ලිත | සිළුමිණ

ලිත

“ඕ ක මටත් දෙයි ටිකක්”

කිරිඅත්තා ගේ ඉල්ලීම සැලකිල්ලට නොගත් කිරිඅම්මා තමාට ඇවැසි දේ කියවා ගැනීමෙන් පසු ලී රාමුව සහිත බිත්ති ලිත දෝතින්ම කිරි අත්තා අතට දුන්නාය.

ඔඩොක්කුවේ තිබූ බුලත් පෙට්ටිය පසකින් තබමින් කිරිඅම්මා දෙස නොබලාම කිරිඅත්තා ද දෑතින්ම ලබාගත් ලිත ප්‍රවේශමෙන් දෙදණ මත තබා එහි යමක් ලෙස විමසිල්ලෙන් බැලීය. සිමෙන්ති දැමූ උඩපිල් පඩියේ වාඩිවී පහත පඩියේ දෙපා තබා ගෙන සිටින කිරිඅත්තා ලිත කියවන දෙස මඳ වේලාවක් එසේම වාඩි වී බලා සිටි කිරිඅම්මා ඇසේ දමාගෙන තිබූ රවුම් කන්නාඩි කුට්ටම ගලවමින් නැමීගෙනම ගෙතුළට ගියා ය.

විටෙක කිරිඅම්මා තනියම ද විටෙක කිරිඅත්තා තනියම ද බොහෝ අවස්ථාවල දෙදෙනාම එකට හිඳ ලිත බලන අවස්ථා මා අනන්තවත් දැක ඇත. කිරිඅත්තා සහ කිරිඅම්මා එසේ මොනවා ලිතෙන් බැලුවේ දැයි මට එකල කිසිදු හැඟීමක් නොතිබිණ. එපමණක් නොව ඒ ලිත කුමක්ද යන්න හෝ මා දැන සිටියේ නැත.

මට මතකයේ ඇති දා සිටම අත්තලාගේ ගෙදර ස්තෝප්පුවේ මේ ලිත එල්ලා තිබිණ. ඒ කිරිඅත්තාගේ ලණු ඇඳ තබා ඇති පය බිත්තියේ ඇඳ ඉහත්ත දෙසට වන්නට ය. ලිතේ ප්‍රමාණයට සකස් කළ ලී පටි රාමුවක ලිත අලවා තිබූ අතර අවුරුදු ගණනාවක ලිත් එකමත එක අලවා තිබූ හෙයින් එහි ගණකම අනුව ලී රාමුවක් අවශ්‍ය නොවන තරමටම අලවන ලද ලිත් වලින්ම එයට ශක්තියක් ලැබී තිබිණ. බිත්ති ලිතකින් ලබාගන්නා ප්‍රයෝජන අඩු වුවද අද තරම් එකල ලිත් බහුල නොවීය. ලිතක් තිබුණේ ගමේම ගෙවල් කීපයක පමණි. ඒ කිරිඅත්තා වගේම යමක් කමක් වැටහීමක් තිබූ කිරිඅත්තා ගේ සමවයසේ අයවලුන් කීප දෙනෙකුගේ ගෙවල් වලය.

දෙකන්නෙහිම වී අමුණු තුනක් පමණ ගොවිතැන් කළ කිරිබන්ඩා අත්තාගේ ගෙදර ද අසනීපයකට දෝෂයකට නූල් පොටක් වතුර ටිකක් මැතිරීමේ හැකියාවක් තිබූ සයිමන් අත්තලාගේ ගෙදර සහ හරක් වෙදකම ගැන දැනුමක් තිබුණු අමාරිස් වෙදඅත්තලාගේ ගෙදර ද ලිතක් එල්ලා තිබෙනු මා දැක ඇත.

සෑම අවුරුද්දකම ගෙදරට ලිතක් හා කැලැන්ඩරයක් ගෙන ඒම කිරිඅත්තාගේ සිරිතය. උඳුවප් පොහොය පහුවුණු මුල්ම සතියේ ඒ සඳහාම කිරිඅත්තා සිකුරාදා පොළට ගියේය. ලිතක් සහ කැලැන්ඩරයක් ගෙන ඒම සඳහා කිරිඅත්තා පොළට ගිය පණිවිඩය අපට ලැබෙන්නේ කිරිඅම්මාගෙනි.

“බලාපල්ලා අත්තා එනවාද කියලා ඕන් කැලැන්ඩරයක් ගේන්ඩ ගියේ.”

