මීතොටමුල්ල කුණු කන්දේ උරුමය හා කරුමය!

 මීතොටමුල්ලේ කුණු කන්ද තවමත් ප්‍රබල දේශපාලන මාතෘකාවක් වී තිබේ. එහි කිසිදු දොසක් නැත. එහෙත් කාගේ හෝ දොසක් නිසා, ඒ කිසිදු දොසකට වග නොකිවයුතු අහිංසක ජීවිත 33ක් ඒ කුණු කන්දට යටවී මිය යාම නම් මහා දුකකි. මීතොටමුල්ල කුණු කන්දේ උරුමය කාගේ වුවත් එය අවසානයේදී කරුමයක් වූයේ ඒ අවට ජීවත් වු ජනතාවටය. මේ ඛේදවාචකයට ගොදුරු වු අයගෙන් වැඩි දෙනෙක් කුමකින් හෝ එදා වේල පිරිමසා ගත් අය බවද නිසැකය. මරණය යනු උපදින හැම මිනිසකුගේම උරුමය වුවත් මේ අයුරින් පණපිටින් කුණු කන්දක් යට මිහිදන් වීමට ඒ කිසිවෙක් අපේක්ෂා නොකළහයිද අපි දනිමු. එසේම මේ මහ කුණු කන්ද සමග දේශපාලන කුණු කන්දක්ද තිබෙන බව මේ දිනවල කෙරෙන නොයෙක් වාද විවාද චෝදනා ඇඟිලි දිගු කර ගැනීම් ආදියෙන් හොඳටම පැහැදිලිවේ.

‍මීතොටමුල්ලේ කුණු කන්ද එක රැයකින්, එක දවසකින්, එක සතියකින් හෝ එක මාසයකින් නිර්මාණය වු එකක් නොවේ. එය අඩුම වශයෙන් අවුරුදු දහයක් දොළහක් තිස්සේ ගොඩ ගැසී, කඳු ගැසී, පළාතටම ශාපයක් වූ කුණු කන්දක් බවට පත්වූ අයුරු කාටත් පෙනේ. එසේම කුණු කන්ද මතින් දියවන්නාවට ගොඩ වු අයද සිටිතියි කියනු ඇසේ. කුණු කඳු තබා මිනී කඳු වුවත් දේශපාලනයේදී භාවිතා කෙරෙන ආකාරය ගැන අමුතුවෙන් කිව යුතු නැත. ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට බත් පැකට්ටුවක් ලබාදීමේදීත් සිය මනාප අංකය සටහන් කළ දේශපාලන විකට රූප මේ රටේ හිඟ නැත. ඒවා ගැන කතා කිරීමද නිෂ්ඵල දෙයකි. එහෙත් මේ කුණු කන්දට පැහැදිලිවම වගකිව යුතු ආයතන ලෙස ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා නම් කිරීම වැරදි නැත. කසළ කළමනාකරණය නමැති විෂය අයත් වන්නේ මේ ආයතන වලටය. තම ප්‍රදේශ වල සාමාන්‍ය ජනජීවිතයට අදාළ පහසුකම් සැපයීම ඒ ආයතන සතු වගකීමකි, වගකීම පමණක් නොව නීතිමය බලය තිබෙන්නේද ඒ ආයතන වලටය. කොළඹ නගර සභාව මේ ප්‍රශ්නයේදී ක්‍රියා කළ ආකාරය කිසිසේත් යහපත් එකක් නොවන බව දැනට පෙනෙන සත්‍යයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ මෙම මීතොටමුල්ල ඛේදවාචකය පිළිබඳව සියලු තොරතුරු විමර්ශනය කර වාර්තාවක් ලබා දීමට විශ්‍රාමලත් විනිසුරුවරයකු පත් කරන බවයි.

මීතොටමුල්ලේ කුණු කන්ද මේසා ප්‍රබල සමාජ ඛේදවාචකයක් බවට පත් කළ අය සොයා හෙළි කිරීමද ආණ්ඩුවේ වගකීමකි. එදා කොළඹ නගර සභාවේ විපක්ෂ නායකවරයා ලෙස සිටි අද ‍ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන වාසුදේව නානායක්කාර මහතා මේ පිළිබඳව ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයේ කුණු ජාවාරම්කාරයන් මන්ත්‍රීවරුන්ට සල්ලි බෙදු බවක්ද සඳහන් කර තිබේ. කොළඹ නගර සභාව පාලනය කළ අය එහි ඇත්ත නැත්ත දනිති.

