අඛණ්ඩව සිවුවරක් නොවැරදුණු හෂිනිගේ තුන් පිම්ම...

දිය බිඳක පහස කාලයකින් නොලද වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ කේඩෑරි වී ගිය මහා පොළොවේ තණපත් වියැළි ගොස්ය. නීල හරිත තණපත් වෙනුවට දකින දකින මානයේ නෙතු ගැටෙන්නේ දුහුවිල්ලෙන් පිරී ගිය බොල් පොළොවය.

 කාලයකින් තබා මෙකී ක්‍රීඩාංගණය ඉදි කළාට ම පසුව හෝ අලුත්වැඩියාවක් නොකළ තරම්ය. එහෙත් මෙකී මහා පොළොව ඇගේ දෙපාවල රිද්මයෙන් ඔදවත්ව තෙදවත්ව, ඇගේ ගමනට ආශිර්වාදයක් වන්නට පෙරුම් පුරන්නා සේය. ඇගේ දෙපාවල පහස මෙකී මහා පොළොව දෛනිකවම බලා සිටින්නා සේ ය.

ක්‍රීඩාංගණය හරහා ඉඳහිට හමා යන්නා වූ සිහින් වියැළි සුළං රොද දුහුවිලි අවුස්සමින් ඇගේ ගමනට විඩාවක් එක් කළද, ඇගේ දෙපාවලට එකී දූවිලි යටපත් වන්නේ තණ අග රැඳි පිනිබිඳු මෙන්ය. ගඟක් කුමන බාධක හමුවේ වුවද, සියලු බාධක මැඩගෙන ගලා යන්නා සේ හෂිනි ප්‍රබෝධා ද සියලු බාධක දුක් දොම්නස් සතුටු කඳුළු බවට පෙරළා ගන්නට ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ වියළී ගිය කර්කශ පොළොවේ රොද බඳින්නීය.

ඒ පනස් පස්වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියයි. දියවී ගිය දියගම ක්‍රීඩාංගණයේ වයස අවුරුදු විස්සෙන් පහළ බාලිකා තුන් පිම්ම ඉසව්වේ සිය පළමු උත්සාහය මීටර් 13.20 ක දුරක් සටහන් කර ගැනීමට සමත් වූවාය. මෙකී මීටර් 13.20 යනු එතෙක් එකී වයස් කාණ්ඩයේ විදුෂා ලක්ෂානි සතුව තිබූ මීටර් 13.12 ක වාර්තාව අභිබවා යාමකි.

ඇත්තටම ගොඩක් සතුටුයි ඒ දුරට මට යන්න පුළුවන් වෙච්ච එක ගැන.

හෂිනි සිය අවසන් තරගයේ දක්ෂතා ගැන සිහිපත් කරන්නීය. සැබැවින් එකී දුර පනස්පස්වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ද හෂිනි බොහෝදුර රැගෙන යාවි යැයි ඇයවත් නොසිතන්නට ඇත. මීටර් 13.20 ක දුරට එක් අතකට වයස අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාවට හිමිවන දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්ලිව්. විමලදාස අභියෝග කුසලානය හිමිවන විට අනෙක් අත බරවූයේ මෙකී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමිවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් අභියෝග කුසලානයෙනි.

ගිය අවුරුද්දෙත් මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වුණා. ඊට කලින්, යෞවන සමාජ තරගාවලියේ සහ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වුණා.

මේ සියල්ල අභියස එළැඹෙන අපොස උසස් පෙළ විභාගය කෙරෙහි ද හෂිනි වඩාත් අවධානය යොමු කරන්නීය.

දැන් සම්පූර්ණයෙන්ම උසස් පෙළ විභාගය ගැන අවධානය යොමු කරලා තියෙන්නේ. හැබැයි සර් කියපු විදියට මම හැමදේම කළා. ඒ නිසා තමයි මට අඛණ්ඩව මගේ දක්ෂතා වර්ධනය කර ගන්න පුළුවන් වුණේ වගේම රැකිලා ඉන්නත් පුළුවන් වුණේ.

හැබැයි ක්‍රීඩාව ගැන මීට වඩා අවධානයක් යොමු කළා නම්, තව ඉදිරියට යන්න තිබ්බා කියලා හිතනවා.

හෂිනි සියලු දේ එක මිටකට හරි අතකට ගොනු කර ගන්නට එසේ වෙරදරයි.

හ්ම්... මම මේ දේ වෙනුවෙන් උපරිමයෙන් කැප වෙනවා - වෙහෙසෙනවා. ඒ නිසා මට මගේ රිද්මය ජයග්‍රාහීව තියා ගන්න පුළුවන් කියලා හිතනවා.

ක්‍රීඩාව කියන්නේ හිතට ශක්තියක් එකතු කරන දෙයක්. පුහුණුවීම් කරලා ගෙදර යනකොට හුඟක් මහන්සියි. උදේ පාන්දර පාඩම් කරනවා. උදේ හතරට දවස පටන් ගන්නේ. රෑ නවය දහය වෙනකොට නිදා ගන්නවා.

