ජීවිතයත් මරණයත් අතර සටන් කරන ආනන්ද වෙඩිසිංහට

වමත් ජිවිතයත්, මරණයත් අතර සටන් කරමින් සිටින ප්‍රවිණ යතුරුපැදි ශුර ආනන්ද වෙඩිසිංහගේ ජීවිතය කෙසේ හෝ බේරා ගැනීම සඳහා වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට විදේශ රටකට ගෙන යාමට ඔහුගේ බිරිය සහ දරුවන් තිරණය කර තිබේ.

ඒ නවීන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන ජපානය හෝ සිංගප්පුරුවටයි. ආනන්ද වෙඩිසිංහ ගේ ජපන් ජාතික බිරිය එරට සුදුසුකම්ලත් හෙදියක වන අතර, ජපානයේ ඔහු වෙනුවෙන් රක්ෂණාවරණයක් ද පවතින බව අනාවරණය වෙයි. ඒ අනුව ආනන්දගේ ප්‍රතිකාර වෙනුවෙන් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ද එමඟින් ලබාගත හැකි බව පවුලේ උදවිය විශ්වාස කරති.

කෙසේ වෙතත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන ආනන්ද විදේශ රටකට රැගෙන යාමට විශාල මුදල් ප්‍රමාණයක් වැය වන බැවින්, ඔහුගේ මිතුරන් පිරිසක් එක්ව අවශ්‍ය සියලු වෛද්‍ය පහසුකම් සහිත ගුවන් යානයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය මුදල් එක් රැස් කර ගැනීමේ ව්‍යාපාරයකට ද මුල පුරන ඇතැයි ද පැවසේ.

ආනන්දගේ බිරිය මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ද ඒ සඳහා උපකාර ඉල්ලා ඇතැයි වාර්තා වේ. මේ වන විට මෝටර් රථ යතුරු පැදි ක්‍රීඩා සමාජ හරහා සංවිධායකයන් සහ ක්‍රීඩකයන්ගේ සහාය ද ආනන්දයන්ට අවශ්‍ය කර තිබේ.

අධික වේගයෙන් පැමිණ වංගුවක් ගැනීමට යාමේදි යතුරු පැදි දෙක එකිනෙකා පැටලීමෙන් පාලනය ගිලිහී යාම නුවරඑළිය මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේදී ආනන්ද වෙඩිසිංහ සහ තමා මුහුණ දුන් දරුණු අනතුරට ‍ප්‍රධාන හේතුව බව සුරාජ් පෙරේරා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

සුරාජ් වැඩිදුරටත් පවසන්නේ මෙවර තරගාවලියේ වේග සීමා ඉවත් කර තිබීම ද ධාවකයන්ගේ යතුරුපැදිවල වේගය වැඩිවීමට හේතු වූ බවයි.

මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ යතුරු පැදි ධාවකයකු වන ආනන්ද අනතුර සිදු වූ පසුගිය 23 දා සිට ම මේ සටහන තබන විටත්, මහනුවර මහා රෝහලේ ‘දැඩි සත්කාරක ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් ස්වසන උපකරණ ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ නුවරඑළිය මෝටර් රථ සහ යතුරුපැදි තරග අතර සිදුවූ පළමු හෝ අවසන් අනතුර නොවේ. මීට වසර නවයකට පෙර මෝටර් රථ ශූර ඩිල්ෂාන් බණ්ඩාරනායකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ ද මේ ධාවන පථයේදීමය. ඊට පෙර ද මෙකී ධාවන පථයේ සිදු වූ අනතුරුවලට ලක්වූ ධාවකයන්ගේ ප්‍රමාණය මෙතැකැයි කිව නොහැකි තරම්ය.

මෙදා ආනන්ද වෙඩිසිංහ ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී එදා දරුවන් දෙදෙනකුට සදාදර පියකු, බිරියකට දයාබර සැමියකු, පවුලකට ඥාතියකු, සගයිනට හිතමිතුරු සගයකු අහිමිව ගියේ ද මෙකී ධාවන පථයේදීම ය. තිස්අට වියැති ඩිල්ෂාන්ට සිය ජීවිතයෙන් සමු ගැනීමට එදා සිදු වූයේත් අද ආනන්ද දරුණු අනතුරකට ලක්වූයේත් මෝටර් රථ ධාවන පථයක හෝ යතුරුපැදි ධාවන පථයක තිබිය යුතු නිසි ප්‍රමිතිය, ආරක්ෂාව සහ සුරක්ෂිත බව නුවරඑළියේදී බල්ලාට ගිය බැවිනි.

