සංහිඳියාවේ ගායකයා...

 සිංහල - දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳ පූර්ව පණිවිඩය ගෙන එන්නේ ‘කොහා’ (කෝකිලයා) ය. ඒ; වසරේ අප්‍රේල් මාසයේදීය. කොහාගේ ගී නදින් අවුරුද්ද එළඹී එය උත්සවාකාරයෙන් සැමරීමෙන් පසුව එළඹෙන්නේ මැයි මාසයයි. බෞද්ධයන්ගේ උත්තරීතර උලෙළ වන ‘වෙසක්’ සමරන්නේ මැයි මාසයේය. බුදුරජාණන් වහන්සේගේ උපත - බුදු වීම හා පරිනිර්වාණය වෙස‍‍ඟේ සිහි කෙරේ. අවුරුද්ද ගැන පණිවිඩය කොවුලා රැගෙන එන සේම වෙසක් පිළිබඳ පූර්ව පණිවිඩය රැගෙන එන්නේ ද කෝකිලයෙකි. ගීත කෝකිලයෙකි. එහෙත් මහත් අරුමය වන්නේ එම පණිවිඩකාර ගීත කෝකිලයා අසිංහල අබෞද්ධයෙකු වීමය. ඒ අන් කිසිවෙකු නොව අල්හාජ් මොහිදීන් බෙග් නමැති මහා ගායකයාණන් ය.

දශක ගණනාවක් පුරා සිංහල ගීත ලෝකයේ විරාජමාන වූ බෙග් මාස්ටර් වැඩි ම බොදු ගී සංඛ්‍යාවක් ගායනා කළ ගායකයා ලෙස තබා ඇති වාර්තාව අදටත් නොබිඳුණු වාර්තාවකි. ඔහු මෙලොව හැර ගොස් වසර විසිහයක් වුවත් තවමත් එම වාර්තාවේ හිමිකරුවා ඔහුමය. ‘සංහිඳියාව’ යනුවෙන් වදනක් නිර්මාණය වී එකිනෙකා අතර ජාතීන් අතර - ආගම් අතර සාමකාමී සමගියක් ඇති කෙරෙමින්, පවතින යුගයක ‘සංහිඳියාවේ ගායකයා’ ලෙස බෙග් මාස්ටර් හැඳින්වීම අතිශය සාධාරණ යයි සිතේ. මේ අසිංහල අබෞද්ධයා සිංහල ජාතිය - බුද්ධාගම හා ශ්‍රී ලංකාව ගැන ගැයූ ගීත සම්භාරය අද සංහිඳියාවේ පාලම තනන්නට මහෝපකාරී වීම සුළුවෙන් සටහන් කළ හැක්කක් නොවේ.

භාරතයේ සේලාම් නුවර මුස්ලිම් පවුලක උපන් ‘කරීම් මොහිදීන් බෙග්’ ලංකාවට ආවේ එවකට මරදාන පොලීසියේ සේවය කළ සිය මාමා කෙනකු හමුවීම සඳහාය. ඒ තිහේ දශකය මුලදීයි. ‘‍දෛවයේ නියෝගය’ වූයේ බෙග් තරුණයාට ලංකාවේ නවතින ලෙසයි. ඒ අනුව මාමා සමඟ නැවතුණු ඔහු මරදාන අවට පැදුරු සාජ්ජ ඇරඹීය. ගැඹුරු මියුරු හඬින් ගයන්නකු ලෙස ඔහු ප්‍රසිද්ධ වූයේ ඉතා‍ කෙටි කලකිනි. යූ.ඩී. පෙරේරා ශූරීන් රචනා කළ ‘කරුණා මුහදේ නාමු ගිලීලා’ ගීතය ගායනා කරමින් ගී ලොවට පිවිසෙන්නට ඔහුට වරම් ලැබුණේ ඒ වකවානුවේමය. හින්දි තනුවක් අනුව ලියවුණු ඒ ගීතය ඔහු ගැයුවේ කේ.කේ. රාජලක්ෂ්මී නමැති ගායන ශිල්පිනියක සමඟය. භාරතයෙන් ම පැමිණි මොහොමඩ් ගවුස් මාස්ටර්ගේ සංගීතයට අනුව ‘‍අශෝකමාලා’ චිත්‍රපටයේ ‘නයනා වැනී සුදෝ’ ගීතය ගයමින් සිංහල සිනමාවට එක් වූ තරුණ බෙග් අපේ සිනමාවේ මුල් ම ස්ථාවර පසුබිම් ගායකයා ද විය. අශෝකමාලා තිරගත වූයේ දෙවන සිංහල කතානාද චිත්‍රපටය ලෙස 1947 දීය. ඉන් වසර තුන හතරකට පසුව ‘වරද කාගෙද’ චිත්‍රපටය තුළින් ඔහුට කරුණාරත්න අබේසේකර ගීත නිබන්ධකයා හමු වුනි. ‘කරු’ ලියූ මුල් ම චිත්‍රපට ගීතය වන ‘පියලී කැඩීල වැටුනා නෑඹුල් සමන් මලේ’ එම චිත්‍රපටයට ගැයුවේ බෙග්ය. සිංහල ගීත ලෝකයට සුවිශාල බොදු ගී සංඛ්‍යාවක් එක්වීමේ උල්පත වූ කරු - බෙග් සුසංයෝගය එතැනින් ඇරඹී දශක කීපයක් ම පැවතුණි.

