අගමැතිගේ ජපාන - වියට්නාම සංචාර අපේ ආර්ථිකයට අලුත් සවියක්

අග්‍රාමාත්‍යවරයාගේ ජපන් හා වියට්නාම් සංචාර දෙක තවත් නිල සංචාර දෙකක් නොව මෙරට ආර්ථිකය නව මාවතකට යොමු කරන ලද දෙස් විදෙස් සබඳතා චිරාත් කාලයකට වැඩි දියුණු කරන ලද මෙරට ආර්ථික අතින් ශක්තිමත් තත්ත්වයකට පත් කරන ලද සියලු අංශයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් ඇති කරන ලද ගිවිසුම් සහිත රාජ්‍ය තාන්ත්‍රික චාරිකාවන් සේ අපට පෙන්වා දිය හැකිය.

* ගමේ පහසුකම් නංවන්න ජපාන සහාය
* කෘෂි ආර්ථිකය නංවන තුන් අවුරුදු සැලැස්මක්
* වියට්නාමයෙන් ඩොලර් බිලියනයක ආයෝජන

ගෝලීයකරණය වූ ලෝක සමාජයක කිසිදු රටකට ස්වාධීනව තම ආර්ථිකය හසුරවා ගත නොහැකිය. මේ නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. මේ තත්ත්වය තවත් වැඩි වශයෙන් අවශ්‍ය වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලටය. ශ්‍රී ලංකාවද වසර 30ක පමණ යුද්ධයකින් පීඩා විඳීමෙන් පසුව යථා තත්ත්වයට පත්වෙමින් සිටින්නේ ආර්ථිකයේ තිබූ කඩාවැටීම යළි ගොඩ ගන්නා අවධියකය. වසර 30ක් යුද්ධයක් තිබූ රටක ආර්ථිකය මේ තරමට හෝ ඉතිරිව පැවතීමද පුදුම සහගතය.

යුද්ධයක් පැවතුණද සංවර්ධන කටයුතු ද සැලකිය යුතු ලෙසින් සිදුවුණාක් මෙන් මේ වන විට යුද්ධය නිසා විනාශ වූ බොහෝ දේ යළිත් ගොඩ නංවා අවසානය.

ඒ තත්ත්වය හමුවේ රටේ සමස්ත ආර්ථිකය ගෝලීයකරණය හා මිශ්‍ර කිරීමට හෙවත් අන්තර්ජාතිකව අප ලෝකයා හා සම්බන්ධ වීමට අවශ්‍ය මාර්ගය සකසා ගත යුතු වන්නේය. වසර 41කට පමණ පසුව මෙරට ජනාධිපතිවරයකු පසුගිය මස රුසියාවට නිල සංචාරයක නිරත වූයේ ඒ අනුවය.

පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ජපානයේ හා වියට්නාමයේ සංචාරයක නිරත වූයේ මෙරට ආර්ථිකය සවිමත් කිරීම පිණිස අවශ්‍ය ගිවිසුම් ආරම්භ කිරීම පිණිසත් දෙරට අතර ආර්ථිකය ශක්තිමත් කළ හැකි කළ යුතු ක්‍රියාදාමයන් පණ ගැන්වීම පිණිසත්ය. ආර්ථිකය නැංවීමට නම් වෙළෙඳ ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කළ යුතුවාක් මෙන්ම ආයෝජන හා සංචාරක ප්‍රවර්ධනය දියුණු කළ යුතු වේ.

අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නියමිත දිනට පෙර නවතා ලංකාවට ඒමට තීරණය කෙළේ සිංහල අලුත් අවුරුද්ද උදා වීමත් සමඟ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් සිදුවූ විපත සැලවීමත් සමඟය.

එහෙත් අග්‍රාමාත්‍යවරයා පැමිණියේ මල්ලක් පුරවාගෙනය. ඒ තමන්ට නොවේ. රටේ සමස්ත ජනතාවගේ ආර්ථිකය නංවාලනු පිණිසය.

අග්‍රාමාත්‍යවරයාගේ ජපාන් සංචාරයෙන් මෙරට ආර්ථිකයට ලැබුණු දායකත්වය අති විශාලය. මෙවර අගමැතිවරයාගේ ජපන් සංචාරය නිසා මෙරට ග්‍රාමීය ජනතාවටත් විශාල පිටිවහලක් ලැබුණි. ඒ දෙරට අතර අස්සන් කරන්නට යෙදුණු ආර්ථිකය නංවාලන ගිවිසුම් තුනෙන් පළමුවැන්න මෙරට ග්‍රාමීය ආර්ථිකය නංවාලීම උදෙසා වන ‘ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය වීම නිසාය. එමෙන්ම කළු ගඟ ජල සැපයුම් පුළුල් කිරීමේ ගිවිසුමත්, වරාය හා නාවික ක්‍රියාකාරකම් සංවර්ධන ගිවිසුමත් මේ ගිවිසුම් අතර වැදගත් වූ ගිවිසුම් ලෙස දැක්විය හැකිය.