නුවරඑළිය වසන්ත සමය පෙරදැරි කොට පවත්වනු ලබන අංග අතර නුවරඑළිය රෝඩ් ‍රේස් තරගාවලියට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මෙකී ප්‍රමුඛ ස්ථානය කී‍්‍රඩකයකුට සුදු කොඩි ඔසවන තැනකට මඟ කියන තැනක් නම් මෙකී ස්ථානය පිළිබඳ දැන්වත් පමා නොවී තීණ්දු තීරණ ගන්නා තැනකට බලධාරින් එක්තැන් විය යුතුය. තරග සංවිධායකයන් බුරුතු පිටින් අනුග්‍රහකයන් ද ඒකරාශි කර ගනිමින් තරග සඳහා ඇතුළත් වීමේ ගාස්තු අසීමිතව අය කර ගැනීමේ අටියෙන් තරගකරුවන් ද හැකි තරම් එකතු කර ගනිමින් පවත්වනු ලබන මෙකී තරගාවලිය මුදල් ඉපයීමේ ජාවාරමක් බවට නැඟෙන චෝදනා ද මෙවැනි සිදුවීම් හරහා කිසිසේත් ම බැහැර කළ නොහැකිය.

මෙකී ධාවන මාර්ග තරගකරුවන් සහ පේ‍්‍රක්ෂකයන් අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ රේස්කෝස් වට රවුම ලෙසය. රේස්කෝස් වටරවුම ‍මෝටර් රථ ධාවන තරග සඳහා පමණක් නොව, සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 50 - 75 ක වේගයකින් වාහනයක් ධාවන කිරීමට සුදුසු මට්ටමක පවතින මාර්ගයක් නොවන බව මෝඩ සංවිධායකයන්ගේ මැටි මොළවලට නොතේරුණාට මේ පිළිබඳ දැනුමැති ඕනෑම කෙනෙක් දන්නා සාමාන්‍ය කරුණකි. කොටින් ම මෙය ධාවන පථයක් නොව ප්‍රධාන මාර්ගයකි. මෙකී මාර්ගයේ සාමාන්‍යයෙන් ධාවන තරග පවත්වන දින දෙකේ පෙරහුරු තරග සහ තරග පවත්වනු ලබන හෝරා කිහිපයට පමණක් වසා දමා ධාවන පථයක් කර ගන්නා මාර්ගයකි.

මෙවන් අනාරක්ෂිත මාර්ගයක මෝටර් රථ ධාවන තරග පැවැත්වීම වසර කිහිපයක් ම අවසර ලබා නොදී ඇති බව ද ප්‍රකට කරුණකි. ඩිල්ෂාන් ජීවිතයෙන් සමුගත් 2008 දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නුවරඑළිය නාගරික කොමසාරිස්වරයාට මාර්තු 15 දා ලිඛිතව දැනුම් දී ඇත්තේ මෝටර් රථ ධාවන තරග තහනම් කිරීම පිළිබඳ හා යතුරු පැදි තරග පමණක් පැවැත්වීමට අවසර ලබාදීම පිළිබඳ කරුණු සලකා බලන ලෙසය. ඒ නුවරඑළිය ධාවන පථය මෝටර් රථ ධාවන තරග සඳහා සුදුසු මට්ටමක නොපවතින බව සඳහන් කරමින් 2008 මාර්තු මාසයේ මුල හිටපු ප්‍රවීණ ධාවන ශූරයකු වූ චන්ද්‍ර ද කොස්තා හිටපු ජනාධිපතිවරයාට යොමු කරතිබූ ලිඛිත දැනුම් දීමකට අනුවය.

උක්ත ඉල්ලීම පවා ගණනකට නොගෙන සංවිධායකයන් කටයුතු කිරීම නිසා ඩිල්ෂාන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වූ අතර, එකී ජීවිත වන්දියට නිසි කි‍්‍රයාමාර්ග නොගෙනීම නිසා අද ආනන්ද වෙඩිසිංහට ද එකී පාප කර්මයට ම කර ගසන්නට සිදු ව තිබීම කණගාටුවට කරුණකි.