කිරිඅම්මා එසේ කියනුයේ ගෙදරට අලුත් කැලැන්ඩරයක් ගෙන ඒම අපට මහත් සතුටක් ගෙන දෙන්නක් බව කිරිඅම්මා දන්න නිසා ය. අලුතින් ගෙන එන කැලැන්ඩරයේ චිත්‍රය කුමක් දැයි දැක ගැනීමේ උනන්දුවෙන් අප දව‍සම පෙළෙන්නෙමු. කිරිඅත්තා එන මඟ මමත්, අක්කලා දෙන්නාත්, මල්ලීත් බලා සිටින්නේ බොහෝ අවස්ථාවල කෑමක් බීමක් ද නැතිවය. එකල අපට එය එතරම්ම සතුට දනවන්නක් විය.

පසුබිමෙන් ශ්‍රීපාද කන්ද සහිත සමන් දෙවියන්ගේ චිත්‍රය, හතර කොණ සිව්වරම් දෙවියන් සහිත කතරම දෙවියන්ගේ චිත්‍රය, සීවලි මහරහතන් වහන්සේ, විෂ්ණු දෙවියන්, රවුම් කන්නාඩි දමා ජාතික ඇඳුමෙන් සැරසුණු බණ්ඩාරනායක අගමැතිතුමා ගේ උඩුකය රූපය දුම් පයිප්පයක් අතින් ගත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමා, ඩී. එස්. සේනානායක අගමැතිතුමා ගේත් ඡායාරූප ආදිය එකල කැලැන්ඩර්වල බහුලව දක්නට ලැබුණු සිතුවම් ය.

අගමැතිවරුන් ගේ ඡායාරූප සහිත කැලැන්ඩරයක් අත්තලා ගේ ගෙදරට ගෙනාබවක් මගේ මතකයේ නැත.

දින තුන්සිය හැටපස් දවසටම එක කොළය බැගින් ඇති කැට කැලැන්ඩරයේ කොළ කැඩීමට අප අතර තරගයක් විය. “හෙට කොළය කඩන්නේ මම” යැයි එකිනෙකා දින වෙන්කර ගැනීම තුළින් උදෑසන අවදිවීමේ පුරුද්දක් ද අපට ඇතිවිය. මේ සියල්ල සිදුවන්නේ කැලැන්ඩරය ගෙනා අලුතය. කිරිඅත්තාට දිනයක් බලා ගැනීමට අවශ්‍ය වී කැලැන්ඩරය දෙස බැලූවිට දින ගණනකින් එහි කොළ කඩා නැතිබව පෙනී

“හනේ හනිච්චන් කෝ මේ කොළ කඩන්ඩ දබර කරගත් එවුන්” යැයි අප කෙරෙහි දක්වන ආදරය මුසු හැඟීමකින් කොළ හත අටක් කඩා බිම දමන අවස්ථා මා අනන්තවත් දැක ඇත. කිරිඅත්තාට කැලැන්ඩරය අවශ්‍ය වූ අවස්ථා බොහෝ අඩුය. ඒ ලිතෙහි ද දින දර්ශනයක් අඩංගු නිසාය. කිරිඅම්මාට කැලැන්ඩරය අවශ්‍ය වූ අවස්ථා නැති තරම්ය. එහෙත් කිරිඅම්මාත් ලිත ගැන මහත් උනන්දුවක් දැක්වූවාය. ලිත ගෙනා පසු එය ඇලවීමට කජු මැලියන් සොයා ගෙන එන සෙ අප දැනුවත් කරන්නේ කිරිඅම්මාය. පොහොය ලබන ගෙවන දින හා සිල්සමාදන් වියයුතු දවස් දැන ගැනීම කිරිඅම්මා ගේ ලිත බැලීමේ ප්‍රධාන අරමුණය. සෑම පසළොස්වක පොහොය දිනකම සිල්සමාදන් වූ කිරිඅම්මා ඉඳහිට අමාවක පොහොය හා අටවක පොහෝ දිනවලද සිල්සමාදන් වූවාය. පසළොස්වක පොහොය දිනක හැර වෙනත් පොහෝය දිනක සිල්සමාදන් වූයේ නම් ඒ ගමේ උපාසක අම්මලා කිහි දෙනෙක් සිල් සමාදන් වීම සඳහා එක්කාසු කරගත හැකි වූයේ නම් පමණි. පසළොස්වක පොහොය දිනය හැරුණුවිට වෙනත් පොහෝ දිනක සිල් සමාදන් වන්නේ නම් ඊට පෙර හාමුදුරුවන් දැනුවත් කිරීම කිරිඅම්මාගේ සිරිතය. ඒ පසළොස්වක පොහෝය හැරුණුවිට වෙනත් පොහෝය දිනවල සිල්සමාදන්වීමේ පුරුද්දක් ගම්මු අතර නොතිබූ නිසාය.

