත්ත්වය වෙනස් වුණා.

• ඔබ වහන්සේ දිවයිනේ වඩාත් ප්‍රකට වෙන්නෙ දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා කරන නිසා. ඒ යොමුවීම ඇතිවුණේ කොහොම ද?

ශාස්ත්‍රපති උපාධියත් සම්පූර්ණ කර මදුරාසියට ගිහින් දෙමළ ආචාර්ය උපාධිය කළා. එහෙම ඉඳිද්දි හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි ස්වාමින් වහන්සේ මට කිව්වා ඔහොම ඉඳලා බෑ දෙමළ භාෂා දැනුමෙන් වැඩක් ගන්න ඕණ කියලා. උන්වහන්සේ තමයි මා ගුවන්විදුලියට රූපවාහිනියට යොමු කළේ. ඊට පස්සෙ සිංහලට අමතරව දෙමළ භාෂාවෙනුත් ධර්ම දේශනා කළා. දෙමළ ජනයාට ධර්ම දේශනා කිරීමට දිවයිනේ නොයෙක් ප්‍රදේශවලට ගියා. කිලිනොච්චිය ලුම්බිණි විහාරස්ථානාධිපති හැටියට ‍එහෙ ජනතාවටත් ධර්මය දේශනා කළා.

• දෙමළෙන් ධර්ම දේශනා කිරීමේදී ත්‍රස්තවාදී තර්ජන පැවැති සමයේ බාධා ඇතිවුණේ නැද්ද?

කවදාවත් එල් ටී ටී ඊ ය මට තර්ජනය කරන්න බාධා කරන්න ආවේ නෑ. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ මම මඩකළපුවේ ධර්ම දේශනයකට ගියා. එදා සෑහෙන සෙනඟක් බණ අහන්න ඇවිත් හිටියා. ඉන් දෙතුන් සියයක්ම කොටි සාමාජිකයෝ බව අපි දැනගත්තා. ඒ කාටත් මං බණ කිව්වා. එදා බණ ඉවර වුණාම කරදියනාරු කොටි කඳවුරෙන් ඇවිත් හිටිය කොටි සාමාජිකයෙක් මට කිව්වා ෂාමි බණකට එහෙ වඩින්න කියලා.

• ඔබ වහන්සේ ආරාධනය පිළිගත්ත ද?

ඔව්! හුඟක් හාමුදුරුවරු මට යන්න එපා කීවා. ඒත් මං ආරාධනය බාරගත්තා. හැබැයි පොරොන්දු දෙකක් උඩ, එකක් තමයි මාව අරගෙන ගිය විදිහටම ආපහු ගෙනැත් ඇරලවන්න ඕන කියන එක. අනෙක මං කිව්වා මං කියන්නෙ බුදු හාමුදුරුවන්ගේ බණ මිසක් ඔවුන්ට ඕනැ බණ නොවන බව. ඔවුන්ට ඕනෑ බණ මා ලවා කියවාගන්න හදන්නත් එපා කියල මං කිව්වා. හැබැයි ඔවුන්ට ඕන නම් මාත් එක්ක එකඟ නොවී ඉන්න පුළුවන් කියලත් මං කිව්වා. මේ කොන්දේසිවලට කොටි කැමැති වුණා.

• ඔබ වහන්සේත් බණට වැඩියා?

ඔව්! මඩකළපුව අපේ සීමාව තිබුණේ කළු පාලම. එතැනට ගියාම හමුදාවේ අයගෙන් කොටි අපිව භාරගත්තා. කරදියනාරු කොටි කඳවුර මහ කැලෑවේ තිබුණේ. ඒක එළිමහන් කඳවුරක්. කොටි කොල්ලො, කෙල්ලො, වයස අවුරුදු 14 - 15 අය තුන්සීයක් විතර ඉඳගෙන බණ ඇහුවා. සද්දයක් කළේ නෑ. ඒ අයට ප්‍රශ්න තියෙන්න පුළුවන් වුණත් මිනිස්සු මරන එකට මං විරුද්ධයි කියල මම කිව්වා. මේ යුද්ධය දිනන්න බැරි බවත් කිව්වා. එක තරුණ ගැටයෙක් අතේ තිබුණු තුවක්කුව පැත්තකින් තියල මගෙන් ඇහුවා, ඇයි ෂාමි අපට මේක අතාරින්න කියන්නෙ, වෙනම රාජ්‍යයක් ඕන නෑ කියන්නෙ ඇයි? කියලා.

