සතියේ ලග්න පලා­පල

ශ. ව. 1939 ක්වූ මේෂ රවි 31 භාග වෙසක් මස අව තිය­වක තිථි­ය­ලත් මැයි මස 14 වැනි ඉරිදා සිට 20 වැනි ශනිදා තෙක්...

මේෂ

වාහනයක් හෝ ඉඩමක් මිලදී ගැනීම පිළිබඳ බලාපොරොත්තු සාර්ථක වෙයි. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවීමට නියමිතය. අලුත් මිතුරන් හඳුනා ගැනීමට ඉඩ ලැබෙයි. ධනය ලැබීම අතින් යහපත් සතියකි. රැකියා කටයුතු කෙරෙහි ඇති උනන්දුව ඉහළ යයි. සමිති සමාගම් ආදියේ නිලතල ලැබීමට ඉඩ ඇත.

ජය අංකය - 3 සුබ දවස - ඉරිදා

 වෘෂභ

ලිපි ලේඛනවලට අදාළ කටයුතුවලදී කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. කාලයක සිට බලාපොරොත්තු වූ තනතුරු ලාබයක් ලබා ගැනීමට ඉඩ සැලැසේ. පදිංචි ස්ථානයෙන් බැහැර ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට අවස්ථාව උදා වෙයි. උත්සාහයේ පමණට කටයුතු සාර්ථක කර ගැනීමට වෙහෙසිය යුතුයි. රැකියා කටයුතුවලට තිබු බාධක ඉවත් වී යයි.

ජය අංකය - 5 සුබ දවස - සිකුරාදා

 මිථුන

අරමුණු ඉටු කරමින් මේ සතිය උදා වෙයි. මුදල් හදල් වැඩිපුර අතේ ගැවැසෙයි. බුද්ධිමත්ව මූල්‍ය කළමනාකරණය කිරීම යහපත්ය. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වෙයි. කලක් ඇසුරු කළ අයකු සමඟ විවාහ ගිවිසුමකට ඇතුළත් වීමට වැඩිහිටි ආශිර්වාදය හිමි වෙයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශගත වීමට අවස්ථාව උදා වෙයි.

ජය අංකය - 8 සුබ දවස - බදාදා

 කටක

දරුවන්ගේ හා වැඩිහිටි අයගේ කටයුතු ආදියේදී සැලකිලිමත් විය යුතුයි. හදිසියේ යෙදෙන දුර ගමනක් නිසා රැකියා කටයුතුවලට බාධා ඇති වීමට ඉඩ ඇත. නිවෙසක් හෝ ඉඩමක් මිලදී ගැනීමට තිබු බලාපොරොත්තු ඉටු වෙයි. හිතවත් අය සමඟ විනෝද චාරිකාවක යෙදීමට අවස්ථාව සැලැසෙයි. පරිගණක අංශවල සේවයේ යෙදෙන අයට උසස් වීම් හෝ ස්ථාන මාරුවීම් ලැබීමට ඉඩ ඇත.

ජය අංකය - 3 සුබ දවස - අඟහරුවාදා

 සිංහ

සිතේ අසහනකාරී තත්ත්වය මැඬ පවත්වා ගැනීමට අවස්ථාව උදා වෙයි. කාලයක් ඇදී ආ ගැටලුවකට පිළිතුරු සොයා ගැනීමට හැකි වෙයි. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයට පැතුම් ඉටුකර ගැනීමට හැකි වෙයි. පවුලේ සුහදතාව වර්ධනය වේ. පවුලේ සාමාජිකයන් සමඟ විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක යෙදීමට ඉඩකඩ ඇත.

ජය අංකය - 9 සුබ දවස - සෙනසුරාදා

 කන්‍යා

හවුල් ව්‍යාපාරවල යෙදී සිටින ව්‍යාපාරිකයන්ට බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ. අතිරේක ආදායම් මාර්ග වර්ධනය වීමට ඉඩ ඇත. බැංකුවකින් අයදුම්කොට තිබෙන ණය මුදලක් නිසි අයුරින් ප්‍රයෝජනයට ගතහොත් ස්වයං රැකියා අංශයේ නිරත අයට වඩාත් ඵලදායි ලෙස දියුණු වීමට ඉඩ තිබේ. පෙම් සබඳතා වැඩිදියුණු වෙයි. කලා කටයුතුවල නිරත අයට යහපත්ය.