කෙසේ වුවද මේ මීතොටමුල්ල කුණු කන්දේ ඉතිහාසය 2004 තරම් ඈතට ඇදී යන්නකි. මීතොටමුල්ල කුණු කන්දක් වීමට පෙර වගුරු බිමක්ව තිබී ඇත. එතැනට රැගෙන වුත් ඇත්තේ බ්ලුමැන්ඩල්වලට බැහැර කළ කුණු බවද කියති. ග්‍රාමසේවා වසම් අටකට අයත් මීතොටමුල්ල මෙම කුණු කන්ද අවට ප්‍රදේශයේ තිස් දහසකට අධික ජනතාවක් ජීවත්වන බවද වාර්තා වේ. මෙම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව තම ප්‍රදේශයට කසළ බැහැර කිරීම ගැන විරෝධතාවන්ද ප්‍රකාශ කර ඇත. එපමණක් නොව ‍මෙම කුණු දැමීම තහනම් කරමින් ශ්‍රේඨාධිකරණය විසින් ලබා දෙන ලද නියෝගයක්ද තිබුණි. එහෙත් ඒ ජනතා විරෝධතා වලට හෝ අධිකරණ නියෝගවලට කිසිවකුගේ අවධානයක් යොමු වී නැත. දිනකට ටොන් 800ක පමණ කසළ ප්‍රමාණයක් මීතොටමුල්ලට එකතු වී මේ මහා කුණු කන්ද ඉදිවු බවද දැන් හෙළිවී තිබේ. එසේම මේ කුණු කන්දේ ගොඩ ගැසෙන කුණුවලින් තුනෙන් දෙකක් පමණ දෛනිකව කොළඹට පැමිණෙන අයගෙන් ලැබෙන කසළ බවද කියති. ඒ අනුව මීතොටමුල්ල කුණු කන්ද ගොඩ ගසා මේ මහා විපතට ජනයා ඇද දැමීමේ පාප කර්මයට බොහෝ දෙනකු දායකවී ඇති බවද පෙනේ.

කසළ යනු කොළඹට ‍හෝ නගරවලට පමණක් සීමා වු ප්‍රශ්නයක්ද නොවේ. දිනපතා නිවසක එක් රොක්වන කසළ ප්‍රමාණය අවම වශයෙන් කිලෝවකට දෙකකට අඩු නැත. ඒ අනුව දිනකට මේ රටේ හැම ගමකම හැම නගරයකම ගොඩ ගැසෙන කසළ ප්‍රමාණය සුළු පටු නැත. එසේම දැනටමත් මහනුවර, ගාල්ල, නුවරඑළිය වැනි විශාල ජනගහන එක් රොක්වන නගර වලද මේ කසළ ප්‍රශ්නය මතු වෙමින් තිබේ. තම නිවසේ එකතු වන කසළ පොලිතින් බෑගයක් දමා හෙමින් සීරුවේ අනුන්ගේ ඉඩමකට හෝ වීසි කර යන විනීත මහත්වරුන් බහුල රටක කසළ ප්‍රශ්නය කළමනාකරණය කිරීම අසීරු බවද ඇත්තය. එහෙත් ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා මෙන්ම මහ ආණ්ඩුවද කසල ප්‍රශ්නයේදී නිසලව සිටීම නිසා එය අද මෙවැනි බරපතල ජාතික ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන බවද අමුතුවෙන් තෝරා දිය යුතු නැත.

