දියවන්නාවට ලෝකය කැන්දන එක්සත් ජාතීන්ගේ වෙසක් කලාපය

 දේවාති‍දේව- බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ මනුෂ්‍යයකු වේ නම් ඒ අප ගෞතම බුදුරජාණන් වහන්සේ බව ලොවම පිළිගන්නා සත්‍යයකි. ඒ උන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් දෙසූ බොහෝ දේ විද්‍යාවෙන් තහවුරු කරගන්නට ලෝ වැසි පෘථඃජනයින් දැන් දැන් සමත් වෙමින් සිටින නිසාය. එහෙත් අචින්ත්‍ය වූ ලෝක විෂයය පිළිබඳ පමණට වඩා නොවිමසන්නැයි බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ අප කෙතරම් සොයා ගියද අපට අසු නොවන බොහෝ ‍කරුණු උන්වහන්සේගේ සම්බුද්ධත්වයෙන් වටහාගෙන වසර දෙදහස් පන්සියයක‍ට පසුවත්, අපට සොයාගැනීමට හැකිවන්නේ අබමල් රේණුවකට අඩුවෙන් බව උන්වහන්සේ දැන සිටි නිසා විය යුතුය.

අප මෙන් නොව, සුමේධ තාපස ලෙස පඤ්චාභිඤ්ඤා අෂ්ටසමාපත්ති උපදවා හිඳ දීපංකර බුදුන් ප්‍රමුඛ රහතන් වහන්සේට මඩ වතුරෙන් එගොඩ වීමට‍ එහි වැතිර සිට, ඒ බුදුන් වහන්සේගෙන් සමන් මල් අටමිටකින් හා පසුව වැඩි රහතන් වවහන්සේ හාරලක්ෂයෙන් සමන් මල් හාරලක්ෂයක් මිටින් පිදුම් ලැබීමටත් ගෞතම නමින් බුදුවන බවට නියත විවරණ ලැබීමටත් පසු මේ සසරේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අත්භවයන්හි ලද අත්දැකීම් අනුව උන් වහන්සේ මේ විශ්වය පිළිබඳ අවබෝධය ලබා ධර්ම දේශනය කළසේක.

දස පාරමිතා දස උප පාරමිතා දස පරමත්ත පාරමිතා යන සමතිස් පෙරුම් පුරමින්, ඤාතත්ථ චරියා ලෝකත්ථ චරියා බුද්ධි චරියාවල යෙදෙමින් සිට තුසිත දෙව්ලොව පනස් සත් කෙළ සැට ලක්ෂයක් ආයු විඳිමින් ලත් අත්දැකීම් සහ සන්තුෂිත දිව්‍ය රාජයාට ‍බුද්ධ කෝලහාලය පහළ වූ පසු දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයන් එක්ව දොහොත් මුදුනත් කර කළ ආරාධනය අනුව මවු කුස පහළ වී මිනිස් ලොව ඉපිද විශ්වය පිළිබඳ කළ දේශනා අපේ කෙටි මනුෂ්‍ය ජීවිත කාලය තුළ කෙසේ සොයා යමුද?

විසි නව වසක් රම්‍ය සුරම්‍ය සුබ මාලිගාවල කාමසුඛල්ලිකානුයෝගි සුව විඳ, සතර පෙරනිමිති දැක, පියපදවිය ලද දිනයේම වසවර්ති මාරයා තව දින හතකින් සක්විති රජකම ලබන බවට පණිවිඩය එවද්දී පවා අභිනිෂ්ක්‍රමණය කර, සය වසක් දුෂ්කරක්‍රියා කළ පසු මැදුම් පිළිවෙතට පැමිණ, මාර සේනා පරදවා බුදු බව ලබන්නට තරම් වූ වීර්යයක් සහිත උතුමකු අවබෝධ කරගත් දහම මෙතරම් සත්‍ය හා ප්‍රබල වීම පුදුමය‍ට කරුණක් නොවේ.

ශාක්‍ය කුලයේ නෑයින්ගේ මානය බිඳීමට යමා මහ පෙළහර පාන්නට හැකි වූත් වසර සතළිස් පහක් පුරා උස් මිටි භේදයෙන් තොරව සියලු ලෝ වැසියන්ට මෙන්ම දෙව් බඹුන්ටත් දහම් දෙසා සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය එනිසා එළැඹ සිටි සිහියෙන් යුතුව කටයුතු සලස්වා ගන්නැයි අවසන් වශයෙන්ද දේශනා කොට පිරිනිවන් පෑ උන්වහන්සේගේ ධර්මය දෙදහස් පන්සිය හැට එක් වසක් පුරා පවතින්නේ එහි ඇති සත්‍යතාව, සොබා දහමට එකඟ බව වසන් කළ නොහැකි නිසාය.

