සංස්කෘතිය හා බැඳුණු තාක්ෂණය

රෝනි වෑවලගේ

වී බිස්සේ විද්‍යාත්මක සංස්කෘතිය කාලයේ වැලිතලාවෙන් යටපත් වී ගියද තවමත් සාම්ප්‍රදායිකව අනුගමනය කළ ක්‍රම මත ගොඩනැගුණා වුවද වී බිස්සක ඇති විද්‍යාත්මක සාධක හඳුනාගත හැකිය.

“යුරෝපයේ නිසි ශීලාචාරකමක් ඇති වන්නට ශත වර්ෂ ගණනාවකට පෙර උපන් ආර්ය වර්ගයා විසින් නිපදවන ලද දෑ බලා පුදුමයට පත් වන්නට යුරෝපයට සිදු වී තිබේ. ලක්දිව ගොවිතැනට ජලය සැපයීම කර තිබෙන වැව් කර්මාන්තය ගැන පරීක්ෂා කර බැලීමේදී පුරාණ වැව් බැඳීමේ තාක්ෂණය විස්මයජනක බැව් කිව යුතුය. සිංහල ඉංජිනේරුවන්ගේ වැඩ අප විසින් කරනු ලබන පැනමා ඇළ බැඳීමේ වැඩට සංසන්දනය කර බැලීමේදී එම වැඩ පෙර සිංහල ඉංජිනේරුවන්ට ළමයකුගේ ක්‍රීඩාවක් මෙන් වැටහෙනවා ඇත.“

මෙසේ උපුටා දක්වා ඇත්තේ ඇමෙරිකානු දේශාටක බිගැලෝ විසින් 1910දී සිදු කරන ලද ප්‍රකාශයකි. ප්‍රසාද් මිලින්ද සිරිවර්ධන විසින් සංස්කරණය කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික විකාශය සංක්ෂිප්ත විමසුම 2002 වාර්තාවේ ඔහු ඒ ප්‍රකාශය උපුටා දක්වා තිබේ.

මෙහිලා එය සඳහන් කරන්නේ අපේ පැරණි සංස්කෘතිය හා බැඳුණු තාක්ෂණය කොතරම් විශිෂ්ටදැයි හුවා දැක්වීමට එය ඉතා යෝග්‍ය ප්‍රකාශයක් වන බැවිනි.

වසර දෙදහස් පන්සියයකටත් වඩා ඈත ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන අප රටේ සංස්කෘතිය හා බැඳුණු අතිප්‍රබල එමෙන්ම යුගයට සාපේක්ෂ ඉතා දියුණු තාක්ෂණයක්ද භාවිත වූ බව අපට රහසක් නොවේ.

මේ වන විට සෙසු ලෝකයට සාපේක්ෂව අපේ රට විද්‍යාව හා තාක්ෂණය අතින් කිසියම් පසුබෑමකට ලක්ව තිබුණද අතීතයේ දී විද්‍යාව හා තාක්ෂණය අතින් අපේ රට පැවතියේ ලෝකයේ බොහෝ රටවලට වඩා ඉදිරියෙනි. එලෙස භාවිතයේ පැවති තාක්ෂණය සම්පූර්ණයෙන්ම ගොඩනැගී ඇත්තේ අපටම අනන්‍ය වූ සංස්කෘතිකාංග සමඟ බද්ධ වෙමිනි.

කෘෂිකාර්මික රටක් වන අපේ රටේ සංස්කෘතිය ගොඩනැඟෙන්නේද කෘෂිකර්මාන්තය පදනම් කරගනිමිනි. එපමණක්ද නොව රටේ පුරාණ තාක්ෂණය ගොඩ නැඟෙන්නේද කෘෂිකර්මාන්තය පදනම් කරගනිමිනි.

කෘෂිකාර්මීක අවශ්‍යතාව මත බිහි වුණු උසස් විද්‍යාවක්ද ඒ සමඟ වූ බවට සාක්ෂිද වේ.