කසළ කළමනාකරණය යනු අද ජාත්‍යන්තරව අවධානයට ලක්වු විෂයක් වුවද අපේ රටේ ඒ ගැන දක්වන උනන්දුවක් නැති බව මේ මීතොටමුල්ල ඛේදවාචකයෙන්ම තහවුරු වී තිබේ. මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය නිසා උද්ගතව තිබෙන දේශපාලන සංවාදවලදී හෙලිවී තිබෙන දේශපාලන කුණු කන්දේ ස්වභාවයද බරපතලය. මේ රටේ කසළ කළමනාකරණයක් සිදු නොවුවත් ඒ පිළිබඳ අවබෝධයක්, හැදෑරීමක් සඳහා ජනතාවගේ මුදලින් පිට රටවල ගිය සංඛ්‍යාවද විශාල බව කියනු ඇසුණි. නිලධාරීන් පමණක් නොව ප්‍රාදේශීය සභා, පළාත් සභා හා ආණ්ඩුවේ සමහ‍ර දේශපාලන ඇතතන් මේ අවබෝධය ලබා ගැනීම සඳහා ගුවන් ගතවි රට රටවල් දැක බලා ගෙන පැමිණියා මිස ඉන් රටට නම් වැඩක් වී නැත. විද්යුත් මාධ්‍ය සාකච්ඡාවකදී අයෙකු කියා සිටියේ නගර සභාවල මෙන්ම රජයේ ආයතනවලද එම විෂය කේෂ්ත්‍රයට අයත් ඉංජිනේරුවන් සිටියත් ඔවුන් ගෙන් මේ පිළිබඳව රටට ලැබුණු සේවයක් නැති බවය.

මේවා සම්පූර්ණම සත්‍ය නොවුවත් සම්පූර්ණයෙන්ම ඕපා දූප නොවන බව කීම වැරදි නැත. ඇත්ත වශයෙන්ම මේ රටේ තවමත් බොහෝවිට අපට පෙනෙන එක් දෙයක් නම් පොදු ජාතික විපතකදී හෝ දේශපාලන පක්ෂ‍ භේද නොතකා ක්‍රියා කිරීමට නොහැකිවීමේ අඩුවය. සමහරුන් මෙතැනදීත් ඇසුවේ කොහොමද වෙනස සනීපද කියාය. හැබැයි මොනවා වුවත් පොදු විපතකදී සිය උපරිම දායකත්වය ලබා දෙමින් විපතට පිහිටවන ආරක්ෂක හමුදාවක් මේ රටේ සිටිති. සිංහල අවුරුද්ද පසෙක දමා රෑ නිදි මරාගෙන අනුන්ගේ පව් කඳු සමතලා කරමින් දුක් වින්ද ඒ හමුදා විරුවන්ට අපගේ ණයගැති භාවය ප්‍රකාශ කළ යුතුය. අප්‍රසන්න දුගඳ හමන කුණු කඳු මතින් මිනිස් ජීවිත මතු කර ගැනීමට ඔවුන් විසින් දරන ලද ප්‍රයත්නය විශිෂ්ටය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මීතොටමුල්ල ඛේදවාචකය පිළිබඳ වාර්තා වු වහාම හදිසි රැස්වීමක් කැඳවා ජනතාවගේ ආරක්ෂාව හා සුබ සාධනය සඳහා ක්‍රියා කරන ලෙස උපදෙස් දීමද කැපී පෙනුණි. මේ ප්‍රදේශවල ජීවත් වු අයගේ ප්‍රශ්නවලට ක්ෂණික විසදුම් දෙන අතරම ඒ විපතින් ජීවිත අහිමි වු අයගේ පවුල් වලටද උපකාර කරන ලෙසද ජනාධිපතිවරයා නියෝග කළේය.

“මේ විපතට ගොදුරු වුයේ අපේම ජනතාව. වරද කාගේද කියන එකට වඩා දැන් කළ යුත්තේ ඒ අයට පිහිටවීමයි. ඔවුන්ට ආරක්ෂා සහිතව ඉන්න තැන් ලබාදීම, අහිමි වු දේපළවලට වන්දි ලබාදීම, ඒවා පිළිබඳ වහාම තොරතුරු එක් කිරීමට ආණ්ඩුව උපරිම ලෙස කැප විය යුතුයි. මේක ජාතික විපතක් විදිහට හිතල සාමුහික හැගීමෙන් ක්‍රියා කළ යුතු අවස්ථාවක්.”