මෙදා ආනන්ද සහ සුරාජ් මෙන් ම එදා ඩිල්ෂාන්ගේ මිනි 1000 සීසී මෝටර් රථය අජිත් හේමචන්ද්‍රගේ රථයේ ගැටී ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරින් ඩිල්ෂාන්ට සිය දියණියගේ උපන් දිනයේදි ජීවිතයෙන් සමු ගැනීමට සිදු විය. සිය දියණිගේ උපන් දිනය සැමරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තම ජයග්‍රහණය එයට මුසු කිරීමට පෙර මඟ බලා සිටි පියාට සිදු වූයේ තමා බෙහෙවින් ම ආදරය කළ ඇලුම් කළ කී‍්‍රඩාවෙන් ද සදහට ම සමු ගැනීමටය.

අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නොවේ. ඩිල්ෂාන් ජීවිතයෙන් වන්දි ගෙවූ පසු හෝ කී‍්‍රඩා අමාත්‍යාංශය මේ පිළිබඳ කි‍්‍රයාත්මක වූයේ නම් වසර නවයකට පසුව හෝ ආනන්ද මෙවැනි ඉරණමකට ගොදුරු නොවනු ඇත. ඩිල්ෂාන් තරග කළ 2008 දී 1000 ඛ්ඛ් මිනි රථ ඉසව්ව සඳහා රථ 13ක් ඉදිරිපත්ව තිබෙන අතර ධාවන පථයක් හෝ නොවන තැනක මෙතරම් රථ සංඛ්‍යාවක් තරග කරවීම ද බරපතළ කරුණකි. ඩිල්ෂාන් ජීවිතයෙන් වන්දි ගෙවූ පසු නුවරඑළිය නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මාර්ගය නවීකරණය කළ යුතු බවයි. මෙයින් මනාව පැහැදිලි වන්නේ අඩු තරමින් එකී තරගයට පෙර මාර්ගයවත් නිසි පරිදි නඩත්තු කර නොමැති බවයි.

ආනන්ද සහ සුරාජ් යනු මේ ක්ෂේත්‍රයට නවකයෝ නොවෙති. දෙදෙනා ම අත්දැකීම් බහුල ධාවකයන්ය. මීට පෙර වසරවලදී ද සුපර් මෝටාඩ් ඉසව්ව සඳහා තමා සහ ආනන්ද අතර තියුණු තරග පැවැති බවත්, ඒ කිසිදු අවස්ථාවක මෙවැනි සිදුවීමකට මුහුණ දී නොමැති බව ද සුරාජ් එකී අනතුරින් පසුව ප්‍රකාශ කර තිබේ.

අපි දෙන්නා වංගුවේ අමාරුම හරිය පහු කරලා තිබුණේ. වංගුව ඉවර වෙන හරියේ අපි දෙන්නගේ යතුරු පැදි දෙක එකට පැටලුණා කියලා තේරුණා. අපි ආපු වේගය එක්ක දෙන්නට ම යතුරුපැදි පාලනය කර ගන්න බැරුව ගියා. අපි දෙන්න ම පාරේ අයිනේ තිබ්බ වැටේ වැදිලා උඩින් විසි වුණා.

මේ අනතුරින් ආනන්ද වෙඩි සිංහගේ හිසට හා සුෂුම්නාවට බරපතළ හානි සිදු වී තිබෙන අතර, සුරාජ්ගේ දකුණු අතක් බිඳී තිබේ.

මෙවර තරගාවලියේදී තරගකරුවන්ට පුහුණුවීම් සඳහා අවස්ථාවක් ලබා නොදුන් බවත්, කාල ගණනය කිරීමක් නොකර කුසපත් ඇදීමකින් සුපර් මෝටාඩ් තරගයේ ආරම්භක ස්ථානය ලබාදීමට තරග සංවිධායකයන් පියවර ගෙන තිබූ බවත්, තරග ආරම්භයට පෙර ඇඟ උණුසුම් කර ගැනීම සඳහා වට දෙකක ධාවන කාලයක් ලබා දුන් බව ද සුරාජ් වැඩිදුරටත් කියා සිටියි.

ඒක ධාවන පථය ගැන අවබෝධ කර ගන්න ප්‍රමාණවත් නැහැ. පුහුණුවීම් සඳහා කාලයක් ලබා දුන්නා නම්, අනතුර වළක්වා ගැනීමට හෝ බරපතළකම අවම කර ගැනීමට අවස්ථාව තිබූ බව ද සුරාජ් තවදුරටත් පවසයි.

