වැරැද්ද අලියාගේද? වනජීවියේද? | සිළුමිණ

වැරැද්ද අලියාගේද? වනජීවියේද?

 මේ දිනවල පවත්නා ඉඩෝරය මිනිසාට මෙන්ම සතාසීපාවටද දැඩි ලෙස බලපා තිබෙනවා. බොන්න දිය පොදක් නැතිව වැව් පතුල හාරා වතුර සොයනා තරුණ මවකගේ සහ කුඩා දරුවකුගේ සේයාරුවක් පසුගියදා අප නෙත ගැටුණා. එසේම පාපැදියෙන් කිලෝමීටර් 20ක් පමණ දුර ගොස් බොන්න වතුර පොදක් සොයා යන තොප්පිගල පිරිසක් ගැනත් අප පසුගිය දිනක වාර්තා කළා.

මේ තත්ත්වය සතුන්ටද බලපා ඇත්තේ ඒ ආකාරයෙන්මයි. වෙනස වන්නේ මිනිසුන් ජලය සොයා දිවා කල ගමන් කිරීමත්, සතුන් ජලය සොයා අන්ධකාරයේ නැත් නම් අලුයම් කාලයේ ගමන් කිරීමත් පමණයි.

වවුනියාව, ඕමන්තෙ, පුලියන්කුලම්, කොක්එළිය වැනි ප්‍රදේශවල කැලෑබදට වන්නට වන සතුන් මේ දිනවල නිතරම ගම් වදින්නේ ජලය සොයාගැනීම පිණිසයි.

විශේෂයෙන්ම සද්දන්ත වන අලින් මේ ගමනේදී දැඩි අපහසුතාවන්ට පත් වනවා. මැදවච්චිය තලෙයිමන්නාරම් මාර්ගයේදී වන අලින් රංචුවක් දුම්රියේ ගැටී අනතුරකට පත් වූයේ ජල පොදක් සොයා යන ගමනේදීය.

ඒ සෑම අවස්ථාවකදීම වන අලින් අනතුරකට පත් වූවා සේම වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ කොම්බුවයිතකුලම් වැව දෙසට ජලය සොයා පැමිණි අලි රංචුවක් පසුගියදා ‍අකරතැබ්බයකට මුහුණ දුන්නා. කොම්බුවයිතකුලම් වැවට පෙර හමු වූ වගා ළිඳක් අසලට පැමිණි මේ අලි රංචුව ජලය බීමට වගා ළිඳට බසින්නට තැත් කරන්න ඇතැයි සිතන්නට පුළුවන්. ‍මේ රංචුවෙන් අලින් සිවු දෙනකු වගා ළිඳට වැටී ගොඩ ඒමට නොහැකිව දැඩි පරිශ්‍රමයක නියැළුණා.

අලින් වතුර සොයා යන ගමනේදී වගා ළිඳට වැටුණායැයි සිතීමට අපහසු වන්නේ අලින් වනයේ සැරි සරද්දී මේ ආකාරයේ ජලය පිරි ස්ථාන මෙන්ම ගැඹුරු වළවල් එමට හමු වන බැවිනි.

කෙසේ හෝ අපට වාර්තා වන අන්දමට මේ අලින් පසුගිය 15 වැනිදා රාත්‍රියේ මේ වගා ළිඳට වැටී ත‍ිබෙනවා. පසුදින ගම්වාසීන් මේ බව දැක ඕමන්ත පොලීසියට කළ දැනුම් දීමෙන් පසු ඕමන්ත පොලිස් නිලධාරීන් ඒ ස්ථානයට ගොස් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව අලින් ගොඩ ගැනීමට උත්සාහ දරා තිබෙනවා. එහිදී පැටවු දෙදෙනා ගොඩ ගත්තද දැවැන්තයන් දෙදෙනා ‍ගොඩ ගැනීමට නොහැකි වී තිබෙනවා. කෙසේ හෝ පසු දින වවුනියාව වන ජීවී නිලධාරීන් පැමිණ මේ කාර්යයට හවුල් වී තිබෙනවා. බැකෝ යන්ත්‍ර යොදාගෙන දැවැන්ත අලි දෙදෙනා ‍ගොඩ ගැනීමට දැඩි වෙහෙසක් දරා තිබෙන අතර ඔවුන්ගේ පරිශ්‍රමය සාර්ථක වුණා. අලියා පළමුව ගොඩ පැමිණි අතර, අලියා වනයට පලවා හළ පසු ඇතින්න ‍ගොඩ ගැනීමට කටයුතු කළා. එසේ වුවත් ගොඩ පැමිණි ඇතින්න කළගුණ නොදන්නා සේ බැකෝ යන්ත්‍රයට පහර දෙන්න වුණා. බැකෝ යන්ත්‍රයේ රියැදුරු දැඩි සේ බිය පත්ව සිටියා. ඔහුට බැකෝ යන්ත්‍රය පාලනය කරගැන්මට පවා නොහැකි තත්ත්වයකට පත්ව සිටි බවක් පෙන්නුම් කළා. මේ අවස්ථාවේ කොතරම් පලවා හැරීමට උත්සාහ කළද ඇතින්න කැලයට ‍ නොගොස් දිගින් දිගටම බැ‍කෝ යන්ත්‍රයට පහර දුන්නා.

