පනස් හයේ බිහි වූයේ මනමෙ, රේඛාව සහ විරාගය පමණක් ද?

පනස් හය වසරේ බිහි වී මේ වන විට වජ්‍ර ජයන්තිය (60 වසර) සපුරන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමෙ’ නාටකය හා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටය සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමෙන්ම සංවිධානය කෙරුණු ඇගැයීම් උත්සව කීපයක් පසුගිය දිනවලදී අපට දක්නට ලැබිණි. එබඳු ඇගැයීමක්, ප්‍රණාමයක් පනස්හයේ එළිදුටු තවත් සුවිශිෂ්ට කලා කෘතියක් වන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘විරාගය’ නවකතාව අළලා සිදු නොවූවත් එය පාදක කරගෙන ද අනුස්මරණ ලිපි පුවත්පත් සඟරාවල ඉඳහිට වුව පළ වූයේය.

එහෙත් එලෙසින්වත් සිහිපත් නොකෙරුණු තවත් කලා කෘති හතරක් පනස් හයේදී එළිදුටු බව මෙහිලා කිව යුතුය. මින් එකක් කාව්‍ය සංග්‍රහයකි. අනික ළමා කතාවකි. ඉතිරි දෙක පරිවර්තනය මහාචාර්ය සිරි ගුනසිංහගේ ‘මස් ලේ නැති ඇට’ කාව්‍ය සංග්‍රහය, සිබිල් වෙත්තසිංහගේ ‘කුඩ හොරා’ ළමා ප්‍රබන්ධය සහ කේ. ජි. කරුණාතිලක සිංහලට පරිවර්තනය කළ ‘බිම්ගෙයි සිරකරුවා’ රුසියානු කෙටිකතා මහගමසේකර සිංහලට පරිවර්තනය කළ ‘ධවල සේනාංකය’ එම කෘති හතරය.

මේ ලිපිය එම කලා කෘති කීපය අරභයා කෙරෙන්නා වූ කෙටි ආලෝචනාවකි.

සාම්ප්‍රදායික ආකෘතියට එරෙහිව ප්‍රථම නිසදැස් කවිය ලීවේ ජී. බී. සේනානායක වුව නිසදැස් කාව්‍ය රිතියේ පරිසමාප්ත කවියා මහාචාර්ය සිරි ගුනසිංහ යැයි කීම සදොස් නැතැයි සිතමි.

මහාචාර්ය ගුනසිංහ 1949, 1950 අවදියේ සිටම කොළඹ යුගයේ කවිය ඉතාම නිර්දය ආකාරයට විවේචනය කළ අයෙකි. ඔහු කොළඹ කවීන්ගේ නිර්මාණ දුටුවේ පාඨකයා ස්වප්න ලෝකයකට ගෙන යෑමට තැත් දරන ‘බොළඳ රචනා’ ලෙසය.

මහාචාර්ය ගුනසිංහගේ ප්‍රාරම්භක නිසදැස් කවි ‘අරුණ’, ‘පියවර’ වැනි විශ්වවිද්‍යාල සාහිත්‍ය සඟරාවල පළව ඇත. ‘ආ පසුව’ යන නමින් යුතු කවිය 1949 ‘අරුණ’ සඟරාවේත්, ‘ඊයේ සොඳුර’ නම්වූ කවිය 1951 ‘පියවර’ සඟරාවේත් පළව තිබෙනු දක්නා ලැබේ.

‘මස් ලේ නැති ඇට’ වැනි කාව්‍ය සංග්‍රහයක් මාර්ටින් වික්‍රමසිංහගේ පවා ඇගැයීමට ලක් වූ බව මෙහිලා කිව යුතුය.

“ගුනසිංහ කවියට නැඟිය යුතු අලුත් අත්දැකීමක් හා සිතුමක් ඇත්තකු බව ඔහුගේ ‘මස් ලේ නැති ඇට’ කියවූ මට හැඟිණි. ඔහු තමාගේ අත්දැකීම්, හැඟීම් හා සිතුම් කීමට බිය නැත්තෙකි.” (නව පද්‍ය සිංහලය)

නිසදැස් කාව්‍ය ව්‍යාප්ත කරනු වස් මහාචාර්ය ගුනසිංහ ‘නිසඳැස’ නමින් සඟරාවක් ද පවත්වගෙන ගිය අතර ‘රතු කැකුළ’ ‘අබිනික්මන’ වැනි කවි පොත් දෙකක් ද ඉනික්බිතිව ලියා පළ කළේය.

