බිඳ වැටුණු සිහින මත නැඟී සිටි ලේඛකයා මු. සිවලිංගම්

සීතල කඳුකරය මීදුම් පටලයකින් වේළී ගොසිනි. රාත්‍රියේ වට පින්නනේ නැහැවුණු තේ පඳුරුවලින් පිරී ගිය තලවාකැලේ ලොකුමල්ලි හෙප්පු වත්ත දැඩි නිහැඬිතාවයක ගිලී ඇත. ඒ නිහඬත්වය බිඳිමින් වත්තේ සංගුව හැඬවෙයි. තේ දලු කූඩ පිටෙහි බැඳගත් තරුණ හා වැඩිහිටි ගැහැනු වතු පාර දිගේ එක පෙළට ගමන් කරති. මු. සිවලිංගම් නම් යොවුන් සිසුවාගේ මෑණියන් ද ඒ කණ්ඩායමේ සිටින්නීය. උදෑසන ම පාසල් යෑමට සූදානම් වන සිවලිංගම් ගේ සිතට කවි කල්පනාවක් පහළ වෙයි. හිමිදිරියේ සීතලේ වෙවුලමින් දලු නෙළන්න යන අම්මාගේ මුළු ගත ම දහවල් වන විට දහදියෙන් නැහැවෙයි. තමා ඇතුළු සොයුරු සොයුරියන් පස් දෙනකු පෝෂණය කිරීමට ඇය දරන වෙහෙස පිළිබඳ මහත් කෘතවේදීත්වයක් ඔහුගේ සිතේ ‍මෝදු වෙයි. අභ්‍යාස පොතක කොළයක් ඉරාගෙන ඔහු කවියක් ලියයි. ‘කොලුන්දා කිල්ලම් කුමරි’ යනුවෙන් නම් කරන ඒ කවිය ‘වීරකේසරී’ පත්තරයට තැපැල් කරයි. ඒ 1962 වසරේ එක් දවසකදී ය . පුවත්පතක පළ වූ සිවලිංගම් ගේ මංගල කවිය එයයි.

නම ඉදිරියෙන් තිබෙන මු. අකුරෙන් හැ‍ඟෙන්නේ කුමක්දැයි මම සිවලිංගම් ලේඛකයාගෙන් විමසිමි. ඒ සිය පියාගෙන් හිමි වූ මුරුගන් නාමය යයි ඔහු මට කීය. පියාගේ නම මුත්තු මුරුගන් ය. අම්මා කන්නම්මා නම් වෙයි. ඔවුහු ලොකුමල්ලිහෙප්පු වත්තේ කම්කරුවෝ ය. සිවලිංගම් පවුලේ හතර වන සාමාජිකයා ලෙස උපත ලබන්නේ 1946 වසරේ අගෝස්තු 26 වනදා ය. 5 වන වසර දක්වා වත්තේ පාසලෙන් අධ්‍යාපනය ලබන ඔහු අනතුරුව තලවකැලේ සාන්ත පැට්රික් පාසලට ඇතුළු වෙයි. පවුලේ සෙසු සාමාජිකයන්ට වඩා සිවලිංගම් දක්ෂයකු බව වටහා ගන්නා මව්පියෝ අනතුරුව ඔහු හැටන් නගරයේ හයිලන්ඩ් කොලේජීය වෙත යොමු කරති.

“මම 1965 දී උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයටත් තේරුණා. ඒත් මාව විශ්වවිද්‍යාලේ යවන්ඩ දෙමව්පියන්ට හයියක් තිබුණේ නැහැ.” දිගට ම ඉගෙන නොගන්නේ මන්දැයි මා විමසූ කල ඔහුගෙන් ලැබුණේ එවන් පිළිතුරකි.

හයිලන්ඩ් කොලීජියේ ශිල්ප ලබන්නට යාමේදී ඔහුට මෙන් ම ඔහු වෙනුවෙන් කැපවූ පවුලේ සෙසු සාමාජිකයන්ට විඳින්නට වූ දුක් කරදර අපමණ ය. දක්ෂයා ඉදිරියට යැවීමට තීරණය කළ සොයුරු සොයුරියෝ සිය ඉගෙනුම් කටයුතු අත්හළහ. තලවාකැලේ සිට හැටන් දක්වා දුම්රියෙන් යාම සඳහා මාසික සීසන් ටිකට්ටුවකට රුපියල් 5කි. ඇතැම් මාසවල ඔහුගේ අප්පා මුදල් සොයා දුන්නේ අම්මාගේ කරාබු කුට්ටම උකසේ තබාය. සාමාන්‍යයෙන් හැටන්වල අධ්‍යාපනය සඳහා ගියේ ටී මේකර්, ලොකු කංකානි වැනි වත්තේ බලපුළුවන්කාරයන්ගේ දරුවන් ය. ‘උඹලට පිස්සුද සල්ලි ණය වෙවී ඔය කොලුවව හැටන් යවන්නේ’? ඔවුහු සිවලිංගම්ගේ දෙමව්පියන්ගෙන් ඇසූහ. දුම්රිය වැරදුණු දවසකට සිවලිංගම් ඇතුළු මිතුරුකැලට හැටන් දක්වා දුම්රිය පාර දිගේ පයින් ම යාමට සිදු විය.

