දේදුන්නක් පායමින් තිබුණා... ඒ එළිය පොළොවෙත් තිබුණා... | සිළුමිණ

දේදුන්නක් පායමින් තිබුණා... ඒ එළිය පොළොවෙත් තිබුණා...

 අප ජීවත් වන්නේ බහු සංස්කෘතික සහා බහු ආගමික රටක. මෙරට තුළ සිංහල, දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, වැදි ආදී වු විවිධ ජන වර්ගයන් ජීවත් වෙනවා. ඔවුන්ට අවේණික සමාජ පසුබිමක් තියෙනවා. එම පසුබිම තුළ දී ඔවුන් බුද්ධාගම සහා පුරාණ ඇදහිලි, හින්දු, රෝමානු කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම් යන ආගම් අදහනවා. ඒ තුළින් ඔවුන් පුරුදු පුහුණු කළ විවිධ චර්යා රටාවන් අනුව සිය ජීවිතය පවත්වා ගෙන යනවා. සෑම ජන වර්ගයක්ම සමඟ අන්තර් සංස්කෘතික ගනු දෙනුවක් පවතිනවා. කිරි දරුවෙකු සිය මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නා සේම, සෑම මිනිසෙකුම සිය සංස්කෘතිය සමඟ බැදීමක් පවතිනවා.

විශ්ව‍යේ සෑම තැනම විවිධ වර්ණයන් පවතිනවා. ගහ කොළවලත්, ගංගා ඇළ දොලවලත්, සතා සිවුපාවන් තුළත් පවතින වර්ණයන් සෑම මොහොතකම වෙනස් වෙනවා. සෑම මිනිසෙකු තුළම තමන්ට ම ආවේණික වර්ණයක් පවතිනවා. විශ්වයේ ජීවත් වෙන සෑම මනුස්සයෙකු තුළම මිනිස්සු විදිහට ජීවිත් වීමේ දී එම වර්ණයට තවත් වර්ණයන් එකතු වෙනවා.වෙනස් වෙනස් පරාසයයන් ගෙන් යුතු විවිධ වර්ණ හුවමාරු කර ගැනීමට මිනිසාට සිද්ධ වෙනවා. සෑම වර්ණයක් සමඟම මිනිස්සුන්ගේ ජීවිත‍යේ රිද්මය වෙනස් වෙනවා. විවිධ රිද්මයන්ට අදාළව මිනිසුන් විසින්ම සංස්කෘතියක් ගොඩනගාගෙන තියෙනවා. ඒ සංස්කෘතිය තුළ දී ඔවුන් වර්ණවලට අර්ථ දෙනවා.

කාලයක් ගත වෙත්ම මිනිස්සු තමන් තුළ පැවති වර්ණයේ ආලෝකය අමතක කරලා තමන්ට පේන, තමන් දකින වර්ණයන්ට අර්ථකථන දෙන්න පටන් ගත්තා. ඉන් නොනැවතුණු මිනිසා මිහිපිට තිබිය යුත්තේ කුමන වර්ණයන් ද යන්න පිළිබඳව තීරණය කරන්න පටන් ගත්තා. ඒ දවසේ ඉඳන් අනෙකාගේ වර්ණය දකින එකත්, එයට ආදරේ කරන එකත්, ඒ වර්ණය දරාගැනීමත් නතර කළා. ඒක හින්දා කළු ජාතිකයින් දකින සුදු ජාතිකයයින්ට, කළු ජාතිකයින්ගේ වර්ණයත්, ඔවුනගේ හදවතේ රිද්මයත්, ප්‍රශ්නයක් වුණා. මේ නිසාම ඉතිහාසයේ එක් දවසක, කළු වර්ණය විනාශ කරන්න කියලා හිතා ගෙන සුදු මිනිස්සු කළු ජාතිකයන්ව විනාශ කරන්න පටන් ගත්තා. ඒ පටන් ගැන්ම නොනවත්වා ම ඉදිරියට ඇදිලා ගිහිල්ලා මිනිස්සුන්ගේ ජීවිතවලින් වන්දි ගෙව්වා. පුදුමයි...! ඒ හැම වෙලාවෙ ම මේ මහා පොළොවට වැටුණේ එකම වර්ණය යි. ඒ තමයි රතුම රතුපාට වුණු මිනිස් ලේ.

