අලුත් අවුරුද්දත් විකුණයි!

 “අවුරුදු කුමාරය ඇවිල්ලා වගේ - ගුඩ් මෝනිං අවුරුදු කුමාරයා”

“ගුඩ් මෝනිං අවුරුදු කුමාරි”

මේ දෙබස ඇසුණේ අප්‍රියෙල් 19 දා බදාදා පෙරවරු 8.00 ට පමණ එෆ්. එම්. නාළිකාවකිනි. මෙසේ ඇරැඹුණු දෙබස දිගු විය.

“නැකතට අනුව අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නට නොහැකි වූ ඔබට දැන් ඒ අවස්ථාව උදාවෙලා”

සිංහල දෙමළ අලුත් අවුරුදු උලෙළ නිම වී දින පහකට පසුව ගුවන් විදුලි නිවේදිකාවක හා නිවේදකයකු කරමින් සිටින්නේ පෞද්ගලික බැංකුවක වෙළෙඳ ප්‍රචාරණයකි.

ඔවුන්ට අනුව එම බැංකුවට පැමිණ නව වසරේ ගනු දෙනු කිරීමෙන් අවුරුදු චාරිත්‍ර ද ඉටු වේ.

බස් රියෙහි ගමන් කරමින් සිටිය දී ඇසුණු මේ දෙබසින් හැඟී ගියේ අවුරුදු උත්සවය අවසන් වී දින කිහිපයකට පසු ව වුව ද අවුරුද්දේ වෙළෙඳ ප්‍රචාරණය විවිධ ආයතන මඟින් දිගට ම පවත්වාගෙන යන බව ය. ජනමාධ්‍යවල සේවය කරන්නන් අවුරුදු ප්‍රචාරණය අත් හැර නැති බව ය.

අවුරුද්ද හා ජනමාධ්‍ය

අවුරුදු උලෙළ පවත්වාගෙන යනු ලබන්නේ මාධ්‍යයේ වුවමනාවට දෝයි කුකුසක් යමෙකුගේ සිතෙහි ඇති විය හැක්කේ මෙ බඳු ප්‍රචාරණ නිසා ය. අලුත් අවුරුදු උත්සව සමයෙහි ජනමාධ්‍යවල හැසිරීම ඇතැම් විට හාස්‍ය උපදවනසුලු විය. මෑත කාලයෙහි එෆ්. එම්. නාළිකාවල හිමිදිරියෙහි පටන් පැය කිහිපයක් නිවේදක නිවේදිකාවන් ලවා ඉදිරිපත් කරන (ගුවන් විදුලි වැඩ සටහන් යැයි නම් කළ නොහැකි) කන්කරච්චල අවුරුදු කුමරා හා කුමරිය සංකල්පය ද මළම මළ විකාරයක් බවට පත් කළ ආකාරය ඉහතින් පැහැදිලි විය. අලුත් අවුරුද්ද උදා වන්නට දින කිහිපයකට පෙර සිට ම ජනමාධ්‍ය, (විශේෂයෙන් ම රූපවාහිනි හා ගුවන් විදුලි නාළිකා) අවුරුදු ජයට ම කෑම සඳහා මහජනයා සූදානම් කරවති. වෙළෙඳ ආයතන මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වති. මුළු අවුරුද්දක කාලය පුරා විකුණා ගත නොහැකි වූ බඩු පාරිභෝගිකයන්ගේ ඇඟට දමා ගැසීම සඳහා මෙය හොඳ අවස්ථාවකි. ප්‍රචාරණය කෙතරම් බලවත් වනුයේ ද යත් ණයට පොළියට ගෙන, බඩු උගසට තබා හෝ අවුරුදු ජයට ම කෑමට බොහෝ දෙනා සූදානම් වෙති. අවුරුද්දෙන් පසු ව ගැසූ බෙරේකුත් නැත. බෙරේ පළුවකුත් නැත. කලකිරීම පමණක් ඉතුරු වේ. අවුරුදු සමයෙහි රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකාවල විශේෂඥයෝ අරක් ගනිති. ශ්‍රී ලාංකීය ජන දිවිය, අස්වනු මංගල්‍යය සංස්කෘතික පුරුදු, සිරිත් විරිත් යනාදිය පිළිබඳ මෙලෝ හසරක් නොදත් උදවිය බොහෝ විට සියල්ල දත්තවුන් සේ හැම දේම විග්‍රහ කරති. මෙවර අවුරුදු වැඩ සටහන්වල කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ “තාරකා” පහළ වීම ය. තරු සමඟ අවුරුදු සැමරීම ඇතැම් විද්‍යුත් මාධ්‍යවල ඉලක්කය වී තිබිණ. අහසේ පායන තරු පොළොවේ මුල් නො අදින්නා සේ අවුරුද්ද පිළිබඳ මෙලෝ හසරක අවබෝධයක් තමන්ට නොමැති බව ප්‍රදර්ශනය වීම පමණක් මෙයින් සිදු විය.