එසේම මේ සියලුම ගිවිසුම් මෙරට ආර්ථිකය නංවාලනු ලබන බව ඉතා පැහැදිලිය.

මෙයින් පළමුවැන්න ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙනි. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය ආර්ථිකය වර්ධනය වනු ඇත. එයින් සිදු වන්නේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිමත් වීමයි එයින් ඔවුන්ගේ ශ්‍රම දායකත්වය වැඩි කර ගැන්මට හේ ඔවුන්ගේ නිෂ්පාදනය වර්ධනය කර ගැන්මට හැකි වී ආර්ථිකය ඍජුවම ශක්තිමත් වනු ඇත.

එසේම මේ වන විට මෙරට ආර්ථිකයට විශාල ගැටලුවක් ඇති ජල ගැටලුව විසැඳීම උදෙසා කළු ගඟ ජල ව්‍යාපෘතිය වඩාත් පුළුල් කිරිම පිණිස ජපන් රජයේ සහාය ලබා දීම අගනේය. එමඟින් නිෂ්පාදන ධාරිතාව මෙන්ම කෘෂි කර්මයේ දියුණුවද අපේක්ෂා කළ හැකිය. එමෙන්ම පානීය ජල ප්‍රශ්නයටද එය ඍජුවම ලැබෙන විසැඳුමක් වනු ඇත. වරාය නාවික ක්‍රියාකාරකම් සඳහා වන ගිවිසුමද බැලූ බැල්මට ආර්ථික නොව ආරක්ෂාව සම්බන්ධ ගිවිසුමක් බව පෙනුණද එයද මෙරට ආර්ථිකයේ ඍජු වර්ධනීය අවඅස්ථාවක් වන්නේය.

වරායක් යනු රටේ ආර්ථිකය අන්තර්ජාතික වශයෙන් මෙන්ම දේශීයව හසුරවනු ලබන ප්‍රධානතම කේන්ද්‍රස්ථානයයි. එහි ආරක්ෂාව මෙන්ම වරාය හැසිරවීම සම්බන්ධව වන ගිවිසුම් ඒ රටට මෙන්ම අන්තර්ජාතික නාවික ක්ෂේත්‍රයටද වැදගත් වන්නේය.

ඒ ගිවිසුම් තුනෙන්ම මෙරට ආර්ථිකය ඉදිරි වසර ගණනාවක්ම ඉහළ වර්ධනයක් කරා ගෙන යනු ඇත.

එසේම ජපන් අගමැති ෂින්ෂෝ අබේ මහතා මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත්තේ විවෘත සාගර කලාපයක් පවත්වා ගෙන යාම මේ කලාපයේ දියුණවට ඉතාම වැදගත් වන බවයි. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට වරායන් සංවර්ධනය කර ශ්‍රී ලංකාව කලාපයේ වෙළෙඳ මධ්‍යස්ථානය කරනු ලබන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වරායන්හි ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන බවත් වෙනත් කිසිදු රටක හමුදා ක්‍රියාකාරකම් සඳහා මෙරට කිසිදු වරායක් ලබා දීම සිදු නොකරනු ලබන බවයි.

එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහාද ජපන් රජයේ ලබා දී ඇති ආර්ථික සහාය සඳහාද ශ්‍රී ලංකා අගමැතිවරයා ජපන් අගමැතිවරයාට ස්තුතිය පළ කරන ලදී.

අග්‍රාමාත්‍යවරයාගේ ජපාන සංචාරයේදී එරට ව්‍යාපාරික ප්‍රජාව හමුවීමද මෙහිලා ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වන්නේ ජපන් ආයෝජන මෙරට ඉතාමත් වාසිදායක හා මෙරට ආර්ථිකය වේගයෙන් ඉහළ නංවාලිය හැකි බැවිනි. ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ හමුවක්ද මෙහිදී ඉතා වැදගත් වූ අතර එම සහයෝගිතා කමිටුව විසින් දිවා භෝජන සංග්‍රහයක්ද අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස වෙනුවෙන් පිරි නමන ලදී.

මීට අමතරව ජපන් ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට ස්ථාපිත කිරීමට හා කොළඹ උතුර වරාය සංවර්ධනය සඳහා ජපන් රජයේ දායකත්වය ලබා දීමටද කටයුතු කෙරෙනු ඇත.

