හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද? | සිළුමිණ

හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද?

පසුගිය සතියේ ලිපියෙන් සඳහන් කළේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන අයෙකුට එය ආරම්භ කළ යුතු ආකාරයත්, ඒ සඳහා බලපාන නීතිමය පසුබිමත්, ව්‍යාපාර කටයුත්ත තෝරාගන්නා ආකාරයත් ය. මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලා‍ෙපාරොත්තුවෙන්නේ එසේ සුළුවෙන් ආරම්භ කළ ව්‍යාපාරය ක්‍රමයෙන් පුළුල් කරන්නේ කෙසේද නැතහොත් හවුල් ව්‍යාපාරයක් බවට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

‘හවුල් ව්‍යාපාර අවුල් ව්‍යාපාර’ ලෙස හඳුන්වන්නේ නියමිත සැලැස්මකින් තොරව හවුල් ගිවිසුමකින් තොරව ආරම්භ කර පවත්වාගෙන යන විට ය.

හවුල් ව්‍යාපාරයක් යනු කුමක්ද? What is Partnership?

හවුල් ව්‍යාපාරයක් යනු තනි පුද්ගලයෙකු විසින් තනිව ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා වෙනුවට පුද්ගලයන් කිහිපදෙනෙකු එකතු වී එම ව්‍යාපාර කටයුත්ත පවත්වාගෙන යාමයි. එහිදී අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනකු සිටිය යුතු අතර උපරිම පුද්ගලයන් 20 දක්වා හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යා හැකි ය. මෙහිදී මතක තබා ගත යුතු විශේෂ කාරණාව වන්නේ පුද්ගලයින් ලෙස හඳුන්වනු ලැබුවේ හවුල් ව්‍යාපාරයේ අයිතිකරුවන් හෙවත් හවුල් කරුවන් සංඛ්‍යාව වන බව ය. එනම් ව්‍යාපාරය සඳහා අරමුදල් (ප්‍රාග්ධනය) සම්පාදනය කරන අයයි. හවුල්කරුවන් සංඛ්‍යාව උපරිම 20 දෙනෙකු වුව ද සේවකයින් ඊට වඩා ප්‍රමාණයක් ව්‍යාපාරයේ සිටිය හැකි ය. ඔවුන් හවුල්කරුවන් නොව වැටුප් ලබන සේවකයින් වේ.

හවුල් ව්‍යාපාරයක ඇති වාසිය වැදගත්කම කුමක්ද?

හවුල් ව්‍යාපාරවල වාසි විශාල ප්‍රමාණයක් තිබේ. බොහෝ අයට ව්‍යාපාර ආරම්භ කිරීමට ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ අවශ්‍ය මුදල් නොමැතිකම ය. කිහිප දෙ‍ෙදනෙකු එකතු වී හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළ විට සියලුම හවුල්කරුවන් එකතු වී අවශ්‍ය අරමුදල් සපයාගත හැකි වේ. එවිට තනි අයකු යොදන අරමුදල් ප්‍රමාණය කිහිපදෙනෙකු අතර බෙදී යන හෙයින් එක් අයකුට විශාල මුදල් ප්‍රමාණයක් යොදන්නට අවශ්‍ය වෙන්නෙ නැත.

හවුල් ව්‍යාපාරවල ඇති අනෙක් වාසිය වන්නේ ව්‍යාපාරික අවධානම බෙදී යාම ය. බොහෝ දෙනා ව්‍යාපාර ආරම්භ කරන්නේ නැත්තේ අවධානම්වලට මුහුණදෙන්නට ඇති බිය නිසා ය. අලාභයක් වුවහොත් එය තනිව දරා‍ගන්න ඇති බිය නිසා ය. නමුත් හවුල් ව්‍යාපාර තුළින් එම අවධානම හා අලාභය හවුල්කරුවන් අතරෙ බෙදී යන හෙයින් එක් අයකුට එයින් විශාල ලෙස බලපෑමක් ඇති නොවේ.

හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමේ අනෙක් වාසිය වන්නේ හවුල්කරුවන් සමඟ සාකච්ඡා කර නිවැරැදි ව්‍යාපාර තීරණ ගැනීමට ඇති හැකියාව ය. තනි පුද්ගලයකු පවත්වාගෙන යන ව්‍යාපාර කටයුත්තක තීරණ ගැනීමේ දී ඔහු විසින් ගනු ලබන තනි තීරණ වඩාත් නිවැරැදි නොවිය හැකිය. එය ව්‍යාපාරයට වඩාත් අවාසිදායක වේ. එහෙත් හවුල් ව්‍යාපාරයකදී එකිනෙකා සමඟ සාකච්ඡා කර වඩාත්ම නිවැරැදි තීරණ ගැනීමට හැකිවේ. ඊට අමතරව විවිධ දක්ෂතා ඇති හවුල්කරුවන් සිටී නම් එම දක්ෂතා ව්‍යාපාරය කෙරෙහි නිතැතින් ම යොදාගත හැකි ය. නිදසුනක් ලෙස ගණකාධිකරණය පිළිබඳ දැනුමක් ඇති හවුල්කරුවකු සිටී නම් ඔහුට ව්‍යාපාරයේ ගිණුම් තැබීමේ කටයුතු භාරදිය හැකි ය.

හවුල් ව්‍යාපාර යනු අවුල් ව්‍යාපාර ද?

ලෝකයේ වඩාත් ජනප්‍රිය හා බහුලවම දැකිය හැකි ව්‍යාපාර ක්‍රමය වන්නේ ‘තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන ව්‍යාපාර’ වේ. එයට හේතුව වන්නේ ඉතාමත් පහසුවෙන් ආරම්භ කළ හැකිවීමත් ඕනෑම අවස්ථාවක වසා දැමිය හැකිවීමත් ය. නමුත් හවුල් ව්‍යාපාර ඒ ආකාරයට පවත්වාගෙන යා නොහැකි ය. බොහෝ අය ‘හවුල් ව්‍යාපාර අවුල් ව්‍යාපාර’ ‍ෙලස හඳුන්වන්නේ නියමිත සැලැස්මකින් තොරව හවුල් ගිවිසුමකින් තොරව ආරම්භ කර පවත්වාගෙන යන විට ය. එහිදී සිදුවන්නේ යම් යම් තීන්දු තීරණවලට එළැඹීමේදී හවුල්කරුවන් අතර මත ගැටුම් ඇතිවීම යි. සියලුම දෙනා සාකච්ඡාකර එක් තීරණයකට එළැඹීමට නොහැකි වූ විට හවුල්කරුවන් අතර මතභේද ඇතිවී හවුල් ව්‍යාපාර අවුල් ව්‍යාපාර බවට පත්වේ. මෙයට හොඳම විසඳුම ‘හවුල්කරුවන් විසින් හවුල් ගිවිසුමකට අනුව’ ව්‍යාපාරය පවත්වාගෙන යාමය. එවිට කිසිසේත්ම හවුල් ව්‍යාපාර අවුල් ව්‍යාපාර බවට පත් නොවේ.

හවුල් ගිවිසුමක් (partnership agreement) යනු කුමක්ද?

හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන ආකාරය සහ අරමුදල් සම්පාදනය කරන ආකාරය ඇතුළු ලාභ අලාභ බෙදා ගන්නා ආකාරය යනාදී හවුල් ව්‍යාපාරය සම්බන්ධ සියලුම කාරණා හවුල් කරුවන් සියලුම දෙනා සාකච්ඡා කර ලිඛිත හෝ වාචික සම්මුතියකට එළැඹිය යුතු ය. එය හවුල් ගිවිසුමක් වේ. මෙහිදී වඩාත් යෝග්‍ය වන්නේ ලිඛිත ගිවිසුමකට එළැඹීමයි. එනම් හවුල් ව්‍යාපාරයට අදාළ සියලුම කොන්දේසි ලියවිල්ලක ඇතුළත් කර සියලුම දෙනා සිය අත්සන් යොදා එය තහවුරු කිරීම වේ. මෙය ‘හවුල් ඔප්පුව’ (partnership deed) ලෙස හඳුන්වයි. එසේ ලිඛිත ගිවිසුමකට එළැඹීමෙහි ඇති වාසිය වන්නේ කිසිම හවුල්කරුවකුට එකඟ වූ කොන්දේසිවලට පරිබාහිරව තීරණ ගැනීමට හෝ කටයුතු කිරීමට නොහැකිවීමයි. වාචිකව ඇති කරගන්නා ගිවිසුම් ඕනම අවස්ථාවක වෙනස් කළ හැකි නිසා එය වඩාත් ප්‍රායෝගික තත්ත්වයක් නොවේ.