පාසලේ බිත්ති පුවත්පතක් පළ කෙරිණ. සිවලිංගම් ඊට නිර්මාණ එක් කළේය. ඔහුගේ ලේඛණ කුසලතා තවත් මූර්තිමත් වන්නට පටන් ගත්තේ හයිලන්ඩ් කොලේජියේදී ය. හැම සිකුරාදාවකම සාහිත්‍ය සංගමයේ රැස්වීමක් පැවැත්විණ. කවි ගායනා හා කතා පවත්වන සිසුන් අතර සිවලිංගම් ද කැපී පෙනෙන්නට විය. කලසේකරන් හා සිවලිංගම් ගුරුවරු ඔහු දිරිමත් කළහ. ‘උඹ දක්ෂයෙක් දිගටම ලියපන්’ යයි කීහ. එකල දෙමළ බසින් පළ වන කුඩා පත්තර සඟරා රැසක් තිබිණ. ඊලමනී, නාඩොඩි, සුදන්දිරන්, චින්තාමනී වැනි ප්‍රකාශනවලට අමතරව කුමාර් රූපසිංහ ගේ ජනවේගය සිංහල පත්තරයට සමගාමීව පළ කළ ‘ජනවේගම’ දෙමළ පන්තරයද වතුකරයේ ජනප්‍රියව පැවතිණි. සිවලිංගම්ගේ කවි හා කෙටිකතා මේ පත්තර සඟරාවල පළ වෙන්නට පටන් ගත්තේ ය. ඔහු ලියූ මුල් ම කෙටිකතාව 1968 දී ‘රචනා කළ ‘මධුර ගීතම්’ ය.

විශ්වවිද්‍යාල සිහිනය බිඳ වැටුණු පසු සිවලිංගම් පෙරුම් පිරුවේ නීතිවේදියකු වීමට ය. එහෙත් නැති බැරිකමේ රකුසා විසින් ඒ පැතුම ද ඩැහැගැනිණ. අවසානයේ ඔහු රැකියාවක් සොයා කොළඹ ආවේය. අධ්‍යාපන සහතික හැරෙන්නට ඔහු සතු එකම වත්කම වූ පුවත් - සඟරා ලිපි එකතුව මේ මොහොතේ ඔහුට පිළිසරණ විය. නමින් ම ඔහු හැඳිනගත් ‘වීරකේසරි’ ප්‍රධාන කතුවරයා පත්තරයේ කතු මඬුල්ලට ඔහු බඳවා ගත්තේ ය. රුපි. 150ක මාසික වැටුපකට පුවත්පත් කලාවේදියකු වශයෙන් සිවලිංගම් ලේඛකයා සිය වෘත්තීය ජීවිතය ඇරඹී ය. වීරකේසරී බෝඩිමේ ම රුපි. 45ක බෝඩිං ගාස්තුවකට යටත්ව ඔහුට නවාතැන් පහසුකම් ලැබිණ. පත්තර කන්තෝරුව යාබද ග්‍රෑන්ඩ්පාස් ටවුමේ සයිවර් කඩයක් විය. සිවලිංගම්ගේ තුන්වෙල පිරිමැහුණේ එතැනිනි. සියලු වියදම් පියවා මසකට වරක් අම්මා ගේ නමට රුපි. 25ක මනිඕඩරයක් යැවීමට වීරකේසරීයෙන් ලැබුණු මුල් වැටුපේ පටන් ම සිවලිංගම් වග බලා ගත්තේ ය.

