දුම්බීම අඩුකරන්න දුම්කොළ වගාව සීමා කෙරේ

දුම්බීම වැළැක්වීමෙහි එක් පියවරක් වශයෙන් මෙරට දුම්කොළ වගා කිරීමේ බිම් ප්‍රමාණය හෙක්ටයාර 300 කින් අඩු කිරීමට රජය ප්‍රතිපත්තිය තීන්දුවක් ගෙන තිබේ. මේ පිළිබඳව දුම්කොළ වගාවෙන් නිරත වන ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

උතුරු මැද, උතුර සහ ඌව පළාත්වල දුම්කොළ වගාවෙන් ජීවත්වෙන ගොවීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ඔවුන් ඇමැතූ ඇමැතිවරයා පවසා සිටියේ දුම්කොළ වගාව වෙනුවෙන් විකල්ප වගාවන් හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛණවලට අනුව ශ්‍රී ලංකාවේ හෙක්ටර්යාර 2500 ක පමණ දුම්කොළ වගා කර තිබේ. රජය විසින් දුම්කොළ වගාව අවම කිරීමට තීරණය කිරීමෙන් පසු දුම්කොළ වගා කිරීම දැනට හෙක්ටයාර 300 කින් අඩු වී ඇතැයි මෙහිදී වාර්තා විය. දුම්කොළ වෙනුවට ගොවීන් කෙසෙල්, ගම්මිරිස් හා වෙනත් බෝග වගාවන් කෙරෙහි යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පියවර ගනු ලබන බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය. මේ පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමේ සමීක්ෂණ කටයුතු දැන් අරඹා තිබේ.

දුම්බීමෙන් වසරකට ලාංකිකයන් 25000 ක් පමණ මියයති. ඔවුන්ගෙන් 5% ක් අක්‍රිය දුම්පානය හේතුවෙන් මිය යති. ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි උපදේශය වන්නේ දුම්කොළ වෙනුවට විකල්ප භෝග වගාවන් හඳුන්වාදීමෙන් දුම්කොළ වගාව අඩපණ කිරීම වඩා සුදුසු වන බව ය. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවැසීය.

මෙම අවස්ථාවට දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.


2020 දී බෙහෙත් මිල අඩු කිරීමට පියවර

වසර 2020 වන විට සියලුම ඖෂධ වර්ගවල මිල අඩු කරන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ උතුරු පළාත් ශාඛාවේ සැසිවාරය අමතමින් පසුගියදා යාපනයේදී පැවැති රැස්වීමකදී ඇමැතිවරයා මේ බව පැවැසීය. අත්‍යාවශ්‍ය ඖෂධ 48 ක මිල දැනටමත් අඩු කර ඇති අතර එමඟින් ඔසුසල් හිමියන් ගේ ලාභාංශ අඩුවී ඇති බවත් පැවැසූ ඇමැතිවරයා ඊට පිළියමක් ලෙස රාජ්‍ය ඔසුසලෙහි ඖෂධ අලෙවි කරන මෙන් ඔවුන් ගෙන් ඉල්ලා සිටියේ ය. ඖෂධ සංස්ථාවේ ඖෂධ අලෙවි කිරීමේදී වෙළෙඳුන් හට 18% ක වෙළෙඳ වාසියක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට තමා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වරයාට උපදෙස් දුන් බව ද ඇමැතිවරයා සඳහන් ‍ෙකළේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.