කොළඹ කොටස් වෙළෙඳපොළේ විදෙස් මිලදී ගැනීම් වැඩි වේ

* කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය මාර්තු 28 වැනිදා සිට සක්‍රීය වීම ඇරැඹිණි.
* පසුගිය (19) වැනිදා කොටස් වෙළෙඳපොළ පිරිවැටුම
* රු.බිලියන 5 ඉක්මවීම විශේෂම සිද්ධියයි.
* කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සහ S and P
* ශ්‍රී ලංකා විශේෂ මිල දර්ශක දෙකෙහිම වැඩි වීමක් වාර්තා විය.
* විදේශ ආයෝජක දායකත්වය 50% ඉක්මවයි.
* සියලු කොටස් මිල දර්ශකය 6446.80 ක් විය.
* එය (18) වැනිදාට වඩා 64.43ක වර්ධනයකි.

ව්‍යාපාරික සමාගම් සඳහා අවශ්‍ය මූලධනය සපයා දීම කොටස් වෙළෙඳ පොළකින් සැලැසෙන එක සේවාවකි. එසේම කොටස් වෙළෙඳ පොළ යනු ආයෝජකයනට ලාබ ලබා දෙන මාර්ගයකි.

දේශීය වුවද, විදේශිය වුවද, ආයෝජකයා කොටස් වෙළෙඳ පොළක ආයෝජනය කරන්නේ ඔහුගේ ආයෝජනයට සරිලන ලාභයක් හිමි වන්නේ නම් පමණි. වත්මන් චීනයේ ආර්ථික ශක්තිය ශක්තිමත් වීමට චීන කොටස් වෙළෙඳ පොළේ අධිවේගි සක්‍රීය භාවය ද බලපෑවේය.

කොළඹ කොටස් වෙළෙඳ පොළේ අතීතය 1896 තරම් ඈතට විහිදෙයි. වතු වගාව හා වැවිලි කර්මාන්තයේ සෙසු අංශයන්හි ප්‍රගමනයට කොටස් වෙළෙඳ පොළ ඍජුවම ක්‍රියා කෙළේය. විවිධ හැඩතල ඔස්සේ වත්මන් දියුණුව කරා පැමිණි කොළඹ කොටස් වෙළෙඳ පොළේ අද වන විට සමාගම් 296ක් ලැයිස්තු ගතව තිබේ. එම සමාගම් මූල්‍ය, වැවිලි අංශ, කර්මාන්ත, හෝටල් යනාදි වශයෙන් ක්ෂේත්‍ර 20කට බෙදී පවතී.

මහනුවර, යාපනය, කුරුණෑගල, අනුරාධපුරය, රත්නපුර, ඇඹිලිපිටිය, මීගමුව ආදි වශයෙන් ප්‍රාදේශීය කාර්යාල ද ක්‍රියාත්මකය. එසේම අන්තර්ජාලය ඔස්සේ ද ගනුදෙනු කිරීමට පිළිවන. විවිධ අධ්‍යාපනික සම්මන්ත්‍රණ හා දේශන ද පවත්වමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ජනතාව අතරට ළඟා වෙමින් කොටස් හිමි ජනතාවක් සහිත සමාජයක් බිහි කිරීමට උත්සාහ ගනී. ඒ සඳහා බ්‍රෝකර් සමාගම් ද සිය කාර්ය භාරය ඉටු කරයි. සුළු හා මහා පරිමාණ ආයෝජකයෝ ද දීර්ඝ කාලීන හා කෙටි කාලීන ආයෝජනයට සම්බන්ධව සිටිති.

කොටස් වෙළෙඳ පොළක ද විවිධ විෂමාචාර සහ නොපණත්කම් සිදු වේ. එවැනි ක්‍රියා ගණනාවක් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ පසුගිය කාලයේ සිදුවූ බව ද නොරහසකි. මෙවැනි කටයුතු නිසා කොටස් වෙළෙඳ පොළක විනිවිදභාවය ගිලිහී, ආයෝජක විශ්වාසය හීන වෙයි.

