චිත්‍රපට තිර පිටපතක් වන් නවකතාවක්: රැජින

මාගම් සෝලිය, ලොවීනා, ආදරණීය වික්ටෝරියාට පසු මෑතකදී මොහාන් රාජ් මඩවල විසින් ලියූ නවකතාව රැජිනයි. මුල් කතා මෙන් ම වීර චරිත රැගත් ඓතිහාසික ශ්‍රී ලාංකික රජ පරපුරේ “අනුලා” රැජිනගේ කතාව රැජිනට වස්තු වී ඇත. වංශකතා, ඉතිහාස කතා අනුව අනුලා රාගාධික ගැහැනියක් කළද ‘රැජින’ නවකතාව ඊට වෙස් අරුතක් සපයයි. මෙහි අන්තර්ගතය හඳුනා නොගෙන ඊට බද්ද ආනුශාංගික කරුණු කතා කළ නොහේ.

මේ කතාව ආකාරයට මහානාග රජුට වයස අවුරුදු පනහක් ඉක්මවා ඇති කලෙක 13 වියැති අනුලා ඔහුගේ බිසව බවට පත්වේ. ටික කලකින් ඔහු මියගිය පසු තිස්ස රජ බවට පත්වන්නේ 17 වියේදීය. ඒ වනවිට අනුලාට වයස 25කි. ඔහුගෙන් වධ වේදනා විඳින අනුලා ශිව නම් වූ රජ මැදුරේ ම සේවකයකු අතින් දුන් වස පානයක් නිසා තිස්ස මිය යාමෙන් අනුලා රැජින බවට පත්වේ. ඇය ‘ශිව’ තම යුවරජ තනතුරට පත් කර ගන්නා අතර කෙටි කලකින් පැවැත්වෙන වසන්ත උත්සවයකදී දකින කඩවසම් තරුණයකු වෙත රැජිනගේ සිත ඇදී යයි. ඔහු රජ මැදුරට දර සපයන ‘තිස්ස’ ය.

රාජ්‍යත්වය ප්‍රථම වරට රැජිනක ලෙස භාවිත කරන අනුලා ඔහුට රජ මැදුරේ තනතුරක් ලබා දේ. පසුව රාජ්‍ය පිළිබඳ රහස් සොයන ආරක්ෂක නිලධාරයා ද වන ඔහු පසුකලෙක ඇගේ යුවරජ තනතුරට ද පත්වේ. ඒ අතර සිදුවන අපූරු පුවත වන්නේ ‘තිස්ස’ ගේ ගමේ පෙම්තිය පැමිණ රැජිනට ඒ පිළිබඳව පැවසීමයි. නමුත් කටකතා පතුරුවන වැරදිකාරියක ලෙස රජ මැදුරට ගෙනෙන ඈ හිරකර තබා සිටියදී කාටත් හොරා ඇයට ආපසු පැන යාමට උදව් වන්නේ ද රැජිනයි. නමුත් තිස්සගේත් රැජිනගේත් සම්බන්ධය සාමාන්‍ය වූවක් ලෙස ගෙවී යද්දී මාලිගයට පැමිණි කෙනෙකු විසින් තිස්ස මරා දමා පැන යන අවස්ථාවේදී ආරක්ෂකයින් ඒ කාන්තාවක් බව හඳුනාගනී. ඇය ඒ පිළිබඳව පුහුණුවක් හා ආරක්ෂාවක් ලබාගෙන ඇත්තේ අනුලාගෙන් පසුව රාජ්‍යත්වය අපේක්ෂාවෙන් සිටින මුල් තිස්සගේ බාල සොහොවුරු මහකනතිස්සගේ කණ්ඩායම් වලිනි. අවසානයේ මහකනතිස්සගේ ආක්‍රමණය මාලිගාව වටලද්දී රැජින තනිවන අවස්ථාවකි. ඒ සඳහා ඉදිරිපත් වන්නේ ද රැජින ආදරය කළ තිස්සගේ පෙම්වතියයි. කිසිවක කෙරෙහි විශ්වාස නොතැබිය හැකි තැනෙකට සිදුවීම් ගලා යද්දී රැජින වස මිශ්‍ර පානයකින් ජීවිතක්ෂයට පත්වේ. අවසානයේ වාසුකී නම් වූ තිස්සගේ පෙම්වතියට ඔහුගේ මියගිය සිරුර බෙහෙත් කවා ආරක්ෂා කොටගත් ‘මමියක්’ ලෙස හමුවේ. ඇයට එහි හදවත ගැහෙන බව දැනේ.