වෙසක් පොහොය දිනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමුවන්නේ මේ උතුම් මනුෂ්‍ය පුත්‍රයා හා බැඳුණු මෙතෙක් කී සියලු සිදුවීම් සිදු වී ඇත්තේ එදින මුල් කරගෙන නිසාය. ලෝ වැසියන් ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම යන තෙමඟුල වෙසෙසින් වෙසක් දින සැමරුම සඳහා යොදා ගැනුනද සිරිලක් වාසී අපට ඊට වඩා බො‍‍හෝ දේ වෙසක් දිනය වෙනුවෙන් සිහි කිරීමට තිබේ. එකක් නම් සත්‍ය වූ දහම රැඳි බුද්ධ ශාසනය පන්දහසක් කල් පවතින්නේ හෙළ දීපයේ බව දැනවදාළ බුදුහිමියන් බුද්ධත්වයෙන් අටවන වසරේ මණි අක්ඛික නා රජුගේ ආරාධනයෙන් කැලණියටත්, එදිනම සුමන සමන් දෙවියනගේ ඇරැයුමින් සමනොළ ගිරටත් වැඩම කර සිරිපා සටහන් කර වදාළ දිනය වෙසක් පෝයට යෙදීමයි. අනුරපුරය, තිස්සමහාරාමය, කතරගම වැනි සොළොස්මස්ථානවල වෙසක් පොහෝ දින සමවත් සුවයෙන් වැඩ වසා සීහළද්වීපය පිවිතුරු බිමක් කොට වදාළීම තවෙකකි. පිරිනිවන් මංචකයේ සිටම සක්දෙව් රජුට සිරිලක් දිවයිනත් සිංහල ජාතියත් රකින්නට බාරදීම වෙසඟේ අප‍ට ඇති තවත් විශේෂත්වයකි. මහ අනඳහිමියන් රහත් පල ලබමින් පිරිනිවන් පෑම ද වෙසක් දිනයේ සිදු වූ විශේෂ සිදුවීමකි. විජය රජු ලංකාවට පැමිණීම මහින්දාගමනයෙන් පසු දේවානම් පියතිස්ස රජුට ධර්මාශෝක රජු ත්‍යාග කළ පංච කකුධ භාණ්ඩයන් සහිතව දෙවැනි වරට අභිෂේක මංගල්‍යය පැවැත්වීම සහ ඉන් පසු බොහෝ රජවරුන්ගේ අබිසෙස් මඟුල් පවත්වා ඇත්තේ ද රුවන්මැලි මහා සෑ රජුන් තැනීම ඇරැඹී ඇත්තේ ද වෙසක් පුන් පොහෝ දිනකය. බෞද්ධ අධ්‍යාපනයේ මුල් තෝතැන්න වූ මහා විහාරයේ භික්ෂූන් වහන්සේ උපසම්පදා කිරීම ද යෙදී ඇත්තේ මේ සුවිශේෂ පෝය දිනටය.

මෙවන් හේතු නිසා තෙරවාදී බුදු දහම පවතින අපේ රටට වෛශාක්‍ය මංගල්‍යය ඉතා වැදගත් උත්සවයක් බවට පත්වීම පුදුමයක් නොවේ. ‍ඒ අද ඊයෙක සිට නොව එය පාරම්පරික රාජකීය චාරිත්‍රයක් බවට පත්ව තිබූ බව ඉතිහාසය සාක්ෂි දරයි. මහා වංශයේ සඳහන් වන ආකාරයට දුටුගැමුණු රජ සමයේ පවා වසරක් පාසා පැවැත්වූ වෙසක් උලෙළ විසිහතරක් පිළිබඳ රජු‍‍ගේ පින් පොතේ සටහන් තබා ඇත. භාතිය වසභ වොහාර තිස්ස ගෝඨාභය ආදී රජවරුන් රැසක් සිය පාලන සමය පුරා මේ උත්සවය සැමරූ බවට ද සටහන් ඇති බව පුරාවෘත්තවල සඳහන් වේ.

සත්‍ය වූ දහම දෙසූ බුදුන්ගේ තෙමඟුල අප රටේ පමණක් නොව ඉන්දියාවේද සමරා ඇති බවට අශෝක අධිරාජයාගේ ඇතැම් සටහන්වලින් පැහැදිලි වන බව පුරාවිද්‍යාඥයන‍්ගේ මතයයි. එසේම නේපාලය, තිබ්බතය, බංගලිදේශය, භූතානය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය, කාම්බෝජියාව, මැලේසියාව, ලා‍ඕසය, තායිලන්තය, මියැන්මාරය, සිංගප්පූරුව පිලිපිනදූපත් වැනි රටවල වෙසක් දිනය විශේෂ නිවාඩු දිනයක් බවට කලක සිට පත්ව තිබේ.

