කවි කල්පනා

මගේ හිතම මල් යායක්

හැන්දෑ­වට පාට වලා මතු­වෙන විට
කුරුලු කෙවිලි පේලි පේලි පිය­ඹ­න­කොට
සිතු­විලි සැන­සිල්ලේ හිඳ
සිහින දකි­නවා..

මඳ සුළගේ තුරු පත් සෙලවී
නැල­වෙන කොට
බලා හිඳින මගේ හිතත්
දාහෙ නිවී සුව­පත් වෙනවා
හිතේ කොනක පුංචි මලක්
පිපී නට­නවා..

වචන එකින් එක අහුලා
පුංචි පුතා ගී ගයද්දී
සෙනෙ­හයේ සුළං කවුළු
හෙමින් ඇරෙ­නවා..

මල් යායේ මැදට වෙලා
පුතු හිනැ­හෙ­නවා
ඒ හිනාවෙ කොනක ඉඳලා
මං සැන­සෙ­නවා..


කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


මුල මත­කද


ගලන්න... ගලන්න...
ගඟක් විලස ඔබ
නතර වෙන්න..
සුදු නෙළු­මක් යට...

හෙමින් යන්න මහ සයු­රට
ඔබට මත­කද
එදා ඔබ ජනිත උල්පත

කවීෂ ලක්රු­වන්


හන්තාන සිහි­නය

සර­ස­විය සිසාරා
හමා යන මුදු සළඟ
නඟයි මා මත­ක­යට
ඔබෙන් ලද ඒ සිසිල
විටින් විට මා සිඹින
මිහිරි මල්වල සුවඳ
නගයි මා මත­ක­යට
ඔබෙන් විඳි ඒ සුවඳ...

ගලින් ගල හැපි වැටෙන
පෙණ නගන මහ­වැ­ලිය
ඔබේ ඒ මියුරු හඬ
නගින විට හත්තාන
මිතුරු කැල හා එක්ව
නගයි මා මත­ක­යට
අපේ ඒ ගමන් මඟ...

බැලූ කල මා දසත
පෙනේ ඔබ වත කමල
නමුදු බොඳ විය කෙමෙන්
හන්තාන සිහි­න­යම

ආර්.ජී .අයි.ඒ.එන්.විජේ­සිංහ


බලන අම්මාගේ පිළි­තුර

ළිප ගිනි මැද කැවි­ලි­ තනා පිරෙනා තුරු වේවැල් පැස
බත­ලේ­ගල කන්ද උඩින් හිරු බැලුවේ නෑ පැල දෙස
ළයේ හතිය ඔසරි පටින් වසා දරා­ගෙන බර හිස
යායුතු වෙන මඟක් නොමැත කඳු ­හෙල් පිරී මේ මඟ මිස

බලා­පො­රො­ත්තුව සඟවා සුදු මිහි­ඳුම් සළු තිර වෙත
හැම­දා­මත් සිටියා මම දුම්රිය වේදි­කාව මත
සිහි­වන සඳ විය­පත් හිමි හා ඔත්පල දිය­ණිය වත
බිංගෙ­ය­කින් මතු වී දුම්රිය එයි නැව­තුම වෙත

මැදි­රි­යෙන් මැදි­රි­යට කැවිලි රස බෙද­මිනා
නාඳු­නන ඔබෙන් ලද මිලෙන් සිත සැන­සුණා
නිල දරන මහ­තුනේ බැනුම් හඬ­ හුරු වුණා
අනෙක් නැවතුම වෙතට ජීවිය ළං වුණා

නගින බසින සෙනඟ අතර දෙපා වාරු නැතිව ගියා
පැතුම් පොදිය සිල්පර කොට පේලිය මත විසිර ගියා
කඩි­ග­මුවේ නැව­තුම ළඟ මා පම­ණක් තනි­ක­රලා
උඩ­රට මැණිකේ පිටුපා ගියා බදුලු පුරය බලා

මල්කාන්ති වීර­සිංහ
(මාර්තු 19 දා මෙහි පළවූ ශ්‍රීමෙත් මධු­සංඛ කවි­යාගේ බලන අම්මා කවි­පෙ­ළට පිළිතුරකි)


මිනිස්සු


වැහි කඳු­ළක් නැතැයි
මැසි­විලි...
අවු රැල්ලක් නැතැයි
කෙඳි­රිලි

ගාමිණී අබේ­වි­ක්‍රම


අංජ­නම


එළිය
නොදුටු
සසල
සිත්වල..

අඳුර
වැටුණ
ඇරුණු
නෙත්වල..

ඇබය
වැදුණු
ඇහෙන
කන්වල..