පසුගිය කාලය මුළුල්ලේම කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාත්මක වූයේ අලස ස්වභාවයකිනි. සමස්ත කොටස් මිල දර්ශකය නිතර උච්චාවචනයට ලක්වී කොටස් හිමි ආයෝජකයෝ “ආයෝජක තැතිගැන්මට” ගොදුරු වූහ. මෙවැනි විටෙක ආයෝජකයා තැතිගැන්ම නිසා සිය කොටස් විකුණා ආයෝජන මුදල රැකගැනීමට තැත් කිරීම සාමාන්‍ය ස්වභාවයයි. එමඟින් ආයෝජකයෝ පාඩු ලබා අත පුච්චා ගනිති.

කොටස් වෙළෙඳ පොළේ එයටම ආවේණික වාංමාලාවක් තිබේ. මේ වාංමාලාවෙන් අදහස් හුවමාරු කරගන්නා ආයෝජකයෝ විකල්ප ආයෝජන කෙරෙහි නැඹුරු වෙති. එමඟින් ද ආයෝජනය නැති කරගන්නා අවස්ථා තිබේ.

අන්තර්ජාතික දේශපාලනය මෙන්ම, රටක දේශපාලන ස්ථාවරත්වය ද කොටස් වෙළෙඳ පොළක ගාමක බලවේග අතර ප්‍රධාන ස්ථානයක් හිමිකර ගනී. චීනය, බුරුමය, ඉන්දියාව සහ බංගලිදේශය යන රටවල කොටස් වෙළෙඳ පොළ ශක්තිමත්ව පවත්වාගෙන යෑමට එම රටවල දේශපාලන ස්ථාවරත්වය බලපා තිබේ. සංවේදී වෙළෙඳ පොළක් ලෙස කොටස් වෙළෙඳ පොළක් හඳුන්වන්නේ සුළු සිද්ධියකින් පවා විශාල සසල වීමක් ඇතිවන නිසාය. එමඟින් කොටස් මිල අඩු වැඩි වන නිසාය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම 2014 දී රුපියල් මිලියන 1415ක් වුවද, 2015 දී දෛනික පිරිවැටුම රුපියල් මිලියන 1059.6 කි. මේ වන විට දෛනික පිරිවැටුම රුපියල් මිලියන 810 කි. 2014 සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7209 ක් වුවද, 2015 සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6894.5 කි.

2017 මාර්තු 27 වැනිදා කොළම කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5974 දක්වා පහත වැටිණි. පිරිවැටුම රුපියල් බිලියන 429ක් ලෙස සටහන් විය. ඒකක 6000 යනු ආයෝජකයා තරමක් වික්ෂිප්ත වන සීමාවකි. එම සීමාව තවත් අඩුවීම නිසා කොටස් වෙළෙඳපොළ තුළ, විශේෂයෙන් සුළු ආයෝජකයන් තුළ තැතිගැන්මක් ඇති විය.

වෙළෙඳපොළේ වූ තත්ත්වය ඊළඟ දිනයේ සිට වෙනත් දිසාවක් කරා යොමු වීම ඇරැඹිණ. මාර්තු 28 වනදා සිට කොටස් වෙළෙඳ පොළ සක්‍රීය වීමට පටන් ගත්තේය. 28 වනදා පිරිවැටුම රුපියල් බිලියන 2.3 ඉක්ම වීය. ඒකක දහයකින් සමස්ථ මිල දර්ශකය ඉහළ ගියේය.

මාර්තු 29 දින මිල දර්ශකය ඒකක 36කින් ඉහළ යෑම නිසා සමස්ත මිල දර්ශකය දර්ශක 6000 යළි ඉක්ම වීය. මෙසේ ක්‍රමයෙන් සක්‍රීය වූ කොළඹ කොටස් වෙළෙඳ පොළ අප්‍රේල් 12 වැනිදා ඒකක 97 කින් ඉහළ යෑම නිසා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6402 ක් දක්වා වර්ධනය විය. මාර්තු 27 සිට අප්‍රේල් 12 දක්වා ව්‍යාපාරික කටයුතු සිදු වූ දින 12 ඇතුළත සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 426 කින් වර්ධනය විය.

