මැයි 14 ඉරිදා | Page 2 | සිළුමිණ

මැයි 14 ඉරිදා

 කාලය තරම් අද්භූතජනක දෙයක් ලොව නැත. රහස් සැඟවීමට ද රහස් හෙළි කිරීමට ද කාලය සතුව ඇත්තේ අසමසම ගුප්ත බලයකි. සඟවා ගත් එක් රහසක් නිසා ඉතිහාසය වනාහී ස්වරයක් ගිලිහුණු සංගීත ප්‍රස්තාරයක් මෙන් අසරණ වන්නේය. එහෙත් එසේ සඟවා තබා ගනු ලැබූ රහස කාලය විසින්ම පසුව හෙළිදරවු කරනු ලැබූ විට ඉතිහාසය තරම් රසවත් තවත් දෙයක් නැතැයි හැඟෙන්නේය. කාලය විසින් සඟවන්නාවූ, කාලය විසින් හෙළිදරවු කරන්නාවූ රහස ඉතා ප්‍රකට චරිතයකට සම්බන්ධ නම් ලොව විස්මයෙන් ඇලළී යන්නේය. අර්නස්ටෝ Che ගුවේරා ද කාලයේ සරදමට ලක් වූ වීරයෙකි.

ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නගරයේදී 1928 මැයි 14 දා ඉරිදා පාන්දර 03.05ට ඔහු උපත ලැබුවේය. එහෙත් උප්පැන්න සහතිකය අනුව නම් ඔහු උපත ලබා තිබෙන්නේ 1928 ජූනී 14 දාය. මේ දින දෙකෙහි හරියටම මාසයක වෙනසක් පෙනේ. අත්වැරදීමක් ද? නැත!. එය සිතාමතාම කළ වෙනසකි. තමාට ලැබුණු ඉතා සුළු හෝඩුවාවන් ඔස්සේ හඹා ගිය අමෙරිකානු ජාතික මාධ්‍යවේදි ජෝන් ලී ඇන්ඩර්සන්; හිස් තැන් සහිතව තිබූ Che චරිතාපදානය හැකි තාක් සම්පූර්ණ කෙළේය. දශක ගණනාවක් ලොවට රහසක්ව තිබූ Che ගේ මළ සිරුර වළ දමා තිබූ ස්ථානය සොයා ගත්තේ ද මේ ගවේෂණාත්මක මාධ්‍යවේදියා ය. Che ගුවේරාගේ ඇත්ත උපන් දිනය පිළිබඳව ඔහුට හොඳම ඔත්තුව ලැබෙන්නේ ජෝතිෂවේදිනියකගෙනි.

සීලියා ඩී ලා සෙර්නා; Che ගේ මව ය. තම තරුණ පුත්‍රයාගේ කේන්දරය සාදාගෙන ඔහුගේ අනාගතය කෙබදු වේ දැයි දැන ගැනීමට ඇයට සිතක් පහළ විය. තම මිතුරියක වූ ජෝතිෂවේදිනියක නිවෙසට කැඳවා ගත් සීලියා Che ගේ අනාගතය ගැන කියන්නැයි තම මිතුරියට කීවාය.

1928 ජූනි මස 14 දා පාන්දර 03.05 ට උපන්නා යැයි කී Che ගේ කේන්දරය සෑදූ ජෝතිෂවේදිනිය මුහුණ අඳුරු කර ගත්තාය. ඇය දෙවැනි වරටත් කේන්දරයක් සෑදුවේ තමාට කිසියම් වැරදිමක් වන්නට ඇතැයි සිතමිනි. මෙවර මුළුමනිින්ම අපේක්ෂාභංගත්වයට පත් වූ බවක් පළ කළ ජෝතිෂවේදිනිය තම ගණිත සටහන් අත් මිටට ගෙන ගුලිකොට ඉවත දැමුවාය.

Che පිළිබඳව බොහෝ පෞද්ගලික තොරතුරු ඇය දැන සිටි අතර ඇය සෑදූ කේන්දරය කිසිසේත්ම ඔහුගේ චරිතයට ගැළපුණේ නැත. ‘සීලියා මේ කේන්දරය හදන්න එක්කෝ මගේ ජෝතිෂ දැනුම මදී, එහෙම නැත්නම් මේ උපන් වෙලාව වැරදියි’ ජෝතිෂවේදිනිය එසේ කී විට සීලියා මහ හඬින් සිනාසෙන්නට වූවාය.

