අතිශයින් ම ගුප්ත චරිතයක් වූ ටී. එස්. එලියට් | සිළුමිණ

අතිශයින් ම ගුප්ත චරිතයක් වූ ටී. එස්. එලියට්

විසිවෙනි සියවසට අයත් ලෝක පූජිත කවියකු ලෙස පිළිගැනෙන තෝමස් ස්ටියර්න්ස් එලියට් (ටී.එස්.එලියට්) ඇති හැකි පවුලක දරුවකු ලෙස 1888 සැප්තැම්බර් 26 වැනිදා ඇමෙරිකාවේ, මිසුරිහි දී උපත ලැබීය.

මිල්ටන් ඇකඩමියේ මූලික අධ්‍යාපනය ලබා 1906 දී හාවර්ඩ් සරසවියට ඇතුළත් විණි. වෝටර් ලිප්මස්, හේවුඩ් බ්‍රවුන්, ජෝන් රීඩ්ථ ස්ටුවර්ට් චේස් වැනි අය ඔහුගේ සමකාලීන සරසවි සගයන් ය. තුන් වසරකින් උපාධිය සපුරා සිවුවෙනි වසරේදී ශාස්ත්‍රපති උපාධිය ද ලැබීය. ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ ද එය සම්ප‍ූර්ණ කළේ නැත. ශිෂ්‍යයකු ලෙස බොහෝ විට තනිව සිටීමට ඔහු ප්‍රිය කළේ ය. පයිප්පය ඉරීමේ පුරුද්දක් ද තිබිණි. සතියකට වරක්වත් සෙසු සිසුන්ට තේ සාද පවත්වා සතුටු වීම ද ඔහුගේ පුරුද්දකි.

25 හැවිරිදි වියේදී ඔහු එංගලන්තයට සංක්‍රමණය වූ අතර 39 හැවිරිදි වියේදී ඇමෙරිකානු පුරවැසිකම අත්හැරියේ ය‍. ඇමෙරිකානු ජනාධිපතිවරු තිදෙනකු සමඟ ම එලියට්ට දුරින් ඥාති සබඳකම් තිබිණි. ඔවුන් නම් ජෝන් ඇඩම්ස්, ජෝන් ක්වින්සි ඇඩම්ස් සහ රදර්ෆර්ඩ් බී හේයස් ය. සුප්‍රකට ඇමෙරිකානු ශබ්දකෝෂ සම්පාදක නෝවා වෙබ්ස්ටර් ඔහුගේ මාමා කෙනෙකි.

එලියට් ගුරුවරයකු, බැංකුකරුවකු සහ සංස්කාරකවරයකු ලෙස වරින්වර රැකියා කිහිපයක නිරත විය. ඔහු කවි ලීවේ විවේකයක් ලද අවස්ථාවලදී ය. එවැනි ජීවන ශෛලියක් ඔහු ප්‍රිය කළේ ය. 1959 දී ‘පැරිස් රිවීව්’ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ බැංකුකරුවකු සහ සංස්කාරකයකු ලෙස ප්‍රකාශන ක්ෂේත්‍රයේ කටයුතු කිරීම දක්ෂ කවියකු වීමට තමාට උපකාරී වූ බව ය. ජීවත්වීමට ආදායමක් රැකියාවෙන් ඉපැයීමට හැකිවීම නිසා අමතර කාලය කවි ලිවීමට යෙදවීමට හැකිවිණි.

ඔහු කවි ලිවීම මෙන් ම නාට්‍ය රචනය ද කළේ යතුරුලියනය මඟින් හෝ පැන්සලය උපයෝගී කරගනිමිනි. මේ කිනම් ක්‍රමයක් අනුගමනය කළ ද ඔහුගේ දෛනික ලිවීමේ සීමාව පැය 3 කි‍. “සමහර වෙලාවට මං පැය 3 ට වඩා ලිවීමට උත්සාහ කර තිබෙනවා. ඒත් පහුවෙනිදා ඒ සීමාව ඉක්මවා ලියපු දේවල්. කියෙව්වාම මං ඒවා ගැන තෘප්තිමත් වෙන්න පුළුවන් වුණේ නෑ. ඉතිං මං කල්පනා කළා ඊට වඩා හොඳයි මගේ සීමාව ඇතුළත ලිවීම නතර කරලා එතැනින් එහාට වෙනත් වැඩක් ගැන බලා ගැනීම කියලා...”