‘ප්‍රංශ කවි’, ‘උපදංශ කවි’ යන කර්කශ වදන්වලින් කෙතරම් ගර්හා කළ ද අද වන තෙක් සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ නිසදැස් කවිය චිරස්ථායීව පවතින්නේ එදා මහාචාර්ය ගුනසිංහගේ අභීත මැදිහත්වීම හේතු කරගෙන යැයි කිව නොහැකි ද?

මහාචාර්ය ගුනසිංහගේ කවි අලළා හොඳම විවරණය කර ඇත්තේ මහාචාර්ය පියසීලි විජේගුනසිංහ යැයි සිතමි. ඇය ඔහුගේ කවිවල අන්තර්ගතය ගැන කර ඇති වැදගත් ප්‍රකාශයක් මෙසේ ය.

“සිරි ගුනසිංහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නූතන කවියෙකි. ඔහුගේ තේමා නූතන සමාජ පදනම්වලින් මතු වූ ඒවා විය... සිරි ගුනසිංහට කලින් හෝ පසුව සිටි එක ද කවියෙක් ඔහු තරම් බුද්ධිමය ලෙසත් කාව්‍යමය අයුරිනුත් සමාජය මුහුණපාන ඓතිහාසික අර්බුදය පිළිබිඹු නොකළේය. (සිරි ගුනසිංහ උපහාර ලිපි සංග්‍රහය)

මුලින්ම ‘ජනතා’ පුවත්පතේ පළවී පසුව 1956 දී එළිදුටු සිබිල් වෙත්තසිංහගේ ‘කුඩ හොරා’ සිංහල ළමා සාහිත්‍යාවලියේ සුවිශේෂ ග්‍රන්ථයකි. ළමා සාහිත්‍ය සාමාන්‍යයෙන් භාෂාවෙත් චිත්‍ර ශිල්පයේත් යන මාධ්‍ය දෙකේ සුසංයෝගයෙත් යුතු කලාවකි. ළමා සාහිත්‍යයේදී මේ මාධ්‍ය දෙක අතර ඇත්තේ ඓන්ද්‍රීය සම්බන්ධයකි. ඊට ඉහත කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, ආනන්ද රාජකරුණා වැනි ලේඛකයන් ළමා සාහිත්‍යයකට මුල පුරා තිබුණත් ඔවුහු චිත්‍ර ශිල්පීහු නොවූහ. සිබිල් තම පරිකල්පනය භාෂාවෙනුත් චිත්‍රයෙනුත් මාහැඟිව ඉදිරිපත් කරන ලේඛිකාවකි.

සිබිල්ගේ චිත්‍ර ඇයටම අනන්‍ය වූ විචිත්‍රවත් රටාවක් මවයි. එය ළමා මනසට අතිශය ගැළපෙන්නකි. (සිබිල්ගේ චිත්‍ර විචාරකයන් විසින් හඳුන්වනු ලැබ ඇත්තේ ‘සිබිලයන් ආට්’ යනුවෙනි.)

ප්‍රකට කලා විචාරකයකු වූ රෙජි සිරිවර්ධන ‘කුඩ හොරා’ අලළා අගනා විචාරයක් ලියා ඇත. ඔහු එහිලා මෙසේ කියයි.

“කුඩ හොරා වූ කලි ළමා සාහිත්‍යයේ යුගයක ආරම්භයක් විය. වචනත් චිත්‍රත් දෙක හොඳින් සංයෝජනය කළ ප්‍රථම සිංහල ළමා පොත ‘කුඩ හොරා’ ය. එහි ඇතුළත් චිත්‍ර අනෙක් පොත්වල ඇතුළත් රූප මෙන් අමතරව යෙදූ ආයිත්තම් වැන්නක් නොවේ. ‘කුඩ හොරා’ පොතෙන් පිටුවෙන් පිටුවට කතන්දරය ගලා යන්නේ වචනත් චිත්‍රත් එකිනෙක අත්වැල් බැඳගෙනය. වචනත් චිත්‍රත් එකිනෙකට සංකලනය වී ගලා යෑම නිසා ළමයාගේ සතුට කතන්දරය පුරාම පවතී.”

පූර්වෝක්ත විචාර සටහනෙන් අනුව ‘කුඩ හොරා’ ළමා පොතට හිමි ඓතිහාසික වටිනාකම අපට හඳුනාගත හැකිය. එබඳු නිර්මාණයක් බිහි වූයේ ද 1956 දීය.

‘කුඩ හොරා’ ලෝකයේ විවිධ භාෂාවන්ට පරිවර්තනයව පළව ඇති අතර 1986 දී එහි ජපන් පරිවර්තනයට හොඳම විදේශීය පොතට හිමි සම්මානය ද දිනා ගත්තේය.

