සයිටම් අර්බුදයට විදුලිසැර වදින්න ළඟයි

 නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂාව හා සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බව රැකගැනීම යන සටන් පාඨ ඉදිරියට දමන්නේ ආරක්ෂක පලිහ ලෙසිනි. වෛද්‍ය සමිතිය තම වෘත්තීය ඒකාධීකාරය රැකගැනීම පිණිස වන ඇත්ත හේතුව වෙනුවෙන් දිගින් දිගටම මේ මාරාන්තික සටනේ නියැලෙයි. රෝගියා මරණයෙන් ගලවන පරමාර්ථයෙන් නොව නිදහස් අධ්‍යාපනයෙන් පුරුදු කරන කුහක තරගයෙන් ජය ගනු පිණිසමයි. ඒ සඳහා මවා පාන වර්තමාන අවස්ථාවේ තේමාව වන්නේ සයිටම් අර්බුදයයි. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය විසඳුමක් ඉදිරිපත් කර තිබියදීත් ඔවුන් තම මාරාන්තික සටන අත්හරින්නේ නැත. ‘මස් රාත්තලම ඉල්ලන‘ සුපුරුදු පිළිවෙතම පෙන්වති. එමගින් පවත්වාගන්නා වෛද්‍ය ඒකාධීකාරියේ එක් පැත්තක් වන්නේ තම පෞද්ගලික සේවාවන් වඩාත් ලාබදායී ලෙස රැකගැනීමයි.

සමාන්තර සෞඛ්‍ය සේවාවන් අධ්‍යාපනිකව බලගැන්වීමට එරෙහි වී එවැනි මාර්ග ඇහිරීම තවත් පැත්තකි. ඒ වෙනුවෙන් තවම ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව පවා ‘කඩේ යැවීම‘ කරන්නේ ඊළඟ පරපුරේ ද වෘත්තීය ගුණාත්මකභාවය කෙළෙසෙන ලෙස අධයාපනය කඩාකප්පල් කරමිනි. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීමට හා සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බව රැක ගැනීමට වඩා මේ ශිෂ්‍ය පරපුරද තම ජ්‍යෙෂ්ඨයන් භුක්ති විඳින කුහක ඒකාධිකාරියට කැමති වනවා විය හැකියි. අවසානයේ මේ වෘත්තීය සටන්වල ඉලක්කය තම ස්වාර්ථය පිණිසම වන ආයතිනික ව්‍යුහය රැකගැනීමට මිස රටේ අනාගතය යහපත් කෙරෙන ක්‍රමවේද සමඟ ඉදිරියට යාම නොවේ. රටක් ලෙස ගත් කල මෙකී වෘත්තීය පසුගාමී බව දේශපාලන පක්ෂවලද අනන්‍යතාවයි. වෙනස් වෙන ලෝකය සමඟ ගැලපෙන්නේ නැතිව, පවතින ආණ්ඩුවම විවේචනය කරන විරුද්ධ පක්ෂ හෝ කණ්ඩායම් හෝ සයිටම් අර්බුදයේ එල්ලීම එවැන්නකි.

රජයේ ප්‍රතිපත්ති හා ආයතනික ක්‍රමය අතර ගැටුම සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා වන්නක් නොවේ. මෙය තීරාණාත්මක වෘත්තීන්වල නිතර දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදයට විසඳුමක් ලෙස ප්‍රසස්ථ ව්‍යාපෘතියක් හැටියට යෝජනා වී ඇති ‘සූර්යබල සංග්‍රාමය‘ විදුලිබල මණ්ඩලයට, එහි වෘත්තිකයන්ට එතරම් වැදගත් නොවීම එවැනි දේට නිදසුනකි. ගල් අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීම නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. එහෙත් ඒ ගැන වගේ වගේ නැති ගාණට කටයුතු කරනවා පමණක් නොව තවදුරටත් ගල් අඟුරු ව්‍යාපෘති යෝජනා කරමින් කල්මැරීම පසුගාමී ආයතනික ව්‍යහුය පෙරට ගැනීමේ අවස්ථාවකි.