ගෙදර අයෙකු අසනීපව සිට සුවය ලබා දිය නෑමට අවශ්‍ය වූ විට සුදුසු දිනයක් බැලීමට, වී තැම්බීමට, ගෙයි ගොම මැටි ගෑම සහ තවත් නොයෙක් දේ වෙනුවෙන් ද කිරි අම්මා ලිත බැලුවාය.

දිනය සුදුසු වුවද නුසුදුසු වුවද පේරු දානය දිනයට පෙර දින ලිපේ අලුතින් ගොම මැටි ගෑම කිරි අම්මා ගේ සිරිතය.

ඒ සඳහා සුදුසු දිනයක් බැලීම අනිවාර්යෙන්ම සිදුවන්නකි.

“හෙටත් හොඳ දවසක්” යැයි ලිත බලා කිරිඅත්තාට ඇසෙන්නට කිරිඅම්මා කිවූ පසු “අද යහමින් තණකොළ කූඩ පුරවාගෙන එන්ඩ වෙයි” යනුවෙන් කිරිඅත්තා මා දෙස බලා කියන විට කිරිඅම්මා කියා ඇත්තේ ගෙයි ගොම මැටි ගෑමට හෙට හොඳ දිනයක් බව මට ද තේරුම් ගියේය.

මී හරකුන්ගෙන් වැඩිපුර ගොම ලබා ගැනීමට නම් වැඩිපුර තණකොළ කෑමට දිය යුතු බව කිරිඅත්තා කිහිප අවස්ථාවකම අපට කියා දී ඇත.

වී තැම්බීම, ගොම මැටි ගෑම, ඇඹුල ඉවීම ආදි තරමක් බාරදූර කාර්යයන් වලදි සැවොම එකතු වී වැඩකරති. ඉඳහිට නොක්කාඩු ද වෙති. අද කිරිඅත්තා බිස්සෙන් වී බා විට කිරිඅම්මා හෙට වී තම්බන බවත්, හරක් දෙතුන් බානක හීයකට මා විසින් දොඩම්පනා, ඇට්ටේරියා වැනි කෝටු කපා අඩුම කුඩුම සූදානම් කරනවිට හී කයියට හතර පස් දෙනෙක් වෙනුවෙන් මහගෙදර බතක් ඉදෙන බවත් බාල නැන්දා අම්මා හා අනිකුත් සෙස්සෝ දැනගනිති. බිස්සෙන් වී බෑමටත් සුදුසු දිනයක් විය. යල් හෝ මාස් කන්නයේ වී බිස්සට අඩු කළේ ඉතාම සුදුසු දිනයකය. වී වේලා ගැනීමට අව්වෙන් වැස්සෙන් සිදුවන බාධා වළක්වා ගැනීම සඳහා කිරිඅම්මා වී තැම්බීමට සුදුසු දිනයක් බැලුවේද ලිතෙනි. හීය බින්නැගුමක් නම් ඊට සුදුසුම දිනය තෝරා ගැනීම කිරිඅත්තාගේ සිරිතය. ගෙදර හාල් නෑඹිලි දෙක තුනක බතක් උයන්නට වූ අවස්ථාවල කිරි අම්මා ද ලිත බලනු මා දැක ඇත.

“අත ඉක්මන් කරපල්ලා” හාල් ගරන අම්මාට හෝ බාල නැන්දාට කිරිඅම්මා කිවූ අවස්ථාත් “බත ලිප තියන්ඩ හේලන්කඩ පිල් පියට එනකම්වත් ඉදපල්ලා” යනුවෙන් තවත් අවස්ථාවල කියනු මා අසා ඇත. කිරිඅම්මා ගේ ඒ අණ කිරීම් හෝ දැනුම් දීම් රාහු කාලයට පෙර හෝ රාහු කාලය මඟ හරවා ගත් ලිප තැබිය යුතු අවස්ථා වලදීය.

එවැනි අවස්ථාවක සුළු හෝ අත්වැරැද්දක් වූ විට සැමට දොස් නගමින් කිරිඅම්මා ලිපට වඳින අවස්ථා මා දැක ඇත. එයින් ලද ආභාසයෙන් හෝ අම්මා ද බත ලිප තබා ලිපට වඳින පුරුද්දක් අදටත් සිදුකරති.