තනිවයි උපන්නේ
තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි
කෝලම් නටන්නේ

‘වරද කා‍ගෙද’ තුළින් එක් වීමෙන් පසුව ‘කරු අයියා’ බෙග් මාස්ටර්ට ‘අශෝකා’ චිත්‍රපටය වෙනුවෙනි ලියූ එම ගීතය මේ බොදු ගී ප්‍රවාහයේ ආරම්භය ලෙස ද සැලකිය හැකිය. එය අති ජනප්‍රිය විය. ඉන්පසුව ‘අංගුලිමාල’ හින්දි චිත්‍රපටය සිංහල දෙබස් කවා මෙහි තිරගත කරන්නට කටයුතු සූදානම් කෙරුණි. හින්දි චිත්‍රපටයට එහි මහා ගායක මන්නාඩේ ගැයූ ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීතය සිංහලෙන් බෙග් මාස්ටර් ලවා ගායනා කරවනු ලැබීය. ඉන්දියාවේදී එහි පටිගතකිරීම සිදුවනු දකින්නට මන්නාඩේ ද ශබ්දාගාරයට පැමිණියේය.

‘ඔබෙ රාගී මන කැළඹේදෝ
පිවිතුරු හදවත පෑරේදෝ
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී’

කරුණාරත්න අබේසේකර සූරීන් ලියූ ගීතය බෙග් මාස්ටර් ගයනු අසා සිටි මන්නාඩේ එතැන සිටි අ‍ෙප් ප්‍රවීණ නළුවකු වන ඩොමී ජයවර්ධනට මෙසේ කියා ඇත.

“අයිසෙ මේ හාදයා මට වැඩිය හොඳට මේ සිංදුව කිව්වනෙ...”

මන්නාඩේ ද අතිවිශිෂ්ට ගායකයෙකි. එහෙත් මේ ප්‍රකාශයෙන් ඔහුගේ නිහතමානිත්වයද, බෙග් මාස්ටර්ගේ දක්ෂතාවය ද එක ලෙසින් ම ඔප්පු වන්නේය. අද වන විට ‘බුද්ධං සරණං ගච්ඡාමී’, ගීතය බෞද්ධයන්ගේ ‘තේමා ගීතය’ වන තරමට ම ජනසමාජය තුළට ජීර්ණ වී ඇත. වෙසක් - පොසොන් හෝ වෙනත් පොහො දිනකදී දස අතින් ඇසෙන්නේ ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීතයයි. පන්සලේ - දන්සලේ - තොරණේ මාධ්‍යයේ ඇසෙන්නේ එම ගීතයයි. ශ්‍රී ලංකාව පවතිනා තුරු බුදු සසුන පවතිනා තුරු අල්හාජ් මොහිදීන් බෙග් නමැති අසිංහල අබෞද්ධයා ගැයූ ‘බුද්ධං සරණං ගච්ඡාමී’ නම් බොදු ගීය රාව ප්‍රතිරාව දෙනු නියතය.