අවසානයේ බැකෝ යන්ත්‍රයේ රියැදුරුගේ ජීවිතය බේරාගැනීම උදෙසා ඇතින්නට වෙඩි තබන්නට සිදුව තිබෙනවා. මහත් පරිශ්‍රමයක් දරා ‍ගොඩ ගත් ඇතින්න අවසානයේ අවසන් හුස්ම හෙළුවා.

මේ සිදුවීම ආරංචි වීමත් සමඟම පරිසර සංවිධාන රැසක් අලියාට වෙඩි තැබීම සම්බන්ධයෙන් හඬ නඟන්න වුණා. වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද මේ සම්බන්ධ පරීක්ෂණයක් සිදු කරන්න කටයුතු යොදා තිබෙනවා.

වි‍ශේෂයෙන්ම වවුනියාව නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙනවා.

අපට මෙහිදී කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කළ හැකි වනවා. එයින් පළමුවැන්න වන්නේ: බැකෝ යන්ත්‍රකරුගේ ජීවිතය බේරාගැනීම පළමුව සිදු කළ යුත්ත බව අප අනිවාර්යෙන්ම වටහාගත යුතු බවයි. එයින් අදහස් කරන්නේ අලියාගේ ජීවිතය නොවටිනා බව නොවේ.

එහෙත් මෙහිදී බලධාරීන් අනුගමනය කළ ක්‍රියා මාර්ග නිවැරැදිද යන්න අප සොයා බැලිය යුතුයි. පරීක්ෂණයේදී කළ යුත්තේද ඒ සම්බන්ධ අවධානය යොමු කිරීමයි.

අලියාට වෙඩි තැබීමට රබර් උණ්ඩ භාවිත නොකෙළේ ඇයිද යන්න මෙහිදී පළමුව පැනනඟින්නකි. දෙවැන්න: අලියා නිර්වින්දනය කිරීමට හැකියාවක් නොතිබුණේද යන්නයි. අලියා වැටුුණු සැණින් පැමිණ කළ මෙහෙයුමක් නොවන නිසා මේ කර්තව්‍යයට නිසි පරිදි ඕනෑ තරම් වේලාවක් තිබුණා. ඒත් එවැන්නක් සිදු වූ බවක් පෙනෙන්න නැහැ.

කෙසේ හෝ මේ කිසිවක් පරීක්ෂණයට බාධා කරගත යුතු න‍ෑ. පරීක්ෂණය නිවැරදිව සිදු කළ හොත් සියලු සිද්ධි නිසි ලෙස වාර්තා වනු ඇත.

අලියාට වෙඩි තැබුවේ වනජීවී නිලධාරීන් විසින්යැයි දැනගන්නට ඇතත් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන්ද මේ අවස්ථාවේ මේ සඳහා පැමිණ තිබෙනවා. ඔවුන්ද පැමිණ ඇත්තේ අලියා ගොඩ ගැනීමට මිස අලියා මරා දැමීමට නොවන බවත් මෙහිදී පැවසිය යුතුයි. එහෙත් අවස්ථා‍වේ හැටියට කවුරුන් හෝ වේවා යම් පියවරක් ගන්නට ඇත. ඒ ගත් පියවරට ‍විකල්ප පියවරක් නොතිබුණේද යන්න ගැන සොයා බලා යම් වරදක් සිදුව ඇත්නම් එවැනි තත්ත්වයන් ඉදිරියේදී එවන් තත්ත්වයන් ඇති නොවන්නට කටයුතු කිරීම පරීක්ෂණයේ ප්‍රතිඵලය විය යුතුයි.

සේයාරූ - බන්දුල සෙනෙවිරත්න වවුනියාව සමූහ 

Comments

අලියා බැකෝ යන්ත්‍රය ට ඉහත පවසන තරම් පහර දෙන බවක් අදාළ වීඩියෝවෙ මා දුටුවේ නැත.

පිටු