මානව සන්හතියේ සෑම සංස්කෘතියක් තුළම එකිනෙකාට සුවිශේෂී වුණු වර්ණයන් ගොඩනැගෙනවා. එම වර්ණයන් ගේ රිද්මය එක් එක් සංස්කෘතිගේ රිද්මයන් සමඟ එකතුවෙලා විශ්වය තුළ දී එකම රිද්මයකින් හැම දාම වැයෙනවා. මානව සංස්කෘතියටම ඇසෙන දැනෙන එක රිද්මයක් ඒ තුළින් ඔවුන් ගේ ජීවිත විෂයට වෙනස් වෙනස් හැඩතලයන් එකතු වෙනවා. ඒ හැඩතලයන්ට ආලෝකයත් අඳුරත් එකතුවෙලා මහා පොළොවෙ විවිධ වර්ණ හටගන්නවා. ඒ වර්ණ මිනිස්සුන්ගේ හිත් වර්ණවත් කරලා මහා පොළොවෙ දීප්තිය තවත් වැඩි කරවා. ඒ දීප්ති‍යෙන් මේ විශ්වය මත උණුසුමත් සීතලත් එකතුවෙච්ච දේදුන්නක් වගේ පුදුමසහ ගත දේවල් මවනවා.

ඉරත් පායලා, වැස්ස වහින වෙලාවක, පාට හතක් එකතු වෙලා හැදෙන දේදුන්නේ ආශ්චර්යක් තියෙනවා. දේදුන්න පටන් ගන්නේ රතු පාටින්. බොහෝ සත්තුන්ගේ වගේම හැම මනුස්සයෙක්ගේම ඇඟේ දුවන ලේ රතු පාටයි. ඒත් එක්කම ගැහෙන හදවතකුත්, ඒ හැම කෙනෙකුටම තියෙනවා. ඔවුන් තුළ වර්ණවත් රිද්මයක් හැම මොහොතකම නින්නාද වෙනවා රතුපාට මැයි මල්වලින් ගස්වල අතු පිරිලා. උදේ පාන්දර නාලා ඔළුවේ මල් ගහලා කෝවිලට යන කමලාගේ නලලේ තියෙන පොට්ටුවත් රතුපාටයි. දෙවෙනි ගමන් යන්න ලෑස්ති වෙන සීතාගේ සාරියත් රතු පාටයි. ඒ රතුපාට තවත් වැඩියෙන් විටකාලා හිනාවෙන සෙල්වීගේ මුව පුරාමත් ඇඳිලා තිබුණා. රතුපාට බූන්දී අහුරක් අරගෙන පුතා එනකම් සෙල්ලම්මා තල්වැට අද්දරට වෙලා බලා හිටියා. බූන්දීවල රතුපාට දකින සෙල්ලම්මාගේ ඇස් සංතෝෂෙන් දිලිසෙනවා. දුර්ගා පුජාවට තියෙන මල් වට්ටියෙත්, කාලී මෑණියන් වෙනුවෙන් හදන මල් වට්ටියෙත් තියෙන්නේ හැම ගැහැනු හිතකටම ගොඩාක් ළඟ රතුම රතුපාට.

පිණ්ඩපාතේ වඩින හාමුදුරුවන්ගේ සිවුරෙ තිබුණෙත් තැඹිලි පාට, කෝවිලේ ගණදෙවියන් වෙනුවෙන් හදපු දාස් පෙතියා මල් අමුණපු මල් මාලේ තිබුණෙත් තැඹිළි පාට. පරිප්පු වඩෙත්, පැණි වළලුවලත්, බුරියානිවලත් තියෙන්නේ තැඹිලි පාට.

පන්සලේ පත්තු වෙන මැටි පහෙනත්, පල්ලියේ පත්තු කරපු ඉටි පහනත්, කෝවිලේ පත්තු කරන කපුරුවලත්, කහ පාට දැල්ලක් පත්තු වෙමින් තිබුණා. හුළඟට ගසා ගෙන ගිය දුමාරය කහාම කහා පාටයි. ඒ ගිනිදැල්වල මිනිස්සුන්ගේ බලාපොරොත්තුත්, ආශාවනුත්, විශ්වාසයනුත් පාට පාටින් දැල්වී දැල්වී තිබුණා.

අවුරුද්දට හැම අතකම, බුලත් හුරුල්ලක විහිදුණු කොළපාට තැවරෙනවා. කොළපාට මුං ඇට, කබලේ බැදලා, වංගෙඩියේ දාලා කොටලා, සෝමලතා අවුරුද්දට මුං කැවුම් හදනවා, සෙල්ලම්මා හාල්වලට කොළපාට මුං ඇට දාලා මුං කිරිබත් උයනවා, ඒත් අවුරුද්දට. මීනාක්ෂිගේ මඟුල් ගෙදර සරසන්න ගෙනා අමු කෙසෙල් පඳුරේ තිබු­‍ෙණත් කොළපාට. බෝ ගහෙත්, කොහොඔ ගහෙත්, තියෙන්නෙ නොසෙල්වෙන කොළ පාට. ඒ පාට දිහා බලාගෙන මිනිස්සු කීදෙනෙක් නම්, මොනතරන්නම් දේවල් කියන්න ඇත් ද? ඉල්ලන්න ඇද් ද? ඒ හැම කතාවක් ම අහාලා ඒ ගස්වල කොළපාට තව තවත් වැඩි වෙලා.