‘බෙග් මාස්ටර්ගේ ගැඹුරු මියුරු හඬ බොදු ගී සඳහා යසට ගැළපුණේය. දිනකට පස් වතාවක් මුස්ලිම් පල්ලියට යන සිරිත සදා කඩ නොකළ ඔහු සහෝදර බහුතර ජනයාගේ ආගම වෙනුවෙන් ගී ගයන්නට තම කටහඬ කැප කළේය.

මායා - මායා
කෝ සැපතා මේ සංසාරේ
දුක කෙළවර වේ නිර්වාණේ

හර්බට් එම්. සෙනෙවිරත්න සූරීන් ‘කැලෑ හඳ’ චිත්‍රපටයට ලියා බෙග් මාස්ටර් ගැයූ මේ ගීතය ද අති ජනප්‍රිය වූ අතර කරු අයියාගේ සොයුරු ගුණරත්න අබේසේකරයන් ලියූ ‘සුව දේ මට සීතල සුළඟ පවා - හිමි බුදු වුණ බුද්ධගයාවේ’ ගීතය ද ඒ හා සමානව ම මෙන් ජනප්‍රිය විය. එහෙත් බෙග් මාස්ටර් ගැයූ බොදු ගී බහුතරය ලිව්වේ කරු අයියා ය.

“මම ජාතික පෑනක් හොයා ගත්තා. ඒ ජාතික පෑන තමයි කරුණාරත්න අබේසේකර...”

බෙග් මාස්ටර් පුවත්පත් සාකච්ඡාවලදී අපට එසේ කීය. ඒ ජාතික පෑනෙන් රට - ජාතිය - ආගම ගැන ලියවාගෙන ගායනා කිරීම ඔහුගේ පැතුම විය. භාරතයේ සිට පැමිණි ‘මොහිදීන් බෙග්’ ට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ප්‍රදානය කෙරුණේ ද විශේෂයෙන් බොදු ගී ගයමින් ඔහු කළ ඉමහත් කාර්යභාරය නිසා බව ‘සත්සර’ පුවත්පත වෙනුවෙන් කළ සාකච්ඡාවකදී ටී.බී. ඉලංගරත්න හිටපු ඇමතිතුමා අපට කීය. බෙග් මාස්ටර්ට මෙහි පුරවැසි භාවය ලබාදිය යුතු යයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමන්ට නිර්දේශ කර ඇත්තේ ඉලංගරත්න ඇමතිතුමන්ය. 1948 දී ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් ගාලුමුව‍දොර පැවති රාජ්‍ය උත්සවයේ ගී ගැයීමද, 1956 දී පැවැත්වූ බුද්ධ ජයන්ති උලෙළ නිමිත්තෙන් ‘දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය’ ගීතය ගැයීමද එහිදී විශේෂයෙන් සලකා බලා තිබේ. ලංකාවේ ජනතාව හා පරිසරය අගය කරමින් මෙහි නැවතුණු බෙග් මාස්ටර් තමාට පුරවැසි භාවය ලැබීමෙන් පසුව ඊට කෘතවේදී වන්නට මෙන් වඩ වඩාත් බොදු ගී හා දේශාභිමාන ගී ගායනා කළේය.

‘තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ’ යනුවෙන් ද, ‘ලෝකෙ සිහිනයක් වගේය අරුම පුදුම ජීවිතේ’ යනුවෙන් ද ගැයූ ලෙස ම ‘අල්හාජ් මොහිදීන් බෙග්’ නමැති මේ මහා ගායකයා විසිහය වසරකට පෙර එක්තරා අලුයමක තනිව ම නික්ම ගියේ ය. ඒ ඇසේ සුද ඉවත් කිරී‍ෙම් සුළු ශල්‍යකර්මයක් සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටියදී මුළු සිරුර ම සිහිසුන් කිරීම සඳහා එන්නතක් දෙනු ලැබීම හේතුවෙනි. එම එන්නතෙන් සිහිසුන් වූ බෙග් මාස්ටර් යළි අවදි වූයේ නැත. එහෙත් මතු මතුත් යුගයෙන් යුගයට ඒ ගම්භීර ගී රාවය ජනී ජන සවන් තුළින් ඇතුළු වී හදවත් අවදි කරවනු ඇත.

ආනන්ද පද්මසිරි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.