මැණික් රස කතා

සෝම­පාල මෙනේ­රි­පි­ටිය

ගොඩ තිබී ලද ආර්නූල

මැණික්වලට තාත්තාවත් විශ්වාස නැතැයි කියන්නා සේම ලැබෙන්න තියන දෙයක් කාටවත් වළක්වන්නට බැහැයි කියති. එම කීම සනාථ කරන සිදුවීමකි මේ.

අපේ ගම් ප්‍රදේශයේ නඩයක් ඇළහැර බලපත්‍ර සහිත පතල් පොළක වැඩ කරන්නට විය. ඔවුහු හිතවතෙකුගේ කුඹුරක පතලක් කපා ඉල්ලම් ගොඩ දැමූහ. පතල් නීතිය අනුව පතලක ඉල්ලම් කඩන විට ඉඩම් හිමියා හෝ බලපත්‍ර හිමියා පතල ළඟ සිටිය යුතුය. නමුත් පතල් නඩය හා ඉඩම් හිමියා අතර තිබූ මිත්‍රත්වය හා විශ්වාසය මත ඉඩම් හිමියා කුමතේරුවට (බලා ගැනීමට) පතලය ළඟට ආවේ නැත.

පතල් නඩය සතුටින් ඉල්ලම් කැඩීය. ලොකු ඉල්ලම් කැට ඉවත් කරමින් සෝදිසියෙන් ඉල්ලම් කඩමින් සිටියදී ලොවි ගෙඩියක් තරම් නිල් ආර්නූලක් මතු විය. පතලය තුළදීම මැණික පරීක්ෂා කර බැලු නඩය ඉඩම් හිමියාට නොපෙන්වීමට තීරණය කළේය. එම තීරණය නිසා එක් අයෙකුට මැණික ආරක්ෂා කිරිම බාර විය. ඊට පසු ඉල්ලම් කඩා කමතෙහි ගොඩ ගසා ගරන්නට පටන් ගති. ඒත් කුමතේරුවට ඉඩම් හිමියා පැමිණියේ නැත. ඒ ඔවුන් ගැන තිබූ විශ්වාසය නිසාය. ඉල්ලම් ගොඩම ගරා අවසන් කළ පතල් නඩය නාම්බුව බලා අහුලාගත් දළං කෑලි කිහිපය ඉඩම් හිමියාට පෙන්වීය. ඒවා එතරම් නොවටිනා බැවින් ඒවා අලෙවි කර මුදල් ලබා ගැනීමට පතල් නඩයටම ඉඩම් හිමියා දුන්නේය. ඔහු ඒ තරමටම පතල් නඩය සමඟ හිතවත්ය. මෙතරම් හොඳ කෙනෙකුට වංචාවක් කිරීම ගැන ඔවුන් හිතෙන් දුක් වුවද මැණික නොපෙන්වූහ. මේ කිසිත් නොදන්නා ඉඩම් හිමියා වාඩිය මිදුලේත් පතලය පැත්තේත් ඇවිදිමින් සිට සිනා සෙමින් වාඩිය වෙත පැමිණියේය. ඔහු යමක් මිට මොළවාගෙන සිටියේය. මේන් බලනවකො බාස්උන්නැහේ ඔහේලට ඉල්ලම් ගරලත් මැණික් හොයන්න බැරි වුණාට මම ගොඩ තිබිල මැණිකක් හෙව්වා කියමින් මිට මොළවා තිබූ මැණික පතල් නඩයට පෙන්නුවේය. පතල් නඩයේ ඇස් මහත් විය. කටවල් ඇරුණේය. එකිනෙකා මුහුණට මුහුණ බැලුවේය. ඔවුනට ලැබුණ මැණික ඉඩම් හිමියා අතට ආවේ කොහොමද කියා ඔවුනට ප්‍රශ්නයක් විය.

“වාසනාව තමා ගොවි මහත්තයා” කියමින් නොදන්නා නියාවෙන් මැණික අතට ගෙන බලා ඉඩම් හිමියා අතට දුන්න එම මැණික පරිස්සම් කිරීමට බාර ගත් තැනැත්තා මුහුණ බෙරි කර ගත්තේය. ඉඩම් හිමියා වාඩියෙන් ගියාට පසු පතල් නඩයේ අය මැණික පරිස්සම් කළ අයට නොසෑහෙන්න දොස් කීවේය. පසුව ඔවුන් කතා කළේ මැණික ඉඩම් හිමියාට හමු වුණේ කොහොමද කියාය.

මැණික ආරක්ෂා කිරීමට බාර ගත් තැනැත්තා වැඩි පරිස්සමට ඔහුගේ කලිසමක සාක්කුවක මැණික සඟවා ඇඳුම ඔහු ඇඳගෙන සිටියේය. කෙසේ හෝ ඔහු නොදැන එම කලිසම් සාක්කුව ඉරී තිබිණි. එම සිදුරෙන් මැණික වැටී ඇති බව ඇඳුම පරීක්ෂා කිරීමේදී දැකගන්නට ලැබිණි. පවට පින දෙන්න බැහැ කියන වැකිය සනාථ කරමින් පතල් නඩය හිත හදාගෙන තවත් වැඩ කළේය. ඉඩම් හිමියා එදින කඩ පොළට ගිය විට මැණික රුපියල් විසිදාහකට අලෙවි කර සතුට වැඩිකමට පතල් නඩයට මත්පැන් බෝතලයක් ගෙනැවිත් දී තිබිණි.