කොළඹ විසූ වසර තුන හතරක කාලය පුරා පුවත්පත් කලාවේදියකු හා නිර්මාණශීලී ලේඛකයකු වශයෙන් නමක් ගොඩනඟා ගත් සිවලිංගම් නැවතත් වතුකරය බලා පිටත් විය. ආගරපතනේ හූට්විල් තේ වත්තේ වතු පාසලේ ඔහුට ගුරු පත්වීමක් ලැබිණ. එහි තවත් වසර කිහිපයක් ඉගැන්වූ ඔහු ආගරපතනේ ම දෙමළ විද්‍යාලයේ ඉංග්‍රිසි ගුරුවරයා ලෙස සේවයට බැඳුණේ සිය වෘත්තීය ජීවිතයේ තවත් ඉදිරි පියවරක් ‍තබමිනි.

සිවලිංගම්ට මංගල සීනු හැඬවුණේ කොයි කාලයේදැයි දැන ගැනීමට මට අවැසි විය. ඒ 1981 දීය. ඔහුට සිය ජීවන සහකාරිය වන දමයන්ති චාමලා කුමාරි මුණගැස්සුවේ කොළඹ බෝඩිමේදි හඳුනාගත් චාමලාගේ සොහොයුරා වන රාම්කුමාර් විසිනි. මාතලේ වතුපිටි හිමි පවුලක සාමාජිකාවක් වන චාමලා සිංහල මාධ්‍යයෙන් උසස් පෙල සමත් වූ තරුණියකි. ඇගේ සිංහල දැනීම සිවලිංගම්ගේ සාහිත්‍ය ජීවිතයට මහත් ආලෝකයක් උදා කළේ ය. මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු ප්‍රකට සිංහල ලේඛකයන්ගේ කෘති ඇය ඔහුට දෙමළට නඟා දුන්නා ය. ඇගේ ඉංග්‍රීසි දැනීම ද හොඳ මට්ටමක පැවතිණි. පසු කලෙක දේශපාලනයට පිවිසි සිවලිංගම් කඳුරට ජනතා පෙරමුණේ මහා ලේකම් හා මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කරන විට චාමලා කුමාරිගෙන් ලැබුණේ මිල කිරීමට ‍බැරි තරම් සහයකි. රජයේ ආයතනවලට යැවෙන ලිපි සැමෙකක් ම වගේ ලියවුණේ මුතුකැට වන් ඇගේ සිංහල අත් අකුරිනි. දෙමළ දේශපාලනඥයෙක් සිංහලෙන් ලිපි ලියා එවා තිබෙනු දුටු රාජ්‍ය ආයතනවල නිලධාරිහු මහත් සතුටට පත්ව හැකි කඩිනමින් ඒවාට ප්‍රතිචාර දක්වන්නට වූහ. වර්තමානයේ දේශපාලන කටයුතුවලින් ඉවත්ව පූර්ණකාලීනව ලේඛන කලාවට කැප වී සිටින මු. සිවලිංගම්ගේ සියලු නිර්මාණ හා ලිපි ලේඛන පරිගණකගත කර දීම දැන් සිදු කෙරෙනුයේ චාමලා කුමාරි අතිනි. චාමලා කුමාරි තම ජීවන සහකාරිය බවට පත් වීම දෛවය විසින් උදා කර දුන් වාසනාවකැයි සිවලිංගම් පවසයි. සිවලිංගම් - චාමලා කුමාරි දෙපලට පුතුන් තිදෙනෙකි. තිදෙනා ම එතෙර හා මෙතෙර ඉහළ මට්ටමේ වෘත්තීය කටයුතුවල නිරතව සිටිති.

බොහොමයක් සිංහල හා දෙමළ ලේඛකයන් තම වාර්ගිකත්වය කේන්ද්‍ර කරගෙන සාහිත්‍ය කටයුතුවල නිරත වුවද මු. සිවලිංගම්ගේ නිර්මාණවල දැකිය හැකි සුවිශේෂත්වය වනුයේ මානව කේන්ද්‍රීයත්වයයි. වතුකර ජනතාවගේ දුක් සුසුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර ම බහුතර සිංහල ජනතාවගේ ජීවන ගැටලු පිළිබඳව ද ඔහු උනන්දුවක් දක්වන අයුරු අලි මිනිස් ගැටුම, නිදහස් වෙළඳ කලාපවල තරුණ ශ්‍රමය සූරා කෑම බඳු තේමාවන් මුල් කරගෙන ඔහු ලියා ඇති කෙටිකතාවලින් තහවුරු වෙයි. ඔහුගේ ‘අවර්ගලම් අවෙයිගලුම්’ (මිනිස්සු සහ සත්තු) හා ‘පුහෙයි ඉල්ලා ද කොලිල්සාලෛ’ (දුම් නැති කම්හල) ඉහත කී තේමාවන් රැගත් කෙටිකතා දෙකක් ලෙස පාඨක විචාරක අවධානයට ලක්ව ඇත.