කොට්ට පිළ

එක් රූපවාහිනී නාළිකාවක අවුරුදු සිරිතට පේ වෙන ගමක් ප්‍රදර්ශනය කෙරිණ. නාඹර නිවේදිකාවක් රතු ගවුමකින් සැරසී තොල්වල අඳුන් තවරාගෙන නියර මතින් අඩ්ඩඩ්ඩාවේ දිව එනු පෙනිණ. ඉන්පසු ඇය ගමරාළගේ නිවෙසෙහි කොට්ට පිළ මත හිඳ ගත්තා ය.

“මේ තමයි ගමරාළගේ ගෙදර. මේ ගෙදර විශේෂත්වය තමයි සුව පහසුවට තැනූ කොට්ට පිළ. ඒකෙ තමයි මම ඉඳගෙන ඉන්නෙ.”

මේ නිවේදිකාව කොට්ට පිළ පිළිබඳ ව කිහිප විටක් ම සඳහන් කළා ය. එසේ වුව ද “ගමරාළ” ගේ කාර්යභාරය කුමක් ද යන්න පිළිබඳ වචනයක්වත් නොකියවිණ. අලුත් අවුරුද්දේ ගම්මුන් සමඟ ගමරාළගේ සම්බන්ධය කුමක් ද යන්න නොකියවිණ. කොට්ට පිළ යනු මැටියෙන් තැනු ගැමි ගෙවල පොදු ලක්ෂණයකි. භයානක ම කරුණ වන්නේ ගමරාළගේ ගෙදර වත්මන් ලාංකේය ගමෙහි පවතින එකක් හැටියට පෙන්නුම් කිරීම ය. අලුත් අවුරුද්ද පිළිබඳ වැඩ සටහන් සඳහා සහභාගි කර ගනු ලබන අවුරුදු විශේෂඥයන්ගේ ද පොදු වැරැද්දක් වන්නේ ඔවුන් අවුරුදු සිරිත් පිළිබඳ කරන සියලු විස්තර අතීත සම්ප්‍රදායෙන් අහුලාගෙන තිබීම ය. වැඩ සටහන නරඹන ඇතැම් අයට පෙනී යනුයේ තවමත් ගම්වල ඒවා ක්‍රියාත්මක වන බව ය. එහෙත් ඒ සියල්ල රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩ සටහන් සඳහා ම සම්පාදනය කරගත් ඒවා වෙත්. එසේ ඉදිරිපත් කිරීම වරදක් වන්නේ කෙසේ දැයි කිසිවකුට විමතියක් ඇති විය හැකි ය.

එහි වරදක් නොමැත. එසේ වුවද ඒවා විමර්ශනය කළ යුත්තේ හේතු සාධක ඇති ව ය. අතීතය සහ වර්තමානය අතර ඇති වෙනසක් අවිච්ඡින්න සම්බන්ධයත් පිළිබඳ අවබෝධයෙන් යුක්ත ව ය. එහි දී වැදගත් වන එක් කරුණක් වනුයේ හණ මිටි අදහස්වලින් ඈත් වීම ය. දෙවැන්න සංස්කෘතිය යනු වෙනස් වෙමින් ඉදිරියට යන ප්‍රවාහයක් බව අවබෝධ කර ගැනීම ය.

එහෙත් අවුරුදු විශේෂඥයන් අලුත් අවුරුදු උත්සවය, සිරිත් විරිත් හා නැකත් පිළිබඳ කරුණු දක්වන්නේ ඒ සියල්ල අවුරුදු 2500 ක බෞද්ධ උරුමයක් ලෙස සලකමිනි.

එපමණක් නොවේ. ආධ්‍යාත්මවේදී, ගුප්ත විද්‍යා ආචාර්ය ඉන්දියානු ගුප්ත විද්‍යාවේදී වාස්තු විද්‍යාඥ, ජ්‍යොතිශ්ශාස්ත්‍රඥ යනාදී වශයෙන් විවිධ නාමධාරීහු මාධ්‍ය ඔස්සේ අලුත් අවුරුද්ද පිළිබඳ විග්‍රහ ඉදිරිපත් කරති. මාධ්‍යවේදීන් විසින් ඔවුන් හඳුන්වනු ලබන්නේ විද්වතුන් හා බුද්ධිමතුන් වශයෙනි. මාධ්‍යයෙහි ඇති පසුගාමිත්වය මෙයින් පෙනේ.