1927 දී එලියට් ඇංග්ලිකානුවකු බවට මෙන් ම බ්‍රිතාන්‍ය පුරවැසියකු බවට ද පත්විය. 1930 ගණන්වල සහ 1940 ගණන්වල ඔහු ලියූ Ash Wednesday, Murder in the cathedral සහ Four Quartets වැනි කාව්‍ය නිර්මාණවලට තේමා වූයේ ආගම, ඇදහිලි මෙන් ම දේවත්වයයි. කාව්‍ය 4 කින් සමන්විත Four Quartets එලියට්ගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස ඔහු ද සැලැකී ය. ඉනුදු සිවුවෙනි කවිය ඔහු වඩාත් සිත්ගති. එම පැදි පෙළ මඟින් දාර්ශනික මෙන් ම ආධ්‍යාත්මික බවක් පිළිබිඹු වේ. එලියට් සහ ග්‍රවුචෝ මාර්ක්ස් අතර ලේඛකයන් ලෙස සමීප මිත්‍රත්වයක් තිබිණි. හාස්‍ය මැවීමේ විශිෂ්ටයකු වූ මාර්ක්ස්ට 1961 දී එලියට් පෑනේ මිතු‍රකු ලෙස ලිපියක් ලියා යැවී ය. මාර්ක්ස් ඊට පිළිතුරු එවා තිබුණේ සිය ඡායාරූපයක් ද සමඟ ය. එවක් පටන් ඔවුහු මිතුරන් බවට පත් වූහ. එලියට් සහ ග්‍රවුචෝ මාර්ක්ස් පළමුවරට හමුවූයේ 1964 දී ය. ඒ; මාර්ක්ස්ට සහ බිරියට රාත්‍රි භෝජන සංග්‍රහයකට සිය ලන්ඩන් නිවසට පැමිණෙන මෙන් එලියට් කළ ඇරියුමකිනි.

1921 දී එලියට්ට සිය බැංකු රාජකාරියෙන් මාස කිහිපයක් බැහැරවීමට සිදුවිය. මේ අතරවාරයේ ඔහු The Waste Land ලියා නිම කළේ ය. එය සංස්කරණය කළේ ඔහුගේ මිතුරකු මෙන් ම සමකාලීන කවියකු වූ එස්රා පවුන්ඩ් විසිනි. හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනීමේ කටයුතුවල යෙදීමෙන් පසු එලියට් වසරක් පැරිසියේ ගත කළේ ය. මේ අවදියේදී ඉංගිරිසියට වඩා ප්‍රංස බසින් ලේඛනයේ යෙදීමේ සිහිනයක් ඔහුට තිබිණි. එය මුළුමනින් සැබෑ කරගත හැකි නොවුණ ද ඔහු ප්‍රංස බසින් ද ලීවේය‍. “ඒක හරියටම මට වචනයෙන් පැහැදිලි කරගන්න බැරි කාලවකවානුවක් මගේ නිර්මාණ උල්පත මුළුමනින් සිඳී ගිහින් වගේ මට දැනුණා. ටික කාලයක් මං කිසිවක් ම ලිව්වේ නෑ. මට බලාපො‍රොත්තු බිඳී ගිය බවක් හැඟුණා...” එලියට් පසුකලෙක එසේ කීවේ ‘ප්‍රංස සිහිනය’ ගැනය. ඔහු වැඩි කල් නොයා ඉන් නිදහස් විය. ‘හිටි හැටියේ ම මං ආයෙමත් ඉංගිරිසියෙන් ලියන්න පටන් ගත්තා. ප්‍රංස භාෂාව ගැන තිබුණු ආසාව අත් හැරියා. මං හිතන්නෙ මේ වැඩෙන් මට ආයෙමත් පටන් ගැන්මක් ලැබුණා...”