වැඩිවන විදුලිය ඉල්ලුමට අනුව වසර 2020 වන විට විදුලිය අර්බුදයක් නිසැක බවට අනාවැකි ඵල වී තිබේ. පිළියමක් ලෙස ගල් අඟුරු ව්‍යාපෘතියක් දියත් කළ ද එම කාලය වන විට එහි සැපයුමක් ලබන්නට කල් ප්‍රමාණවත් නැත. එහෙත් දිගින් දිගටම ගල් අඟුරු ව්‍යාපෘතිම යෝජනා වෙයි. යටි අරමුණ වන්නේ හදිසි අවශ්‍යතාවක් ඇති කොට විසඳුම ලෙස ඉන්ධන දහනයෙන් විදුලිය නිපදවන ජාවාරම පණ ගැන්වීම බව පැවසේ. විදුලිබල ක්ෂේත්‍රෙය් ආයතනික ව්‍යුහය ප්‍රකාශ වන්නේ එලෙසයි. අවසානයේ රජයේ ප්‍රතිපත්තිය ද ආයතනික ව්‍යුහයද නිසි ලෙස ක්‍රියාත්මක නොවී විදුලිය අර්බුදය ම මෝරා යයි. මෙයින් මඟ ඇරෙන්නේ රටේම විදුලිය ඉල්ලුම සම්පූර්ණ කළ හැකි බවට පැහැදිළි වී ඇති වහල මිලියනයක් බලාගාර බවට පත් කරන සූර්යබල සංග්‍රාමයයි. එනම් අනාගතවාදී වෙනසකට මඟ ඇහිරීමයි. තම ස්වාර්ථය වෙනුවෙන්ම ආරක්ෂා කරන පසුගාමී ආයතනික ව්‍යුහයට රාජ්‍ය ප්‍රතිපත්තිය යටපත් කිරීමයි. රාජ්‍ය ප්‍රතිපත්තිය හැම විටම නිවැරදි වන්නේ නැති බව ඇත්තකි. ඒ වැරදි විවේචනයට ගන්නේ ද නිවැරදි සැලසුම ඉදිරියට ගැනීමට නොව ආයතනික ව්‍යුහය විසින් අනුබල දෙනු ලබන ජාවාරම් කරගෙන යාමට බව මෙහි සැඟවුණු කතාවයි.

2020 විදුලිය ඉල්ලුම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය යෝජනා කරන ගල් අඟුරු හෝ එවැනි කවර ව්‍යාපෘතියකට වුවද රජය ආයෝජනය කළ යුතු වෙයි. ඒ සඳහා දෙස් විදෙස් මට්ටමින් ණය ගැනීම හැර රජයට ඉතිරි ධනයක් නැත. එහෙත් සූර්බල සංග්‍රාමය දියත් වන්නේ රජය ඒ ආයෝජන බරින් නිදහස් කරමිනි. වහල මිලියනය බලාගාර බවට පත් කිරීම වෙනුවෙන් ආයෝජනය කරනු ලබන්නේ එම නිවාස හිමියන් විසිනි. රජයට ඇත්තේ ණය ලබාදීමෙන් හෝ ණය පොලිය අඩුකිරීමේ සහන මඟින් හෝ නිවාස හිමියන් දිරි ගැන්වීම පමණි. වහල මතින් නිපදවන වැඩි විදුලිය විදුලිබල මණ්ඩලය මිල දී ගැනීමට යෝජනා වීම එවැනි දිරි ගැන්වීමක් නමුත් එය විදුලි පාරිභෝගිකයාට දැනෙන ලෙස ක්‍රියාත්මක නොවන්නේද අර යටි අරමුණු සහිත ආයතනික ව්‍යුහය නිසාය.

විදුලිය අර්බුදයක් ඇතිවීම, විසඳුම් ලෙස ඉන්ධන දහනයෙන් විදුලිය නිපදවීම, එනිසා විදුලියට ඉහළ මිලක් ගෙවන්නට සිදුවීම මුළු සමාජයටම දරන්නට අමාරු පීඩනයක් වනවා පමණක් නොව රටේ ආර්ථිකයට සෘජුවම බලපාන මරු පහරක් ද වනු ඇත. එබැවින් සයිටම් අර්බුදය මෙන් විදුලිය අර්බුදයට වැඩෙන්නට ඉඩ දිය යුතු නොවේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.