ගලහ හන්දිය

 පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නැගෙනහිර කලාපයේ රටවල කළ විදේශ සංචාරයේ දී වියට්නාම් සමාජවාදී ජනරජයේ ඇරියුමක් පරිදි එම රටට ද ගොස් ආර්ථික සබදතා කිහිපයකටම මුල පිරුවේය. පළමුව ජපානයට ගිය අගමැතිවරයා දෙවනුව වියට්නාමයට ගියේ ආර්ථික විෂය සම්බන්ධයෙන් එම රටවල් දෙකම එක ලෙස වැදගත් වන නිසා විය යුතුය. ඒ දිනවල වාමාංශික නැඹුරුවක් සහිත යැයි සිතිය හැකි තරුණයකු තම මුහුණු පොතෙහි සටහනක් තබමින් පවසා තිබුණේ ධනපති රනිල්ට සමාජවාදී වියට්නාමයෙන් හිඟා කන්නට සිදුවී තිබෙන බවය.

ආර්ථික මාදිලිදෙකක කටයුතු කරන රටවල් අතර ආර්ථික සහයෝගීතාව අතිශය වැදගත් කරුණකි. ඒ අනුව ධනපති රටක් සමාජවාදී රටකින් ආර්ථික සහාය ලබා ගැනීම සමාජවාදී රටේ ආඩම්බරයට හේතුවක් විය හැකිය. ගෝලීයව ප්‍රාග්ධනය සංසරණය වෙමින් ධනපති ආර්ථික මාදිලිය ලොව පුරා ආධිපත්‍ය දරන කාලයක ධනපති රටක් සමාජවාදී රටකින් ආර්ථික සහාය පැතීම ඇත්තෙන්ම සලකා බැලිය යුතු කරුණකි. නමුත් ප්‍රශ්නය වන්නේ වියට්නාම් සමාජවාදී ජනරජය තවදුරටත් සමාජවාදී ආර්ථික මාදිලිය තුළ කටයුතු කරන රාජ්‍යයක් නොවීමයි.

වියට්නාම් සමාජවාදී ජනරජය යනු දැනට ලෝකයේ ඉතිරිව ඇති සමාජවාදී යැයි තමුන්ම හදුන්වා දෙන රටවල් හතරෙන් එකකි. කියුබාව, මහජන චීනය හා ලාඕසය සමඟ එකපෙළට හිට ගන්නා වියට්නාම් සමාජවාදී ජනරජය තුළ ද ඇත්තේ එක පක්ෂයක් පමණි. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂගේ හයවැනි ජාතික සමුළුව 1986 දී පවත්වමින් සමාජවාදයට නැඹුරු වූ වෙළෙඳ ආර්ථික ප්‍රතිසංස්කරණයන් හදුන්වා දුනි. ඒ අනුව කර්මාන්ත, වාණිජ්‍ය හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි පෞද්ගලික ව්‍යවසාය දිරි ගන්වන ලදි.

නිෂ්පාදනය, තොරතුරු තාක්ෂණය හා අධි තාක්ෂණ කර්මාන්ත ජාතික ආර්ථිකයේ විශාල හා වේගවත්ම වර්ධනය වන ක්ෂේත්‍රයන් බවට පත්ව තිබේ. වියට්නාමය බොර තෙල් නිෂ්පාදනයේ ආධුනිකයකු වුවද ගිනිකොන දිග ආසියාවේ තුන්වන විශාලම බොර තෙල් නිෂ්පාදකයා වන්නේ වියට්නාමයයි.1990 හා 1997 යන කාල වකවානු තුළ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 8%ක මට්ටමක තබා ගැනීමට ඔවුහු සමත්වුණි. එසේම 2000 වර්ෂයේ සිට 2005 දක්වා ආර්ථිකය වාර්ෂිකව 7%ක වර්ධන මට්ටමක තබා ගැනීමට ද වියට්නාම් රජය සමත් විය. එය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් විය. වර්ධන වේගය 6.8%ක මට්ටමක තබා ගනිමින් 2010 උදා වූ ලෝක ආර්ථික පසුබෑම හමුවේත් ශක්තිමත් ආර්ථිකයක් ස්ථාවරව තබා ගැනීමට හැකිවීම සතුටට කරුණකි.

වර්ෂ 2000 මුල් අවධියේ සිට එරට ආර්ථිකය ලිබරල්කරණය කිරීම ආරම්භ වූ අතර 2007 දී ලෝක වෙළෙද සංවිධානයේ සමාජිකයකු බවට වියට්නාමය පත්වුණි. ආසියාවේ විවෘත ආර්ථිකය ඇති රටවලින් ප්‍රමුඛ රටක් වන වියට්නාමයේ ප්‍රධාන පෙළේ වෙළෙද හවුල්කරුවන් වන්නේ මහජන චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, බටහිර යුරෝපීය රටවල් හා ආසියානු සංවිධානයට අයත් රටවල් ය. වියට්නාමයේ ප්‍රධාන ආනයනකරු වන්නේ එක්සත් ජනපදය වන අතර සැපයුම්කරු වන්නේ මහජන චීනයයි.

ඉඩම් ප්‍රතිසංස්කරණය සඳහා ගත්තා වූ පියවරයන් කිහිපයකට පසුව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රධාන සැපයුම්කරුවකු බවට වියට්නාමය පත්වුණි. ලෝක අවශ්‍යතාවයෙන් 1/3ක සැපයුම්කරුවකු වෙමින් ලොව විශාලතම කජු නිෂ්පාදකයා බවට පත්ව තිබෙන්නේ වියට්නාමයයි. එසේම ලෝක වෙළෙදපළ අවශ්‍යතාවෙන් 1/3ක සැපයුම්කරු වෙමින් විශාලතම ගම්මිරිස් නිෂ්පාදකයා බවට ද දෙවැනි විශාලතම සහල් නිෂ්පාදකයා බවට ද වියට්නාමය පත්ව තිබේ. එසේම ලොව දෙවැනි විශාලතම කෝපි අපනයනකරු වන්නේ ද එරටයි.