 

රතු මැණික එනතුරු බලා සිටින දාස

පතලක් කපා ඉල්ලම ගරා මැණිකක් සොයා ගනිති. ඒ මැණික් කෙනෙකුට ළඟ තබාගත හැකිය. පැලඳිය හැකිය. නමුත් එසේ මැණික් ගැරීමේදී ලැබෙන තවත් මැණික් විශේෂයක් තිබේ. ඒවා ගමන් මැණික් ලෙසින් හඳුන්වනු ලබයි. වට්ටියට ඉල්ලම් දමා සෝදන විට එම ගමන් මැණික වට්ටියට බැස වටයක් දෙකක් කැරකී මැණික් ගරන්නා විමතියට පත් කරමින් වට්ටියෙන් පිටතට පැන ජලයේ පාවී නොපෙනී යයි. ඇතැම් අවස්ථාවලදී යමෙකුගේ අතට හසුවී අතින් පැන දිය යට සැඟවී යන අවස්ථා තිබේ. එසේ ගමන් මැණික් දැක හා අතට ගෙන එය හිමිකර ගැනීමට නොහැකි වූ අය ගැන බොහෝ කතා පවතී. මේ එසේ ගමන් මැණිකක් හමුවී අහිමි වීම නිසා මානසික රෝගියකු වූ තරුණයකු ගැන කියැවෙන ශෝකජනක කතාවකි. දාස (නියම නම නොවේ) සාමාන්‍ය පෙළ සමත් වී සිටි අයෙකි. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි ඔහු විවේක ඇති වෙලාවට මැණික් ගැරීම කළේය. ඔහුගේ නිවෙසට පහළ ඔහුගේම කුඹුරේ පතලක් කපා ඉල්ලම් ගොඩ දමා ගරන්නට විය. ගොඩ ඉල්ලමක් නිසා ඔහු තනියම පතලේ වැඩ කළේය. ඉල්ලම ගොඩ දමන විටදිත් කට්ට කෑලි දෙක තුනක් ලැබුණ නිසා ඉල්ලම ගැන දැඩි විශ්වාසයක් තැබූ දාස ඉතා ඕනැකමින් ඉල්ලම් ටික ගරන්නට විය.

වෙලාව දහවල් දොළහට පමණ ඇත. දාස වතුරට බැස ඉල්ලම් ගරමින් සිටියේය. වට්ටිය තුළ කැරකෙන වතුර කැටියත් සමඟ රතු පාට යමක් කැරකෙනවා දාස දුටුවේය. තරමක පුවක් ගෙඩියක් තරම් වූ රතු කැටය වට්ටිය තුළ රවුම් දෙක තුනක් කැරකිණි. දාස වට්ටිය වතුරින් උඩට ගෙන රතු කැටය දෝතින් අල්ලා ගත්තේය.

ජලය සමඟ කැරකීමේ වේගය නිසා දෝතින් ගිලිහුණ රතු කැටය පා වෙමින් දිය පහරත් සමඟ වළ පතුලට ගියේය. ඉල්ලම් වට්ටිය ඉවත දැමු දාස පෙනි පෙනී වතුරේ පා වෙන රතු කැටය ඇල්ලීමට දිය යටට කිමිදුණේය. ඔහුගේ උත්සාහය අසාර්ථක විය. මැණික අතුරුදන් වී ඇත. දාස වළෙන් ගොඩට විත් වතුර වළ දෙස බලා සිට එක පිම්මේ ගෙදර දිව්වේය.

ගෙදර ගිය දාස මැණික ගැන ඔහුගේ මවට කීවේය. අතට ගත් මැණික වැටුණ බව ද කීවේය. කොටින්ම ඔහු පිස්සුවෙන් මෙන් දොඩවන්නට පටන් ගත්තේය. ඉර මුදුන් ජාමයේ අමනුෂ්‍යය බලවේගයකට දාස බය වී යැයි සිතූ ඔහුගේ පියා කට්ටඩියකු ලවා තෙල් මතුරා නූලක් බැන්ද වීය. ඒත් සුවයක් නොවිණි. එදා සිට පතල් වළවල් ළඟ හෝ දොළ පාරවල් ළඟ දාස ඇසිපිය නොහෙළා බලා සිටින්නේ රතු මැණික දැක ගැනීමටය. ඇතැම් අවස්ථාවල වට්ටියට පස් දමා දියට බැස සෝදනු ලබන්නේ රතු මැණික එන තෙක්ය. එදා ගමන් මැණික අතට හසුවී ගිලිහීමෙන් හිතට දැනුණ ශෝකය කම්පනයක් බවට පත් වී දාස මානසික රෝගියකු බවට පත් කර තිබේ. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.