සුදු අකුණු සර පිටියට එයි

ප්‍රශාන්ත ඇල්පිටිය

මීට වසර ගණනාවකට පෙර ක්‍රිකට් ක්‍රීඩා ලොව පිතිකරුවන්ට සුදු අකුණු සරෙන් බේරීමට සිදු වී තිබුණි. එහෙත් එය කිසිසේත්ම පහසු වූයේ නැත. එමනිසාම බොහෝ සුපිරි පිතිකරුවෝ් පවා මෙම සුදු අකුණු සරට හසු වී දැවී ගියහ.

එදා ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද මේ සුදු අකුණු සරෙන් ගැලවීමට හැකි වූයේ නැත. වසර ගණනාවක් ගත වී තිබේ. සුදු අකුණු සර යළිත් වතාවක් ශ්‍රී ලංකාවට පැමිණියේය. එහෙත් මෙවර ශ්‍රී ලංකාවට උපකාර කිරීමටය.

සුදු අකුණු සර හෙවත් දකුණු අප්‍රිකානු හිටපු සුපිරිතම වේග පන්දු යවන්නා වන ඇලන් ඩොනල්ඩ්ගේ සේවය තාවකාලිකව ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. ඒ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකවරයකු වශයෙනි.

ඩොනල්ඩ්ගේ නව පත්වීමත් සමඟම ක්‍රිකට් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වාගේ ඉවත්වීම පිළිබඳ දැඩි කතාබහක් ද මේ වන විට මතුවෙමින් පවතී. අහසින් කඩා පාත් වූවාසේ ඩොනල්ඩ්ගේ පැමිණීම පිළිබඳ අරවින්ද ප්‍රමුඛ කමිටුව දැන නොසිටීම මෙයට ආසන්නම හේතුව බවද දැනගන්නට තිබේ. මේ ආකාරයට ම මීට පෙර වසීම් අක්රම් ද ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට උපදෙස් දෙන්නට පැමිණි නමුත්, මේ වන විට අක්රම්ට සිදු වූ දෙයක් ද නොමැති බව එකී ආරංචි වැඩිදුරටත් පවසයි.

50 හැවිරිදි ඩොනල්ඩ්ගේ කාර්යභාරය වනුයේ ලබන ජුනි මාසයේ දී එංගලන්තය සහ වේල්සයේදී පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග සහ මද වේග පන්දු යවන්නන්ට අවශ්‍ය උපදෙස් සහ පුහුණුව ලබා දීමය. "තරගාවලිය ජය ගැනීමට අවශ්‍ය හැකියාව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලඇණියට තිබෙනවා. ශ්‍රී ලංකාවට කුසලතා රැසක් තිබෙනවා. "ඩොනල්ඩ් සිය පත්වීම භාර ගනිමින් පැවසීය.

හෙතෙම දෙමසක පමණ කාලයක් ශ්‍රි ලංකා කණ්ඩායමේ උපදේශකවරයකු ලෙසට ක්‍රියා කරනු ඇත. එම කාලය තුළදී ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරුවන් වන චමින්ද වාස්, චම්පක රාමනායක, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ නුවන් සොයිසා සමඟ ඩොනල්ඩ් ශ්‍රී ලංකා ජයග්‍රහණයට සහාය දක්වනු ඇත. මෙම ශ්‍රී ලංකා පුහුණුකරුවන් මීට වසර ගණනාවකට පෙර ඩොනල්ඩ්ට එරෙහිව ක්‍රීඩා කර තිබීම විශේෂත්වයකි.

කලක් සුදු ජාතික වේගවත්ම පන්දු යවන්නා වුයේත් ඩොනල්ඩ්ය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි. සී. සී.) ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 සහ එක්දින ජාත්‍යන්තර අංක 02 පන්දු යවන්නා බවටත් ඩොනල්ඩ් පත් විය. ඒ 1998 වසරේදීය.

මේ අතර 1996/97 සිට 2002 දක්වා ෂෝන් පොලොක් සමඟ ඩොනල්ඩ් අති සාර්ථක ආරම්භක වේග පන්දු සබඳතාවයක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ගොඩනැඟීය. ඩොනල්ඩ් ජාත්‍යන්තරව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් විට ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර වැඩිම කඩුලු දවාගත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නාත් වූයේය.