ඇඳෙන
ගැටෙන
අත්බ­ණුව
අංජ­නම

නන්ද­සේන පලි­හ­ක්කාර


වැහි­ලි­හිණි

යා යුතුම තැන්වල හඳ අරන්
කාලෙ­කට පස්සේ නුඹ ඇවිත්
හිල් වහළ අස්සෙන් විළි­ව­සන්
හිස් අහස නෑ අද සිල් අරන්

මලිඳු කාවින්ද කුමා­ර­සිංහ


විඳ­වමි විඳිමි

පරණ ගහ එහි නොමැති බව හඟිමි
එහෙත් එහි අතී­තය රැගෙන විත් කිමි­ඳෙමි
නිද­හ­සට කාරණා රැළි මතට විසි­ක­රමි
ඉබා­ගාතේ යන හිති­වි­ල්ලට ඉතින් ඉඩ දෙමි

පහන් වැට නිවී ගිය පසු අඳුර උහු­ළමි
ඉන් නැගෙන මූසල පුසුඹ ඉව කරමි
එකම තරු­ව­කුදු අමා­ව­කත රැයෙන් නොසො­යමි
පොළොව ගැන ලියූ කවි­ය­කින් අහස රිද­වමි

සම­හර විස සුසුම් පුරු­ද්දට මෙන් විද­වමි
සත්සර වලින් රිදෙන විට වෙණ තතට ගර­හමි
ඉස්සර වගේ නම් හීන එක උඩ පට­වමි
එච්චර අගේ නැති­කොට හද­ව­තත් විකු­ණමි

ගයාන් ඉන්දුල කොඩි­තු­වක්කු


පෙනෙන දසුන

පෙනු­ණත් සිති­ජය ඈතින් ඈතට
එක් වන තැනක් නැති
අහස පොළව යනු හමු­වන්නේ නැති
ඔබ මා වැනිය නිති..

සයුර ද අහස ද පෙනු­ණත්
එක් වී සිටිනා දසු­නක්
ගිරි­කුළු සිර­සින් ඈතින්
ගග­ණත සිඹිනා දසු­නත්..

කෙත් වතු තණ බිම් යායේ
ඇලි තිබේ නුබ සේලේ
පෙනෙන දසුන එය මායා
අහස පොළොව මුසු නොවෙනා..

පෙනෙනා දෙය තුළ සැඟ­වුණ දේ ඇත
කිසි කෙනෙ­කුට හසු­වන්නේ නැති
නෙත රැව­ටුම පිරි ලොව තුළ නිබ­ඳව
අපගේ සැප දුක් සැඟව ඇති..

අබ්දුල් කේ සාදී­කීන්


සකු බස සක්විති - මා හිමි නැණි­සුරු


භාෂා­න්තර විශා­රද උත්ත­රී­තර මහා නායක දවුල් දෙණ ඤාණි­ස්සර නායක ස්වාමී­න්ද්‍ර­යා­ණන් වහ­න්සේගේ අප­වත් වීම නිමිති කර­ගෙන විර­චිත සංවේග චින්තා­ව­ලි­යකි.

දහ­මට දැහැමි කර ගත සිත සිහිල් වෙන
යහ මඟ සදා දුන් දිවි මඟ උදුල් වන
මහ නා සමිඳු අප­වත් වී දවුල් දෙණ
දහ­සින් දෙනෙත් ‍තෙත් වෙයි සෝ තැවුල් ගෙන

සුර පුර දිගු කලක සර­තැස නිවන ලෙස
දොර දොර නැඟි සඳක් සේ ලක් බිමට බැස
දුර හැර අඳුර එළි­කර දෙස සමය රැස
හර­සර ලබති යළි සුර කැල ඉදිරි පස

සකු මහ­කව් පබඳ කර සොඳුරු සුමි­යුරු
විකු­මෙන් දනන් නතු කළ බමුණු කිවි­සුරු
ලොකු හාමු­දු­රු­වනි ලද ලොකුම තන­තුරු
අකු­රට අපට නැණි­සුරු හිමිය සුර­ගුරු

එක­සිය දෙව­ස­රක සිය දිවි ගමන තුළ
වික­සිත රන් පියුම හෙළ දැය සුවඳ කළ
රැක ගනු බැරිව දුටු­වත් දිය දමෙහි බල
ලක­ඟන ගැඹුර විම­සයි බැස කඳුළු විල

සිය දිවි ගමන යන­තුරු සිය වස ඉක්ම
වැය කළ දැයට සම­යට හැම මොහො­තක්ම
දැය සැර­සුව සොඳුරු මහා නාහිමි නික්ම
කිය­වෙයි මුවෙන් මුව ඇසි දිසි ගුණ­යක්ම