හවුල් ගිවිසුමක් පවත්වාගෙන නොයන්නේ නම් හවුල් කරුවන්ට 1890 හවුල් ආඥා පනතට අනුව කටයුතු කිරීමට සිදුවේ. එහි සඳහන් කරුණු කිහිපයක් පහත පරිදි ගොනුකර දැක්විය හැකි ය. මේ තොරතුරු සඳහන් වන්නේ එම හවුල් ආඥා පනතේ 24 වැනි වගන්තිය යටතේ ය.

* සියලුම හවුල්කරුවන් සම සමව අරමුදල් ව්‍යාපාරයට යෙදිය යුතු ය. ලාභ අලාභ හවුල්කරුවන් සම සමව බෙදාගත යුතු ය. කිසිම හවුල්කරුවකුට ව්‍යාපාරයෙන් වේතන, කොමිස් ආදිය ලබාගත නොහැකි වේ.

* කිසිම හවුල්කරුවකුට තමා යෙදූ අරමුදල් වෙනුවෙන් ‘පොලී මුදලක්’ ලෙස හවුල් ව්‍යාපාරයෙන් ඉවත් කර ගත නොහැකි ය.

* නව හවුල්කරුවකු බඳවා ගැනීමේදී සියලුම හවුල්කරුවන්ගේ එකඟතාවය මත පමණක් බඳවා ගැනීම සිදු කළ යුතු ය.

* සෑම හවුල්කරුවකුම කළමනාකරණ කටයුතුවලට දායක විය යුතු ය. හවුල් ව්‍යාපාරය සම්බන්ධ පොත්පත්, ලිපි ලේඛන සියලුම හවුල්කරුවන්ට පරීක්ෂා කිරීමට හැකිවන ආකාරයට සුදුසු ස්ථානයක තැබිය යුතු ය.

* ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවකු මුදලක් ව්‍යාපාරයට යෙදුවහොත් එයට වාර්ෂිකව යනාදී වශයෙන් තවත් කරුණු රාශියක් එම වගන්තියේ සඳහන් වේ. නමුත් 5% පොළියක් ව්‍යාපාරය විසින් එම හවුල්කරුට ගෙවිය යුතු ය යනාදී වශයෙන් ඉතා වැදගත් කාරණා විශාල ප්‍රමාණයක් එහි ඇතුළත්වේ.

මා මෙහිදී එම කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාදීම සඳහා ය. නමුත් හවුල් ව්‍යාපාරයක් ඔබ විසින් ආරම්භ කරන්නේ නම් ඉහත සඳහන් කොන්දේසිවලට පටහැනිව හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට ද ඔබට හැකියාවක් ඇත. එනම් ව්‍යාපාරය ආරම්භ කරනු ලබන හවුල්කරුවන් විසින් ම සාකච්ඡා කර එකඟ වූ තීරණ ඇතුළත් කරමින් පිළියෙල කරන ලද ‘හවුල් ගිවිසුම’ කට අනුව හවුල්කරුවන්ට ව්‍යාපාරය පවත්වාගෙන යාමට සම්පූර්ණ නිදහස හවුල් ආඥාපනත මඟින් ලබාදේ. එවිට ප්‍රාග්ධනය (අරමුදල්) සම සමව යෙදීම, ලාභ අලාභ සම සමව විඳ දරා ගැනීම වැනි කොන්දේසි හවුල් ගිවිසුම මඟින් වෙනස් කිරීමට හවුල් කරුවන්ට පූර්ණ නිදහස ඇත.

හවුල් ගිවිසුම පිළියෙල කරන ආකාරය හා හවුල් ව්‍යාපාරය ලියාපදිංචි කරන ආකාරය පිළිබඳ විස්තර ඊළඟ ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.