මේ අතර යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කරමින් තීරු ගාස්තු අවම තත්ත්වයක් යටතේ භාණ්ඩ අපනයනය කිරීම සඳහා නිදහස් වෙළෙද ගිවිසුමක අවශ්‍යතාව වියට්නාම් සමාජවාදී ජනරජය තේරුම් ගෙන සිටී. එසේම ෆැසිපික් කලාපයේ රටවල් 12ක එකගතාවකින් යුක්තව 2016 එළඹි සුවිශාල වෙළෙද සහයෝගීතාවට ද වියට්නාමය එකගව සිටි අතර එය ඔවුනට විශාල ප්‍රතිලාභයක් ලබාදෙන වෙළෙද ගිවිසුමක් බවට පත්ව තිබුණි. එහෙත් එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ එම එකගතාවෙන් ඉවත්වීමත් සමඟ එම ආර්ථික හවුල්කාරීත්වය අර්බූදයකට ගොස් තිබේ.

ප්‍රාග්ධනයේ නිදහස් ගලායෑමට බාධා නොකිරීමෙන් ධනේශ්වර සංවර්ධනය තුළ සාර්ව ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමට වියට්නාමය සමත් වුවද ක්ෂුද්‍ර ආර්ථික හැසිරීම්වල දී කනගාටුදායක තත්ත්වයන්ට මුහුණදීමට ඔවුන්ට සිදුව තිබේ. මිල උද්ධමනය හා මුදල් ඒකකය අවප්‍රමාණ වීම නිසා සමාජයේ ආන්තික කොටස්වලට මුහුණ දීමට සිදුවූ අපහසුතාව බොහෝය. එහෙත් දුප්පත්කම දිනකට ඩොලරයක් ඉපයීමේ නිර්ණායකය මත පිහිටා අර්ථ දක්වමින් පවසන්නේ සීඝ්‍රයෙයෙන් අඩුවන දුප්පත්කමක් වියට්නාමයේ පවතින බවයි. කෙසේ වුවත් ආර්ථික ප්‍රතිසංකරණයන්ගෙන් පසුව එරට තුළ සිදුව ඇති ධනේශ්වර ආර්ථික රැල්ල කිසිවෙකුට අවතක්සේරු කළ නොහැක.

ලංකාවේ වාමාංශිකයන්ගේ හැසිරීම සැලකිල්ලට ගත යුත්තේ වියට්නාම් සමාජවාදී ජනරජය මුහුණ දී ඇති ආර්ථික ජයග්‍රහණයන් විමර්ශනයට ලක් කිරීමට සමාන්තරව ය. සමාජවාදී රටක් යැයි කීව ද තවදුරටත් වියට්නාම ආවෘත ආර්ථික ක්‍රම අනුගමනය කරමින් ලෝක ආර්ථික ප්‍රවනතා හමුවේ සැගවී සිටීමට උත්සාහ නොගත්තේ ය. රටක ආර්ථිකය ශක්තිමත් වන්නේත් වර්ධනය උපරිම වන්නේත් ආයෝජන හමුවේ බව තේරුම් ගත් වියට්නාම්වරු ඊට පහසුකම් සැලසීය.

ලෝකයේ බහු ජාතික ආයෝජකයන්ට තම රටට එන්නට අවස්ථාව සලසා දෙමින් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ලෝක වෙළෙද පළේ අළෙවි කර ගැනීම සඳහා විශාල ආර්ථික හවුල්වලට එකතුවීමට උපක්‍රමශීලී විය. ඒ තුළ තවදුරටත් ජාතික ආර්ථික අවශ්‍යවල සැඟවී සිටීමට තරම් ඔවුහු බුද්ධියෙන් තොර නොවූහ.

එහෙත් අපේ රටේ නන් විධ වූ වාමාංශිකයන් කරන්නේ ලෝක ආර්ථික හවුල්කාරීත්වයකට යෑමට තැත් කරන සෑම විටම ඊට එරෙහිවීමයි. ගෝලීය වශයෙන් ආයෝජකයන් එනවිට මෙන්ම විවිධ රටවල් සමඟ බහු විධ ආර්ථික හවුල්කාරීත්වයකට යන්නටත් ඔවුන් එරෙහිය. ඒ ආර්ථික ජාතිකවාදය ඔවුන් වැලඳගෙන ඇති නිසා ය. සමාජවාදය සාර්ථක වන්නේ ජාත්‍යන්තරවාදය තුළ මිසක් ජාතිකවාදී කොදෙව් තුළ නොවේ. එහෙත් රාජ්‍ය කේන්ද්‍රගත සුබසාධකවාදී ප්‍රතිසංස්කරණ මිථ්‍යාවක ගිලී සිටින ලාංකික වාමවාදීන්ට ශක්තිමත් දෘෂ්ටියක් පහළ නොවීම කණගාටුදායක ය.

වාමාංශිකයන් මේ මොහොතේ කළ යුත්තේ ධනේශ්වර සංවර්ධනයට ඉඩ දෙමින් එය හා පොර බදමින් සමාජයේ ආන්තීකකරණයට ලක්වූ සමාජ තීරුවට ආර්ථික ප්‍රතිලාභ ලබාදීමට අරගලයක යෙදීම මිස හු‍ෙදකලා වූ පසුගාමී සටන් මෙහෙයවීම නොවේ.

අබරන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.