ජනධිපතිවරයා සඳහන් කරන පරිදිම මේ ප්‍රශ්නය ජනතාව විසින් ඇති කරන ලද්දක් නොවේ. පාරිසරික සංරක්ෂණය වැනි සාධනීය සැලසුම් ක්‍රියාත්මක කරමින් ජන ජීවිත නගා සිටුවන රටක කසළ කළමනාකරණයේ වැදගත්කම ජනාධිපතිවරයා ඉතා හොදින් දන්නා කරුණකි. සිංගප්පූරුව, කොරියාව වැනි රටවල කසළ කළමනාකරණය පිළිබඳ තාක්ෂණිකව හා විද්‍යාත්මකව ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳවද සිහිපත් කළ ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම ප්‍රශ්නයට ක්ෂණිකව අවධානය යොමු නොකළහොත් අනාගතයේ මීටත් වඩා විපත් සිදුවිය හැකි බවය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් රටට අහිමි වී ගිය ජිවිත පිළිබඳ කම්පා වන අතරම යළිත් එබඳු විපතක් නොඑළඹෙන පරිදි ක්‍රියා කිරීම තම ආණ්ඩුවේ පිළිවෙත බවද ජනාධිපතිවරයා කියා සිටියේය. කසළ කළමනාකරණය පළාත් පාලන ආයතනවලට අයිති කාර්ය භාරයක් වුවද මේ රටේ පළාත් පාලන ආයතන ඒ වගකීම ඉ‍ටු නොකිරීමේ අවාසනාවට අද අහිංසක ජනතාව ජිවිත වලින් වන්දි ගෙවා තිබෙන බවද අප මතක තබා ගත යුතුය. එසේම විද්‍යාත්මක හා නිසි ක්‍රමවේදයකට අනුව කසළ කළමනාකරණය කිරීමට ගන්නා පියවර වලදී ජනතාව කුපිත කර ඒවාට විරුද්ධව උසි ගැන්වීමේ දේශපාලනයද අවසන් කළ යුතු බවද අද අපට නිකුත් කර තිබෙන සංඥාවකි.

කෙසේ හෝ බස්නාහිර මහ ඇමතිවරයා සඳහන් කරන පරිදි ඔහුගේ ව්‍යාපෘතියට ඉඩ නොදීම මෙම මීතොටමුල්ල ඛේදවාචකයට හේතු වී තිබේ නම් එයද බරපතල ප්‍රශ්නයකි. එය සැබෑවක් නම් මීතොටමුල්ල ඛේදවාචකය දැනුවත්ව කැඳවා ගත් විපතක්ද‍? කුමක් වුවත් මේ කුණු කන්දට එරෙහිව සටන් කළ අයද ඔවුන්ගේ පවුල්වල අයද එහි අමිහිරිම අත්දැකීම් මැද කඳුළින් ජීවිත ගෙවති. සමහරු ජීවිත වලින්ද සමුගෙන ගොස් සිටිති.

දේශපාලනඥයෝද නිලධාරීහුද ආඩාපාලි කියා ගනිති. විද්වත්හු කසළ සම්පත් ගැනද ඒවායින් ලබා ගත හැකි ප්‍රතිඵල ගැනද විග්‍රහ කරති. කුණු ප්‍රතිචක්‍රීකරණය ගැනද කියති. කුමක් වුවත් දැන් ඒ වාද විවාද, වාග් සංග්‍රාම නිශ්ඵලය. බ්ලුමැන්ඩල් කුණු මීතොටමුල්ලට ගෙන ගොස් එය අවදානම් කලාපයක් කළ ටිකිරි මොළකාරයෝ දැන් ඊළඟ පිම්මට කුමක් කරත්දැයි අපි නොදනිමු. එහෙත් මේ ප්‍රශ්නයට ආණ්ඩුව මැදිහත්ව එයට විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව අපට පෙනේ. අනෙක් අතට මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ඉ‍ඩ නොදී දේශපාලන අරමුණු වලින් කෙරෙන විරෝධතාවලට මැදිවී ඔවුන්ගේ අතකොළු බවට පත්වීමද යුක්ති ගරුක පුරවැසියන්ගේ වගකීම නොවන බවද පෙන්වා දිය යුතුය.

