හරි වහර

1. ගඳඹ - මේ වදන ඇතැම්හු ගඳඹ , ගඳඹ ආදී නොයෙක් ලෙසින් විකෘති කොට ලියනු දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මතු නො ව වියතුනුදු එසේ ලියනු බොහෝ විට දැකිය හැකි ය. මෙහි ඳා ඹ දෙක්හි ම සඤ්ඤකය යෙදෙන අයුරු වෙසෙසින් සැලැකිල්ලට ගත මනා ය. එසේ ලියුව ද සඤ්ඤක අකුරු දෙකක් එක ළඟ උච්චාරණය කිරීම පහසු නොවේ. සංස්කෘතයෙහි ගාන්ධර්ව යනුදු පාලියෙහි ගන්ධබ්බ යනුදු මේ හා අනුරූප වැ යෙදේ.

2. ගතික - ඇතැම් විට මේ පාරි‍භාෂිත වචනය (මහාප්‍රාණ) ‘ථ’ සහිත වැ, ‘ගථික’ යැ යි ද ලියනු දක්නට ලැබේ. වරදෙකි, නිවැරැදි වනුයේ (අල්පප්‍රාණ) ‘ත’ සහිත ‘ගතික’ යන්න ම ය. (සංස්කෘත පාලි දෙක්හි ම යෙදෙන) ගෙවුණු යන අරුතැති ‘ගත’ යන්නට ‘ඉ’ ප්‍රත්‍යයය එක් වැ ‘ගති’ යනු නිපැදේ. එයට ම ‘ක’ ප්‍රත්‍යය එක් වීමෙන් ගතික යනු නිපැදේ. ඉංගිරිසියෙහි ‘dynamic’ යන්නෙහි අරුත පිණිස යෙදේ.

3. ගමනාගමන - මෙ වදනෙහි (මූර්ධජ) ‘ණ’ එතෙකුදු නො යෙදේ. එහෙයින් ගමණාගමණ, ගමනාගමණ ආදිය සාවද්‍ය රූපවේ. ගමන + ආගමන යන දෙක්හි සන්ධියෙන් නිපන් වදනෙකි. ණත්ව හේතුවක් (ණ යෙදීමට හේතුවක්) මෙහි නො පෙනේ.

4. ගර්ජන - මේ සංස්කෘත තත්සමයෙකි. මෙහි යෙදෙන ‘ර්’ ශබ්දය නිසාදෝ ඇතැම්හු (මූර්ධජ) ‘ණ’ සහිත කොට ‘ගර්ජන’ යැයි ලියත්. මෙහි ‘ර්’ ශබ්දයට පසු වැ යෙදෙනුයේ ‘ජ’ කාරය යි. ඒ ‘ච’ වර්ගයට අයත් අකුරෙකි. එය ඉක්මවා ගොස් (දන්තජ) ත (ම‍ූර්ධජ) කිරීමේ ශක්තියත් රේඵයයි. (ර් ශබ්දයට) නැත. එ හෙයින් මෙහි කිසි සේත් (මූර්ධජ) ‘ණ’ නො යෙදේ.

5. ගල - සිංහල‍යෙහි ‘ගල’ යනු බහුල වැ යෙදෙනුයේ ‘ගල්’ යන්නෙහි ඒක වචන පදය වශයෙනි. එ නම් භාෂණය යන අරුතිනි. එතන්හි (දන්තජ) ‘ල’ යොදනු නිවැරැදි ය.

සංස්කෘතයෙහි දු (දන්තජ) ‘ල’ සහිත ගල යන්නක් යෙදේ. අරුත නම් ‘බෙල්ල’ යනු යි. ගලග්‍රහය ආදී තන්හි එ අරුතින් ගල යනු යෙදේ. ඒ හා අනුරූප වැ සිංහලයෙහි ‘ගෙල’ යනු වහර කැරේ.

(ම‍ුර්ධජ) ‘ළ’ සහිත ‘ගළ’ යන්නෙකුදු සිංහලයෙහි යෙදේ. ‘වනගළ’ වැනි යෙදුම්හි එය යෙදෙන අයුරු දැකිය හැකි ය. සංස්කෘතයෙහි ‘ඝට’ යනු ඒ හා අනුරූප වැ යෙදේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.