‘ප්‍රවීණ කිවියර මහගමසේකර සාහිත්‍ය නිර්මාණකරණයට එළැඹෙන්නේ ‘ධවල සේනාංකය’ කෘතියත් සමඟය. එය ආතර් කොනන් ඩොයිල්ගේ ‘වයිට් කොම්පැනි’ නම්වූ ග්‍රන්ථයේ පරිවර්තනයකි.

සේකර ජීවතුන් අතර සිටියදීත් ඔහු මියගියායින් පසුවත් ඇතැම්හු සේකරගේ ඉංග්‍රීසි භාෂීය දැනුම ප්‍රශ්න කළහ. එහෙත් ඔවුන් අමතක කළ වැදගත්ම කාරණාවක් වූයේ සේකර වෘත්තියෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පරිවර්තකයකු වීමයි.

‘ධවල සේනාංකය’ කෘතියට ප්‍රකාශක ගැටලුවක් මතු වූ බවක් කියැවෙයි. මෙහි ප්‍රකාශන අයිතිය වෙනත් සමාගමක් විසින් මිලට ගනු ලැබ තිබීම හේතුවෙන් ‘ධවල සේනාංකය’ පළ කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ද පවරන ලදී. නඩුව අතරමඟ සමාදාන වූවත් සේකරගේ පොතට සාධාරණයක් ඉටු වූ ආකාරයක් නොපෙනේ. මෙහි මුද්‍රිත පිටපත් රදාවානේ සේකරගේ මහගෙදර අල්මාරි හා දොර මුලුවල අතන මෙතන ගොඩ ගසා තිබු බව ඩී. ජේ. කුමාරගේ ලියූ ‘සුපුබුදු කලා විදු මහගමසේකර’ පොතේ දැක්වෙයි.

කෙසේ වෙතත් සේකරගේ පළමු පරිවර්තනය ලෙස ‘ධවල සේනාංකය’ හැඳින්වීම කිසිවකුට වැළැක්විය නොහැකි කාරණාවකි. මෙය පනස් හයේ පළ වීම ද ඒ අනුවම වැදගත්ය.

ඉහත සඳහන් කලා කෘති සියල්ලම පනස් හයේ බිහිවීම එහි අනිවාර්ය ඵල නොව හුදෙක් අහඹු සිදුවීම් ලෙස ය අප තැකිය යුත්තේ. පනස් හයේ ජයග්‍රහණයට ඒවායේ කිසිදු සම්බන්ධයක් නැත. සිංහල කලා ක්ෂේත්‍රය තුළ පනස්හයේ පෙරළ‍ියේ බලපෑම දක්නා ලැබෙන්නේ සමාජවාදි රටවල් සමඟ තානාපති සබඳතා ඇති කරගැනීමත් සමඟම ඒ ඒ රටවල කලා නිර්මාණ පරිවර්තන හෝ අනුවර්තන ඔස්සේ ප්‍රවිෂ්ට වීම් වැනි සිදුවීම් මාර්ගයෙනි. උදාහරණ වශයෙන් රුසියානු සාහිත්‍යය, ජර්මනියේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය අප වෙත පැමිණුණේ පනස් හයෙන් පසුවය.

ඊට පෙර රුසියානු සාහිත්‍ය කෘති මෙහි පරිවර්තන ලෙස පළ නොවූ බවක් මෙයින් අදහස් නොකෙරේ. එහෙත් ‘ප්‍රගති’, ‘රාදුගා’ වැනි රුසියානු ග්‍රන්ථ ප්‍රකාශන ආයතන වඩාත් සක්‍රීයව පරිවර්තන කාර්යයට අත තැබුවේ පනස්හයට පසුවය.)

එසේම පසුකාලීන සිංහල ස්වතන්ත්‍ර ලේඛකයන් බොහෝ දෙනකු කෙරෙහි ආනුභාව පෑ කේ. ජී. කරුණාතිලකගේ ‘බිම්ගෙයි සිරකරුවා සහ වෙනත් ශ්‍රේෂ්ඨ රුසියානු කෙටිකතා’ කෘතිය ද 1956 දී එළිදැක්වූවකි. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ සිට ලියොනිඩ් ඇන්ඩ්රිව් දක්වා වූ ප්‍රාග් විප්ලවීය රුසියානු ලේඛකයන්ගේ කෙටිකතා දහයක් මෙයට ඇතුළත්ව තිබිණි. මෙය අදටත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස සාහිත්‍ය විද්වත්හු සලකති.

අප ‘මනමෙ’, ‘රේඛාව’ වජ්‍ර ජයන්තිය සමරන්නේ යම් හෙයින් ද ඉහත කලා කෘති ද කිසියම් මට්ටමකින් වුව සැමරිය යුතු බව අවසන් වශයෙන් අවධාරණය කරමි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.