• ඉතින් ඔබ වහන්සේ මොකද කිව්වෙ?

මං කිව්වා අපේ ආසන්නම රට ලොකු අයියා තමයි ඉන්දියාව. තමිල්නාඩුවේ දෙමළ ජනයා විශාල ප්‍රමාණයක් ඉන්නවා. එහෙම හිටියත් ඒ අයට එහෙ වෙනම රටක් නෑ. අපි උඹලට රටෙන් භාගයක් දුන්නොත් ඉස්සෙල්ලාම ඉන්දියාව ඇවිත් අපට ගහල යයි කියලා. කවුරුවත් මාත් එක්ක තර්ක කරන්න ආවේ නෑ. සංග්‍රහ කරලා පොරොන්දු වුණා වගේම ගෙනත් බැස්සුවා. මේ විදිහට අවස්ථා කිහිපයකදීම වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ තේරුමක් නෑ, මේ පුංචි රට බෙදන්න බෑ කියන එක කියන්න මට පුළුවන් වුණා.

• සිංහල - දෙමළ ජන කොටස් අතර සමඟිය - සංහිඳියාව වර්ධනය කිරීමේදී බුදුදහමින් ලද හැකි මඟ පෙන්වීම ගැන ඔබ වහන්සේගේ දේශනාව කෙබඳු ද?

සිංහල බෞද්ධ ජනතාව හොඳින් තේරුම් ගත යුතු කාරණයක් තමයි, දෙමළ හින්දු ආගම් සමස්තයක් ලෙස ඉතා අවිහිංසාවාදී දහමක් බව. ඒ වගේම ඔවුන් වැඩි දෙනෙක් බුදුදහමට ළැදි බව. දෙමළ භාෂාවෙන් ලියැවී ඇති මණිමේකලෙයි හා සීලප්පදිකාරම් කියන මහා කාව්‍ය දෙකම බුදුදහම වස්තු විෂය කරගෙන ලියැවී ඇති බවත් අප අමතක නොකළ යුතුයි. මං කතා කරන්නෙ කවුරුවත් බෞද්ධාගමට හරවගන්න ඕන කියන එක නෙවෙයි. නමුත් බෞද්ධාගමේ මධ්‍යස්ථ බව වටහා ගැනීමටත්, එය ඔවුන්ට වටහා දීමටත් පුළුවන් නම් කිසිදාක යුද්ධයක් ඇති නොවන බව කිව යුතුයි.

නිදහසින් පසු බිහිවුණු කිසිම නායකයෙක් මේ ජාතීන් දෙක එකට මුණගැස්සිය යුතු බව කල්පනා කළේ නෑ. උතුරේ දෙමළ දේශපාලනඥයො එහෙ මිනිස්සුන්ට සිංහලයො සතුරන් හැටියටයි පෙන්නුවේ. දකුණේ දේශපාලනඥයෝ උතුරේ අය දිහා සැකෙන් බැලුවෙ. මේකෙන් වුණේ දේශපාලනඥයන්ගෙ මල්ල තර වෙද්දි ජාතින් දෙක තවත් දුරස් වීම. නායකයො කවුරුවත් මේ ගැන අවධානයෙන් බැලුවේ නෑ. මේ තත්ත්වය නැති කරන්න පුළුවන් භික්ෂුවටයි.