එසේම ශ්‍රී ලංකාව ආර්ථික දියුණුව සඳහා ජපාන රජයේත් ජපන් පෞද්ගලික අංශයේත් පූර්ණ සහාය ලබා දෙන බව ජපන් අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතා මේ සංචාරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට පොරොන්දු විය. ඒ පොරොන්දුව ලබා දුන්නේ ද්වි පාර්ශ්වික සාකච්ඡාවකදී නොව අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා විසින් අප්‍රේල් මස 12 වැනිදා පවත්වන ලද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මේ ගිවිසුම් හරහා දෙරට අතර ආර්ථික ශක්තිය පමණක් නොව දෙරට අතර සබැඳියාව වඩාත් වැඩි වන බව ෂින්ෂෝ අබේ මහතා පෙන්වා දුන්නේය. ජපන් රජය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අස්සන් කරන ලද්දේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා මහත්වරුන් විසිනි.

ජපන් සංචාරය නිමවා අග්‍රාමාත්‍යවරයා ඊළඟට ගමන් කෙළේ වියට්නාමයටය. වියට්නාමය යනු ශ්‍රී ලංකාව මෙන්ම වසර 30ක් පමණ යුද්ධයෙන් පීඩා විඳි රටකි. එහෙත් අද වන විට අපට වියට්නාමයෙන් ගත යුතු ආදර්ශ රැසක් තිබේ. වියට්නාමය අද ආර්ථික අතින් ඉතාම ශක්තිමත් තත්ත්වයකට පත් වෙමින් පවතින අතර ලෝකයේ බෞද්ධ රටවල් අතර පෙරමුණ ගත් රටකි. මේ වන විට එක්සත් ජාතීන් විසින් අන්තර්ජාතික වෙසක් උත්සවයද දෙවරක් වියට්නාමයේ පවත්වා තිබේ.

එසේම වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා මහා පරාක්‍රමබාහු රජ සමයේ සිට පැවතගෙන එන බවට ඉතිහාසගත කරුණුවලින් අපට වටහා ගත හැකි වේ.

පසුගිය (17) පෙරවරුවේ වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු (Nguyen Xuan Phuc) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශ්වික නිල සාකච්ඡා පැවති අතර, වෙළෙඳ ක්ෂේත්‍රයක පමණක් නොව, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන් ද ප්‍රවර්ධනය කිරීමට පදනම සැකසීමට ද මෙහිදී එකඟත්වය පළ කෙරිණි.

ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජයීය වශයෙන් සංවර්ධනාත්මක මාවතකට අවතීරණය වීම පිළිබඳව ප්‍රසාදය පළ කළ වියට්නාම් අග්‍රාමාත්‍ය ෂුඑන් මහතා, ජාතික සංඳියාව තහවුරුකරලීම උදෙසා ශ්‍රී ලංකාව ගෙනයනු ලබන වැඩ පිළිවෙළ සාර්ථක වන බවට විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා – වියට්නාම් ඒකාබද්ධ කොමිසම මගින් සිදු කෙරෙන කාර්යයන් මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, දෙරටේ සම්බන්ධතා වැඩි වැඩියෙන් ශක්තිමත් කරලීම උදෙසා රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත බුද්ධිමය පර්ෂදයක් සැකසිය යුතු බවටද මෙහිදී තීරණය කෙරිණි.

හැනෝයි නුවර ජනාධිපති මන්දිරයේදී මේ සම්බන්ධව සාකච්ඡා කෙරිණී.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් දෙකකට අස්සන් කරන ලදී. මේ අවබෝධතා ගිවිසුම් දෙක අතර, 2017-2019 වසර සඳහා කෘෂිකාර්මික සංවර්ධන සහයෝගිතාව සඳහා වූ ක්‍රියාකාරී සැලසුම පිළිබඳ ගිවිසුම වියට්නාම කෘෂිකාර්මික අමාත්‍ය චඕ ඩුච් ෆට් මහතා විසින්ද අධ්‍යාපනය සහයෝගිතාව සඳහා වූ ගිවිසුම සඳහා එරට අධ්‍යාපනය අමාත්‍ය ෆම් වූ ලුවන් මහතා විසින්ද අස්සන් තැබූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ගිවිසුම සඳහා අස්සන් තබන ලද්දේ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය විසිනි.

මේ ගිවිසුම් දෙකද ජපන් රජය සමග අස්සන් කරන ලද ගිවිසුම් සේ ආර්ථිකමය වටිනාකමකින් යුක්ත වූ ගිවිසුම් බව ඉතා පැහැදිලිය.