බුදුන් දෙසූ දහම පිළිබඳ බටහිර රටවලද දැඩි උනන්දුවක් පවතින බව, ලියැවී ඇති ‍පතපොත, කෙරී ඇති පර්යේෂණ හා සසුනට දායක වන පිරිසගේ තරම අනුව අනුමාන කළ හැකිය. එහෙත් වෙසක් දිනය සුවිශේෂ දිනයක් ලෙස අන්තර්ජාතිකයන් ඉදිරියට ගෙන යෑමේ ගෞරවය හිමි වන්නේ 1999දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට එය යෝජනා කළ එවක විදේශ ක‍ටයතු ඇමැතිව සිටි ලක්ෂ්මන් කදීර්ගාමර් මහතාටය. රටවල් 193ක සාමාජිකයන්ගෙන් එය සමන්විත විය. එහෙත් එක්සත් ජාතීන්ගේ සම්පූර්ණ නිවාඩු දිනයක් ලෙස මෙය නම් කිරීම ආර්ථික වශයෙන් පාඩුවන බවක් ඒ යුගයේ එක්සත් ජාතීන්ගේ මතය විය.

ඉතිහාසය එසේ වද්දී මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීම අප‍ට විශේෂ වේ. එය එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් උළෙල වුවද ශ්‍රී ලංකාවේ පළමු වරට පවත්වන එක්සත් ජාතීන‍්ගේ වෙසක් මංගල්‍යයයි. ලක්ෂ්මන් කදීර්ගාමර් මහතාගේ යෝජනාවෙන් පසු වියට්නාමය හා තායිලන්තය වැනි රටවල පැවැත්වූ මේ උත්සවය අප රටේ පැවැත්වීමට ගත් තීරණය ඉතා විශේෂ බව සිළුමිණට පැවසුවේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා‍වේ සභාපති අසේල ඉද්දවෙල මහතාය. ඔහු එක්සත් ජාතීන්ගේ වෙසක් කලාපය ලෙස සලකන දියවන්නා වෙසක් කලාපය භාර ප්‍රධානියාය. බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ මහලේකම් කාර්යාලයක් මඟින් සංවිධානය කෙරෙන වෙසක් උත්සවයේ එක්සත් ජාතීන්ගේ වෙසක් කලාපය ලෙස නම් කර ඇත්තේ දියවන්නා වෙසක් කලාපයයි. මැයි මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා මේ කලාපය පැවැත්වීමේ වගකීම පැවරී ඇත්තේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයටය. ඒ අනුව සංවිධානය කෙරෙන කටයුතු එක්සත් ජාතීන්ගේ මඟ පෙන්වීම්වලටද අනුකූලව සිදු කෙරෙන බව අසේල ඉද්දවල මහතා පෙන්වා දුන්නේ මෙසේය. "එක්සත් ජාතීන්ගේ වෙසක් දින මෙවර තේමාව වන්නේ 'සමාජ සාධාරණත්වය සහ තිරසර ලෝක සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්' යන්නයි. ඒ සඳහා නිල ලාංඡනයක් නිකුත් කර තිබෙනවා. අපේ රටට ‍බෞද්ධ දර්ශනය ගෙන ඒම‍ට මූල් වූ සේම බුදු හිමියන් උපන් දේශය වූ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු රටවල් 85ක පමණ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට මේ වන විට අප ආරාධනා පත් යවා අවසන්. විදේශීය නියෝජිතයන් 1000ක් පමණ මෙවර සහභාගී වෙයි කියා අප සිතනවා. අප දැනට දියවන්නා වෙසක් කලාපය සේනානායක මංසන්ධියේ සිට බත්තරමුල්ල දියත උයන දක්වාත් පාර්ලිමේන්තු සංකීර්ණය හරහා ඩෙන්සිල් කොබ්බෑකඩුව ජපන් මිත්‍රත්ව මාවත ප්‍රදේශය දක්වාත් සැරසීමට කටයුතු යොදා තිබෙනවා. විශේෂයෙන් බෞද්ධ කොඩියේ වර්ණවලින් කලාප වෙන්වෙන්ව සරසන්නත්, විදුලි ආලෝක සැරසිලි කරන්නත් අප බලාපොරොත්තු වෙනවා. එහිදී ඩි.එස්. සේනානායක මං සන්ධියේ සිට දියවන්නා පාලම දක්වා පාර දෙපසත්, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතත් බෞද්ධ කොඩියේ පාට අනුව සැරසීම, දියවන්නාපාලම සිට කිඹුලාවල කමත දක්වා පාර දෙපස ගස් විදුලි බුබුළු යොදා සරසන්නත්, පහන්කූඩු, තොරණ නිර්මාණ, ජලය මත පාවෙන පහන් කූඩු, ජලාශය වතුර මල් යොදා අලංකාර කිරීම, දන්සල් හා භක්ති ගීත ගායනය ආදිය සිදු කිරීම‍‍ට නියමිතයි."