ජාතීන් අතර හැළහැප්පීම් ඇති කිරීම වෙනුවට සමඟිය ගොඩනැඟිය යුතුයි. ශාක්‍ය - කෝලිය යුද්ධය වැළැක්වීමට බුදුන් වහන්සේ ක්‍රියා කළ හැටි බලන්න, යුද්ධ කරන්න ගියේ වතුර බෙදාගන්න. යුද්ධය ඉවර වෙනකොට වතුර බෙදාගන්න කවුරුත් ඉන්න එකක් නෑ කියල බුදු හාමුදුරුවො පෙන්වා දුන්නා. යුද්ධය නතර වුණා.

• යුද්ධයක් වැළැක්වීම හා අනවබෝධය තුරන් කිරීම සඳහා බුදුදහමෙන් ලද හැකි මඟපෙන්වීම, භික්ෂුවට කළ හැකි කාර්යභාරය විශාලයි. ඒ සඳහා දෙමළ භාෂා දැනුම ඇති භික්ෂුන් වහන්සේලා ද සිටිය යුතුයි. ඊට යම් වැඩ පිළිවෙළක් ගොඩනඟා ගන්න පුළුවන් වී තිබෙනවා ද?

මං තනි පුද්ගලයෙක්. ඒ වගේ වැඩක් මට තනියම සංවිධාන කරන්න බෑ. කලින් ආණ්ඩුවත් මගෙන් ගන්න තියෙන වැඩේ ගත්තෙ නෑ. මං කිසිම පක්ෂයකට අයිති කෙනෙක් නෙවෙයි. ඒත් මං ආණ්ඩු විරෝධි විදිහට දකින්න ඇති. කොහොමහරි, අපි මේ කාරණා ගැන දැනුම්වත් කරලා තිබුණත්, මේ වැඩේට දෙමළ දන්න හාමුදුරුවරු 10 දෙනකුවත් පුහුණු කරගන්න අපට තවමත් බැරිවෙලා තියෙනවා. අපි මේ ගැන අවධානයට ගත යුතුයි. සංවර්ධනය පමණක්ම මදි, ඒ ජනයාගේ මනස හැදීමත් කළ යුතු වෙනවා. එහිදී බුදුදහමේ මඟපෙන්වීම ඉතාමත් වැදගත්. ඔවුන්ට බෞද්ධ ධර්මය ගැන අවබෝධයක් ඇති කළ යුතු වෙනවා.

• යුද්ධයෙන් පසු දේශපාලන විසැඳුමක් ගැනත් සංවාදයට ලක් වෙනවා. මේ ගැන ඔබ වහන්සේ දරන මතය කෙබඳු ද?

මගේ සංකල්පය බලය ගමේ පහළම ඒකකය දක්වා බෙදී යා යුතු බව. බලය බෙදන්න ඕන ජාතීන් අනුව නෙවෙයි. දීර්ඝ කාලීනව අපි ඒවායේ ඵල විපාක වින්දා. මගේ අත්දැකීමට අනුව උතුරේ කාර්යාලවල වැඩ කරන අයට පවා දකුණ ගැන නිසි අවබෝධයක් නෑ. ඒ ගැන ඔවුන් දුක් වෙනවා. උතුරේ අය දකුණේ කාර්යාලවලත් වැඩ කරන්න ඕන, උතුර ගැන දැනගන්න ඕන. ජාතීන් හමු නොවීම ප්‍රශ්නයක්. ඔවුන් එකිනෙකා හමුවිය යුතුයි. එවිටයි අවබෝධය ඇතිවෙන්නෙ. ජාතීන් අතර සමඟිය ගොඩනැඟීමට දැන්වත් මේ රටට ජාතික සැලැස්මක් අවශ්‍යයි. ජනාධිපතිතුමාත් - අගමැතිතුමාත් එය අවධානයට ගනීවි කියල අපි හිතනවා.

සංවාදය
ධම්මික සෙනෙවිරත්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.