අතීතයේ අහස් දියෙන් පොළොව මත වගා කළ අපේ මුතුන්මිත්තෝ තම වගා ක්‍රම සඳහා මෙන්ම ජලය භාවිතයේදීද දියුණු තාක්ෂණයක් භාවිත කළහ. අමෙරිකානු දේශාටක බිගැලෝ පවසා ඇති පරිද්දෙන්ම බටහිර ජාතිකයෝ පැනමා ඇළ කැණීමට අවුරුදු දහස් ගණනකට පෙර අපේ රටේ ඉතා උසස් වාරි ඉංජිනේරු තාක්ෂණයක් පැවති බවට ප්‍රබල සාක්ෂි තිබේ.

ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ වැවයි. අහස් දියෙන් වගා කළ අපේ ගැමි ජනතාව ජලය සුලබ කාලයේදී අතිරික්ත ජලය එක් රැස් කර තබා ගැනීමට යොදාගත්තේ වැවයි. මේ වැව තැනීම වූකලි මහා වාරි තාක්ෂණ භාවිතයේ ප්‍රබල අවස්ථාවකි. ඒ සඳහා අපේ මුතුන්මිත්තෝ ජල පහරක් ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට කොටු කරමින් බැම්මක් බැඳීමටත් එවිට එක්රැස් වන ජලය අවශ්‍යතාව අනුව බෙදා හැරීමටත් කිසිදු ආභාසයකින් තොරව අපේම තාක්ෂණය යොදාගනිමින් කටයුතු කළහ.

වැවක කොටස් කිහිපයකි. වැව් බැම්ම ඒ අතරින් මූලික වේ. බැම්ම බැඳීම ප්‍රබල වූත් බැරෑරුම් වූත් කාර්යයි. බැම්මෙන් පසු පහත් බිමට එක්රැස් වන ජලය ක්‍රමිකව අවශ්‍යතාව පරිදි බෙදා හැරීමට කටයුතු යෙදීම සෙසු තාක්ෂණික කටයුතු අතර වේ. ඒ අනුව සුදුසු තැනක සොරොව්වක්ද ඉදි කිරීමට ඔවුහු කටයුතු කළහ.

මෙය ජලය අපතේ යෑම වැළැක්වීමටත්, අවශ්‍ය වූ විට ගලා යෑමටත් සැලැස්වූ දොරටුවක් විය. සළපනාව හෙවත් රළපනාවේ කාර්ය භාරය වූයේ වැවේ නැගෙන්නාවූ රළ පහරින් වැව් බැම්මට විය හැකි හානි වැළැක්වීමයි. ඒ සඳහා පැතලි, විශාල කළු ගල් භාවිත කර ඇත්තේ එකී කළු ගල් සුමට ලෙස සකසා ගැනීමේ තාක්ෂණය ගැන මවිත වීමේ අවස්ථාවක් බටහිර ජාතිකයන්ට උදා කර දෙමිනි. එහෙත් අහස සිඹින මහා බුදු පිළිම වහන්සේලා කළු ගල් මත සියුම් කැටයමින් නෙළුෑ අපේ මුතුන්මිත්තන්ට මෙවැනි වාරි කටයුත්තක් වෙනුවෙන් පැතලි කළු ගල් සකසා ගැනීම අසිරු වූයේයැයි සිතීම විහිළුවකි.

වැවේ පිටවාන අතිරික්ත ජලය මුදා හැර බැම්මට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් වූ අතර බිසෝකොටුව වනාහි බටහිර ජාතිකයන් තවත් පුදුමයට පත් කළ තාක්ෂණයකි. එහි කාර්යභාරය වූයේ සොරොව්ව වෙත එන අධික පීඩනය අවම කිරීමයි.

චූල වංශයට අනුව බිසෝකොටුව කොටස් තුනකි.

1. වැවෙන් ළිඳට වතුර බසින බොක්කුව

2. ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන බෝක්කුවක්

3. ගැඹුරට කණින ලද විවෘත ඍජුකෝණාස්‍ර ළිඳක් හෝ වළක්

මේ බිසෝකොටුවේ දිය මුදාහරිනු ලබන දොරෙහි විවරය අවශ්‍ය පරිදි විශාල සහ කුඩා කිරීමට උපකරණයක් පැවති අතර එය ‘මොහොල‘ යනුවෙන් හඳුන්වා තිබේ.