කෘෂිකාර්මික සංවර්ධනය යනු මෙරට ජනතාවගේ හදවතය. ඒ හදවතට පණ දීමට අවශ්‍ය ක්‍රියාදාමයන් ගැනීම ආර්ථික ශක්තිය පණ ගැන්වීමට ගනු ලබන විශේෂිත වූ ක්‍රියාදාමයකි.

එමෙන්ම මෙරට අධ්‍යාපනය නැංවීමද රටේ ඉදිරි පරපුරේ ආර්ථිකය නංවා රට ඉදිරියට ගෙන යාමට කරන්නා වූ විශාල කර්තව්‍යකි.

මේ ගිවිසුම් දෙකටත් වඩා වියට්නාමයත් සමඟ ඇති කරගත් වැදගත් ම වූ ආර්ථික ක්‍රියාදාමය වන්නේ වියට්නාමය විසින් ශ්‍රී ලංකාව තුළ ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියනයක් දක්වා ආයෝජන ඉහළ නංවා ලීමට කටයුතු කිරීමට එකඟ වීමයි. අගමැතිවරුන් දෙදෙනා විසින් ඒ සඳහා වූ එකඟත්වය ලොවටම කියා පාන ලදී. වියට්නාමය වැනි ආර්ථිකය වේගයෙන් ගමන් ගන්නා රටක් විසින් ඇමරිකන් ඩොලර් බිලියනයක ආයෝජන ශ්‍රී ලංකාවේ ඇති කිරීම යනු මෙරට ආර්ථිකය නැංවීමට ලබා දෙන සහායත් මෙරට රැකී රක්ෂා ප්‍රශ්නයට ලබා දෙන ස්ථිරසාර විසැඳුමක්ද වන්නේය. එසේම වියට්නාම සංචාරකයන් වැඩි වශයෙන් ලංකාවට යොමු කිරීමට කටයුතු කිරීම තුළින් ද ඒ හරහා වූ ආර්ථිකය ශක්තිමත් කර ගැන්මට අපට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙරට සංචාරකයන් වැඩි වශයෙන් වියට්නාමයට සංචාරය කිරීම පිණිස යොමු කිරීමට කටයුතු කිරීම ගැනත් අග්‍රාමාත්‍යවරු දෙදෙනාගේ සාකච්ඡාවේදී තීරණය කරන ලදී.

එසේම වියට්නාම ගුවන් සේවාවන්ට මෙරට දොරට විවෘතව ඇති බවත් මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී. ඒ හරහාද ගුවන් යානාවන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම තුළින්ද අපේ ආර්ථිකයට ශක්තිමත් මාවතක් විවෘත කර ගත හැකි වනු ඇත. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සහයෝගීතාව වර්ධනය කිරීමටත් දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කළහ.

එසේම ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් හා වායු (ගෑස්), යටිතල වහසුකම්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, රෙදි පිළි සහ ඇඟලුම්, කෘෂිකර්ම නිෂ්පාදන හා ධීවර නිෂ්පාදන සැකසුම් හා බෙදාහැරීම, පුනර්ජනනීය බලශක්ති, ගුවන් සේවා, අධ්‍යාපන, සංචාරක වැනි සියලු ක්ෂේත්‍රයන්හි දෙරට අතර සබඳතා වැඩි කිරීම පිණිස වියට්නාම් අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කිරීම විශේෂත්වයකි.

මෙම සංචාරය සඳහා මංගල සමරවීර, ආචාර්ය සරත් අමුණුගම, මලික් සමරවික්‍රම, මහින්ද අමරවීර, හරින් ප්‍රනාන්දු, මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, රන්ජිත් අළුවිහාරරේ යන අයද සහභාගි වූහ.

මේ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ජපන් හා වියට්නාම් සංචාර දෙක තවත් නිල සංචාර දෙකක් නොව මෙරට ආර්ථිකය නව මාවතකට යොමු කරන ලද දෙස් විදෙස් සබඳතා චිරාත් කාලයකට වැඩි දියුණු කරන ලද මෙරට ආර්ථික අතින් ශක්තිමත් තත්ත්වයකට පත් කරන ලද සියලු අංශයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් ඇති කරන ලද ගිවිසුම් සහිත රාජ්‍ය තාන්ත්‍රික චාරිකාවන් සේ අපට පෙන්වා දිය හැකිය. අග්‍රාමාත්‍යවරයා මල්ලක් පුරවාගෙන පැමිණි බව අප මුලින්ම සඳහන් කෙළේ එහෙයිනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.