කිරිඅම්මා හෝ කිරිඅත්තා ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ දැනුමක් තිබූ අය නොවේ. එහෙත් අව් වැසි, සුළං බීරුම් පිළිබඳව නිරතුරු අවධියෙන් සිටීමට වග බලා ගත්හ. අලුත් කන්නයේ කුඹුරු වැඩ ආරඹීමට වක්කඩවල් හරස් කිරීමේ සිට බිම් නැගුම, නියර කෙටීම, වැපිරීම, රැකබලා ගැනීම, කරල් ගෙට ගැනීම, කමත් සකස් කිරීම, අලුහම් වැඩීම, මැඩවීම, බැත ගෙට ගැනීම,

 

 

දෙවියන් පංගු වෙන් කිරීම, අලුත් බත් දානය පන්සලට වැඩම කිරීම දක්වා තවත් බොහෝ කටයුතු සිදු කළේ සිරිතට විරිතට අනුව සුදුසු කල්යල් බලා ය.

රිට්ටා ලබන ගෙවන වේලාවල්, රාහු කාලය, සුභ දවස්, හඳ මෝරන දින ආදිය බැලීමෙන් මේ කටයුතු සිදුකල බව මා දැන සිටියේ මේ සෑම දෙයක්ම සිදුවීමට, සිදු කිරීමට පෙර කිරිඅත්තා ලිත බැලූ නිසාය. අද හවහා වර්ෂාව එන්ඩ ඉඩ තියෙනවා යැයි කිරිඅත්තා පැවසුවහොත් බොහෝවිට එදිනට වහිනවාමය කිරිඅත්තාගේ මේ අනාවැකි අප සියලු දෙනාත් ගම්මුත් තදින්ම විශ්වාස කළේය.

මහගෙදර කවදා හෝ දිනක තාත්තාට හා අපට ලැබෙන නිසා අපි මහගෙදර ඉඩමේම කටුමැටි ගැසූ ගෙයක ජීවත් වුවද බොහෝ අවස්ථාවල එම ගෙයි සිටියේ අම්මා සහ තාත්තා පමණි. අපි සෑම වේලාවකම සිටියේ අත්තලාගේ ගෙදරය. තාත්තා ද බොහෝ රෑ බෝ වනතුරුම මහගෙදර රැඳී සිටීම සිරිතය. එහෙත් තාත්තා සහ කිරිඅත්තා අතර කථාබහක් ඇති වූයේ බොහෝ කලාතුරකිනි.

“ජලවක පහුකරලාම වපුරනවා හොඳයි, මාසේ පෝය ගෙවෙන ‍කොට වහින්ඩත් ඉඩ තියෙනවා” ආදි කෙටි නිවේදන අත්තාගේ මුවින් පිටවුවද තාත්තා ඊට හූ මිටි හෝ නොතබති. කිවු දේ සැක හැර දැනගැනීම සඳහා තාත්තා ද ලිත ගෙන බලන අවස්ථා මා දැක ඇත. තාත්තා ද ලිත බලා වැඩ කිරීම ගැන කිරිඅත්තා මහත්සේ සතුටු වූහ.

“පුතේ ඔය ලිත අරන් දීපන්කෝ උඹලාගේ තාත්තාට” යැයි කියමින් කිරිඅත්තා මා ලවා තාත්තා අතට බිත්ති ලිත අරන් දුන්නේ ගොවිතැන් කටයුතු ගැන සාකච්ඡා කිරීම් වෙනුවටය.

මහගෙදර ඉදිරිපිට දෙවට දිගේ බොහෝ රෑ බෝ වී අඳුරේම ගමන් කර ගම්මුන්ගේ හඬ ඇසී “අද පෑලවිය එළියක් අරන් පලයල්ලා” කියන අවස්ථා එමටය.

හොඳා හොඳා යැයි කියමින් ඇතමුන් අඳුරේම ගමන් ගත්තද කිරිඅත්තා ගේ කීම නිසාම ඇතමුන් කිරි අම්මාගේ හුළු එළියක් ඉල්ලා ගෙන ගිය අවස්ථා ඇත.

“මම කිවුවා එළියක් අරන් පලයව් කියලා”. ඇතමුන්ට සර්පයන් දෂ්ඨ කිරීම නිසා රාත්‍රියේම සර්ප වෙදා ළඟට රැගෙන යන අවස්ථාවලදි දොස් නගමින් කථා කළ අවස්ථා එමට ඇත. අහවල් ඖෂධය අතන ඇත මෙතන ඇත යනුවෙන් ගම්මුන් දැනුවත් කිරීමට ද අත්තා වගබලා ගනිති. කුණකටුවකු, මාපිලකු, දෂ්ඨ කළවිට බො‍හෝවිට භාවිත කරන ඖෂධ පිළිබඳ දැනුමක් කිරිඅත්තාට ද තිබිණ. සුළු වෙදකමකට අවශ්‍ය දෙහි දළු, කුඹුරු දළු, රසකිඳ, රස්සඳ, බැබිල, කලාඳුරු ආදි නොයෙක් ඖෂධ වර්ග මහගෙදර වත්තේ තිබූ අතර ඒවා ඇති තැන් කීමට කිරිඅත්තාට සහ කිරිඅම්මාට මතකයක් තිබිණ.