පැරණි බ්‍රාහ්මීය සෙල් ලිපි අනුව වැව් සහ ඇළවල් බාරව වාරි ඉංජිනේරුවකු පත් කර තිබී ඇති අතර ඔහු ‘අනගත හ‍ෝ අවියක ලෙසින් හඳුන්වනු ලැබ තිබේ.

මෙලෙස අපේ කෘෂි ආර්ථික රටාව සමඟ බැඳුණු සංස්කෘතියත් ඒ හා බැඳුණු තාක්ෂණයත් එදා ජන ජීවිතවලට අවශ්‍ය පහසුකම් සැලසීය. ඊට අමතරව යෝධ ඇළ වැනි ඇළමාර්ග සැකසීමට එදා රජවරුන් යොදා ගත් තාක්ෂණයේ රහස් අදටත් සම්පූර්ණයෙන් හෙළිදරව් කරගැනීමට නොහැකි වී තිබේ.

යෝධ ඇළේ බැස්ම හැතැප්මයකට අඟලක් ලෙසින් සකස් කිරීම වනාහි අතිශයින් දියුණු වාරි තාක්ෂණයකට හොඳම උදාහරණයකි. මේ සියල්ල අපේ සංස්කෘතික උරුමයන් සමඟ අපටම ආවේණික වූ තාක්ෂණයක් වීම සුවිශේෂ කරුණක් ලෙස සඳහන් කළ යුතුය.

සීගිරිය යනු අපේ සංස්කෘතියේ අති සුවිශේෂ අවස්ථාවකි. එහි නිමැවී ඇති සියල්ල අපේ සංස්කෘතිය හා බැඳුණු දියුණු තාක්ෂණය සම්බන්ධව සාක්ෂි සපයන්නේය. ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ අනුරාධපුර යුගයේ දී කාශ්‍යප රජු විසින් කර වන ලද සිගිරිය පර්වතයක් පමණක් නොව, හෙක්ටයාර 1.5ක භූමි ප්‍රදේශයකින්ද සමන්විතය.

මේ ප්‍රදේශය පුරා පැතිර ඇති දිය අගල්, පවුරු, පොකුණු, මාළිගා, මංපෙත් සහ තවමත් සක්‍රීය ජලෝද්‍යානයද එකී තාක්ෂණයට සාක්ෂි සපයන්නේය.

මෙලෙස වාරි කර්මාන්තය ආශ්‍රිතව ගොඩනැගුණු අතිශයින් දියුණු තාක්ෂණයක් පවතින අතරම කෘෂිකර්මය පදනම් කරගත් දියුණු තාක්ෂණයක්ද පැවති බව අමතක කළ යුතු නැත. මේ තාක්ෂණයේ විශේෂත්වය වන්නේ ඒ හා බැඳී පැවති සෑම ක්‍රියාවක්ම අතිශයින් පරිසර හිතකාමී වීමය.

උදාහරණයක් ලෙස වී වගාවේදී පළිබෝධයන් නැසීමට යොදා ගත් ක්‍රම දැක්විය හැකිය. වර්තමානයේ ඒ සඳහා යොදන විනාශකාරී රසායනික ද්‍රව්‍ය වෙනුවට අතීතයේ යොදා ගත්තේ පරිසරයේම කොටස්කාරී හිතකාමී ක්‍රමවේදයන්ය. උදාහරණයක් ලෙස බොකු ගැසීම දැක්විය හැකිය.

මෙහිදී කුල්ලක ඇතුළු පැත්තේ කිසියම් අැලෙන සුලු ලාටු විශේෂයක් ආලේප කරන අතර ගොවියා මේ කුල්ල ගොයම් ගස් අතර රටාවකට අනුව ගෙනයමින් කුඹුර වටා ගමන් කරයි. එහිදී ගොයම් ගස් අතර රැඳී සිටින කෘමි සතුන් මේ ලාටුවල ඇලෙන අතර එමඟින් ගොයම ආරක්ෂා වේ. ගොයම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වූ මෙවැනි ක්‍රම සිය ගණනක් අපේ ආදිතමයෝ භාවිත කළහ.