කතාවේ මූලික කාරණා මෙසේ කෙටිකොට ගත්තේ ඒ වියමන කෙතරම් අපූරුවට කතුවරයා ගෙත්තම්කොට ඇත්තේදැයි පැහැදිලිකර දීම සඳහාය. මේ කතාව ආරම්භ වන්නේ මිසරයේ සිට මුහුදුබත්වූ යාත්‍රාවක සිටි යාන්ත්‍රිකයන් දෙදෙනකු ධීවරයන් දෙදෙනකු විසින් අල්වා ගෙනවිත් තිස්ස රජුට ඒ බව දන්වා සිටින අවස්ථාවෙනි. මහානාගගෙන් පසු රජ වූ තිස්ස මධුවිතෙන් මුසපත්වූ මොහොතක ඒ ධීවරයන් රජුට පවසන නාටකීය එළඹුම පාඨකයා කථාව වෙත ඇදගෙනයාමට අපූරුවට සමත්වී ඇත. අප නවකතාවක් යනුවෙන් හඳුනා ගන්නේ චරිත සිද්ධි වටා ගෙනෙන ප්‍රබන්ධයක් වශයෙනි. ඒ ප්‍රබන්ධය කතුවරයාගේ පරිකල්පනය මත හිතාගත‍ නොහැකි නිමේෂයකට පාඨකයා මුලින් ම කැඳවාගෙන ගොස් ඊළඟට ‘අනුලා’ රැජින හා සමකාලීන මිසරයේ ක්ලියෝපැට්රා රැජින අතර සමීප සබඳතාවකට ගෙන යයි. අතිශය සුන්දර ලෙස ඒ කැඳවාගෙන යාමේදී මිසරයේ ඇති මතු ආත්මය පිළිබඳ විශ්වාස මෙන් ම මායා යථාර්ථය අපූරුවට කථාවට බද්ධකොට ගැනීඹට කතුවරයා සමත් වේ. ඒ බව පැහැදිලි වන්නේ අනුරාධපුර යථාර්ථවාදයෙන් ආරම්භවන කතාවේ සිද්ධි හා චරිත එකිනෙක සම්බන්ධ කරමින් මේ දෙරට අතර ඇති කරවන මිත්‍රත්වය ඔස්සේය.

එකිනෙක රටවලින් පිටත්වන යාත්‍රාවලින් විවිධ පණිවිඩ හා භාණ්ඩ දෙරට අතර ගනුදෙනු වේ. මේ නවකතාවේ එන සියලු කාරණා විස්තර කිරීමට කුඩා අතිරේකයක් ම සකස් කරගත යුතු තරමට ඒවා අති රමණීයය.

එක් ආකාරයකට කාන්තා හිංසනය, කාන්තා හිමිකම කතුවරයා ඍජුව ම කිසි තැනෙක නොකීවද සිහින් හුයක් ලෙස කතාව පුරාම දිවයයි. අනුලා රැජින කීප දෙනෙකු ම තම යුවරජ තනතුරට පත්කරගන්නා දෙමළ ජාතිකයන් නිසා රට තුළ එදත් දඅත් පවතින වර්ගවාදයේ සැබෑව තවත් අතකට අපට පෙනේ. මේ සියල්ලම මෙන් ම විටෙක මටද මේ නවකතාව මෙතරම් දැනුණේ මිසරයේ එවක භාවිත කල කුඤ්ඤාක්ෂර, පැපිරස් ලේඛන මෙන් ම පිරමීඩ පිළිබඳව ද කතුවරයා අපූරුවට හැදෑරීමක් කර ඇති බව පෙනෙන බැවිනි. සන්නිවේදන ඉතිහාසයේ පූර්ව සන්නිවේදන ක්‍රම පිළිබඳව අප උගන්වන බැවින් ඒ කොටස එසේ දැනෙනවා විය හැකිය.