විෂ්ණු දෙවියන්ගේ පාට නිල් පාට. කතරගම දේවාලෙට යන ගොඩක් දෙනා, නිල්පාටින් හදපු විෂ්ණු දෙවියන්ගේ පිළිමෙට පුජා පවත්වනවා. ඒ අතර අතුකෝරළ ලා, හීන් මැණිකේලා විජේතුංගලා, ,ඉන්දුලාත්, අරණෝලිස්ලා වගේම රාමේශ්වරීලත්, සරවණමුත්තුලත් හිටියා. ඒ හැමෝම මැණික් ගඟේ නාලා කිරි වෙහෙරත් වැඳලා, පඬුරුත් දාලා, ගාථාත් කියනවා.

මීදුමෙන් වටවෙච්ච සිරීපාදේ කන්ද මුදු‍ෙන් නොනවත්වා විහිදෙන දොළොස්මහේ පහනේ එළිය හැමතැනම විහිදිලා. ඒ එක්කම ඝණ්ටාර සද්දේ රුව් පිළි රැව් දෙනවා. මුළු අහසෙම විසිරුණු ඉන්දිගෝ පාට දිහා බලාගෙන ඉර සේවය බලන්න දෑස් අයා බලා සිටින සුවහසක් වන්දනා කරුවන් ඉර එනකන් බලා ඉන්නවා. ඒ දවසෙම හවස් වෙද්දී කෝනේශ්වරම් කෝවිලේ ගල් තලාවේ ඉඳන් ඉන්දිගෝ පාට මැකෙනකන් ඉර ආපහු යන හැටි බලා ඉන්නෙත් වන්දනා කරුවන්මයි. ඒ හැමෝමත් මිනිස්සු.

මේරී අම්මත්, සෝමලතාත් එකට එකතුවෙලා දම්පාට දන්දින්න අල ගලවන්නේ දෙසැම්බර් මාසේ උදුවප් සීතලේ. නත්තල් ළංවෙනවත් එක්කම පල්ලිය වටේටම කොඩි වැල් එල්්ලනවා. ඒ කොඩි වැල්වල දම්පාට කොඩි කැපිලා පේනවා.

මහා සමාජය තුළ දී මිනිසුන් විදිහට හැම කෙනෙක්ම සෑම වර්ණයක් සමඟම අන්තර් සම්බන්ධතාවක් පවත්වනවා. වර්ණ සීමාවන්ට යටත් කරලා නිශ්චිත පරාසයක් මත පමණක් පවත්වා ගෙනයා නොහැකියි. සංස්කෘතික වශයෙන් එකිනෙකාට අනන්‍යය වුණු වර්ණයන් බෙදා පැවැතිය ද, සෑම ජාතියක් ම තවත් ජාතියත් සමඟ සිය රුචිකත්වයන්, ආශාවන්, රසවින්දනයන් හුවමාරු කරගන්නවා. වර්ණයේ ස්වභාවයත්, ගුණයත් එය යි. එහෙයින්, සිංහල, දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, වැදි ආදී ලෙසින් නිශ්චිත සංස්කෘතියක වර්ණයක් මත පමණක් මිනිසුන්ට ජීවත් විය නොහැකියි. මිනිසුන්, මිනිසුන් විදිහට පොදුවේ වර්ණ තුළට විවෘතව සෑම වර්ණක් සමඟ ම ජීවත් වෙනවා. ක්‍රිස්තියානී ආගමට අනුව, දේදුන්නෙන් මිනිසා වෙත අයහපතත්, විනාශයත් පැමිණීම වළක්වන බව බයිබලේ සඳහන් වෙනවා .

රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ, දම් වර්ණ, උණුසුමත්, සීතලත් එක්ක එකතු වෙලා, එක අහසක පාට හතක දේදුන්නක් මවනවා.දේදුන්නක් දේදුන්නක් වෙන්න නම්, වර්ණ හතක් එකතු විය යුතුම යි.වර්ණවලට රේඛා ගහලා, සීමාවන් දාලා, මිනිස්සු බෙදා වෙන් කරලා කිසිම දිනක දී මහාපොළොව තුළ යහපතත්, නිදහසස් බලාපෙරොත්තු විය නොහැකියි. දේදුන්නට ඇඟිල්ලක් දික්කරලා එකපාටක් විතරක්ම තේරුවොත් දේදුන්න මැකිලා යනවා. උණුසුමත් සීතලත් දැනෙන, පාට හතම දකින, දේදුන්න විඳින... මිනිසුන්, දේදුන්නටත් වඩා විස්මිතයි. මේ.. එවැනි මිනිසුන්, මේ පොළොව මත ආලෝකය විහිදිය යුතු වෙලාවයි.

ඩිලූෂා නදීකමාලී

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.