නුබ ගැබ සඳක්සේ ගණ­ඳුරු වලා බිඳ
බැබ­ළුණ නා සමිඳ විය­තුන් සබා මැද
දඹ රන් වැනි සතර දැනු­මෙහි විසා­රද
ඔබ නැති අඩුව කෙත­රම් නම් විසා­ලද

පර­සතු මදාරා මල් පෙති ඇති­රිල්ල
කර කර සරණ යුව­ළට මුදු පිය­විල්ල
පෙර මඟ බලා සිටි සුර පුර සුර ගොල්ල
අර­ඹති මෙතැන් සිට සකු බස ඉගැ­නිල්ල

මහා­චාර්ය දර්ශන රත්නා­යක


අකැ­පයි ළඳුනේ

වන­පස මල් ගෙන පිදු දෙපා යුග
දෑසේ කඳු­ළින් දෙවු දෙපා යුග
හද පුද­සුන මත ලකුණු තැබූ යුග
මහා ගල් අරණේ නිස­ලව වැඩ ඉඳ

බුදු බව ලබ­නට සෙව­ණක් දුන්නා
සත් සති­යෙන් බෝ බුහු­මන් ලැබුවා
මහා බෝ සමි­ඳුගේ දක්ෂිණ ශාඛා
ගෙන සඟ­මිත් තෙර­ණිය මෙල­කට වැඩියා

බුදු රැස් විහිදා වැඩියේ දෙරණ
මාලා කුම­රිය සඟවා වර­ලස
වැඩ හිඳනා ශ්‍රී දළදා මැදැ­රට
සාදු කියා වැන්දා මේ ලෙස

දුරින් සිටන් මල් මාල පුද­න්නයි
පවු­රෙන් එපි­ටෙන් බෝ නාව­න්නයි
ත්‍රිවිධ රත්නයේ පිහිට ලබ­න්නයි
මතු මත්තේ අපි පිරි­මින් වෙන්නයි

මේදනී මැණි­ක්කු­ඹුර


ආද­රය

මහ දවල්
මිනි­යක් ගොඩ ගෙන
සිප ගැනීමේ වර­දට
තමා වර­ද­ක­රුද?
නිවැ­රදි කරුද?..

නිවැ­ර­දි­කරු ස්වාමීනි..

පසු­ගිය දිනෙක
මෙළොව හැර ගිය
ඇය මගේ බිරිය යි
වෙන්ව ගිය පසු
සඳ­හ­ටම ඇය
දරා ගත නොහැක
තනි­කම විරහව
ඒ දුකෙන් තැවෙ­මින්
ගොඩට ගෙන
මගේ රන් කද
සිප ගතිමි...


ලෙස්ලි පෙරේරා


හර­සර

තිස් වස­කින් එපිට
අර­ලියා මල් විසිර මාවතේ
දිග හැරුණු
කතා හඬ සිනහා හඬ
දැක සතුටු වුයේ ඔබයි...

ලද විරා­ම­ය­කට
කෙළි බිම හිස් නොකළ
දෙක­ම්මුල් මත රූටන
දහ දිය බිංදු
සිප් සුවඳ මුසු කළ පව­නින්
වියැ­ලෙනා තුරු
දයා­වෙන් ඉව­සුවේ ඔබ­මයි...

ඔප දැමූ මැණි­කට
දුන් වටි­නාක ඉහ­ල­මැයි කිය­මින්
ගුණ දමින් සිප් සතින්
ඔප දමා අපේ ජීවිත
කිරුළු පළ­දිනා තුරු
බලා සිටියේ ද ඔබ­මයි

නර්මදා කුමාරි මුල්ලේ­ග­ම්ගොඩ


වෙනස

දිනෙන්
සැණින් සැන
වැඩෙනා පුතු දෙස බලා
සතුටු වෙත්
මැණියෝ..

දිනෙන් දින
සැන­ණින් සැණ
මියෙන මව් දෙස බලා
ශෝක වෙත්
පුත­ණුවෝ

බන්දුල වර්ණ­කු­ල­සූ­රිය


පසු විප­රම

ගේ දොරත්
අලුත් කෙරුවා
නව සඳත් බැලුවා
නැක­ත­ටම
ලිප ගිනිත් ඇවි­ලුවා
කිරි බතුත් කෑවා
දෙගු­රුන් නැම­දුවා
තෑගි භෝගත් දුන්නා
වෙල් එළියේ දිව්වා
ඔන්චිලි පැද්දා
හිස තෙලුත් ගෑවා
ගෙයි මැද සාලයේ
රූප පෙට්ටි­යෙන්
අවු­රුද්ද සැම­රූවා

රත්න­සිරි පති­රණ


එතෙර කවිය

දූවිලි, දූවි­ලි­ව­ලට(Dust to Dust)

