ඕනෑ දේකට හා ගණන්වලට නම් බෑ

ජෙරියෝ, මචං උඹට ගණන් පුළුවන්ද?

පුළුවන් ඇයි උඹ හිතන්නේ මට ගණන් බෑ කියලද?

නෑ... නෑ... මචෝ අපි දෙන්නමනේ එකට මොන්ටිසෝරි ගියේ. මම අහන්නේ උඹට පුළුවන් ද කියලා විතරයි.

පුළුවන්, එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම ඕනෑ දෙයක් පුළුවන්. උඹට මොනවාගෙන්ද ඕනෑ.

මට ඕනෑ දෙයක් ගැන නෙවෙයි මචං මම මේ කියන්නේ.

එහෙනම් ඉතින් කියන දෙයක් තේරෙන භාෂාවෙන් කියපන්.

ඩබලගේ ගණන් කතාව අහගෙන ඉඳලා තව පොඩ්ඩෙන් යන්න ගිය ගමනත් අමතක වෙනවා. මොකද ඩබල ගණන්වල පැටලිලා. කාගෙන් හරි ණයක්වත් ගන්නද? නැත්නම් කාගෙන් හරි ගාණක් එන්න තියෙනවද?

නෑ... නෑ... අපි කාටවත් ණයත් නෑ. අපි කාටවත් බයත් නෑ.

එහෙනම් මොකක්ද මේ ගණන් හුටපටය.

දැන් බලන්න මේ වෙනකොට ක්‍රීඩා සංගම් නිලවරණ තියලා ඉවර වෙන්න ඕනෑ. අද ක්‍රීඩා සංගම් නිලවරණවලට දින කියනවා. ඊට දවස් දෙකකට පස්සේ කියනවා විගණන වාර්තා නෑ, සතියකින් දෙකකින් කල් දැම්මා කියලා.

දැන් බලපන් ටොමා බැඩ්මින්ටන් නිලවරණය තියලා, නිලධාරි මණ්ඩලයත් පත් වෙනවා. විගණන වාර්තා නෑ කියලා ඒක කැන්සල් කරලා ආයෙත් තියෙනවාලු. වොලිබෝල් සම්මේලනයේ සභාපතිධූරයට රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා නිතරගයෙන් පත්වෙලා. හිටපු ලේකම්තුමාත් නිතරගයෙන් පත්වෙලා. අනිත් නිලධාරීන් පත් කරගන්න නිලවරණය තියෙන්න විදියක් නෑල්ලු විගණන වාර්තා නැති නිසා.

වැරැදි දෙයක් සිද්ධ වෙලා තියෙනවානම් ඒක හරිගස්සන්න ඕනෑ. වැඩේ කියන්නේ ජෙරියෝ ඔය හැම සංගමයකටම භාණ්ඩාගාරික කෙනෙකුත් පත් කරගන්නවා නේද?

ඔව් මචං, ඔය භාණ්ඩාගාරිකලා කියලා පත්වෙන කට්ටිය සංගමයේ සභාපතිගේ හරි ලේකම්ගේ ගෙදර හරි පොල් ගානවද දන්නේ නෑ. පත්වෙච්ච දවසේ ඉඳලා.

ඔය හුඟක් කට්ටිය ඉන්නේ පොල් ගාන්න තමයි. අයවැය ලේඛණ ටික හරියට තියා ගත්තොත් කට්ටිය එකතුවෙලා යහමින් ගහපු ගැහිලිටික එළිවෙනවනේ.

මමත් කට පියාගෙන ඉන්නම බැරි තැන මැදට පැන්නා.

මොකද කට්ටිය හිතාගෙන ඉන්නේ සංගම් උන්ගේ අම්මලා - අප්පලාගේ බූදල්වලින් මේ වැඩේ කරනවා කියලානේ. ඒකනේ මරාගෙන හරි සභාපති හරි ලේකම් නැත්නම් ෆයිල් කවර ටික උස්සගෙන යන්න හරි මේවට රිංගන්න බලන්නේ.

ඇත්තටම ඉතින් ක්‍රීඩාවට ආදරය කරන අයත් ඔය අතර නැතුව නෙවෙයි. හැබැයි ඉතින් අරවගේ හොරු වැඩි වෙන්න වැඩි වෙන්න අර හොඳ මහත්වරුන් යට යන එක තමයි වෙන්නේ.

ඒ කතාව නම් ඇත්ත තමයි ජෙරියෝ. අපේ රටේ කොන්ද පණ තියෙන ක්‍රීඩා ඇමැතිවරු හිටියා නම් ඔය සංගම්කාරයන්ට එච්චර පිස්සු කෙළින්න වෙන්නේ නෑ.

ඔව් ඉතින් අපි බලමු දයාසිරි ඇමැතිතුමාවත් මේ වැඩේ හරියට කරයි ද කියලා.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.