ආදරය සහ මරණය | සිළුමිණ

ආදරය සහ මරණය

මරණය සැමට ම පොදු ය. බුද්ධිමත් යැයි කියනා මිනිස් සත්ත්වයාට මෙන් ම සෑම සතකුට ම, සෑම ගසකට ම සෑම ජීවි දෙයකට ම මරණය හිමි ය. මරණය පැමිණියේ කොතනින් ද? පිළිතුර සපයන්නට වෙන්නේ ඒ ගැන කවුරුත් ම දන්නේ නෑ කියා ය. බුදුන් වහන්සේ පවසන්නේ ද සෙවීමෙන් පලක් නැති කාරණා සෙවීමට වෙහෙස වීම පලක් නැති බව ය. එහෙත් මරණය පිළිබඳ ව බුදුන් තරම් මතක් කළ කිසිවකුත් සිටී ද? මරණය සැබවින් ම නියත ය. එබැවින් බලනු මැනවි දම්පියාව දෙස;

න අන්තලික්ඛේ න සමුද්ද මජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ
යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු
එහි සරල සිංහල අර්ථය දෙස බලන්න

අහස් කුසේ, මහ සමුදුරේ, කඳු කුහරයක හෝ අන් කිසි තැනක රුදු මාර මුඛයෙන් මිදෙනා තැනක් ගැන කිසිවකුත් නොදනිති.

මහා කවි විලියම් ශේක්ස්පියර් සිය සුප්‍රකට හැම්ලට් නාට්‍යයේ කියන්නේ ද ' ජීවත් වන හැම දෙනාම මිය යා යුතු බව ය'. එහෙත් මේ මහා නිර්මාණකරුවා ම සිය ' ඇන්ටනී හා ක්ලියෝපැට්රා' නාටකයේදී කියන්නේ මරණය නමැති රහස් ගෙයට හදිසියේ කඩා වැදීම පාපයක් බව ය. එසේ නම් ශේක්ස්පියර්ට අනුව මැරුණත්, මැරෙන්නට එතරම් හදිස්සි විය යුතු නැත!

එහෙත් රුබයියාට් කාව්‍ය කළ ඕමාර් ඛයියාම් කියන්නේ ඊට වෙනස් දෙයකි.

'ඉන්න කල් සැපෙන් ඉන්න, ණය වී හෝ ගිතෙල් කන්න,ජීවිතය නමැති භූතයා දැවුණු පසුව ආයෙමත් ඒමක් නම් නැත'

යාවං ජීවාත් ශුඛං ජීවේත්
සෘණං කෘත්වා සෘතං පිබේත්
භෂ්මි භූතස්‍ය දේහස්‍ය
පුනරාගමනං කෘතං

ණය වී හෝ කන්නට කියන්නේ ගිතෙල් ය. එකල ගිතෙල් අධි සුඛෝපභෝගී කෑමක් වන්නට ඇත. මෙකල නම් ගිතෙල් වලට වඩා බොහෝ වටිනා රස කෑම තිබේ. දිනෙන් දින ඇරෙන හෝටල් වල කන්නට තිබෙන දේ ඛයියාම් දුටුවා නම් ඔහුට මෙවැනි කවි මතක් වන්නේ නැත. උඩින් මත්තෙන් ඛයියාම් කියවූවා යැයි කියා මට දෝස් මුරයක් ඒමට ද ඉඩ තිබේ. තත්වාරෝපිත ලෙස එසේ කීවත් ඕමාර් ඛයියාම් යනු ජීවිතය දෙස ගැඹුරින් බැලූ, ජීවිතය පිළිබඳ හැදෑරූ දාර්ශනිකයකු බව නොකියා බැරි ය. 'රුබයියාට්' අධ්‍යයනය නොකර ලෝක සාහිත්‍යය නිර්මාණ පිළිබඳ කතා කිරීමට ද නොහැකිය.

කෙසේ වෙතත් මෙවර විනිවිඳින සිතිවිල්ල මරණය ගැන සිතිවිලි එක් කරන්නේ ඇයිදැයි ඔබට ගැටලුවක් පැන නඟිනු ඇත.

මරණයට ඔබ බය ද? මරණය ගැන ඔබට භීතියක් පැන නැඟී තිබේද? මරණය අප සැමගේ නළලේ කොටා ඇති බැව් ඔබ සිහියට නැඟෙන්නේ ද? මරණය යන වදනේ ඇති සුවිසල් අර්ථය ගැන අප කතා කළ යුතුව ඇත. එහෙත් ඒ ගැන කතා කිරීම අපි එක්කෝ කල් දමන්නෙමු; නැතිනම් අතහැර දමන්නෙමු. එහෙත් මරණය ජීවිතයේ ම අංගයක් නො වේ ද? එබැවින් අප ඒ ගැන විමසිය යුතුය.