මෙවන් තරගවල අනතුරු සිදුවීම් සාමාන්‍ය නමුදු, එකී අනතුරු අවම කර ගැනීමට සැලසුම් සැකසීම, කි‍්‍රයාත්මක කිරීම පරම යුතුකමක් වන්නේ මෙය නුවරඑළියේ පැවැති ප්‍රථම රෝඩ් රේස් තරගය නොවන බැවිනි. මෙවැනි බොහෝ තරගවල තරගකරුවන් තරග කරන්නේ හුදෙක් විනෝදාස්වාද සහ ප්‍රේක්ෂකයන් පිනවීමේ අටියෙන් මිස වෙනත් කිසිදු ලාභ ප්‍රයෝජනයක් සඳහා නොවේ. මන්ද යත් මෙකී තරගවලට ඉදිරිපත්වීම යනු හුදෙක් අතින් කා හරක් බැලීමකට වඩා දෙයක් නොවන බැවිනි. ජයග්‍රහකන්ට පවා ලැබෙනුයේ ලී - ප්ලාස්ටික් - වීදුරු හෝ තහඩු කැබැල්ලක කොටන ලද සැමරුමකට වඩා වැඩි දෙයක් වේ.

තරගකරුවන්ගේ හෝ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වග විභාගයකින් තොරව කටයුතු කර තිබීම ද මෙහි එල්ල වන ප්‍රධාන චෝදනාවකි. විශේෂයෙන් වංගුවල ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ආරක්ෂාවක් වෙනුවට හරියට වැලි කොට්ට හෝ ටයර් දමා නොතිබූ බවද පැවැසේ. වැලි කොට්ට ද ඈතින් ඈත තබා තිබෙන අතර, එක්තරා මාධ්‍යයක් මෙය වාර්තා කර තිබුණේ නිවෙස්වල අලංකාරයට මල් පෝච්චි තබා ඇති ආකාරයට වැලිගෝනි තබා තිබූ බවය. ධාවනය පථයක දරුණු අනතුරක් සිදු වූ පසු තරගයක් අවලංගු කර දැමීම සාමාන්‍ය කරුණක් වුවද, මෙහිදී එවැන්නක් පවා සිදු නොවූ බවට ද චෝදනා එල්ල වේ. අනතුර සිදු වූ ස්ථානයට ගිලන් රථයක් පවා ගෙන්වා ගැනීමට පැය භාගයකට ආසන්න කාලයක් ද ගතවී තිබේ. මෙකී ධාවන පථය සහ නුවරඑළිය මහා රෝහල පිහිටා ඇත්තේ පෙනෙන නොපෙනෙන දුරකින් ය.

නුවරඑළිය රෝහලේ ද ආනන්දට ප්‍රතිකාර කිරීමට පහසුකම් තිබි නොමැති බව ද අනාවරණය වන අතර මෙ නිසා ම පස්වරු එකේ පමණ සිට හය වන තෙක් මහනුවර මහා රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ඉඩ පහසුකම් සලසා ගන්වන තෙක් නුවරඑළියේ රඳවා ගැනීමට සිදුවූ බවද පැවැසේ. කෙසේ වෙතත් මහනුවර රෝහලට පවා ආනන්ද වෙඩිසිංහ රැගෙන යාම කඩිනම් වී ඇත්තේ ෂේන් ගුණවර්ධන සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත බවද පැවැසේ.

නුවරඑළියට කිලෝමීටර් තුනක් පමණ මෙපිටින් පිහිටි සුළං කපොල්ලේ සුළං දෝතින් නතර කිරීමට නොහැකි බව එහි වැසියෝ දන්නේ බොහෝ කලකට පෙර සිටය. එය මෙවන් තරගාවලියක් සංවිධානය කරන සංවිධායකයන්ට නොතේරීම ඩිල්ෂාන්ගේ ආනන්දගේ පමණක් නොව, අනාගතයේ මෙකී ධාවන පථයට ගොඩවෙන සියලු දෙනාගේ අවාසනාවකි. අභාග්‍යයකි. ඛේදනීය ඉතිහාසයකට උරුමකම් කියන මෙකී මාර්ගය කී‍්‍රඩකයන්ගේ ජීවිත වටිනාකම තුට්ටුවට ඇද දමා කටයුතු කරන සංවිධායකයන්ගේ මැටිවැඩ ගැන බලධාරීන් දැන්වත් සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතුය. එවිට ආනන්ද වැනි කී‍්‍රඩකයන්ට යහතින් තරග කර යහතින් ම සිය නවාතැන් කරා යැමට හැකිවනු ඇත. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.