‘කලබල වෙන්න එපා. ඔයා හරි. Che ඇත්තටම උපන්නේ 1928 මැයි 14 පාන්දර 03.05 ට. මේ රහස දන්නේ තුන් දෙනෙක් විතරයි. දැන් අද ඉඳන් ඒ ගණන හතර දක්වා ඉහළ යනවා. මේක පස්වැන්නෙකුගේ කනට නොයයි කියලයි මම හිතන්නෙ...'’ යැයි සීලියා කීවාය. මේ රහස හෙළි වීමත් සමඟම තවත් රහසක් එළියට පැන්නේය. ඒ කතාව මෙසේය.;

සීලියා ඩී ලා සෙර්නා; ආර්ජන්ටිනාවේ ඉතා ධනවත්, ප්‍රභූ පැළැන්තියෙන් පැවත ආවා ය. ඇගේ පෙම්වතා වූ අර්නස්ටෝ ගුවේරා ලින්ච් ද සාම්ප්‍රදායික ප්‍රභූ පැළැන්තියෙන් පැවත ආ නමුත් ධනය අතින් බොහෝ දුෂ්කරතාවන්ට පත්ව සිටියේ ය. සීලීයාගේ දෙමාපියන් ඈ කුඩා වියෙහි සිටියදීම මියගොස් සිටි අතර පවුලේදේපළ සහ දරුවන්ගේ භාරකාරත්වය දැරුවේ වැඩවසම් චින්තනය පමණ ඉක්මවා හිසට ගත් නැන්දා කෙනෙකි. ඈ මේ ප්‍රේම සම්බන්ධයට අපේක්ෂිත ලෙසම විරුද්ධ වූවා පමණක් නොව ලින්ච් වැනි ධනහීන තැනැත්තකු තම පවුලට වැද්ද ගැනීම පවා නින්දාවක් බව කීවාය. එහෙත් සීලීයා තව තවත් ලින්ච්ට ප්‍රේම කළා ය.

මාටේ වගාවට අත ගැසුවොත් පහසුවෙන් විශාල ධනයක් උපයාගත හැකි බැව් ලින්ච් විශ්වාස කෙළේ ය. එහෙත් ප්‍රාග්ධනය සහ ඉඩම් ඔහු සතුව නොතිබිණ. ඔහු උමතුවෙන් මෙන් සීලියාට ප්‍රේම කෙළේ ය.

ඊටත් වඩා මාටේ වගාවට පෙම් බැන්දේ ය. තම පෙම්වතා පත්ව සිටි අසරණ එහෙත් උනන්දු සහගත මානසිකත්වය මැනවින් තේරුම් ගත් සීලියා ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කළාය. ‘අපි ඉක්මනට විවාහ වෙමු, පවුලේ බූදලයෙන් මට අයිති කොටස අරගෙන ඉඩම් ගමු.’ යැයි ඇය ලින්ච්ට කීවාය. ඇය ඒ වන විට වයස අවුරුදු 21 සම්පූර්ණ කැර නොසිටි හෙයින් විවාහය සඳහා පවුලේ අවසරය අත්‍යවශ්‍ය විය.

එක් දිනෙක සීලීයා නිවෙසින් පලා ගියා ය. කුල ගර්වය සියල්ලටම ඉහළින් සැලකූ නැන්දා; විවාහය සඳහා අවසරය දුන්නාය. 1927 නොවැම්බර් මස 10 දා සීලියා සහ ලින්ච් විවාහ වූහ. එහෙත් පවුලේ බූදලයෙන් කිසිවක් ඇයට හිමි නොවීය. අධිකරණයේ පිහිට පැතූ සිලියා ඉන් ජය ගත්තා ය. ඒ සමඟම ලින්ච්ගේ දෙවැනි සිහිනයත් සැබෑ විය. ඔහු සීලියාගේ බූදලයෙන් මාටේ වගාව සඳහා ඉඩම් අක්කර සිය ගණනක් මිලට ගත්තේය. වැඩිකල් නොයවා නව යුවතිපතීහු බුවනෝර්ස් අයර්ස් ප්‍රදේශයට ආහ. එසේ පැමිණියේ ඔවුන් දෙදෙනා පමණක් දන්නා රහසක් ද තුරුලුකොට ගෙනය. විවාහයෙන් පසුව තම බිරිඳ නෑ හිත මිතුරන්ගෙන් වසන් කැර තැබීමට ලින්ච් ගුවේරාට තිබූ තදබල වුවමනාව හැම අතින්ම සාධාරණ එකක් විය. සීලියා නීත්‍යනුකූලව ලින්ච් සමඟ විවාහ වනවිටත් ඈ තෙමස් පූර්ණ ගැබිනියකව උන්නාය. ක්‍රිස්තු වර්ෂ 1928 මැයි මස 14 දා අලුයම 03.05 ට අාර්ජන්ටිනාවේ රොසාරියෝ හිදී කුලුඳුල් දරුවා උපදින විට සිලියා සහ ලින්ච් විවාහ වී ගත වී තිබුණේ මාස 06 යි දින 04 ක් පමණි. මෙවැනි අරුම දරු උපතක් නම් කිසිවකුත් නො අදහනු ඇත. එහෙත් ලින්ච් සතුව සැලැස්මක් විය.

