ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල නව සිසුන් බඳවා ගනියි

ශ්‍රි ලාංකේය, නේපාල සහ ඉන්දීය සිසුන් හට ක්ෂේත්‍රයේ නව අවස්ථා විවර කර දෙමින් ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයීය ව්‍යාපාරික පාසලේ ප්‍රධානී මහාචාර්ය පෝල් මේතර් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම කොළඹ, කත්මණ්ඩු සහ ඉන්දියාවේ සංචාරයකට නිරත වූහ. ලංකාව ඇතුළු සාර්ක් කලාපීය සිසුන්ගේ පවතින ඉල්ලූමට ප්‍රතිචාර වශයෙන් ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල පෙබරවාරි සහ ජුලි මාසවල අර්ධ වාර්ෂිකවලට අමතරව මේ වසරේ නොවැම්බර් මාසයේදී සිය ව්‍යාපාරික පාඨමාලාව සඳහා සිසුන් ලියාපදිංචිය ආරම්භ කර ඇත. ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල මීට වසර කිහිපයකට පෙර සිය පශ්චාද් උපාධි පාඨමාලාව සඳහා තෙවන අර්ධ වර්ෂයක් ද හඳුන්වා දුන් අතර එය ශ්‍රි ලාංකේය සිසුන් අතර අතිශය ජනප්‍රිය විය. ක්ෂේත්‍රයේ අවශ්‍යතා සහ රැකියා වෙ‍ෙළඳපොළේ නවතම ප්‍රවණතාවලට අනුකූලවන ලෙස නව උපාධි වැඩසටහන් හඳුන්වා දී තිබීම ද විශේෂත්වයකි.

අපගේ කලාපය තුළ ප්‍රධාන රාජ්‍යයන් සමග සම්බන්ධ වීමට ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය දක්වන අඛණ්ඩ කැපවීම, එහි ව්‍යාපාරික පාසල යළි ලංකාවේ සිසුන් වෙත විවර වීමට හේතු වුණා. අපගේ උපාධිධාරීන් ලියාපදිංචිය, නව උපාධි වැඩසටහන් සහ ශිෂ්‍යත්ව හරහා මෙරට සිසුන්ට ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසලේ විශේෂඥ දැනුමින් සහ නවීනත ම තාක්ෂණයෙන් උපරිම ඵල නෙළා ගැනීමට හැකිවනු ඇති බව මහාචාර්ය පෝල් මේතර් මහතා සඳහන් කළේය.

ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය නවතම ලෝක විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 200ක් පමණ ඉදිරියට පැමිණීමට සමත්ව සිටී. ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි 336 වන ස්ථානයේ පසුවන ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය ඒ අනුව ලොව පිළිගත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තුනෙහි ම ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල 400 අතර රැදෙන බව මහාචාර්ය මේතර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල යළිත් වරක් උපාධි සහ පශ්චාද් උපාධි ජාත්‍යන්තර සිසුන් සඳහා සමස්ත පාඨමාලා ගාස්තුවෙන් 15%,20% සහ 25% වැනි අගයක ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි. මෙම ශිෂ්‍යත්ව ප්‍රවීණතා මට්ටම මත පිරිනැමෙන අතර, සිසුන් මින් පෙර පෙන්නුම් කර ඇති ඉගෙනුම් ශක්‍යතා මත ශිෂ්‍යත්ව සඳහා සිසුන් නිර්දේශ කෙරේ. මෙම ශිෂ්‍යත්ව ලියාපදිංචියේ අනුපිළිවෙළට පිරිනමන බව ද ව්‍යාපාරික පාසල පවසයි.

ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල වෘත්තීය ගණකාධිකරණ විද්‍යාපති උපාධිය, වෘත්තීය ගණකාධිකරණ විද්‍යාපති (ව්‍යාපාරික විශ්ලේෂී) සහ කළමනාකරණ/ව්‍යාපාර ශාස්ත්‍රපති උපාධි දේශීය සහ ජාත්‍යන්තර රැකියා වෙ‍ෙළඳපොළට ඔබින පරිදි පිරිනමයි.

ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය යනු වික්ටෝරියාහි පළමු උප ආණ්ඩුකාරවරයා අනුස්මරණය කරමින් නම් කරන ලද්දකි. ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය පසුගිය දශක හතරක කාලය පුරා ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බහු පරිශ්‍ර විශ්වවිද්‍යාලයකි. ශාස්ත්‍රීය සහ පර්යේෂණ විශිෂ්ටත්වය වෙනුවෙන් කීර්තිමත් නාමයකට හිමිකම් කියන ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය, වික්ටෝරියාහි පරිශ්‍ර හතකින් සහ නිව් සවුත් වේල්ස්හි එක් පරිශ්‍රයකින් සමන්විත වේ. 171,000කට අධික සිසුන් පිරිසක් ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන් උපාධි හිමිකරගෙන ඇත.


