හීල් බත් දංකුඩ | සිළුමිණ

හීල් බත් දංකුඩ

 

 

 

 එක ගමරාල කෙනෙකුට හීල් බත් දංකුඩවලට පුදුම කෑදරකමක් තිබුණා. උදේ නැගිට්ට පැදුරෙන් කුස්සියෙ දංකුඩ ටිකක් හරි සූරගෙන කන්නයි නිතරම කල්පනාව. ගමරාලට මේ ආසාව හිතේ හැටියට කරගන්න බෑ. ඒකටත් හෙනහුරෙක් ඉන්නවා. ඒ ගම මහගෙ. උන්දැත් දංකුඩවලට ගමයටත් වැඩිය ආසයි. ඉතිං ගෙදර දංකුඩවලට හැමදාම හබේ. දවස පටන් ගන්නේ මේ රංඩුවෙන්මයි. දෙන්නගෙ හිත්වල මේ ගැන හිත් අමාරු තිබුණා.

දවසක් රටේ රජ්ජුරුවන්ගෙ අණ බෙරකාරයෙක් ගමින් ගමට එන ගමන මේ ගමටත් ආවා. මහගෙ අණබෙරකාරයා කියන දේට හොඳින් ඇහුම්කන් දුන්නා. ඒ රටේ රජ්ජුරුවන්ගෙ එකම දූ කුමාරිකාවගෙ නහයේ මල් ඇටයක් හිරවෙලා. මොන විදියටවත් එළියට ගන්න බැරිලු. කරපු හැම බේත්, අත්බෙහෙත්වලට නහයත් වණ වෙලා. කුමාරිගෙ නහයෙ මල් ඇටේ අරගෙන දාපු කෙනෙකුට ඇතකු බරට වස්තුව දෙනවා. හැබැයි බැරි වුණොත් රාජ උදහසට ලක්වෙනවා. අණබෙරකරු කිව්වා.

“අපේ ගමරාලට ඕක කරන්න පුළුවන්.” කියලා ගමමහගෙ ඔහ‍ුගෙ අණ බෙරේ නැවැත්තුවෙ හීල්බත් දංකුඩ තනියම කන්න හිතාගෙනමයි. රජ අණ හින්දා කරන්න දෙයක් නෑ. ගමයා මර බයේ ගැහෙනවා. “මං කොහොමද ඒක කරන්නෙ”. හිතනවා. හිතනවා. ඒත් විසඳුමක් නෑ. අතරමඟදී “චුස්” ගාලා ඇටිකිත්තෙක් පෑගුණා. ඒක අසුබ නිමිත්තක් කියලා හිතාගෙන යනකොට “චරස්” ගාලා කකුළුවෙක් පෑගුණා. ඒක තවත් බාධාවක් කියලා. හොඳට ම හිත නරක් වෙලා තව ටික දුරක් යනකොට හාවෙක් පාර ඉස්සරහ එහා මෙහා හැරිලා ආයෙත් කැලේටම දිව්වා. “දැන් නම් මට නියත රාජ උදහස තමයි. අසුබ නිමිතිමයි මඟ දිගට” ගමයගෙ හිත බයෙන් ගැහෙනවා. එකම දේම හිතෙනවා. ගමයා රජ වාසලට ගියා. රජ වාසලේදී රජ්ජුරුවන්ට තියෙන බය හින්දම “මට මල් ඇටේ අරගෙන දෙන්න පුළුවන්. ඒත් ඒකට පොඩි බලියක් අරින්න ඕනැ” කිව්වා.

“ඕන කරන කලමනා ලෑස්ති කරන්න” කියලා රජ්ජුරුවො සේවකයන්ට කිව්වා. බිසවයි, කුමාරියි, රජ්ජුරුවොයි බලි බලන්න වාඩි වුණා.

ගමරාල උඩැක්කිය ගහන ගමන් හිතනවා, හිතනවා, ගොතන බලි යාග කවි ගැන. දන්නෙ නැති දේ හිතට එන්නෙම නෑ. කෝකටත් කවියක් වගේ මෙහෙම කිව්වා.

“ඇටිකිති චුස් කකුළු චරස්

හාවා කළ එකල මෙකල මේ මරණින් බේරුණොතින් තවත් නොකම් බත් දංකුඩ”

මේක ඇහුණ ගමන් රාජකුමාරි ඉවසිල්ලක් නැතුව කටවහගෙන හිනා‍ වෙන්න පටන් ගත්තා. ඒ එක්ක ම නාහෙ හිරවෙලා තිබුණ මල් ඇටය එළියට විසි වුණා.

මේක අපේ ජනකතාවක්.

Comments