කොටස් වෙළෙඳ පොළක කෙටි කාලීන හා දීර්ඝ කාලීන යනුවෙන් ආයෝජකයෝ දෙපිරිසක් වෙති. එසේම වෙළෙඳ පොළ තත්ත්වය, වාර්ෂික වාර්තා, කොටසක ඉපයීම (EPS) ආයතනයක ඉදිරි ක්‍රියාමාර්ග, ව්‍යාපාරික විවිධාංගකරණය ආදිය විමර්ශනය කිරීමෙන් පසු මිලට ගැනීමට සුදුසු කොටසක් මිලදී ගන්නා ආයෝජකයෝ ද, ඒ කිසිත් නොසලකා දුවන්නන් වාලේ දුවන්නන් හෙවත් රැල්ලට ඇදී යන ආයෝජක පිරිසක් ද වෙති.

කොටස් වෙළෙඳ පොළ භාෂාවෙන් හඳුන්වන අන්දමට රැල්ලට දුවන ආයෝජකයෝ තම ආයෝජනයට සුළු ලාභයක් තබාගෙන කොටස් විකුණා දමති. මෙය BUYING AND SELLING යැයි හැඳින්වේ. ඇතැම් විට ඔවුහු එක දිනයකදීම මිලදී ගැන්ම හා විකිණීම කර ලාබය අත්කර ගනිති.

කොටස් වෙළෙඳ පොළ සූදු පිටියකැයි තර්ක කරන්නන් ඉහත කී තත්ත්වයන් යටතේය. අග්නිදිග ආසියාතික රටවල මෙන්ම ඉන්දියානු උප මහද්වීපයේ රටවල ද ආර්ථික හා ව්‍යාපාරික හැඩගැස්මට එම රටවල කොටස් වෙළෙඳපොළ බෙහෙවින් බලපා තිබේ. එහෙයින් එය සූදුවක් නොවේ.

ඇෆ්ගනිස්ථානය (කාබුල්) මාලදිවයින (MSE) හා භූතානය ලොව කුඩාම කොටස් වෙළෙඳ පොළවල්ය. 2015 ඇරැඹි භූතාන වෙළෙඳ පොළ මේ වන විට සමාගම් 15ක් ලියාපදිංචි කර තිබේ.

බංගලාදේශ්හි ඩකා සහ චිතගොං යැයි කොටස් වෙළෙඳ පොළ දෙකකි. පාකිස්ථානය සතුව කරච්චි, ලාහෝර් සහ ඉසලාමාබාද් යනුවෙන් කොටස් වෙළෙඳ පොළ තුනකි. ඉන්දියාව සතුව කොටස් වෙළෙඳ පොළ 13 කි. වියට්නාමය සතු කොටස් වෙළෙඳ පොළ 2 කි. බුරුමයේ කොටස් වෙළෙඳ පොළ දෙකකි. චීනයේ කොටස් වෙළෙඳ පොළවල් තුනකි. එයින් වඩාත්ම දියුණු ෂැංහයි කොටස් වෙළෙඳ පොළ විශාලත්වය අතින් ලොව පස්වන ස්ථානය උසුලයි. එහි මූලධන වත්කම ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 3.5 කි.

මේ සියලු කොටස් වෙළෙඳ පොළවල් දේශීය සහ විදේශීය ආයෝජනයන් ආකර්ෂණය කරගැන්මේලා උත්සුක වෙති. ශ්‍රී ලංකා කොටස් වෙළෙඳ පොළේ ආයෝජන ඉවතට ගෙන යෑම පිළිබඳව මෙයට මාසයකට පමණ පෙර සිට සංවාදයක් ගොඩනැඟිණ. එයට මුල් වූයේ ඇමෙරිකානු සමාගමයක් ඔවුනගේ ආයෝජන ඉවතට ගෙන යෑමයි.