2017 යොවුන් ඉංජිනේරුවරිය තෝරයි

ශ්‍රී ලාංකේය කාන්තාවන් අතර ඉංජිනේරු වෘත්තිය හා තාක්ෂණවේදය ප්‍රචලිත කිරීමේ අරමුණින්, ඉංජිනේරු හා තාක්ෂණවේදී ආයතනයේ (The Institution of Engineering & Technology- The IET) ශ්‍රී ලාංකේය තරුණ වෘත්තීයවේදීන් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කළ “2017 වසරේ යොවුන් ඉංජිනේරුවරිය” තරගාවලියෙහි පළමු අදියර එළිදැක්වීමේ උලෙළ පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවත්විණි.

කොළඹ ගලදාරි හෝටලයේ බෝගන්විලා පරිශ්‍රයේදී පැවැති මෙම උලෙළ වර්ණවත් කිරීමට ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම්), ඉංජිනේරු නාමලි සියඹලාපිටිය මහත්මිය සහ 99X ටෙක්නොලොජීස් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ඉංජිනේරු ශෙහානි සෙනෙවිරත්න මහත්මිය සහභාගී වූ අතර ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයද කැපී පෙනුණි. ශ්‍රී ලංකා ඉංජිනේරු හා තාක්ෂණවේදී ආයතනයේ ප්‍රමුඛ පෙළ සාමාජිකයන් වන ඉංජිනේරු ධම්මික නානායක්කාර, ඉංජිනේරු රුක්මල් ජයසිංහ හා ඉංජිනේරු එන් ඒ. ජී. සේනානායක යන මහත්වරුන්ද උලෙළට සහභාගි වූහ.

The IET, UK ලොව පුරා ඉංජිනේරු හා තාක්ෂණවේදී විෂය ධාරාවන් ප්‍රමිතිගත කිරීමේ ප්‍රමුඛයා ලෙස ක්‍රියා කරන අතර එහි ශ්‍රී ලාංකික ප්‍රජාකමිටුව ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු හා තාක්ෂණවේදී ආයතනයේ ශ්‍රී ලංකා දේශීය ජාලය (IET Sri Lanka Local Network ) ක්‍රියා කරයි. මෙම ආයතනයට අනුබද්ධිත ශ්‍රී ලාංකේය තරුණ වෘත්තීයවේදීන් (IET YP Sri Lanka), ඉංජිනේරු හා තාක්ෂණවේදී විෂය ධාරා සහ වෘත්තීය අවස්ථා කෙරෙහි කාන්තාවන්ගේ ඉදිරිපත් වීම වර්ධනය කිරීම මූලික කරගනිමින් ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු කාන්තාවන්ගෙන් ඉංජිනේරු ක්ෂේත්‍රයට හා සමාජයට වන සේවාව ඇගයීමට වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර එහි සම්මාන ප්‍රදානෝත්සවය මෙම වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතය.


TRAc ආයතනයේ පාඨමාලාවක් හදාරා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවකට පිවිසෙන්න

දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය වේගවත් වර්ධනයක් සහිත මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට සුවිසල් වෘත්තීය අවස්ථාවන් සහිත කර්මාන්ත ක්ෂේත්‍රයකි. ඉහළ තරගකාරීත්වයක් සහිත දේශීය හෝ ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයෙහි රැකියාවකට පිවිසීම සදහා අවශ්‍ය දැනුමින් පරිපූර්ණ වීම ඊට පිවිසෙන්නන්ගේ ඉදිරි ගමන වඩාත් සාර්ථක කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වේ.

සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තීය සුදුසුකම් පිරිනමන TRAc ඉන්ටර්නැෂනල් වෘත්තීය පුහුණු ආයතනය මෙම තත්ත්වය පිළිබදව සලකා බලමින් දැනට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීන්හි නියැලෙන්නන් මෙන්ම ඊට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින්නන් වෙනුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබදව දැනුම ලබා දීමට පෙරට පැමිණ සිටී.

TRAc ආයතනය දේශීය මෙන්ම විදේශීය වෘත්තිකයින් සේවයෙහි යොදවා ගනිමින් ඔවුන් හරහා සංචාරක හෝටල්ල තානායම් සහ විලාහි සේවයෙහි නිරත පිරිස් වෙනුවෙන් වෘත්තීමය පුහුණුවක් ලබා දීමට කටයුතු කර තිබේ. වෘත්තීයභාවයට අදාළ සුවිශේෂ අංශ තුනක් පිළිබදව TRAc ආයතනය මෙහිදී වැදගත් අවධානයක් යොමුකර ඇත.