“හෙට හීයට මී වස්සාව කරවිය තියන්න හිතාගෙන ඉන්නවා හොඳ හිටී ද මාමේ” යනුවෙන් දිනක් ගෙට ගොඩ වූ පීතර මාමා කිරිඅත්තාගෙන් ඇසීය. බිත්තියේ එල්ලා තිබූ ලිත දෝතින්ම ගත් කිරිඅත්තා ඒ දෙස මඳක් විමසිල්ලෙන් බලා “තව දෙදොහක් ඉවසන්න පුලුවන් නම් ඔන්න සිකුරාදා හොඳ දවසක” යනුවෙන් කිරිඅත්තා කිවු පසු “දෙහියනේ දෙදොහක් ඉවසන්න බැරි මොකෝ” යනුවෙන් කී පීතර මාමා ඉලත්තට්ටුවේ තිබූ බුලත් කොළයක් ගෙන මාමාත් එමුකෝ එදාට වෙල පැත්තට යනුවෙන් කියමුන් බුලත් කොළය දෑතින්ම දෙමින් කරවිය මඟුලට ආරාධනා කර සිටියේය. බුලත් කොළය අතට ගැනීමට පෙර ප්‍රවේශමෙන් ලිත යළිත් බිත්තියේ එල්ලා බුලත් කොළය දෑතින්ම ගෙන යළිත් වතාවක් ලිත දෙස විමසිල්ලෙන් බලා “නවය පහු වෙන්න නොදී විය තිබ්බා නම් තමා හොඳ කහ වතුර ටිකක් එහෙම වහු පැටියාගේ කරේ ගාන්න ලෑස්ති කරපන්කෝ” යනුවෙන් ආරාධනාව බාරගත් බවට ඉඟි කළේය.

නෑඹුල් හරකෙකු කරවිය තබන විට ඒ සඳහා දෙහියම තෝරා ගන්නා ලෙස කිරිඅත්තා උපෙදස් දෙන්නේ කෝඩුකාර හරකාට පහුසුවන පිණිස බව මා දැනගත්තේ පසු කලකය.

ගොවිතැන් බත්, ඇඹුල් මඟුල් හා වෙනත් ඕනෑ එපාකම් ගුරුහරුකමක් ලබාගන්න, ගම්මු කිරිඅත්තා මුණගැසීම කිරිඅත්තාට දක්වන ගෞරවයක් ලෙස කිරි අත්තා සැලකීය. එවැනි අවස්ථාවල කිරිඅත්තාගේ දැනකියා ගැනීම් වලට බිත්ති ලිතෙන් ලැබෙන අනුග්‍රහය විශාල එකක් බැවින් ලිත නිරතුරු සැමගේ ගෞරවය ලබන ලියවිල්ලක් විය.

දිනක් තාත්තා අඩිය ඉක්මන් කරමින් මහගෙදර දෙසට පැමිණියේය. කිරිඅත්තා ද ඔහු‍ගේ ඉක්මන් ගමන ගැන විමසිලිමත් විය. ස්තෝප්පුවේ කෙළවරක දමා තිබූ පැළවී යහන අසලට ගිය තාත්තා එය වසා තිබූ හබරළ කොළය ඉවත් කරමින් කණු කැපුනු පැළ වී අහුරක් අත‍ට ගෙන” මේවා ඔය කියන ගානට කණු කැපිලා තියෙන්නේ අලුත් වී තවානක් දාන් යනවා ගොවිකාරක සභාවෙන්” කිරිඅත්තාට ද ඇසෙන්නට කියමින් ඉරාගත් හබරළ කොළ කැබැල්ලක පැළ වී අහුර ඔතාගෙන ඉක්මන් ගමනින් පිටව ගියේය.

බොහෝ රෑ බෝ වෙනතුරු එදින කිරිඅත්තාත් කිරිඅම්මාත් පිල මත එකට වාඩි වී කථාබස් කරනු මා දැක්කේ කලකට පසුවය. ගොවි කාරක සභාවෙන් හඳුන්වාදෙන අලුත් ‍‍ෙගාඩ වී තවාන දැමීමට කිරිඅත්තලාගේ ගෙදර ස්තෝප්පුව ‍තෝරාගෙන තිබීම ගැන කිරිඅත්තාත්, කිරිඅම්මාත් කථාබස් කළහ. ගොවිකාරක සභාවෙන් හඳුනා දුන් ඇතැම් ගොවිතැන් ක්‍රම ගැන කිරිඅත්තාගේ එතරම් පැහැදීමක් නොතිබිණ. ඒ එක් වතාවක අවුරුද්දට කන්න තුනක් වැඩ කිරීමට ගත් උත්සහායක දී එය අසාර්ථක වීම හේතුවෙනි. අලුත් තවාන දැමීමට මහගෙදර තෝරාගැනීම ගැන විරුද්ධත්වයක් නොතිබ්බේ කරුණු කිහිපයක් නිසාය. පොළවට සිමෙන්ති දැමූ ඉඩකඩ ඇති ස්තෝප්පුවක් ‍තිබුණේ ගමෙන්ම කිරිඅත්තලාගේ ගෙදර පමණි. ගමට තිබුණු උළු සෙවිලි කළ එකම ගෙදර ද මහගෙදර පමණි.