මෙලෙස වගා කොට නෙළාගත් අස්වැන්න අවස්ථානුකූලව භාවිතයට රැස් කොට තැබූ අතර ඒ සඳහා සකසා තිබූ උපකරණය වී බිස්ස නම් විය. මේ වී බිස්ස බැලූ බැල්මට මැටියෙන් තැනූ කුඩා කාමරයක් හෝ භාජනයක් වැනි වුවද එහි නිමැවුමේ සෑම අංශුවකටම දියුණු තාක්ෂණික හේතු පාදක විය. එපමණක්ද නොව වී බිස්ස සතුව විද්‍යාත්මක පදනමක්ද විය.

වී බිස්සේ විද්‍යාත්මක සංස්කෘතිය කාලයේ වැලිතලාවෙන් යටපත් වී ගියද තවමත් සාම්ප්‍රදායිකව අනුගමනය කළ ක්‍රම මත ගොඩනැගුණා වුවද වී බිස්සක ඇති විද්‍යාත්මක සාධක හඳුනාගත හැකිය. පොළොව මත සිටුවන අටුපාදයේ සිට පිදුරු හත්තිය දක්වාම වී ඇටයේ ජීව ගුණය ආරක්ෂා කිරීමේ අරමුණින් යුක්තව අපේ මුතුන් මිත්තන් වී බිස්ස තනා තිබේ.

වී බිස්සෙහි පාදම හෙවත් අටු අකු සඳහා ගනු ලබන්නේ ගල් කණු හෝ ශක්තිමත් දැව අරටුය. එයද පොළොව මට්ටමේ සිට අඩියක් හෝ දෙකක් උසින් යුක්තයි. මේ හේතුවෙන් පොළොව මතුපිට සිදු වන ජලය ගලායෑම්, උල්හෙල්ලම් හෝ මතුපිට පොළොව පසෙහි සිදු වන කිසිදු වෙනසක් බිස්සට බලපාන්නේ නැත.

බිහි තට්ටුව ශක්තිමත් දැවයෙන් නිමවා ඇත. බිහි කූඩය වියාගන්නේ වැල් සහ කෝටු මඩෙහිලා පදම් කර ගැන්‍මනි. ඒ හේතුවෙන් බිහි කූඩයට කෘමි සතුන්ගෙන් හානි සිදු නොවේ. නොතෙමී තබා ගන්නේ නම් බිහි කූඩය වසර දෙසීයක් තරම් කාලයක් වුවද තබා ගත හැකි බව පැරැණියන්ගේ මතයයි. බිස්සෙහි බඳ මැටියෙන් තනා ඇත. බිහි කූඩය පිටතින් සහ ඇතුළතින් මැටි තට්ටු දෙකක් තුනීවට ගසා ගනු ලබන නිසා වී ඉපියන් බඳු කුඩා කෘමි සතුන් ඇති වීමට තිබෙන ඉඩකඩ අඩුය. අනෙක් අතට බිස්සට මැටි තෝරාගන්නේ රතු හුඹහේ මැටිය. රතු හුඹහේ මැටි අංශු සියුම්ය. අලෙන සුලු ගුණයෙන් යුක්තය. වේළීම වේගවත්ය. පතුරු ගැලවීමක් ද නැත.

මෙකී කාරණා සියල්ල ප්‍රයෝජනවත් වන්නේ බිස්සෙහි වී කල්තබා ගැනීම උදෙසාය.

අපේ පැරණි මුතුන්මිත්තන් ස්වකීය ජීවන රටාව හා සංස්කෘතිය සමග විද්‍යාව හා තාක්ෂණය යොදා ගත්තේ එසේය. එය මහා සාගරයක් මෙන් ගැඹුරුය. එහෙත් සුළං රොදක් මෙන් සරලය. සැහැල්ලුය. සොබාදහම සමග බද්ධය. මිනිසා මහ පොළොවට ආදරය කරන්නේ නම් පවත්වාගත යුත්තේද එවන් වූ විද්‍යාවක්ය. තාක්ෂණයක්ය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.