ඉන් අනතුරුව ඩොනල්ඩ් වේග පන්දු පුහුණුකරුවෙක් බවට පත් විය. "මෙය (ශ්‍රී ලංකා වේග පන්දු උපදේශක) මගේ පස්වැනි ජාත්‍යන්තර පැවරීම. ශ්‍රී ලංකාව සමඟ වැඩ කිරීමට ලැබීම මා ලැබූ ගෞරවයක් ලෙසටයි සළකන්නේ. අයි. සී. සී. තරගාවලියන්හි වටිනාකම මම දන්නවා. දකුණු අප්‍රිකානුවෙක් ලෙසට එම තරගාවලියන්හි සාර්ථකත්වය අත්විදීමට මට නොහැකි වූවා." ඩොනල්ඩ් අවංකව සිය අදහස් එසේ දැක්වීය.

ඩොනල්ඩ් ගත වූ කාලයේ දී එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන ජාතික කණ්ඩායම්වලට සිය උපදේශකත්වය ලබා දුන්නේය. මීට අමතරව එංගලන්තයේ වර්වික්ෂයර් ප්‍රාන්තය, සිම්බාබ්වේ හි මවුන්ටෙනීයර්ස් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි. පී. එල්.) කණ්ඩායම් වන පූනේ වොරියර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වැනි කණ්ඩායම්වලටත් පුහුණුකරුවෙක් ලෙසටත් හෙතෙම සිය දායකත්වය ලබා දී තිබේ. මේ වන විට එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ සහාය පුහුණුකරු වශයෙනුත් ඔහු පත් කර තිබේ.

චැම්පියන්ස් කුසලාන තරගාවලිය වෙනුවෙන් ඩොනල්ඩ්ගේ උපදේශකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට තවත් විශේෂ හේතුවක් බලපෑවේය. එනම් ඔහු වසර ගණනාවක්ම එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට සහභාගි වීමෙන් අත්දැකීම් රැසක්ම ලබා තිබීමයි.

"ජුනි මාසයේ දි එංගලන්තයේ තත්ත්වයන්ට ගැළපෙන ලෙසට කණ්ඩායම සකස් කිරීම ඉතා වැදගත්. අපි එහිදී මුලින්ම පන්දු යවනවා නම් සුදු පැහැති පන්දු දෙක හොඳින් භාවිත කිරීම ඉතා අත්‍යවශ්‍යයි." ඩොනල්ඩ් තවදුරටත් පැවසීය.

එළැඹෙන චැම්පියන්ස් කුසලාන තරගාවලිය පිළිබඳ ඩොනල්ඩ් ගේ මතය වන්නේ "මෙම තරගාවලිය අතිශයින්ම දරුණු තරගාවලියක්. සුළු වැරැද්දකටවත් ඉඩක් නැහැ. එක වැරදීමකින් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වෙන්න පුළුවන්. එමෙන්ම මේ තරගාවලිය අසීරුයි. අපි (ශ්‍රී ලංකාව) සිටින්නේ අමාරු කාණ්ඩයකයි. අපි මුලින්ම සැලසුම් කරන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි. ඊට පසුව අපි ඉන්දියාව සහ පාකිස්තානය ගැන හිතනවා. මේ තරගවලට එන්න ඕනෑ විවිධ උපක්‍රම සමගයි."

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වන්නේ ග්‍රෙහැම් ෆෝඩ්ය. හෙතෙම දකුණු අප්‍රිකානුවෙකි. ඩොනල්ඩ් පිළිබඳ ෆෝඩ්ට හොඳ අවබෝධයක් තිබේ. මන්දයත් ඩොනල්ඩ් ජාත්‍යන්තරව ක්‍රීඩා කළ අවසන් කාලයේදී දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේත් ෆෝඩ් බැවිනි.

"එක්දින ජාත්‍යන්තර තරගවලදී සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් ආරම්භය සහ අවසානයත් හොඳ විය යුතුයි. ඩොනල්ඩ් මේ සම්බන්ධයෙන් විශේෂඥයෙක්. ඔහුගේ එම දැනුමත් අපේ අයට ලබා ගෙන සාර්ථකවීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මම මේ දෙයත් කිව යුතුමයි. අපේ (ශ්‍රී ලංකා) පන්දු යවන්නන් ඉතා වාසනාවන්තයි. ඒ අපිට සුපිරි වේගපන්දු පුහුණුකරුවන් සිටින නිසයි. දැන් ඇලන්ගේ විශේෂඥ දැනුමත් ඊට එක්වුණාම විශාල වාසියක් වෙනවා." ෆෝඩ් එසේ ද පැවසීය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.