එහෙත් මාර්තු 28 - අප්‍රේල් 12 යන කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළේ විදේශ මිලට ගැනීම් වර්ධනය විය. 12 වැනිදා වෙළෙඳ පොළ තත්ත්වය ගැන විවරණයක් කළ රොයිටර් මූල්‍ය තොරතුරු වාර්තාව පැවසුවේ” ශ්‍රී ලංකාවේ සුපිරි සමාගම්වල කොටස් මිලදී ගැනීමට විදේශීය මිලදී ගන්නන් ආක්‍රමණශීලීව ඉදිරිපත් වූ” බවය. එසේම කොටස් වෙළෙඳ පොළට විදේශීය ගැනුම්කරුවන්ගේ අවධානය යොමුව ඇති අන්දම ද එම වාර්තාව සංඛ්‍යා ලේඛන සහිතව පැහැදිලි කරයි.

රොයිටර් වාර්තා මෙයට පෙර කොළඹ කොටස් වෙළෙඳ පොළ ගැන සඳහන් කරමින් කියා සිටියේ ආයෝජකයන් ඉවසීමෙන් බලා සිටින තත්ත්වයකට පත්ව සිටින බවය. දැන් වෙළෙඳ පොළ සක්‍රීය වීමට ජීඑස්පී සාකච්ඡා හේතුවකැයි වෙළෙඳ පොළ තුළ ආරංචි පැතිරේ.

2015 වසරේදී ද කොටස් වෙළෙඳ පොළෙන් විදේශ ආයෝජන ගලා යාමට හේතු දක්වන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පවසන්නේ දේශපාලනික වෙනස්වීම්, පොලී අනුපාත ඉහළ යෑම්, විනිමය අනුපාත අවප්‍රමාණ වීම හේතුවෙන් ආයෝජක අවිනිශ්චිතතාව සහ නැඟී එන වෙළෙඳ පොළ ආර්ථිකය තුළ වූ විදේශීය ආ‍යෝජනය ආපසු ගලා යෑමේ ප්‍රතිඵලයක් ලෙස බැංකු මූල්‍ය සහ රක්ෂණ විවිධාංගකරණ, හෝටල ගමනාගමන සහ සන්නිවේදන යනාදියේ මිල දර්ශක පහළ ගිය බවයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ මෑතකදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි කොටස් වෙළෙඳ පොළ සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. එසේම ජාත්‍යන්තර මූල්‍ය හා ව්‍යාපාරික අංශයන් සමඟ ද සබඳතා දැඩිකර ගෙන තිබේ. එහෙත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැන්මට දැඩි සටනක නිරත වීමට සිදුව තිබේ. මියන්මාරය, භූතානය සහ බංගලිදේශය මෙන්ම ඉන්දියාව වැනි ආර්ථික බලවතුන් සමඟ ද ආර්ථික සටන් පිටි සූදානම් වෙමින් තිබේ.

2018 ඉන්දියා අයවැය හිඟය පියවා ගැනීම සඳහා ඉන්දියා රජය සතු ව්‍යාපාරික ව්‍යවසායකයන් 7ක ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් වටිනා රාජ්‍ය අයිතිය කොටස් වෙළෙඳ පොළ ඔස්සේ විකුණා දමන බව ඉන්දියාව ගිය සතියේ ප්‍රකාශයට පත් කළාය.

මේ ව්‍යවසායක ආයතන අතර ඉන්ධන, බර නිෂ්පාදන, යකඩ හා වානේ නිෂ්පාදනාගාර ද වේ. 2016 අයවැය මඟින් ද ඉන්දියාව රාජ්‍ය දේපොළ අයිතිය විකිණීමෙන් ඉන්දියා රුපියල් බිලියන 147ක් සපයා ගත්තේය. ශ්‍රී ලංකාව වැනි රටක ආයෝජනයට බලා සිටින ආයෝජකයන් කලාපීය වෙනත් රටවලට ආකර්ෂණය වීම ශ්‍රී ලංකාවට පාඩුවක් වීමට ඉඩ තිබේ. අද කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජන වෙළෙඳපොළක් නොව මාකට් වෙළෙඳ පොළකැයි කියන්නෝ ද වෙති.

කොටස් වෙළෙඳ පොළ කටයුතු වඩාත් කාර්යක්ෂම කරන නව පියවරක් රාශියක් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිතය. කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කිරීම් පිළිබඳ නීති සංශෝධනය කිරීමක් දැන් යෝජනාව තිබේ. ඒ සඳහා මහජන අදහස් විමසීමට ද නියමිතය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.