ඒ පිළිබඳ සිත්හි ඇති සියුම් ආඩම්බරකමකුත්, ගොවිකාරක සභාව හා සම්බන්ධ වී තාත්තා කටයුතු කිරීම ගැන දෙමහල්ලන් තුළ තිබූ සියුම් සතුටක් ඒ අතර විය. පසුදින මා අවදිවන විට තාත්තා පැළවී යහන කඩා දෝතින්ම කැදලි ‍වෙන්වන ලෙස අතගාමින් සිටියේය. කිරිඅත්තා ලණු ඇඳ මත වාඩිවී ඒ දෙස බලා සිටියේය. “පුතේ කිරිඅත්තාගේ ඇ‍ඳේ තිබෙන දේවල් අස් කරපන්කෝ අපි ඒක එළියට ගන්ඩ” අලුත් වී තවාන දැමීමට ඉස්තෝප්පුව අවශ්‍ය වන නිසා කිරිඅත්තා ගේ ඇඳ ස්තෝප්පුවෙන් ඉවත් කළ යුතු බව කිරිඅත්තාට ඇසෙන්නට මට කීවේ කිරිඅත්තාට එක එල්ලේ කථාකරන පුරුද්දක් තාත්තාට නොතිබුණු නිසාය.

ඒ කිරිඅත්තාට දක්වන ගෞරවයකි. ඇඳ අස්පස් කළේ කිරිඅත්තාය. එය එළියට ගැනීමට මා තාත්තාට උදව් කළේය. ගොවිකාරක සභාව අලුතෙන් හඳුන්වා දුන් වී වර්ග, එළවළ ඇට වර්ග මුලින්ම ගෙනාවේ අපේ ගෙදරටය. මා වී, රත්ඇල්, සුවදඇල්, මාඇල් ආදි වී වර්ග වෙනුවට කෙටි කලකින් අස්වනු නෙළාගත හැකි එච් හතර, බීජි තිස්හතර, බීජි තිස්අට වැනි වී වර්ග අත්හදා බැලීම් කළේ අපේ කුඹුරුවලය.

කිරිඅත්තා ඒවාට ඉතා ඕනෑකමින් ඉඩකඩ සලස්වා දුන්නේ අලුත් වී වර්ග හොඳ හෝ නරක ඒවා කියා දැන ගැනීමට නොව තාත්තා ගොවිකාරක සභාව වැනි සංවිධානවලට සම්බන්ධ වී කටයුතු කිරීම පිළිබඳව ඇති සතුටිනි.

ස්තෝප්පුව පුරා එලන ලද ඉටිරෙදි මත පැළවී දමමින් ඉතා අලංකාරව තවාන සකස් කරන ආකාරය දැක බලා ගැනීමට ගමේම අය ම‍හගෙදරට පැමිණියහ. “හැමෝම හොඳින් බලාගන්න” යනුවෙන් තවාන සකස් කරමින් සිටි නිලධාරියා කිවූ කථාවට යළි උනන්දු වෙමින් කසු කුසුව නවතා සියලු දෙනාම ඒ දෙස බැලීය.

“අපි වගේ හොඳ දවස් බැලුවෙත් නැහැ. වෙලාවල් බැලුවෙත් නැහැ. ආවා තවාන දැම්මා ගියා.” තවාන දමා අවසන් වී සියලු දෙනාම පිටව ගිය පසු තාත්තා කිරිඅත්තාට සහ කිරිඅම්මාට ඇසෙන පරිදි තමාටම කියා ගත්තේ දෙමහල්ලන් ගෙන් සමාව අයදින ස්වරූපයෙනි. කිරිඅත්තා වැපිරිල්ලකට හෝ තවාන දැමීමට බිත්තර වී සකස් කරන්නේ විවිධ වතාවත් කරමිනි. ඒවාට හරි හරියට කිරිඅම්මා ද දායක වෙ ති. වී දියේ දැමීම හා පැළවී යහන සැකසීම ආදි බොහෝ කටයුතු කෙරෙන්නේ කිරිඅම්මා අතිනි. සකස් කල පැල වී කුඹුරට ගෙන යන්නේ කුරනිය සුදු රෙදි කඩකින් වසාගෙන හිසමත තබාගෙනය. එයද බොහෝවිට සිදුවන්නේ කිරිඅම්මා ‍අතිනි. වී වැපිරිල්ල හැමෝටම කළ හැක්කක් නොවේ. කිරිඅත්තා ඒ සඳහා නම් දැරූ අයෙකි.