අප ඉතා ළාබාල අවදියේ සිටියත්, ජීවිතය අති රමණීය යැයි සිතෙන තරුණ වියේ සිටියත්, ජීවිතය ගැන කෙමෙන් ආසාව අඩුවෙන මහලු වියේ සිටියත්, පැල්පතක ජීවත් වුවත්, මහා මන්දිරයක ජීවත් වුවත් මරණය අපේ ජීවිතයේ එක් අංගයකි. එහෙත් මරණය ජීවිතයේ එක් අංගයක් ලෙස දකින්නට අපි අකමැති වෙමු. ජීවිතයත්, මරණයත් අතර කාල පරතරයක් ඇතිවෙන පරිද්දෙන් මරණය කල් දැමීමට, එය අප කෙරෙන් හැකිතාක් ඈත් කර දැමීමට ඕනෑ වෙයි. එහෙයින් මරණය සෑහෙන්න සංකීර්ණ ප්‍රශ්නයකි.

ඔබ දැන් සැපවත් ව ජීවමාන ව සිටින්නේ ය. යහපත් ශරීර සෞඛ­්‍යයෙන් යුතු ව විශ්වාසයෙන් ද, හඬ ගා නොකීව ද බිය සැකෙන් ද යුතුව ජීවත් වන්නෙහි ය. එබැවින් ඔබට, මට හෙට ගැන බලාපොරොත්තු තබා ගත හැකිය. ඒ නිසා සියල්ල නිම වේ යැයි සිතා බිය වීමට කාරණයක් නැත. එහෙත් අප නුවණැති නම් ජීවත් වීමට හා ජීවත් වීමේ ගැබ් ව ඇති අර්ථයට පමණක් නොව මරණයට පත් වීමේ අර්ථයට ද එකසේ මුහුණ දිය යුතුය.

ශරීරය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ සුඛ දුක්ඛ ඉවසයි. සමහර විට ඔබේ වයස කොතෙක් වුවත් ඔබ ජරපත් නොවී මහලුවියට එළඹෙනවා විය හැකිය. ඒ කෙසේ වුවත් අනිවාර්යයෙන් ම ශරීරය අවසානයට ළඟා විය යුතුය. ඔබේ ශරීරය විනාශයට පත් වීම වැළැක්විය නොහැකිය.

මඳක් සිතා බලන්න, ඔබ එයටද බය?

රෝගයකින්, මහලු වීමෙන්, හදිසි අනතුරකින් ඉන්ද්‍රිය පද්ධතිය විනාශවීම ගැන ද අප සිත් සසල වන්නේ. ම සිත පවසන්නේ අප මරණයට බියවන්නේ ශරීරය විනාශවීම නිසා නොවේ ය කියා ය.

එසේ නම් කුමට ද අප බිය වන්නේ. ඒ අප සතු සම්බන්ධතා අවසන් වීම නිසා ය. අප ලැබූ ආශ්වාද, ප්‍රිය හෝ අප්‍රිය ස්මරණ, අපේ එදිනෙදා ජීවිතය, කන්තෝරුවට යෑම, තම පවුල හා ආදරණීයන් ආදී විවිධ සම්බන්ධතා අවසන් වීම නිසා ය.

අප ඊට බිය වුවත්, අප ඒ බියට විසඳුමක් සොයා ගෙන නැතත් අනිවාර්යයෙන් මරණය අප කරා පැමිණෙයි. මේ ජීවි සැමට පොදු වූ කරුණයි, එය ඔබට මට පමණක් පොදු වූවක් නොවේ. එය සමස්ත මනුෂ්‍යත්වයේ ම ස්වභාවයයි. මේ පොදු අර්ථය, ඔබ මම ගත කරන්නේ අපට සුවිශේෂී වූ පොදු දිවි සැරියක් නොව මුළු මනුෂ්‍ය වර්ගයා ම ගත කරන පොදු දිවිය බැව් තේරුම් ගන්නේ නම් මරණය හා ශෝකය අතර වෙනස හඳුනා ගැනීමට අපහසු නොවනු ඇත. මරණයත් ආදරයත් අතර ඇති සම්බන්ධය එවිට ඔබට වැටහෙනු ඇත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.