මීට දශක කිහිපයකට පෙර විද්‍යුත් මාධ්‍ය හැටියට පැවතුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි සේවා පමණි. එකල අලුත් අවුරුද්ද වැනි ජාතික උත්සව පිළිබඳ හරවත් සාකච්ඡා විකාශය වූ අතර ඒවාට සහභාගි කර ගැනුණේ ප්‍රාමාණික බුද්ධිමතුන්, විද්වතුන් හා කලාකරුවන් ය. වත්මනෙහි මෙන් වාචාලයන්, කපටින් හා ගොඩ වෙද්දුන් හට එකල මාධ්‍ය ඉඩ ලබා දුන්නේ නැත. එසේ ඉඩ ලබා දුන්නේ නම් පාඨකයන් හා ශ්‍රාවකයන්ගේ විරෝධය ජන මාධ්‍යයට එල්ල වීමට ඉඩ තිබිණි. එහෙත් රූපවාහිනි නාළිකා හා එෆ්. එම්. නාළිකා කේශ නාළිකා ගණනින් ඇති මෙසමයෙහි මුදල් හදල් හා සමාජ බලය ඇති වංචනිකයන් හට මිනිසුන් නොමඟ යැවීමේ අවස්ථාව ලැබී තිබේ. පාඨකයන්ගෙන්, ශ්‍රාවකයන්ගෙන් හා ප්‍රේක්ෂකයන්ගෙන් විරෝධයක් එල්ල නො වන්නේ අවිචාරය මුල් බැස ඇති හෙයිනි.

අවුරුදු උලෙළ ආරම්භය

සිංහල අලුත් අවුරුදු උත්සවය නමින් සංවිධානාත්මක උත්සවයක් මුල් වරට පවත්වන ලද්දේ විසි වැනි සියවසෙහි දෙවැනි දශකයෙහි බව ඓතිහාසික ව තහවුරු වේ. බෞද්ධ ප්‍රභූන්ගේ මැදිහත් වීමෙන් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය සඳහා දහස් ගණනක් සහභාගි වූ බවත් විවිධ කෙළි සෙල්ලම් ඊට ඇතුළත් වූ බවත් සඳහන් කරන මාර්ටින් වික්‍රමසිංහ ඊළඟ වසරෙහි අවුරුදු උත්සවය එයාකාරයෙන් නොපැවැත්වීම පිළිබඳ කනගාටුව පළ කරයි.

කෙසේ වුව ද එයින් වසර කිහිපයක් යන විට සංවිධානාත්මක ව අවුරුදු උත්සවය පැවැත්වීමේ හුරුවක් ශ්‍රී ලාංකීය සමාජයෙහි ඇති වූ බව පෙනේ.

විවිධ කෙළි සෙල්ලම් ද ඇතුළත් ව සංවිධානාත්මක ව අවුරුදු උත්සවය පැවැත්වීමේ සම්ප්‍රදාය වසර සීයකට වඩා දිගු නොවන බව එයින් පෙනේ. එසේ වුවද කෘෂිකර්මය ජීවනෝපාය බවට පත් කර ගත් ශ්‍රී ලාංකේය ජනතාව බක්මහේදී අලුසහල් මංගල්‍යය ප්‍රමුඛ කර ගනිමින් නෑ ගමත්, ජන නැටුම් හා කෙළි සෙල්ලම්වල යෙදෙමින් ප්‍රීතිමත් සමයක් ගත කිරීමේ සම්ප්‍රදාය වසර දහස් ගණනක් පැරැණි එකක් බවට නිරීක්ෂණය කළ හැකි ය. ධාන්‍ය වගාව ප්‍රමුඛ කරගත් කෘෂිකර්මය ජීවනෝපාය බවට පත් වූ සෑම ජන සමාජයක ම මෙවැනි සම්ප්‍රදායන් පැවැති බව මානව විද්‍යාඥයන්ගේ අදහස යි.

බක්මහේ වසන්තය

හේමන්ත, වසන්ත, සිසිර, සරත් යනුවෙන් පැහැදිලි ඍතු විපර්යාසයක් සමකාසන්න රටක් වශයෙන් ශ්‍රී ලංකාවෙහි නොමැත. එසේ වුවද ඊට ආසන්න ලක්ෂණ පවතී. ඒ අනුව හේමන්තයේදී කොළ හැලෙන තුරුලතා වසන්තයේ දී හරිත පැහැයෙන් බබළයි. මල් පල හට ගනී. බක් මහ (වසන්තය) ශ්‍රී ලාංකිකයන් හට සොඳුරු සමයක් වන්නේ එහෙයිනි.

මෙ සමයෙහි කුරුලු කූජනය පැතිරේ. කොහාගේ හඬ එයින් කැපී පෙනේ. වී අස්වනු නෙළීමෙන් පසු ව ගොවියාට විශ්‍රාම සමයක් ලැබෙයි. ඉපනැලි කුඹුරුවල ගැමි දරුවෝ කෙළි සෙල්ලම් කරති. වැඩිහිටියෝ සොකරි ආදී ජන නැටුම්වලට සහභාගි වෙති. සරදම් දෙපිට කැපෙන කියුම් කවි ගීත හා බෙර නද මුසු වූ ජන නැටුම් නෙත් සිත් පිනව යි. නෑගම් යෑම් ද විවාහ මංගල්‍යයන් ද පැවැත්වෙන්නේ මෙසමයෙහි ය.

