ජැක් මෑන් ඊළඟ සටනට සැරසෙයි | සිළුමිණ

ජැක් මෑන් ඊළඟ සටනට සැරසෙයි

 ප්‍රශාන්ත ඇල්පිටිය

පිලිපීන ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම සහ ජනප්‍රියතම ක්‍රීඩා තරුව වනුයේ බොක්සිං ශූරයකු වන මැනී පැකුවායෝය. මේ වන විට 38 හැවිරිදි වූවත් හෙතෙම නිතරම පුවත් මවන්නේය. පසුගියදා ඔහු තවත් පුවතකට දායක වූයේය. ඒ තම ඊළඟ තරගය (සටන) පිළිබඳ තොරතුරු තහවුරු කරමිනි.

මේ අනුව 'පැක් මෑන්' නමින් ප්‍රකට මැනී මෙම වසරේ ජූලි මස දෙවැනිදා කැන්ගරු දේශය හෙවත් ඔස්ට්‍රේලියාවේ දී තරග වැදීමට නියමිතය. ඒ ලෝක බොක්සිං සංවිධානයේ වෙල්ටර්වේට් ශූරතාව සඳහාය. එහි වත්මන් හිමිකරුවා වන්නේ ද මැනීමය.

මෙම තරගය බ්‍රිස්බේන් නුවර සන්කෝර්ප් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී මැනීගේ ප්‍රතිවාදියා වනුයේ ඔස්ට්‍රේලියාවේ ජෙෆ් හෝර්න්ය. 29 හැවිරිදි හෝර්න් තවමත් අපරාජිත එහෙත් අප්‍රකට ක්‍රීඩකයෙකි. දෙබරා නමින් ප්‍රකට හෝර්න් අඩි 5 අඟල් 9 ක් උසැතිය. දැනට ඔහු වෘත්තීයමය තරග 17 කට සහභාගි වී තිබේ. එහිදී ජයග්‍රහණ 16 කි. මීට ප්‍රතිවාදියාව බිම හෙළමින් ලැබූ නොක්අවුට් ජයග්‍රහණ 16 කි. ජය පැරදුමක් නැති තරගයකි.

අඩි 5 අඟල් 5 හමාරක් උසැති මැනී මෙහිදී තරග කරනු ලබන්නේ සිය 68 වැනි තරගයටයි. දැනට ඔහු වෘත්තීයමය තරග 59 ක් ජය ගෙන තිබේ. පරාජයන් හයකි. නොක්අවුට් ජය 38 කි. ජය පරාජ නැති දෙකකි. ඔහුගේ ආධුනික දස්කම්ද ඉහළ මට්ටමක පවතියි. ඒ ජයග්‍රහණ 60 කි. පරාජ සතරකි.

හෝර්න්ගේ අප්‍රකට බවට හොඳම නිදසුන මැනීගෙන්ම ලබාදිය හැකිය. මෙම තරගය පිළිබඳ පැවැති අදාළ මාධ්‍ය හමුවේදී ප්‍රතිවාදියා ගැන මැනීගෙන් විමසීය. "ඇත්තම කියනවානම් මම දන්නේ නැහැ ජෙෆ් හෝර්න් කවුද කියලා."

කෙසේ වෙතත් බොහෝ බොක්සිං ක්‍රීඩාලෝලීන් මෙන්ම සමස්ත බොක්සිං ප්‍රජාවද බලාපොරොත්තු වූ තරගය මෙය නොවේ. ඔවුන්ට අවශ්‍ය වූයේ මැනී සහ බ්‍රිතාන්‍යයේ අමිර් ඛාන් අතර තරගයකි. 30 හැවිරිදි අමීර් අඩි 5 අඟල් 8 හමාරක් උසැතිය. හෙතෙම 2004 ග්‍රීසියේ ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ ලයිට්වේට් රිදී පදක්කම්ලාභියෙකි. දැනට වෘත්තීයමය තරග 35 කදී ජයග්‍රහණ 31 කි. ඊට නොක්අවුට් ජය 19 කි. පරාජ සතරකි. ඔහු 2009 - 12 අතර ලෝක බොක්සිං සංගමයේ ලයිට්වෙල්ටර්වේට් ලෝක ශූරයාය. එමෙන්ම 2011 වසරේ අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ ලයිට්වෙල්ටර්වේට් ලෝක ශූරයාය.

අමීර් අවසන් වරට තරග වැදුණේ ගිය වසරේ මැයි මාසයේදීය. එහෙත් එහිදී ඔහුට නොක්අවුට් පරාජයකට ලක්වීමට සිදුවූයේය. ඒ මෙක්සිකෝවේ කැනෙලෝ ඇල්වාරෙස් හමුවේය. මෙම වසරේ පෙබරවාරි මාසයේදී මැනී සහ අමීර් ඛාන් අතර තරගයකට දෙපාර්ශවය එකඟ වූ බවට වාර්තා විය. නමුත් මාර්තු මාසයේදී එම තරගය අවලංගු විය. මැනී සහ හෝර්න් අතර තරගය තහවුරු වූයේ ඉන් අනතුරුවය.