වැපිරීමට පෙර කිරිඅත්තා පළමුවෙන්ම තුණුරුවන් වන්දනා කර නැගෙනහිර බලා හිරුට ද වන්දනා කරති. මුල් වී අහුර වැපිරීමට පෙර කිරිඅත්තක් හෝ හබරල පැළයක් වක්කඩ මුල සිටුවන්නේ අස්වැන්න වැඩිවීම හා භවබෝග ආරක්සා කරගැනීමේ කෙම් ක්‍රමයක් ලෙසය.

තවාන ඉවත්කර ස්තෝප්පුව හිස් වී දින කිහිපයක් ගත වුවද කිරිඅත්තා යළි ස්තෝපුවේ පදිංචියට නො ආවේය. තවාන දැමූදා හැන්දෑ­‍ෙව් තාත්තා හා මා විසින් කිරිඅත්තාගේ ඇඳ කුස්සිය පැත්තේ ස්තෝප්පුවට අල්ලාදීමෙන් පසු එහි පදිංචි වූයේ ස්තෝප්පුව තාත්තාට බාර කරන අදිටනින් විය හැක. කුස්සියට යාව ඇති දිග ඉස්තෝප්පුව ගෙදරට එන බවලත් උදවිය නිතර ගැවසෙන ස්ථානය විය.

තාත්තා, අම්මා සහ අපි මහගෙදර පදිංචියට පැමිණීම ගැන කිරිඅත්තා බොහෝ සතුටු විය. “අහවල් එහෙකට ද ඕකට ආයේ අතු සෙවිල්ලනේ මෙන්න මෙහාට එන්ඩ කියාපල්ලා” යනුවෙන් දිනක් කිරිඅත්තා කිරිඅම්මාට කීවේ දියේ දැමූ පොල්අතු මිටියක් අම්මා අමාරුවෙන් හිස තබාගෙන එනු දැකීමෙනි. අපේ ගෙට පොල් අතු සෙවිල්ලන සෑම දිනම මුල්ම පොල්අත්ත වහලයේ ගැට ගැස‍ුවේ කිරිඅත්තා විසින් සුබ කටයුත්තක් ලෙසිනි. එහෙත් ඒ වතාවේ අපේ ගෙදර අතු සෙවිල්ලට කිරිඅත්තා නො ආවේ ඉක්මනින්ම තාත්තාට අම්මාට සහ අපිට මහගෙදර පදිංචියට එන ලෙස කරන ඇඟවීමක් ලෙසටය.

මේ සිංහල අලුත් අවුරුද්දේ මා මහගෙදරට ගියේ අපේ ගෙදර අවුරුදු චාරිත්‍ර අවසන් කිරීමෙන් පසුවය. සෑම සිංහල අවුරුද්දකම තෙල් ඇඹුල් ගා අවසන් වනතුරුම අපි මහගෙදර රැඳී සිටින්නෙමු. ඒ මගේ දරුවන් මල්ලීගේ දරුවන් සමඟ කෙළි සෙල්ලම් කරමින් කාලය ගත කරන්නට කැමති නිසාත් අම්මා සහ තාත්තා සමඟ ගැවසෙමින් කාලය ගත කිරීමෙන් මට ද යම් මානසික සහනයක් ලැබෙන නිසාත්ය.

අතීතයේ මේ ගම් ගෙවල් සියලු ජන ජීවිතයන් පවත්වා ගෙන යාමට, හැඩ ගැස්වීමට උපකාරී වූ මහසන්නිවේදන ලියවිල්ල, බිත්ති ලිත තවමත් තිබුනු තැනම ඔහේ එල්ලෙමින් තිබිණ. එය දුර්වර්නය මගේ සිත ගෙවුණු ළමා හා යෞවන කාලයට රැගෙන යාමේ හැකියාව ඒ මත සටහන්ව තිබූ නිසාම මා ඒ වෙත යැවුනේ ඉබේටමය. කිරිඅත්තා කුස්සියේ පැත්තේ පදිංචියට ගියේ තවාන ඉස්තෝපුවේ දැමූ දිනයේය.