අපොස උසස් පෙළ විභාගය ජීවිතයේ තීරණාත්මක කඩඉමකි. එහෙත් හෂිනි සැහැල්ලුවෙන් එකී කඩඉම ජය ගන්නට වෙර දරයි.

විභාගය මේ ගමනට බාධාවක් කියලා හිතන්නේ නෑ. කොහොමත් මාසයකින් විතර පුහුණුවීම් නවත්තලා සම්පූර්ණයෙන්ම විභාගයට ලෑස්ති වෙනවා.

ලුනුවිල අනුරුද්ධ මැදි විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. මුලින්ම ආසාවට වගේ නෙට්බෝල් ක්‍රීඩා කරන්න ගියා.

හෂිනි ක්‍රීඩාවේ අයන්න - ආයන්න කියූ එකී යටගියාව දිගහැර ගැනීමට වෙහෙසෙයි.

අනුරුද්ධ මැදි මහා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණු ගුරුවරිය ලෙස නිමාලි කටයුතු කරන විට, ජනත් කාංචන තමාට හැකි අයුරින් තම විදුපියසේ ක්‍රීඩාව තිබෙන අඩියෙන් තව පියවරක් හෝ ඉදිරියට ගැනීමට වෙහෙසුනේය. විද්‍යාලයේ බාලකයන් හැකි අයුරින් දුවන්නට - පනින්නට යොමුවන විට, බාලිකාවෝ ක්‍රීඩාව ගැන ද එතරම් උනන්දුවක් නොදැක්වූහ. ඒ අතර සුපුනී වෙනස් මඟක් ගත්තාය. සුපුනිගේ හොඳම මිතුරිය, එකම උස මහත හෂිනි, සුපුනි සමඟ හැල්මේ දිවයන අයුරු ජනත් කාංචනට නව දැක්මකට මඟ හෙළි කළේය. අනුරුද්ධ මැදි මහා විද්‍යාලයට ප්‍රාථමික පත්විමක් සමඟ පැමිණෙන ජනත්ගේ විෂය භූගෝල විද්‍යාව වුවද, පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ හෙතෙම දක්ෂ ක්‍රීඩකයකුගේ භූමිකාවට ද උරුමකම් කීවේය. එමෙන්ම මේ වන විට ජාතික බැඩ්මින්ටන් දෙවන පෙළ පුහුණුකරුවකු ලෙසද කටයුතු කරයි.

මම එහෙම දුවනවා දැකලා තමයි ජනත් සර් කතා කළේ. මීටර් 100 - 200 උස පැනීම වගේ ඉසව්වලට තමයි මුලින්ම යොමු වුණේ.

ජනත්ගේ දැක්ම දිගුය. හංසයා දියෙන් කිරි වෙන්කරවා ගැනීමට කොතරම් දක්ෂද, ශූරද, ඒ ආකාරයෙන්ම ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවට සුදුසු ඉසව්වක් තෝරා දෙන්නට ද ජනත් කාංචන ක්‍රීඩා දැනුමින් පොහොසත්ය.

හෂිනි සිය හොඳම මිතුරිය වූ සුපුනි ඉදිරියේ වුවද පරාද වෙන්නට මැළිකමක් දැක්වූවාය. මේ බව කල්යන්නට මත්තෙන්ම තේරුම් ගන්නා ජනත්, තමාද බෙහෙවින් ප්‍රිය කළ තුන් පිම්ම ඉසව්ව හෂිනිට යෝජනා කර තිබෙන්නේ, දෙදෙනාම ඉසව් දෙකකින් ඉදිරියට ගැනීමට හැකියාව තේරුම් ගෙනය.

කොට්ඨාශ ජයග්‍රහණයක්වත් නැතුව තමයි 2013 දී ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ වාර්තාවකුත් එක්ක දිනුවේ.

හෂිනිගේ ක්‍රීඩා දිවි මගෙහි හැරවුම් ලක්ෂය වූයේ එකී ජයග්‍රහණයයි.

මට පුළුවන් කියලා හිතුණේ එතැනින්. මට ආපහු හැරෙන්න වුවමනාවක් තිබ්බේ නෑ. මට ඊට පස්සේ තිබ්බේ මේ වෙනුවෙන් හුඟක් මහන්සිවෙන්න. හුඟක් කැප වෙන්න.

එහි ප්‍රතිඵලද ඉතාමත් කෙටි කාලයකින් නෙලා ගන්නට හෂිනි සමත් වූවාය. අපොස සාමාන්‍ය පෙල කඩඉම ජය ගන්නා හෂිනි උසස් පෙළ හැදෑරීම සඳහා වෙන්නප්පුව ශුද්ධවු පවුලේ කන්‍යාරාමයට පිවිසෙන්නේ අනතුරුවය. එහිදී හෂිනිට ලාංකේය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට මාහැඟි සේවයක් සලසන පිලිප් රංජිත්ගේ සෙවනේ සිය ක්‍රීඩා දිවියේ හෙට දවස සැලසුම් කරගැනීමට මඟහසර පෑදෙයි.