මැනී අවසන් වරට තරග කළේ ගිය වසරේ නොවැම්බර් මාසයේදීය. එහිදී අමෙරිකාවේ ජෙසී වර්ගාස් පරාජය කරමින් ලෝක බොක්සිං සංවිධානයේ වෙල්ටර්වේට් කිරුළ රැක ගැනීමට මැනී සමත් වූයේය.

මැනී පැකුවායෝ යනු ආසියාවෙන් බිහි වූ විශිෂ්ටතම බොක්සිං ශූරයා ලෙසටත් සළකනු ලබයි. එමෙන්ම විශිෂ්ටතම ලෝක බොක්සිං ශූරයන් අතරටත් අනිවාර්යයෙන් එක්වෙයි. ඔහු සතුව කිසිදා බිඳ හෙළිය නොහැකි ලෝක වාර්තාවකුත් ඇත. එනම් විවිධ බර පංතින් අටකින් ලෝක ශූරතා හිමිකර ගත් ලොව ප්‍රථම සහ එකම බොක්සිං ශූරයා වීමයි.

බොක්සිං ක්‍රීඩා ඉතිහාසයේ ඉතා ප්‍රකටම තරගයකටත් මැනී සම්බන්ධය. එය 2015 වසරේ මැයි මාසයේ දී පැවැත්විය. එහිදී මැනී සමඟ තරග කළේ අමෙරිකාවේ ෆ්ලොයිඩ් මේවෙදර් කණිෂ්ටය. එම සුවිශේෂී තරගය ලකුණු අනුව ජය ගත්තේ අඩි 5 අඟල් 8 ක් උසැති මේවෙදර්ය. ඒ සමඟම ලෝක බොක්සිං සංවිධානයේ වෙල්ටර්වේට්, ලෝක බොක්සිං සංගමයේ සුපර් සහ ලෝක බොක්සිං සභාවේ වෙල්ටර්වේට් ශූරතා ද මැනීට අහිමි විය. ඉන් පසුව ඔහු කෙටි කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටියේය.

එවිට මෙම තරගය හැඳින්වූයේ සියවසේ සටන ලෙසටයි. මෙම තරගය නිසාම මැනීට සහ මේවෙදර්ට අතිවිශාල මුදලක් හිමි විය. තරගයෙන් පමණක්ම ඉපයූ ආදායම අමෙරිකන් ඩොලර් මිලියන 300 - 400 අතර විය. එමෙන්ම 2015 වසරේ වැඩිම ආදායමක් ඉපයූ ක්‍රීඩකයන් අතර මුල් ස්ථානයන්ට පත්වීමටත් ඔවුන්ට එය ඉවහල් විය. එහිදී මේවෙදර්ට මුල් තැනය. ඔහුගේ ආදායම අමෙරිකන් ඩොලර් මිලියන 300 කි. දෙවන තැනට පත් වූයේ මැනීය. ඔහුගේ ආදායම මිලියන 160 කි.

මේ අතර තවමත් මෙම සුපිරි තරු යුගලයේ ජනප්‍රියතාව අඩු වී නැත. 2016 වසරේ ලොව වැඩිම ආදායමක් ඉපයූ ක්‍රීඩකයන් සියය අතරටත් ඔවුන් අයත්ය. මේ වන විට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටින මේවෙදර් ලොව ධනවත්ම ක්‍රීඩා තරු අතර 16 වන තැන සිටියි. ඔහුගේ ආදායම මිලියන 44 කි. මේ අතර මැනීට 63 වන තැන හිමිය. ඔහුගේ ආදායම මිලියන 24 කි.

1978 වසරේ දෙසැම්බර් මස 17 වැනිදා උපත ලැබූ එමැනුවෙල් මැනී දාපිද්රාන් පැකුවායෝ ගේ ජීවිතය බොහෝ දෙනකු විසින් ආදර්ශයට ගත යුතුව තිබේ. හෙතෙම ඉතා දුප්පත් පවුලක සාමාජිකයෙකි. නමුත් සිය හැකියාවත් දිරියත් නිසාම ජීවිතය ජය ගත්තේය. මේ වන විට ඔහු ව්‍යාපාරිකයකු, නළුවකු, සංගීත පටිගත කරන්නකු, පැසිපන්දු ක්‍රීඩකයකු සහ දේශපාලනඥයකු ලෙසටත් ප්‍රකටය. එමෙන්ම ඔහු සමාජ සේවා රැසකම නිරත වෙයි. ක්‍රීඩාවටත් පොදුවේ සමාජයටත් සිදුකළ සේවයත් වෙනුවෙන් පිලිපීනයේ සවුත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලය විසින් මැනීට ගරු උපාධියකුත් පිරිනමා තිබේ.

මැනී 2000 වසරේදී විවාහ වූයේ ජින්කී ජාමෝරා සමඟිනි. මේ වන විට ඇය 38 හැවිරිදිය. ඇය කලක් (2013 - 16) පිලිපීනයේ දෙවැනි විශාලතම දූපත වන මින්දනාවෝ හි සාරාන්ගානි පළාතේ උප ආණ්ඩුකාරවරියයි. මේ යුවළට දූ දරුවන්ම පස් දෙනෙකි. මේ අතර මැනී මේ වන විට සෙනෙට් සභිකයකු ලෙසටත් කටයුතු කිරීම විශේෂත්වයකි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.