එලියට්ගේ පවුලේ අය සහ මිතුරන් ඔහු ඇමතුවේ ‘ටොම්’ යන ආදරණීය නාමයෙනි. ‘ටොම්’ ඇස් රතු කරවන සුළු විහිළු කරන්නකු ලෙස ද ප්‍රකට විය. මේ වැඩවලට ඔහු සිය බෑණනුවන් ද හවුල් කරගත්තේ ය‍. ලන්ඩනයේ කඩසාප්පුවල ඇවිද අවශ්‍ය දෑ මිලට ගන්නා ඔහු එවැනි වැඩ සැලසුම් කරයි. අප්‍රසන්න ගඳකින් යුතු බෝම්බ විශේෂයක් වරෙක ලන්ඩනයේ හෝටලයක ලොබියේ පුපුරවා හැරියේ ද මාමා සහ බෑණා එකතුවය. අමුත්තන් සමඟ හිඳ සිටින අතර දුම්වැටි දැල්වීම ද මෙවැනි ඇස් රතු කරවන විහිළුවකි.

ඉංගිරිසි භාෂාවට Bullshit යන වදන හඳුන්වා දුන්නේ ද එලියට් විසින් බව පිළිගැනේ‍. 1910 දී පමණ ඔහු ලියූ The Triump of Bullshit කාව්‍ය නිර්මාණයේ ‍යෙදිණි. එම නිර්මාණය ලන්ඩන් සඟරාවට යොමු කළ ද එය පළ කළේ නැත. ඊට බලපෑවේ Bullshit යන වදන ය. එහි යෙදී තිබුණේ කවියේ තේමාවේ පමණි. ඔක්ස්ෆර්ඩ් ඉංගිරිසි ශබ්ද කෝෂය දක්වන පරිදි මෙවැනි අවලාද සහගත වදනක් මුද්‍රණයෙන් පළවූ පළමු අවස්ථාව මෙය විය හැකියි.

එලියට්ගේ ඇතැම් ආගමික විශ්වාස‍යන් හා මතිමතාන්තර ආන්දෝලනාත්මක ය. යුදෙව්වන් කෙරෙහි ඔහුගේ මුල් කාලීන නිර්මාණ වලින් පළවූයේ නොරිස්සුම් බවකි. එහෙත් ඊට වෙනස් මතයක් දරණ අයගේ අදහස ඔහුට යුදෙව් ලේඛකයන් සහ කලාකරුවන් ගණනාවක් සමඟ සමීප සබඳකම් තිබූ බව ය.

වරෙක මිනසෝටා සරසවියේ දී ඔහු 14000 කට ආසන්න පිරිසක් හමුවේ දේශනයක් කළේ ය. මේ පිරිස රැස්ව සිටියේ බාස්කට්බෝල් ක්‍රීඩාංගන‍යේ වන අතර 14000 කට ඇමතීම ඔහුට දැනුණේ කෙසේ දැයි විමසන ලදී. ඔහුගේ පිළිතුර වූයේ එහි සිටියේ 14000 ක් නොව 13523 ක් බව ය.‍ සීමිත පිරිසක් ඇමතීමට වඩා එය පහසු වූ බව ද කී ඔහු එසේ වන්නේ තමා ඔවුන් නොහඳුනනවා මෙන් ම ඔවුන් සිතන්නේ කුමක්දැයි තමන්ට නොදැනෙන නිසා ද බව පැවැසීය.

එලියට්ගේ අපදානය, T.S.Eliot: A Modern Life ලියමින් ලින්ඩාල් හෝර්ඩන් ඔහුගෙන් ප්‍රකට වූ මනරම් චර්යාවන් හෙළිදරවු කරයි. 1920 ගණන්වලදී ඔහු සැඟැවී යන ස්ථාන 2 ක් විය‍. එකක් ඔරින්ග් හර්ස් මාර්ගයයි. අනෙක ශාන්ත මාටින් පටුමඟයි. මේවායේදී ඔහු කිසිවකු සමඟ හෝ කතා බහ කළේ නම් ඒ තමාට ‘කැප්ටන්’ හෝ ‘කැප්ටන් එලියට්’ යනුවෙන් ඇමතූ අයට පමණි. එලියට් යනු ඔහු ජීවත්වූ යුගයේ සිටි අතිශයින් ම ගුප්ත චරිතයකි. 1948 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඔහු වෙත පිරිනැමිණි. 1965 ජනවාරි 4 වැනිදා ජීවිතයෙන් සමුගන්නා විට ඔහු 76 හැවිරිදි වියේ පසු විය.

Comments