පිලිප් සර් හම්බවුණේ 2015 දී. පිලිප් සර් තමයි අපේ ඉස්කෝලේ පුහුණුකරු විදියට කටයුතු කරන්නේ. ජනත් සර්ට ඉස්කෝලේ වැඩත් එක්ක මං වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැති වෙනවා.

සෑම විටෙකම සෑම තරගයකදි තමාට තරගයක් හෝ ප්‍රතිවාදියෙක් නැතැයි හෂිනි නොසිතයි.

මේ වයස් කාණ්ඩයේ මට තරගයක් නැත්තෙමත් නෑ. තරගයක් තියෙනවා. ඒ නිසයි මගේ දේ මම උපරිමයෙන්ම කරන්නේ. මට වඩා කවුරුවත් පහළින් ඉන්නවා කියලා හිතන්නේ නෑ.

තරගවලට ගිහින් බය වෙච්ච අවස්ථා ඕනා තරම් තියෙනවා. ඒත් පිලිප් සර් හැම වෙලාවෙම මගේ හිත හැදෙන්න මොනවා හරි කියනවා. මොන තරම් බාධක තිබ්බත් සර් කියන්නේ දැන් ඒවා අමතක කරලා තරගය ගැන විතරක් හිතන්න කියලයි.

මමත් දැන් මේවට හුරු වෙලා ඉන්නේ. දැන් මොන බාධක ආවත් ඒවට මුහුණ දෙන්න තරම් හොඳ ආත්ම විශ්වාසයක් ශක්තියක් මගේ ළග තියෙනවා.

ගෙවී ගිය වසරේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී සහ වියට්නාමයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී හෂිනිගේ ගෙළ රනින්, රිදියෙන් හෝ ලෝකඩ පදක්කමකින් නොසැරසුණ ද එහිදී ඒකරාශි කරගත් අත්දැකීම් තම ඉදිරි ක්‍රීඩා දිවියට මහඟු පිටිවහලක් බවද පවසයි.

දකුණු ආසියානු තරගාවලියට අපේ රටෙන් ගිය ලාබාලම ක්‍රීඩිකාව මම. තුන් පිම්ම රන් පදක්කම ගත්ත ඉන්දීය ක්‍රීඩිකාවට අවුරුදු විසි හයයි.

මට එතකොට අවුරුදු දහසයයි.

මම හිතුවේ මට තව කල් තියෙනවා. ගොඩක් දුර යන්න පුළුවන් කියලා විතරයි.

රට වටේ ක්‍රීඩාංගණ සෑදීමට බලධාරින් ගන්නා උත්සාහයෙන් සීයෙන් පංගුවක්වත් පවතින ක්‍රීඩාංගණයක් හරිහැටි නඩත්තු කිරීමට නොහැකිවීමේ පලවිපාකයන්ට වන්දි ගෙවීමට සිදුව ඇත්තේද හෂිනිට පමණක් නොවන බවට සාධක සෙවීමට වෙහෙසවිය යුතු නොවේ.

හරියට ග්‍රවුන්ඩ් එකක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නය. මම මේ වෙනකොට ඇල්බට් එෆ්. පීරිස් එකේම දෙපාරක්ම ආබාධවලට ලක්වුණා. 2014 දී මාසයක් කකුලට වෙදකම් කළා. 2015 දී මාස තුනක් වෙදකම් කළා.

මේවා බිහිරි අලින්ට වීණා වැයීමක් නොවිය යුතුය. ක්‍රීඩා අමාත්‍යවරයා 2020 සහ 2024 ක්‍රීඩා තරගාවලි පිළිබඳ බලාපොරොත්තු තබාගෙන ඊට ලක ලෑස්තිවෙන කාලවකවානුවක හෂිනිට හෝ ඇගේ පුහුණුකරුවාට මේ සඳහා තනි තනිව යා හැකි වටපිටාවක් මෙරට නොමැති තත්ත්වයක් තුළ සවිමත් අත්වැලක් ඇවැසිය. හෂිනිට ඇගේ ක්‍රීඩා දිවියේ ලැබිය යුතු දේ මෙපමණකැයි ලඝු විය හැකි තැනක් නොපෙනේ.

හෂිනිව වඩාත් සුරැකිව හෙට දවසකට රැගෙන යා යුතුය. ඒ සඳහා හෙට දවස සවිශක්තිමත් කිරීම බලධාරීන් සතු යුතුකමක් වන්නේ හෂිනි වෙනුවෙන් නොව, ඇගේ හැකියාව, දක්ෂතාව වෙනුවෙනි. මෙකී ප්‍රතිඵල හෂිනිට පමණක් ලඝු නොවන අතර, ඒ ඉදිරියේ බැබලෙන්නේ ශ්‍රී ලංකා නාමය බවද අමතක නොකළ යුතුය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.