කුණු කන්ද ආශ්‍රිත රෝග පාලනයට පියවර | Page 2 | සිළුමිණ

කුණු කන්ද ආශ්‍රිත රෝග පාලනයට පියවර

මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් ව්‍යාප්ත විය හැකි ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා H1N1 ඇතුළු බෝ වන රෝග මර්දනය කිරීමට අවශ්‍ය සියලු කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසුවේය.

ප්‍රදේශයේ පැතිර යාමට ඉඩකඩක් පවතින රෝග මර්දනය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙහි ඍජු අධීක්ෂණය යටතේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ප්‍රදේශයේ ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු ඇතුළු සෞඛ්‍ය පහසුකම් ඔවුන් වෙත සැපයීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

මීතොටමුල්ල නායයාමට පෙර එම අවට ප්‍රදේශයක් වන දහම්පුර ප්‍රදේශයේ නිවෙස්වල ඩෙංගු මදුරු කීටයින් බෝ වීමේ වැඩි ඉඩක් පැවැති බවත් එම ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පැවැසුවේය.

කුණු කන්ද පැවැති ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝ වීමේ ඉඩක් නොපවතින අතර කුණු කන්දෙන් නිපදවෙන මීතේන් වායුව සහ දැඩි අව්රශ්මිය, සුළඟ යනාදි පරිසර සාධක මදුරුවන් බෝ වීමට බාධා ඇති කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පහසුවෙන් බෝ විය හැකි අතර සෙනඟ ගැවසෙන ස්ථානයක එක් පුද්ගලයකුට මේ වෛරසය පැවැතියහොත් පහසුවෙන් ස්වසනය මඟින් රෝගය ව්‍යාප්ත විය හැකි බවත් එවැනි අවදානම් තත්ත්වයන් මඟ හරවා ගැනීමට ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සිදු කරන බවත් ඔහු පැවැසීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිනපතා ගොස් සිද්ධියට මුහුණ දුන් ප්‍රදේශයේ ජනතාවාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වාර්තාවන් ගන්නා බවත් එමඟින් බෝ වීමට අවදානමක් ඇති රෝගයක් ඇති වුවහොත් එය පාලනයට කිරීමට අවශ්‍ය පියවර ගත හැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

සිද්ධිය වාර්තා වූ අවස්ථාවේ සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඍජු අධීක්ෂණය යටතේ රෝග බෝ වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත්තේ යැයි ද ඒ මහතා අවධාරණය කළේය.

මීතොටමුල්ල අවට ප්‍රදේශයේ මදුරුවන්ට බෝ නොවිය හැකි පරිදි ධූමායන කටයුතු දිනපතා සිදු කිරීම, රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීම, සනීපාරක්ෂක කටයුතු සොයා බැලීම, පිරිසිදු පානීය ජලය සැපයීම, වැසිකිලි කැසිකිලි පහසුකම් ප්‍රමිතියානුකූලව ලබාදීම, පිරිසිදු ආහාර ලබාදීම යනාදි සියලු කටයුතු අඩුවක් නොමැතිව ලබාදෙන බව ද ඒ මහතා පැවැසුවේය.

Comments