මාස හයෙන් දරුවන් බිහි නොවන මුත් හත් මාසෙන් නම් දරුවකු ඉපදිය හැකිය. දරු ප්‍රසූතිය සඳහා උදවු කෙළේ ලින්ච්ගේ මිතුරු දොස්තරවරයෙකි. ඔහු දරුවාගේ උප්පැන්න සහතිකය ලියා දුන්නේ මාසයක් ඉදිරියට ගනිමිනි. එවිට හත් මාසය සම්පූර්ණ වේ. මැයි 14 දා උපන් Che ට ජූනී 14 දා තම උපන් දිනය සමරන්නට සිදු වූයේ මේ රහස නිසාය. Cheගේ කේන්දරය සෑදූ ජෝතිෂවේදිනිය නොවන්නට, ජෝන් ලී ඇන්ඩර්සන්ට ඇය හමු නොවන්නට, ඇතැම් විට මෙය කිසිදා හෙළි නොවන්නටත් ඉඩ තිබිණ. එහෙත් ඒ සුළු හෝඩුවාව නිසා CHe ගේ මව වූ සීලියා ඩී ලා සෙර්නා Che වෙනුවෙන් කළ විප්ලවය ද ලෝකයා හමුවේ අනාවරණය වී ඉතිහාසය සෑහෙන තරම් සම්පූර්ණ වී තිබේ.

ලින්ච් සහ සීලියා අර්ජන්ටීනාවේ සාම්ප්‍රදායික රදළ පැළැන්තියට අයත් ප්‍රභූ පරම්පරා දෙකකින් පැවත ආ නමුත් ඔවුහු එකට එකතු වූයේ යට කී සමාජ ධූරාවලිය මතුවටත් පවත්වා ගෙන යෑමට නොවේ. ඔවුහූ වෙනස්ම ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට උත්සුක වූහ. පුදුමයකට මෙන් දෙදෙනාම රැඩිකල් සමාජ දේශපාලන මතිමතාන්තර කෙරෙහි නැඹුරු වී සිටියෝ ය.

සීලියා, ලින්ච් වෙතින් නොදැනුවත්කමට ගැබ් ගත්තා යැයි සිතීමට කිසිදු සාධාරණ හේතුවක් නො පෙනේ. වඩාත් සාධාරණ සිතිවිල්ල වන්නේ ලින්ච් සහ තමා අතර විවාහය තහවුරු කැර ගැනීම පිණිස සීලියා වුවමනාවෙන්ම ගැබිනියක වූ බවයි. පවුලේ සියලු විරෝධයන් මේ තනි සිද්ධියෙන් නි‍ෙෂ්ධනය කළ හැකි බව ඈ සිතුවාය. එහිදී සීලියා සාර්ථක කැරලිකාරියක වූවා ය.

CHe ගේ දෛවෝපගත උපතට පසුබිම සැකසුණේ ඔහුගේ මව ආදරය හමුවේ වීරත්වයට පත් කරවමිනි. සීලියාගේ හුදෙකලා සුන්දර කැරැල්ල නිසා ලෝකයට අසහාය විප්ලවවාදියෙක් බිහි විය.

සීලියා, උසස් පාඨශාලාවේ ඉගෙනුම ලැබූ දීප්තිමත්ම 10 දෙනා අතරේ මුල්තැන ගත්තා ය. සහජයෙන්ම තියුණු බුද්ධියකට හිමිකම් කී ඈ විවිධ පොත්පත් කියවීමට ඇබ්බැහි වී උන්නාය. එහි ප්‍රතිඵලයක් ලෙස වයසට වඩා මුහුකුරා ගිය තැනැත්තියක ලෙස ඇය කොතැනත් කැපී පෙනිණ. එහෙත් ඇගේ පවුල් බලකොටුවේ මහ අධිරාජිනිය ලෙස ක්‍රියා කළ නැන්දාගේ විධාන හමුවේ සෙසු සියලු දෙනාම බැටළුවෝ වූහ. එහෙත් එම බැටළු රන්චුවේ ‘කළු එකී’ ලෙස සීලියා වෙනස්කොට පෙන්වන්නට දෛවය හැම විටම ක්‍රියා කළා ය. ලැබෙන ඕනෑම සීමිත අවස්ථාවකදී වුව, වෙනස්ම දෙයක් කිරීමට ඈ පැකිළුණේ නැත. තරමක නහයට නාහන හිතුවක්කාර ගතියක් සීලියාගෙන් නිතර ප්‍රකාශ විය.