"ගොඩනැඟිලි බෞද්ධ කොඩියේ සියලු වර්ණවලින් ආලෝකවත් කිරීම, මහල් සහිත ගොඩනැඟිල්ලක් මත වීඩියෝ සිතියම්ගත කිරීම ලොව උසස්ම තාක්ෂණ උපයෝගී කරගෙන කිරීම, පාවෙන ඔරු මත භක්ති ගීත ගායනා කිරීම, චෝගම් පිටියේ පහන් කූඩු 40ක් පමණ යෙදීම හා කැරකෙන පහන් කූඩු ප්‍රදර්ශනය, එම ස්ථානයේම එක­්සත් ජාතීන්ගේ රටවලට අයත් වෙසක් කුටි කිහිපයක් සහ අනු රූ මෙන්ම පිවිසුම් සැරසිලි යෙදීම, පාර්ලිමේන්තු සංකීර්ණය වර්ණවත්ව ආලෝකවත් කිරිම, දියත උයන හා අව‍ට ගොඩනැඟිලි ආලෝකවත් කිරීම, දියත උයන ආශ්‍රිත වතුර මල් ආලෝකකරණය හා ලේසර් සන්දර්ශන, විචිත්‍රවත් ඩිජිටල් තොරණ කිඹුලාවල මංසන්ධියේ පැවැත්වීම, පාවෙන කූඩු පේළි හතරක කූඩු 1440ක් මඟින් දියවන්නාව ආලෝකවත් කිරීම, ජපන් මිත්‍රත්ව පාර කූඩු 530ට වැඩි සංඛ්‍යාවකින් සැරසීම, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල බත් දන්සලකුත්, චෝගම්පි‍ටියේ නූඩ්ල්ස් දන්සලකුත්, කිඹුලාවල මංසන්ධියේ ඔසුපැන් දන්සලක් හා දියත උයන අසල අයිස්ක්‍රීම් දන්සලකුත් පැවැත්වීම, දියවන්නාවේ පාවෙන ජැටියක් මත බෞද්ධාගමික පුරා වස්තු ප්‍රදර්ශනය වැනි දේ සංවිධානය කර තිබෙනවා. විදේශ නියෝජිතකයන් වෙනුවෙන් කලාපය විවෘත වන්නේ 12 වැනිදා රාත්‍රියේයි. අප තරග කිසිවක් පවත්වන්න කටයුතු කරන්නේනෙ නෑ. නාවික හමුදාව තමයි ජංගම භක්ති ගීත සන්දර්ශනය පවත්වන්නේ. අප ඉල්ලීමක් කර තිබෙනවා දෙපස ජනතාවගෙන් අපේ ක්‍රමවේදය සාර්ථක කරගන්න ආකාරයට සැරසිලි කරන්න කියලා.

"අසේල ඉද්දවෙල මහතාගේ හැඳින්වීමට අනුව මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් කලාපය බොහෝ සෙයින් තාක්ෂණය උපයෝගී කරගෙන සකස් කෙරෙන්නකි. එය වර්තමාන ලෝකයට ගැළපෙන අයුරින් වෙසක් සැරසිලි කලාවට අනුව ‍නිර්මාණය වී තිබේ.

මේ සියල්ල අයත් වන්නේ ආමිස පූජාවන්ටය. මිහිඳු හිමියන් හෙළ දිව‍ට බුදු දහම ගෙන ඒමෙන් ඇති වූ සංස්කෘතික, සමාජ, දේශපාලන, අධ්‍යාපනික වෙනස්කම්වල නූතන ආමිස පූජා ක්‍රමය මේ එක්සත් ජාතීන්ගේ වෙසක් කලාපයෙන් අනූනව ප්‍රදර්ශනය කෙරෙනු ඇතැයි අපට අනුමාන කළ හැකිය. එහෙත් මෙහිදී අප අවධානය යොමු කළ යුතු වැදගත් දෙයක් වෙයි. ලොවුතුරා බුදු රජාණන් වහන්සේගේ අසමසම ධර්මයට ලෝක අවධානය යොමු වන්නේ කුමන හේතුවක් නිසාද යන්න එයයි. විශේෂයෙන් මෙවර තේමාව හා සසඳන කලද බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ. පිරිනිවන් මංචකයේදී බුදු හිමියන් දේශනා කොට වදාළේ 'සිව්වනක් පිරිසෙන් යමෙකු නව ලෝකෝත්තර ධර්මය‍ට අනුකූල වූ උතුම් ප්‍රතිපත්තියට පිළිපන්නෙකු වන්නේ නම් ඒ තැනැත්තේ නිසි පූජාවෙන් තථාගතයන් වහන්සේ පුදන්නේය' යනුවෙනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.