එකල රට පුරා කෘෂිකර්මාන්තයේ පිබිදීමක් ඇති විය. වගා සංග්‍රාමය නමින් නව සංකල්පක් හඳුන්වා දෙමින් සිරිමා බණ්ඩාරනායක මැතිනිය එදාගෙන ගිය ව්‍යාපාරයට ගම් මට්ටමින් අත හිත දෙමින් කටයුතු කළ අය අතර තාත්තා ද ප්‍රධාන සාමාජිකයකු විය. ඒ නව පිබිදීමට තාත්තලාගේ අවනත වීම කිරිඅත්තා ද සතුටින් පිළිගත්තේ කිරිඅත්තලාගේ ජීවිතවලට නොලැබුණු ජීවයක් මෙන්ම ජවයක් තාත්තලාගේ ජීවිතවලට ලැබුණු නිසාය. කෘෂිකර්මාන්තය මුල් කරගනිමින් රට තුළ ඇති වූ නව සමාජ පරිසරය ඈත ගම් ගෙවල්වල ද යම් යම් වෙනස්කම් ඇති කළේය.

එකල රජයට පවරාගත් ඉඩම්වල අලුතින් ඇතිකළ ගොවි ජනාවාසවල සේවයට ගිය අයකු ලෙස මට ද යම් පිළිගැනීමක් ගම තුළ තිබිණි. තරුණ තරුණියන් එකට එකතු වී හරි හරියට ගොවිජන ව්‍යාපාරවල යෙදීම පිළිබඳව කිරිඅත්තලාගේ පැහැදීමක් නොතිබුණ ද ඒවාට ඉඩහැර අනුබල දෙමින් කටයුතු කළේ චේ ගුවේරා නමින් හඳුන්වා ගත් හැත්තෑ එකේ තරුණ කැරැල්ල වැනි සංවිධානවලට අප එකතු නොවූ නිසාත්ය. මා දිග කලිසමක් ඇඳ බයිසිකලයෙන් වැඩට යන එන එක දැකීම ගෙදර සැවොම ප්‍රිය කළෝය.

සාම්ප්‍රදායික කුල සිරිත් බැහැර කිරීමත් නව සංකල්ප වැළඳ ගැනීමත් නිසා ඇති වූ යහපත් ‍හෝ අයහපත් ප්‍රතිඵල වලින් හෙම්බත්ව බලාපාරොත්තු රහිතව මරණය ගැන සිහින දකිමින් තාත්තා අප ඉදිරියේ සොම්නස් මුහුණක් මවා පෑවා ද එහි පිරි ඇත්තේ දොම්නසක් බව පෙනේ. මුහුණ පුරා වැවී ඇති තැන තැන පැසුණු සුදු රැවුල් ගස් එය වඩාත් තීව්‍ර කර තිබේ.

මට ඉබේටම තාත්තා දෙස බැලිනි. තාත්තා ද එක එල්ලේම මා දෙස බලා සිටිනු දුටු මා යළිත් ලිත දෙස බැලීය. තාත්තා ද හිමින් සැරේ මා අසලට විත් ලිත දෙස බැලීය. “මෙදා තෙල් ඇඹුල් ගාන්නේ කවදා ද කීයට දැයි” තාත්තා ඇසීය. තෙල් ඇඹුල් ගාන දිනය දැන ගැනීමට වඩා අපි තව කී දවසක් මහගෙදර රැඳී සිටිනු ඇති දැයි ගැන ගැනීමට තාත්තාට අවැසි බව ඔහුගේ කථාවෙන් මට වැටහිණි. තාත්තා කිවූ නිසාම තෙල් ඇඹුල් ගාන දිනය සහ වේලාව මට ද දැන ගැනීමට අවශ්‍ය විය. මා ලිතෙහි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙස බැලීය. එහි දිනේ සහ වේලාවන්වල යම් නොගැළපීමක් ඇති නිසා ලිත කෙරෙහි මගේ අවධානය වැඩි විය. එය දැනට අවුරුදු කීපයකට පෙර ඇලවූ ලිතකි. “මේක පරණ ලිතක්” මට කියවිණි.

“ඇත්ත ද” යනුවෙන් දිග සුසුමක් හෙළමින් ඉවත්ව යන තාත්තා දෙස බලා සිටි අම්මා හැමෝගේම වැරදි තමන් බාර ගන්නා කිරිඅම්මාගේ සිරිත සිහි ගන්වමින් අලුත් ලිතක් ගෙදරට නොගෙන ඒමේ වරද තමා අත බාර ගනිමින් “දැන් ඔය තෙල් ඇඹුල් ගාන සිරිතක් ගම්වල ඇත්තේ නැහැනේ” යැයි කීවාය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.