මේ වන විට මු. සිවලිංගම් විසින් සාහිත්‍ය කෘති 8ක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අතරින් කිහිපයක් ම රාජ්‍ය හා වෙනත් සම්මානවලින් ඇගයීමට ලක් වී තිබීම ද විශේෂය. සිවලිංගම්ගේ ප්‍රථම කෙටිකතා පොත නිකුත් වන්නේ 1992 දී ය. ‘මලේහලෙයි මක්කල්’ (කඳුකර ජනතාව) නම් එම කෘතියට රාජ්‍යය මෙන් ම ස්වාධීන සම්මාන ද හිමි වීම කැපී පෙනෙයි. අනතුරුව ඔහු 2003 දී ‘Born to Labour’ නම් නවකතාව ‘කේසිලෙයි දේසම්’ නමින් දෙමළට නැඟීය. (තේ දේශය) ඊටද එම වසරේ හොඳම පරිවර්තනයට හිමි රාජ්‍ය සම්මානය හිමි විණි, එහුගේ සෙසු කෙටිකතා කෘති වනුයේ ‘ඔරු විදෙයි නෙල්’ (2005), ‘ඕප්පාරි කෝච්චි’ (2010) හා ‘වෙන්දු කනින්දදු කාලමිය’. (2013) අවසන් කෘති දෙකට අදාළ වර්ෂවල රාජ්‍ය සම්මාන පිරිනැමිණි. ‘මලෙයක කම්ලර් නාටුපුර පාඩල්ගල්’ නමින් දෙමළ ජන ගී සංග්‍රහයක් ද (2007) ඔහු විසින් පල කෙරිණි. 2015 දී ඔහු ලියූ ‘පංජම් තිලෙයික්ක වන්ද සීමෙයි’ නවකතාවට අදාළ වසරේ හොඳම දෙමළ කතාවට හිමි Fair way සම්මානය පසුගිය ජනවාරි මස ගාල්ලේදී පැවති ගාලු සාහිත්‍ය උලෙළේදී ප්‍රදානය කෙරිණි.

අන්තර් ජාතික කෙටිකතා තරග කිහිපයකින් ම ජයග්‍රහණ ලබා ගැනීමට සමත්ව සිටින මු. සිවලිංගම් එතෙර සංවිධානවලින් පිරිනැමුණු සුවිශේෂ සම්මාන ගණනාවකට ද හිමිකම් කියයි. ඉන්දියාවේ කරිගාල සෝලම් රජතුමා සිහිපත් කරනු පිණිස Tanjore විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන සම්මානය මේ අතර විශේෂ වෙයි. සිංගප්පූරුව, මැලේසියාව හා ශ්‍රී ලංකාව යන රටවල වෙසෙන දෙමළ ලේඛකයන් විසින් ඉටු කරනු ලබන සාහිත්‍ය මෙහෙවර අගයනු පිණිස වසරකට වරක් පිරිනැමෙන මෙම සම්මානය අදාළ ලේඛකයා වෙසෙන රටට පැමිණ පිරිනැමීම ද වැදගත් ය. පසුගිය ජනවාරියේදී වැල්ලවත්තේ දෙමළ සංගම් ශාලාවේදී පවුම් තුනක් බරැති රත්රන්වලින් නිමවූ මෙම සම්මානය පිරිනමනු ලැබීය.

මු. සිවලිංගම්ගේ අටවන කෘතිය වන්නේ ආර්. තම්බිදොරේ විසින් ඉංග්‍රිසි බසට නඟන ලද කෙටිකතා එකතුවක් වන ‘December Dew’ කෘතියයි. උඩරට වතුකරයේ පීඩිත කම්කරු පවුලක සාමාජිකයකු ලෙස උපත ලබා අපමණක් දුෂ්කරතා හා අභියෝග මැද වතු අධිරාජ්‍යයේ සීමා පවුරු තරණය කර ලේඛකයකු ලෙස අභිෂේක ලබන්නට වරම් ලැබූ මු. සිවලිංගම් අද මනා දේශපාලන පන්නරයක් ද සහිත ප්‍රගතිශීලී ශ්‍රී ලාංකික දෙමළ ලේඛකයන් අතර පෙරමුණේ ම ගමන් කරන්නකු ලෙස හැඳින්විය හැකි ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.