ජය අංකය - 1 සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 තුලා

බහින්බස් වීමක් නිසා අමනාප වූ අයකු සමඟ යළි හිතවත්කම් ගොඩනඟා ගැනීමට හැකි වෙයි. ව්‍යාපාර කටයුතුවල නිරත අයට සුබ පල හිමි කරයි. ව්‍යාපාරිකයන්ට මූල්‍ය ආයෝජන අවස්ථා උදා වේ. හවුල් ව්‍යාපාර ආදියට එළැඹීමට ගිවිසුම් අස්සන් කිරීමේ අවස්ථාවලට ඉඩකඩ ඇත. පවුලේ සාමාජිකයකුගේ අසනීප තත්ත්වයකට තැන්පත් ධනයක් වැය වේ.

ජය අංකය - 6 සුබ දවස - සඳුදා

 වෘශ්චික

බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අයට ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වෙයි. රැකියාවට අදාළ මෙතෙක් පැවැති දුෂ්කරතා මඟ හැරේ. වතුපිටි ආදියේ ආදායම් තත්ත්වය වර්ධනය වේ. දියුණුවට නව අඩිතාලමක් දැමීමට අවස්ථාව උදා වෙයි. විදේශ රැකියා සඳහා ඉල්ලුම් කළ අයගේ බලාපොරොත්තු සඵල වෙයි.

ජය අංකය - 3 සුබ දවස - අඟහරුවාදා

 ධනු

අපේක්ෂා නොකළ අවස්ථාවක ආර්ථික වාසි හිමිකර ගැනීමට වාසනාව උදා වෙයි. සහෝදරියකගෙන් තෑගි බෝග ආදිය ලැබීමට ඉඩ ඇත. උද්‍යෝගයෙන් යුතුව රැකියා කටයුතුවල නිරත වීමට ඉඩ සැලැසෙයි. අලුතින් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට ඉඩ සැලැසෙයි. රැකියා ස්ථානයේ වාතාවරණය යහපත් වෙයි. පෙම් සබඳතා වර්ධනය වෙයි. අනතුරු ඇති වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න.

ජය අංකය - 2 සුබ දවස - ඉරිදා

 මකර

අස්ථාන ගත වූ වටිනා ලියවිල්ලක් නැවත සොයා ගැනීමට හැකි වීමෙන් සිතට සතුට ඇති වෙයි. කලක් විදේශ ගතව සිටි ඥාති සහෝදරයකුගේ පැමිණීමක් සිදුවිය හැකිය. කෙටි ගමන් බිමන් අධික වෙයි. සති මැද සතුට දනවන පුවතක් අසන්නට ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් ඉහළ ප්‍රතිඵල හිමි කරයි. සෙම් රෝග පාද ආබාධ ආදිය මතු වීමට ඉඩ ඇත.

ජය අංකය - 9 සුබ දවස - ඉරිදා

 කුම්භ

පදිංචි ස්ථානය පිළිබඳ ප්‍රශ්නයක් විසඳා ගැනීමට වැඩිපුර කාලය කැප කරයි. දරුවකුගේ විදේශ ගමනක් වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය පහසුකම් සොයා ගැනීමට වෙහෙස වීමට සිදු වේ. ලිපි ලේඛන ග්‍රන්ථ ප්‍රකාශන ආදියෙන් අතිරේක ආදායම් මාර්ග යහපත් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව උදා කෙරෙයි.

ජය අංකය - 2 සුබ දවස - සඳුදා

 මීන

තම අනාගත සහකාරිය හෝ සහකරුවා මුණ ගැසීමට ඉඩ ලබා දෙමින් ඉදිරිපත් වූ මංගල යෝජනාවක් ස්ථිර තත්ත්වයට පත්වීමට ඉඩ ලැබේ. තද තීරණවලට එළැඹීම නිසා පහළ සේවක පක්ෂය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතුවිය හැකිය. දරුවකුගේ අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු දියුණුවට තීරණ ගැනීමට අවස්ථාව එළැඹේ. ග්‍රන්ථකරණයේ යෙදෙන අයට යහපත්ය.

ජය අංකය - 2 සුබ දවස - සෙනසුරාදා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.