මීළඟ තවත් කාරණාවක් ලෙස මතුවන්නේ මෙරට ඉතිහාසය පුරාම රාජ්‍යත්වය ‍උදෙසා තම පවුලේ ම තම මාලිගයේ ම සිටියවුන් සතුරන් ලෙස කටයුතු කළ ආකාරය රාජ්‍යත්වය සමඟ ගනුදෙනු කරන පසුබිම් විවරණය ඔස්සේය. ‘රැජින’ නවකතාවේ මා දකින අපූරුතම ලක්ෂණය නම් ත්‍රිකෝණ ප්‍රේම කතාවයි. රැජිනත් වාසුකී නම් ගමේ පෙම්වතියගේත් පෙම්වතා ‘තිස්ස’ ය. රැජින ඔහු වෙත බැ‍ඳෙන ආකාරය කතුවරයා විස්තර කරන්නේ නල දමයන්ති ප්‍රේම අන්දරය සිහිගන්වමිනි. ප්‍රේම උන්මාදයෙන් බැ‍ඳෙන රැජිනගේ ඇතුලු හද වාසුකීගේ ප්‍රේමියේ වියරුව කතුවරයා දක්වන්නේ හැබෑවට ම කාන්තාවගේ ඇතුලුහද කියවා ඇති ආකාරයකටය. ඒ තරමට ඒවා රාසාලිප්ත වාගාලංකාරයන්ගෙන් පොහොසත්ය.

කතුවරයා ‘රැජින’ වෙතින් අප වෙත කරුණු කීපයක් ඔප්පු කර සිටී. එනම් නවකතාවක් ‘ප්‍රබන්ධයක්’ වුව එය කතන්දරයකට එහා ගිය සමාජ පර්යේෂණාත්මක ඓතිහාසික කාල පර්යේෂණාත්මක පදනමක පිහිටා කළ ගෙත්කමක් බවයි.

කිසිම සිද්ධියක් හෝ චරිතයක් පිළිබඳව ඍජුව කිසිවක් නොකියා පාඨකයාට ඒවා එකිනෙක අල්ලා ගැනීමට හැකි ලෙස ගෙත්තම් කිරීමේ හැකියාව අපූරුය.

කතාවේ රිද්මයට පලුදු නොවන සේ සිද්ධි හා චරිතවල ඇති ලයාන්විත ඔප දැමීමට සමත් වූ පරිකල්පනයේ මහිමය හා ලේඛනයේ අපූර්වත්වය වර්තමානයේ අප අතර කතා කරන ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේදී ස්ත්‍රියට සිදුවන ලිංගික හිංසනය වක්‍රාකාරව පෙනෙන්නට සැලසීම මෙන් ම ජීව විද්‍යාත්මක කාන්තා ලක්ෂණ පිළිබඳ මතු කිරීම ඒ සියල්ල අභිබවා මුළු නවකතාව ම චිත්‍රපටයක් ලෙස පෙන්වීමට හැකි කතුවරයාගේ පරිකල්පනය නමැති තිර පිටපතක් ලේඛනය නමැති සංස්කරණයත් වාගලංකාරය නමැති ආලෝකකරණයත් කැටිකොටගත හැකි අති දක්ෂ නවකතාකරුවකු මතුවන අතර යුගයේ අපූරු මං සලකුණක් තබන නිර්මාණයක් ලෙස ‘රැජින’ ඉතිහාසගත වන බවත් ය. මගේ කියැවීමට අනුව ‘රැජින’ වීර චරිත රැගත් (EPic) නාටකීය බව රැඳි සිනමාත්මක තිර පිටපතකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.