ආකර්ෂණීය රූපශ්‍රීයෙන් ද ඇය පොහොසත්ව සිටියා ය. කෙල්ලක නමුත් ඈ වෙතින් බොහෝ විට පළ වූයේ කොල්ලෙකු බඳු ගතිගුණ ය. සීලියාගෙ ගතානුගතික පවුල් පරම්පරාවේ නෑ හිතමිතුරන්ට ඈ පෙනී ගියේ අහසින් කඩා වැටුණු අමුතු චරිතයක් ලෙසිනි. අර්නස්ටෝ Che ගුවේරාට ඔහුගේ මව සතුව පැවති මේ සියලු ගති ගුණ මෙන්ම ඇගේ පරම්පරාගත ජානමය දායාදය වූ ඇදුම රෝගයද උරුම වී තිබිණ.

අර්නස්ටෝ Che ගුවේරා කාරණා දෙකක් නිසා ශ්‍රී ලංකාවේ ළෙන්ගතු මිතුරෙක් වන්නේ ය. ඔහු ඉතා කුඩා වියේ සිට තදින්ම පොතපතට ඇබ්බැහි වී සිටියේය. බෞද්ධ දර්ශනය මෙන්ම ඇරිස්ටෝටලියානු ඉගැන්වීම් එකිනෙක සසඳමින් තුලනාත්මක අධ්‍යයනයක යෙදුණු හෙතෙම, එයින් වඩාත් ආසක්ත වූයේ බෞද්ධ ඉගැන්වීම් දෙසට ය. ඔහු සාම්ප්‍රදායික කොමියුනිස්ට්වාදියෙක් නොවීය. Che ගේ දේශන, ලේඛන, සහ පෞද්ගලික ඇවතුම් පැවතුම් තුළ අති සියුම් හුයක් මෙන් දිව යන්නේ බෞද්ධ සමානාත්මතාවයි. මිනිසා ඇතුළු සමස්ත සත්ත්ව සංහතිය කෙරෙහි සර්ව සාධාරණ දැක්මක් ඔහු සතුව තිබිණ.

Che ශූර කියවන්නෙකි. ඔහුගේ අධ්‍යාත්මය එකී කියවීමේ ප්‍රතිඵලයකි. අනෙක් පසින් ඔහු ශූර ඇවිදින්නෙකි. පාසල් වියේ කුඩා කොලු පැංචෙකු ව සිටියදීම ඔහු, තනිවම පා පැදියක නැගී කි. මී. 4500 ක් දුර ගෙවා ලතින් අමෙරිකාවේ සැරි සැරුවේය. දෙවනුව තම සගයකු සමඟ සුප්‍රකට මෝටර් සයිකල් සවාරියේ යෙදිණ.

තුන්වැනිව විප්ලවයක් සොයමින් ඇවිද්දේය.සිව්වැනිව කියුබන් විප්ලවයට සම්බන්ධ වී එය ජය ගත් පසු ලෝකය පුරා මිතුරන් සොයමින් රාජ්‍යතාන්ත්‍රික ගමන් යන අතරතුර තම මිතුරෙකු ලෙස සලකා ශ්‍රී ලංකාවට ද පැමිණ හොරණ යහල කැලේ වතු යායේ තම ගමන සිහි වීමට මහෝගනී පැළයක් ද රෝපණය කෙළේය. ඔහු එදා ශ්‍රි ලංකාවෙන් සමු ගත්තේ නැවත මෙහි එන බවට පොරොන්දු වෙමිනි.

Che සම්බන්ධයෙන් ඉතා ජනප්‍රිය වී තිබෙන වට්ටෝරු පොත් සහ ලේඛන ආදියෙන් ඇත්තම Che සොයා ගත නොහැකිය. වෙළෙඳ පොළේ මාර්කට් කරන Che සහ ඇත්ත Che අතර පවතින්නේ උඩු කය සහ උඩු කබාය මෙන් වූ වෙනසකි. එහෙත් බොහෝ දෙනා රැවටෙන්නේ කබායටය. කොටින්ම කිවහොත් Che යන සුප්‍රකට නම පවා ඔහුගේ උප්පැන්න සහතිකයේ සඳහන් නොවෙයි. එය පසු කලෙක ඔහු වෙනුවෙන් පටබැඳුණු නාමයකි.

කේ. සී. ජේ. රත්නායක

Comments