TRAc ආයතනය විසින් ලබා දෙන පුහුණුව ආධුනික පුහුණුව සහ වෘත්තීය පුහුණුව වශයෙන් වර්ගීකරණය කර තිබේ.

වෘත්තීය පුහුණුව ඉලක්කගත කරනුයේ ආහාර පාන, අවන්හල් සේවා, බාර්, ෆ්‍රන්ට් ඔෆිස් සහ ගෘහ පාලන මෙන්ම ඉංග්‍රීසි දැනුම, පාරිභෝගික සේවාව සහ සන්නිවේදන පාඨමාලා වැනි සංචාරක ක්ෂේත්‍රය සදහා විශේෂිත ශිල්පීය දැනුම ලබා දීමයි.

සිය පුහුණුව සහ තාවකාලික වෘත්තීය කාලය නිම කිරීමෙන් පසුව සිසුන් වෙත TRAc ආයතනය විසින් අදාල සහතික පත්‍ර පිරිනැමීම සිදු කරනු ඇත.

තවත් පියවරක් ඉදිරියට තබමින් TRAc ආයතනය විසින් මෙම සිසුන්ගේ හදුනාගත් සුවිශේෂතාවන් අනුව ඔවුන්ට වඩාත් ගැළපෙන වෘත්තීය මාර්ගයන් වෙත යොමු කිරීම සිදු කරන අතර රටේ කීර්තිමත් සංචාරක හෝටල්වල රැකියා අවස්ථා සදහා ඉඩ හසර සලසා දෙනු ලබයි.


පැනසොනික් ස්මාට්ෆෝන් සමග සිම්පතක් නොමිලේ

මෙට්රොපොලිටන් ටෙලිකොම් සර්විස් පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම බ්‍රෝඩ් බෑන්ඩ් ජාලය වන හච්සන් විදුලි සංදේශ ලංකා පුද්ගලික සමාගම සමග හවුල්කරුවන් වී ඇත. පැනසොනික් ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී ඒ සමග හච් සිම් පතක් ලබා දීමට හච්සන් විදුලි සංදේශ ලංකා පෞද්ගලික සමාගම තීරණය කර ඇත.

ඉහළ මට්ටමේ විවිධ ජංගම උපාංග ඛෙදා හරින්නකු ලෙස ක්‍රියාක්මක වන මෙට්රොපොලිටන් ටෙලිකොම් සමාගම, මෙට්රොපොලිටන් සමූහයේ අවුරුදු 25 ක් පමණ වන සාමාජිකයෙකි. මෙම සහයෝගීතාව හරහා පැනසොනික් හා හච් තම ව්‍යාපාර වර්ධන මූලෝපායක් ලෙස රට තුළ ඒවායේ පැවැත්ම වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ .

මෙට්රොපොලිටන් අනුග්‍රාහක වෙළෙන්දන් මඟින් ඕනෑම පැනසොනික් ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී ආකරෂණීය සහ දත්ත ප්‍රතිලාභ රැසක් අඩංගු හච් සිම්පතක් නොමිලේ නිකුත් කරනු ලැබේ.


පීපල්ස් ලීසිං මාතර ශාඛාවෙන් දරුවන්ට පාසල් පොත් බෑග්

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ මාතර ශාඛාව විසින් ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් පොත්බෑග් හා ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ උත්සවයක් පසුගියදා එම ශාඛා පරිශ්‍රයේ දී පැවැත්විණ. පීපල්ස් ලීසිං මාතර ශාඛාව අඛණ්ඩව තෙවන වරටත් සිදු කළ මෙම සමාජ සත්කාරයට මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ අඩු ආදායම්ලාභී පාසල් දරුවන් 100ක් තෝරා ගැනුණි.

මාතර ප්‍රාදේශීය ලේකම් කාන්තා හා ළමා කාර්යාංශයේ ප්‍රධානී හා මාතර පීපල්ස් ලීසිං ශාඛා කළමනාකරු ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී වූ මෙම අඩු ආදායම් දරුවන්ට පාසල් උපකරණ පිරිනැමීමේ උත්සවයට සමගාමීව එම දරුවන් හා ඔවුන්ගේ භාරකරුවන්ට වඩාත් ඵලදායි වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි. එහි දී අයහපත් පුරුදුවලින් අත්මිදීම, මාපිය - දරුවන් අතර සබඳතාව වර්ධනය, දරුවාට සාර්ථක අධ්‍යාපනයක් ලබාදීම හා ඔවුන් යහපත් පුරවැසියන් බවට පත්කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් වටිනා දේශන කිහිපයක් පැවැත්වුණි.

ඡායාරූපය සාලිය රූපසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.