අවුරුදු සමයෙහි කල් තියා ම ගෙබිම මැටි ගා අලුත්වැඩියා කෙරේ. නැවුම් කළගෙඩි, අලුත් ඇඳුම් මිලදී ගැනේ. රතු එරබදු දෙවැටේ පිපේ. කජු පුහුලමින් අතු බර වේ. මෙය ප්‍රීති ජනක සමයකි.

අපි කුඩා අවධියෙහි එනම්, හැටේ හැත්තෑවේ දශකවල මේ අත්දැකීම් ලැබුවෙමු. එය ආස්වාදජනක මතකයකි. මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් විය. කෘෂිකාර්මික පදනම් ඉරිතළා ගොසිනි. අවුරුදු සමයෙහි ද විභාග තරගයට පන්ති දුවන දරුවන්ට කෙළි සෙල්ලම් තහනම් ය. එසේ කරන්නට තැනක් ද නැත. පිදුරු කඳු ගිනි තැබු වස විස පිරුණු කුඹුරුවලට බැසීම ද අන්තරායදායක ය.

විස්තෘත පවුල න්‍යෂ්ටික පවුල බවට සිසීකඩ වී ඉහිර ගොසිනි. බරපතළ සංස්කෘතික පරිවර්තනයක් සිදු වෙමින් පවතී. මේ කුමන පරිවර්තනයක් සිදු වුව ද අලුත් අවුරුද්දට කොළඹ හිස් වෙයි. රැකියා පතා කොළඹට ඇදුණ සියලු පිරිවර ගංරටවල ය. ඒ ඔවුන්ගේ සංස්කෘතික මුල් තවමත් ගමට ඇදෙන හෙයිනි. අවුරුදු සමරන විදිය පමණක් වෙනස් වී ඇත. ණයට ගත් මුදලින් දෙමාපියන්ගේ ඇඟට ඇඳුමක් දමා ගසා ආපසු නගරයට යා යුතු ය. මෙසේ කුමන පරිවර්තනයක් සිදු වුව ද අලුත් අවුරුද්දෙහි අගය අඩු නොවේ. එය ශ්‍රී ලාංකීය ජන සමාජයෙහි හද මනසට කා වැදුණු මිහිරි අත්දැකීම් සමුදායකි.

දුරස් ව සිටින ඥාතින් නැවත හමු වන, අමනාපකම් මනාපකම් බවට පත් කෙරෙන, එක වේලක් හෝ එකට කාබී ප්‍රීති වන අවුරුදු උලෙළට කාන්දමක් මෙන් ජන සිත් ඇදී යන්නේ එනිසා ය.

කෝකටත් නැකත

අවුරුදු නැකත් පිළිබඳ ව ද යමක් කිව යුතු ය. එක ම නැකතකට අවුරුදු පිළිවෙත් ඉටු කිරීම පිළිබඳ අදහස ව්‍යාප්ත වූයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් අවුරුදු නැකත් ප්‍රකාශයට පත් කිරීම අනුව ය.

පැරැණි ගම්වල නැකතට අනුව කටයුතු කරන හා නොකරන දෙපිරිසක් සිටිය හ. නැකතට වඩා වැදගත් වූයේ කරන කටයුතු ය. එහෙයින් නැකත මූලික නොවී ය. මෑතකදී නැකත මූලික වූයේ විවිධ ආකාරයේ ජ්‍යොතිෂකරුවන් ආත්ම ලාභය තකා ජනමාධ්‍ය ආක්‍රමණය කිරීමෙනි. වැඩකට නැකත එම වැඩ කිරීම යයි බුදුන් දෙසූ හ. එසේ වුව ද නැකත නොතකා හැරීම බොදු සිරිතට පටහැනි ව යාමක් හැටියට ජනමාධ්‍ය ඔස්තාද්වරු ප්‍රකාශ කරති. බක්මහේදී තවමත් එරබදු පිපෙන බවට වර්ණනා කරන්නෝ ද ඔවුහු ය. වත්මනෙහි එරබදු ගසක් ඇති ගමක් සොයා ගැනීම නිකිණි සොයනවාටත් වඩා අමාරු දෙයකි. නැති ගමක් ඇති හැටියට පෙන්වන ජනමාධ්‍යයට අලුත් අවුරුද්ද යනු වෙළෙඳ උපාය මාර්ගයකි.

තිඹිරියාගම බණ්ඩාර
[email protected] 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.