අළු,අළු­ව­ලට-දූවිලි, දූවි­වි­ලි­ව­ලට
මනු වග මෙහෙ­යවේ ඉර­ණමේ නිය­ම­යට
මුහුණු දිය යුතු නමුදු සෑමෙ­කකු එයට
අවැසි නැත යාඥා මළ­වුන් නමට
දුවිලි අංශු­මෙන් , වැලි ඇට මෙන
දෙවි­යන්ගෙ දරු­වන් පැති­රෙයි ඔහුගේ ලෝ අත­රින්
මැල­වෙ­තත්, පර­වෙ­තත් ගමන යමු අපි දිගට
අවැසි නැත යාඥා මළ­වුන් නමට
ඔව්,අද­හමි සැබැ­වින්ම, යම් දිනක-
සිටිනු ඇත අප,සුරන් පා නඟන තැන-
දිවි ගෙවනු පිණිස සදා­කා­ලික ලෙසට
අවැසි නැත යාඥා මළ­වුන් නමට
මරු ගනියි සොරකු සේ අපේ අද­රැ­ති­යන් ’””
යාඥා කළ යුතු කඳුළු හෙළ­න්නන් වෙනු­වෙන්
සොවින් මුත් යා යුතුම හෙයින් උන් ඉදි­රි­යට

ඇන්ඩ්‍රියා ඩිට්‍රිචි (Andrea Dierrich)

අවැසි නැත යාඥා මළ­වුන් නමට කිවි­ඳිය තේමා කර­ගන්නී, මර­ණ­යයි. විශේ­ෂය, ඇය එ‍දෙස යථා­ර්ථ­වාදී දෘෂ්­ටි­යක් හෙළි­මයි.

තවත් අයු­ර­කින් ,ඒ දැක්ම උපේක්ෂා සහ­ගත මෙන්ම අසා­මාන්‍ය ද වෙයි. මර­ණය ඉතා ස්වාභා­වික සංසි­ද්ධි­යක් සේ දකිනා කිවි­ඳිය, මළ­වුන් වෙනු­වෙන් යාඥා කිරීම අවශ්‍ය නැති බව කියා සිටියි. දෙවි­යන් හා මතු ජීවි­තය ආදි ආග­මික සංකල්ප මතද ඈ පද­නම් වන බව පෙනෙන’මුත් , වැඩි අව­ධා­න­යක් යොමු කරන්නේ,වැඩි දයාව දක්වන්නේ මිය යන්න­වුන් නමින් තව දුර­ටත් ජීවත් වන අය­ටයි. ශෝක­යෙන් නමුත් ,ඔවුන් දිග­ටම දිවි­ගෙ­විය යුතු බැවින් , යාඥා කළ යුත්තේ ඔවුන් වෙනු­වෙන් බවයි කිවි­ඳිය කියා සිටින්නේ.

ඇන්ඩ්‍රියා ඩිට්‍රිච් ඇමෙ­රි­කානු කිවි­ඳිය,අයෝවා ප්‍රාන්තයේ ඉපිද හැදී,වැඩී දැන් සැමියා සමඟ utahප්‍රදේ­ශයේ ජීවත් වන්නීය. උපා­ධි­ධා­රි­ණි­යක් වන ඇයට, දරු­වන් දෙදෙ­නෙක්ද, මුනු­බුරු මිණි­බි­රි­යන් තිදෙ­නෙක් ද සිටිති. වැඩි­හිටි ජීවි­තයේ වැඩි කලක් ගුරු­ව­රි­යක ලෙස කට­යු­තු­කර ඇති ඇය සිය නිර්මා­ණා­ත්මක හැකි­යාව හඳු­නා­ගෙන ලිවීම අර­ඹන්නේ 2000 වස­රේ­දීය. දැන් ඇය විවිධ මාධ්‍ය ඔස්සේ සිය නිර්මාන එළි දැක්වී­මත් පද්‍ය තර­ග­වල විනි­ශ්ච­යට දායක වීමත් කරයි.

Poetry soup පද්‍ය වෙබ් අඩ­වියේ හොඳම තර­ග­කාරී කවි­යන් අතර නිත­රම වාගේ ඉහ­ළින්ම සිටින ඇන්ඩ්‍රියා, යාහු කණ්ඩා­යමේ 2008 වර්ෂයේ කවියා ලෙස ජය ලබා ඇත. සඟරා රැස­කින්ද ඇය ත්‍යාග දිනා ඇත. ඇගේ කවි, කුඩා කවි එකතු (Chapbook) 8ක පළවී තිබේ. ඇය කෙටි­කතා ලිවී­මේද යෙදෙ­න්නීය.

පරි­ව­ර්ත­නය -දේ.වි ගාල්ල‍ගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.