මීතොටමුල්ල කුණු කන්ද මේ ආණ්ඩුව පිටට දැමීමටද සමහරු වැයම් කරති. පසුගිය ආණ්ඩුව මේ ප්‍රශ්නය විසදීමට සැලසුමක් සාදා තිබුණු බවත් ආණ්ඩු පෙරළිය නිසා ඒ සියල්ල යට ගිය බවත් ඒකාබද්ධ විපක්ෂයේ සමහරු ප්‍රසිද්ධියේම කියති. එ‍සේම ගිය ආණ්ඩුව අය - වැයෙන් ඒ සඳහා මුදල් වෙන් කළ බවද කියති. එහෙත් මේවා නිකම් සම්ප්‍රඵලාප මිස ප්‍රායෝගික කතා නොවේ. ඇත්තටම මේ කටයුත්ත සඳහා ප්‍රාදේශීය ආයතනවලට මුදල් ගැටලුවක් වී නැත. ගැටලුවක් වූයේ නිසි සැලසුමකට ක්‍රමවේදයක් සකස් නොකිරීමය. ඒ සමගම මේ කුණු කන්ද දූෂිත දේශපාලනඥයන්ට හා ඔවුන්ගේ හෙන්චයියන්ට හොඳ ආදයම් මාර්ගයක්ද වී තිබුණි. කෙසේ හෝ දැන් ප්‍රශ්නයට ආණ්ඩුව මැදිහත් වී සිටියි. මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට පමණක් නොව විපතට පත් අයට සහන සැලසීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. දැනටමත් විපතට පත් පවුල් 98කට නව නිවාස ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. මියගිය අයට හා අලාභ හානි වලට වන්දි ගෙවීමටද ආණ්ඩුව ක්‍රියා කරයි. ඇත්ත වශයෙන්ම මේ ඛේදවාචකය කඩා වැටී ඇත්තේද වරප්‍රරවසාද ජීවිත ගෙවන අයගේ ඔළුගෙඩිවලට නොවේ. එනිසා මේ සංවේදී ප්‍රශ්නය මානුෂිකව විසඳිය යුතුය යන්න ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද දරණ ස්ථාවරයයි

මේ අතර දේශපාලන උසිගැන්වීම් හා නොමඟ යැවීම්ද අද මේ ප්‍රශ්නය තවත් සංකීර්ණ කරන ආකාරය දැක ගත හැකිය. කුණු කඳුවලට යටවී මිය ගිය ජනයා එකල සිටියේ ඉතියෝපියා‍වේ බවත්, අද මේ ආණ්ඩුව ඒ වාර්තාව උදුරා ගැනීමට ක්‍රියා කරන බවත් උත්ප්‍රාසයෙන් සදහන් කළ අයද සිටිති. ඒ අයට මෙය දේශපාලන චූන් එකක් ලබා දෙන බවද පෙනේ. ඇත්තටම අප ලජ්ජා විය යුත්තේ එබඳු අමන කතා කියා ජන මනසද කුණු කිරීම ගැනය. “කොළඹ කුණු අපට එපා” යන සටන් පාඨයක්ද ඇත. එහෙත් එය පදනම් විරහිත කතාවකි. කුණු යනු කොතැන තිබුණත් කුණු මිස අන් දෙයක් නොවේ. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ ප්‍රශ්නය ගැන ජනතාවට අවබෝධයක් ලබා නොදී ඔවුන් විරෝධතා වලට පෙලඹවීමය. කසළ කළමනාකරණය පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබාදීමට මෙන්ම එයට බාධා කරන අයට එරෙහිව ක්‍රියා කිරීමද ආණ්ඩුවේ වගකීමකි.

ලෝකය දැන් කාර්මික යුගයෙන් තිරසර යුගයකට ගමන් කරමින් සිටියි. අප සිටින්නේද ඒ සංක්‍රාන්ති යුගයේය. අපගේ කෘෂිකර්මය, සෞඛ්‍ය, ගමනාගමනය පමණක් නොව අධ්‍යාපනයද නවීන ලෝකයට අවශ්‍ය පරිදි සකස් විය යුතු බව කියන විශේෂඥයන්ට දෙස් දෙවොල් තැබීම වෙනුවට අපට රටට වුවමනා වෙනස්කම් සිදුකිරීම අපරාධයක් නොවේ. අපේ ප්‍රශ්න වලට විසඳුම් දිය යුත්තේ මේ ලෝක තත්වයන්ට ගැළපෙන පරිදිය. කුසලතාව හා ඥානය අද ලෝකයේ වටිනාම ප්‍රාග්ධනය බවට පත්ව තිබේ.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.