අවුරුදු සමයේ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවල වාර්තාගත වර්ධනයක් | Page 2 | සිළුමිණ

අවුරුදු සමයේ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවල වාර්තාගත වර්ධනයක්

වඩාත් කාර්යක්ෂම සහ පහසු ගනුදෙනුකාර සේවාවක් රටවැසි ජනතාවට ලබාදීමේ අරමුණින් ඇරැඹි කාඩ්පත් හා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ගනුදෙනු වාර්තාගත අයුරින් සිදුවූ කාල වකවානුවක් ලෙස මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය හැඳින්විය හැකිව තිබේ.

ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම විසින් “ලංකාපේ” යන සන්නම් නාමය යටතේ මෙහෙයවනු ලබන කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය ස්ථාපනය කිරීමට තමන් ගත් තීරණය අද දවසේ වඩාත් පලදායි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ වාර්තාගත ගනුදෙනු පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියි.

මුදල් භාවිතයේ සිට විද්‍යුත් ගෙවීම් ක්‍රම යොදා ගැනීම දක්වා ශීඝ්‍රව රටේ ජනතාව යොමු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ කාඩ්පත් ගනුදෙනු ක්‍රමවේදය රටට හඳුන්වා දුනි. ඉන් බැංකුවල ගනුදෙනුකාර ජනතාවට බැංකු සේවා දිනක බැංකුවට ගොස් දිගු පෝලිම්වල නොසිට තමා කැමැති ඕනෑම වේලාවක ගනුදෙනුවක් කර ගැනීමේ වඩාත් කාර්යක්ෂම හා විශ්වසනීය පහසුකම සැලැසිණි.

ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ විද්‍යුත් ගෙවීම් කටයුතු වර්ධනය කිරීමත්, සුරක්ෂිත තත්කාලීන ගෙවීම් සඳහා පහසුකම් සැලැසීමේදී පිරිවැය කාර්යක්ෂමතාවය ඇති කිරීමත්, ගනුදෙනුකාර භවතුන්ගේ පහසුව වැඩිදියුණු කිරීමත් මේ යටතේ සිදු වී තිබේ.

බැංකු නොයා බැංකු ගනුදෙනු සිය නිවසේ කාර්යාල භූමියේ සිට සිදු කිරීමේ පහසුකම ජනතාවට උරුම කර දුන් තවත් ස්වර්ණමය දිගුවක් ලෙස ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය ඇතුළු බහුවිධි දේශීය ගෙවීම් පද්ධතිවලින් සැදුම්ලත් සමෝධානිත විද්‍යුත් ගෙවීම් පද්ධතියක් රටේ තිබීම ඉතා වටිනා දෙයකි.

මෙහි වටිනාකම ගනුදෙනුකාර භවතුන්ට වැඩි වශයෙන් දැනෙනුයේ අලුත් අවුරුදු උත්සව සමය වැනි කාල වකවානුවක ගනුදෙනු සිදු කිරීමට යෑමේදිය. වඩාත් කාර්යක්ෂම, විශ්වසනීය, ගනුදෙනුවක් සිදුකර ගැනීම තුළින් තමන්ගේ වටිනා කාලය ඉතිරි කරගැනීමට හැකිවීම ගනුදෙනුකාර ජනතාව ලැබු විශාල සහනයකි.

ඉතා කාර්යබහුල හා අවිවේකී ජීවන රටාවකට හුරු වී සිටින ජනතාවට තම කාර්යාලයේ, නිවසේ සිට බැංකු නොයා විදුලි බිලක් ගෙවීම, ජල බිලක් ගෙවීම, රක්ෂණ වාරිකයක් ගෙවීම පමණක් නොව හදිසියේ විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය ලබා ගැනීමට වේලාව වෙන්කර ගැනීම පවා සිදුකළ හැකිව තිබේ. මේ අන්දමට කාඩ්පත් හා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් මේ නිමාවට පත්වූ උත්සව සමයේ රටවැසි ජනතාව සිදුකළ ගනුදෙනු සංඛ්‍යාව සලකා බලන විට එය ඉතා වේගයෙන් අප රට ඩිජිටල් ආර්ථිකයක් කරා පියවර තැබීමට සූදානම් බව නොකියා කියාපෑමක් ද වේ.

වසර 2015 දී ලක්ෂ 11ක් වූ ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 15 1/2 බවට වැඩිවී ඇත. ඒ හරහා සිදුකරන ගනුදෙනු සංඛ්‍යාව වසරින් වසර වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

රට පුරා ස්ථාපිත ව ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 3000 ට වැඩිය. ශ්‍රී ලංකාවේ දේශීය අන්තර් බැංකු විද්‍යුත් අරමුදල් පැවරීම් විප්ලවීය වෙනසකට ලක් කරමින් සුළු පරිමාණ අරමුදල් පැවරීම් තත්කාලීන පදනමක් මත සිදු කිරීමේ පහසුකම් වැඩිදියුණු කරමින් කාඩ්පත් හා අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු ගෙවීම් යාන්ත්‍රණ ක්‍රමය හඳුන්වා දී ඇත. එය ද රටේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හා කාඩ්පත් ගනුදෙනු විශාල ලෙස ඉහළ යෑමට හේතු වී ඇත.

මේ වන විට මෙරට මූල්‍ය ආයතන 07ක් විද්‍යුත් අරමුදල් පැවැරුම් ක්‍රමවේදයට අනුගතව ඇත. මහජන බැංකුවේ ගනුදෙනුකරුවෝ ඉකුත් අප්‍රේල් 01 සිට 14 දක්වා කාලයේ රුපියල් කෝටි 2160 ගනුදෙනු ATM යන්ත්‍ර හරහා සිදුකොට ඇති බව එක් උදාහරණයක් පමණි.

මේ අන්දමට දිනෙන් දින පොදු ජනතාවට වඩාත් විශ්වසනීය ගනුදෙනුකාර සේවා පහසුකම් ලබාදීමට පියවර ගන්නා මූල්‍ය ආයතන, උත්සව සමයේ ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට විවිධ ප්‍රසාද දීමනා ආකර්ෂණීය යෝජනා හඳුන්වා දී තිබිණි. ඒ යටතේ ද ගනුදෙනුකාර ජනතාව තම නිවසට, කාර්යාලයට අවශ්‍ය දෑ පොලී නැතිව, ගෙවීමේ ක්‍රමයට මිලදී ගනු ලැබූහ. මේවා සියල්ල රටවැසි ජනතාව ලැබු ජයග්‍රහණ වේ. ඒවා හිමි වූයේ ඩිජිටල් ආර්ථිකයට අප එක්වූ බැවිනි.

Comments